දඹුල්ල

දඹුල්ල

මධ්‍යම පළාතේ, මාතලේ දිස්ත්‍රික්කයේ මහනුවර සිට සැතපුම් 29ක් පමණ දුරින් දඹුල්ල විහාරය පිහිටා ඇත. මාතලේ - අනුරාධපුර මාර්ගයේ යනවිට පෙනෙන, සිතට සැනසුම ළඟා කරන ලොව විශාලම, වැඩ හිඳින බුද්ධ ප්‍රතිමාව හා අලුත් විහාරය දඹුල්ලේ කරන ලද නවතම නිර්මාණයකි. අඩි 11758ක් උස දඹුලු ගලේ රන්ගිරි දඹුල්ල නිමවා තිබේ. ස්වාභාවිකව පිහිටි මේ විහාරයේ ලෙන් 5කි. බුද්ධ ප්‍රතිමා, රාජ ප්‍රතිමා ඇතුළු ප්‍රතිමා 154ක් මෙහි දැකගත හැකිවන අතර එ්වා කළුගල්, ගඩොල්, ලී ආදියෙන් නිමවා ඇත. ලෙන් සිවිලිම හා ආවරණ බිත්ති සෑම එකකම චිත්‍ර ඇඳ අලංකාර කිරීම මෙහි ඇති විශේෂත්වයකි. මෙවැනි සිතුවම් රාශියක් එකවර දැකගත හැකි එකම විහාරය රන්ගිරි දඹුල්ලයි. ක්‍රි.පූ 137 - 119 අතර අනුරාධපුරයේ රජකම් කළ දුටුගැමුණු රජුගේ සොහොයුරු සද්ධාතිස්ස රජු මේ ලෙන් විහාර සාදා සඟ සතු කර පූජා කළ බවට එක් මතයක් පවතී. තවත් මතයකට අනුව වළගම්බා රජු විසින් මෙය සාදා පූජා කර ඇත.

දඩයමේ ගිය සීතා නම් වැද්දෙකු මෙම ලෙන පිළබඳව රජුට දැනුවූ බවත් රජු විසින් ලෙන් වල කටාරම් කොටවා පස් පිළිම ගෙයද, මහරජ විහාරයද, දෙව් රජ විහාරයද කරවූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. මෙම විහාරය වළගම්බා රජු කරවූ බව සඳහන් වන්නේ රාජරත්නාකරයේ හා මෙම විහාරය පිළිබඳ ලියා ඇති තල්පත්වල පමණි. ක්‍රි.ව.1187 - 1196 කාලයේදී නිශ්ශංකමල්ල රජු විහාරය ප්‍රතිසංස්කරණය කරවා පිළිමවල රන් ආලේප කළ බවත් එසේ හෙයින් එය රංගිරි දඹුලු විහාරය ලෙස නම් කළ බවත්, නිශ්ශංකමල්ල රජුගේ අභිලේඛනවල සඳහන් වේ. මෙහි ලෙන් විහාර 5ක් වන අතර අලුත් මහා විහාරය කීර්ති ශ්‍රී රාජසිංහ රජු කරවූ බවත් දෙවන අලුත් විහාරය 18 වන සියවසේදී දුල්ලෑවේ අධිකාරම් විසින් කරවන ලද බවත් සඳහන් වේ.

එක ලෙනක වැසි-නියං කාලවල විශේෂයක් නැතිව වතුර බිංදුව බැගින් කාන්දු වන දිය උල්පතකි. එය විශේෂත්වයකි. මෙම විහාරය ලංකාවේ ඇති විහාලතම, මහනුවර යුගයට අයත් බිතුසිතුවම් සහිත කළාගාරය ලෙස නිම් කළ හැකි අතර මෙහි ඇති සම්පූර්ණ පිළිම ගණන 153කි. මේ හැර වළගම්බා රජු, නිශ්ශංකමල්ල රජු, කීර්ති ශ්‍රී රාජසිහ රජු යන රජවරුන්ට අයත් ප්‍රතිමා තුනක් ද උපුල්වන්, තාරා දෙවඟන, නාථ, විෂ්ණු යන දේව රූප 4ක් ද දක්නට ලැබේ. මෙහි සිතුවම් කර්මය සීගලම පරම්පරාවේ සිත්තරුන් විසින් සිදුකර ඇත. 1818 කැරැල්ලේ දී පුරන්අප්පු, ගොංගාලේ ගොඩබණ්ඩාට රැකවරණය සැළසුවේ ද දඹුලු විහාරයෙනි. ඉංග්‍රීසි පාලනය ගැන කලකිරී සිටි වාරියපොල සුමංගල හිමියන් දනුත ධාතුව රහසිගතව රැගෙන දඹුලු වනයේ සැඟවී ආරක්ෂා කළ බව ද ඉතිහාසයේ සඳහන් වේ..