මාතලේ අළු විහාරය

මාතලේ අළු විහාරය

මාතලේ නගරයේ සිට මහනුවර - අනුරාධපුර මාර්ගයේ දඹුල්ල දෙසට කිලෝමීටර 1/2ක් පමණ ගිය විට අළු විහාරයට ළඟා විය හැක. මහින්දාගමණයෙන් පසුව දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ කරවූ විහාරයක් ලෙස ඉතිහාසයේ සඳහන් වේ. ක්‍රි.පූ.03 හා ක්‍රි.ව. 01 සියවස් වලට අයත් බ්‍රාහ්මී අක්ෂරවලට අයත් ලෙන් ලිපිවලට අනුව සැදැහැවතුන් විසින් භික්ෂූන් වහන්සේලාට පූජා කළ ලෙන් පිහිටා ඇත. රහතුන් වහන්සේ 500ක් දෙනා විහාරස්ථානයට යාව පිහිටි කඳුවැටියේ ඇති ලෙන් වල වැඩ වසා ඇත් බව සාක්ෂි ලැබේ. එම ගල්ලෙන් වල ජලය ඇතුලට රූරා නොබසින ලෙසට කටාරන් කොටා ඇති බව පෙනෙන්නට තිබෙන නිසා ඒවායේ යම් පිරිසක් වාසය කළ බව සැකයකින් තොරව ඔප්පු වේ. අවට ජනතාවගෙන් ලද තොරතුරු මත අළුවිහාරය ගවේශණයකදී ලෙන් 18ක් සොයාගෙන ඇති අතර ඉන්පසුව ඊට යාව පිහිටි බීරිදෙවෙල කඳුවැටියෙන් ද තවත් ලෙන් 8ක් සොයාගැනීමට හැකිව තිබේ.

ලිපි රහිත කටාරම් කෙටූ ලෙන් මහනුවර යුගයේ ඉදිකරන ලද විහාර වල මහනුවර සම්ප්‍රදායේ චිත්‍ර හා මූර්ති වලින්ද මෙම විහාරය සමන්විත වේ. පැරණි ස්තූපයක්, බෝධියක් ඇතුළු අංගෝපාංග වලින් ද වටිනා පොත් එකතුවක් ද විහාරස්ථානය සතුවේ. දීර්ඝ කාලයක් බුදු දහම මුඛ පරම්පරාගතව පවත්වාගෙන ආ අතර වලගම්බා රජතුමාගේ පාලන සමයේදී (ක්‍රි.පූ.89-77) පැවති අර්බුධකාරී තත්වයන් නිසාත් වසර 12ක කාලයක් පැවති බැමිණිතියා සාය නම් වූ දුර්භික්ෂය නිසාත් භික්ෂූන් වහන්සේලා සිය ගණනින් ජීව්තක්ෂයට පත්වූ අතර ධර්මය රැකගැනීම උන්වහන්සේලාට මහත් අභියෝගයක් වූ බව අට්ඨ කතාවල දක්නට ලැබේ. ඒ නිසා මෙතෙක් කාලයක්ම කටවහරින් පවත්වාගෙන ආ බුදු දහම විනාශ වී යෑමට ඉඩ නොදී පවත්වාගෙන යෑම සඳහා ධර්ම සංගායනාවක් පැවැත්වීමටත් ධර්ම විනය ග්‍රන්ථාරූඪ කිරීමටත් මහා සංඝයාවහන්සේ තීරණය කළහ. ඒ අනුව වළගම්බා රජ දවස ථූපාරාමයේ වැඩසිටි කුත්තගත්ත නම් හිමි නම මහාවිහාරීය භික්ෂූන්වහන්සේලා සමග ලෝවාමහාපායට රැස්ව ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමට තීරණය කළ බව, අස්ගිරි තල්පතේ දැක්වේ.

තෝරාගත් ත්‍රිපිඨකධාරී රහතුන් වහන්සේලාගේ දායකත්වයෙන් මාතලේ භාරව සිටි ජනපද අධිපතිවරයාගේ අනුග්‍රහය ලබාගෙන ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරන ලද බව පැවසේ. පසුව වළගම්බා රජු විසින් දිඹුලාගල ප්‍රදේශයෙන් පූජා කළ වන සෙනසුනකට වැඩි කුත්තගත්ත නම් හිමිගේ පරපුරෙන් අස්ගිරි විහාරය ඇරඹුණු බව ද අස්ගිරි තල්පතේ දැක්වේ.