ඩෝසන් කුළුණ

ඩෝසන් කුළුණ

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලා ගැනීමට කොළඹ සිට මහනුවරට ගිය ඉංග්‍රීසි හමුදාවට ඒ සඳහා නියමිත මාර්ගයක් නොතිබූ අතර, පාරක් නැතුව ඉංග්‍රීසීන් දැඩි දුෂ්කරතා වලට මුහුණ දුන්හ. 1815 දී ශ්‍රී ලංකාව ඉංග්‍රීසීන්ට යටත්වීමෙන් පසුව 1818 කැරැල්ල ඇතිවිය. එය ව්‍යවර්ථ කිරීමට හැකි වුවද, යලිත් එවැනි අවස්ථාවකදී කොළඹ සිට ඉක්මණින් මහනුවරට හමුදාව යැවීමේ අවශ්‍යතාවය ආණ්ඩුකාර එඩ්වඩ් බාන්ස් හට ඇතිවිය. ඒ අනුව 1820 දී පමණ කොළඹ සිට මහනුවරට මාර්ගයක් ඉදිකිරීමේ කටයුතු ඇරඹිනි. මුලින්ම ලන්දේසීන් ඉදිකර තිබූ බළකොටු හරහා සීතාවක - ඉද්දමල්පාන, අරන්දර, හෙට්ටිමුල්ල, උස්සාපිටිය, බලන ඔස්සේ මහනුවර දක්වා වැලි පාරක් සකස් කලේය. 1821 අඹේපුස්ස හරහා මහනුවරට යාම සඳහා තවත් මාර්ගයක් සැළසුම් කළේය. එහි පළමු අදියර ලෙස කොළඹ සිට අඹේපුස්ස දක්වා ඉදිවිය. මහර, කඩවත, යක්කල, වරකාපොල හා මාවනැල්ල යන නගර හරහා ඉදිකිරීමට යෝජිත මාර්ගය සඳහා ගංගා 4ක් මතින් මහපාලම් හතරක් ඉදිකිරීමටද සැළසුම් සකස්විය.

කොළඹ නුවර පාරේ ඉදිකිරීම් ගැන කතාකරන විට අනිවාර්යයෙන්ම සඳහන් වන නමක් නම් කැප්ටන් ඩෝසන් ලෙසින් හඳුන්වන කපිතාන් විලියම් ෆ්‍රැන්සිස් ඩෝසන් යන බ්‍රිතාන්‍ය ජාතික මහාමාර්ග ඉදිකිරීම් ශිල්පියාය. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍යයන් විසින් 1820 වර්ෂයේදී ලංකාවේ ඉදිකිරීම් ආරම්භ කර 1831 දී නිමකළ මුල්ම තාර දැමූ මාර්ගය වූ, කොළඹ නුවර මාර්ගයේ ඉදිකිරීම් අධීක්ෂණ කටයුතු භාරව සිටි පුද්ගලයා වූයේ කැප්ටන් ඩෝසන් ය. කඳු, හෙල්, දිය දහරා, ගල් පර්වත, වන සතුන්, සර්පයන්, කූඬැල්ලන් ගහණ මේ ප්‍රදේශය පුරා කැළෑ උණ හෙවත් මැලේරියාවද පැතිර තිබුණි. පාර ඉදිකරන අතරතුර රෝගාතුර වූ කැප්ටන් ඩෝසන් එංගලන්තයට ගොස් සුව වී 1822 දී යලිත් සේවයට එක්විය. කොළඹ නුවර පාරේ අමාරුම කොටස හරහා පාර නිමකරගෙන ගිය ඔහු කඩුගන්නාව දුර්ගය පසුකර ගල් පොත්ත විද පාර සකස් කර විශ්මකර්ම වැඩක් කළේ යැයි සටහන් වල දැක්වේ. එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරයා ඩෝසන් ගැන පැහැදී ඔහු රාජකීය විධායක ඉංජිනේරු ධූරයට පත් කළේය. එහෙත් මාර්ගය කරගෙන යද්දී 1829 මාර්තු 28 කැප්ටන් ඩෝසන් පාචන රෝගයකින් මියගියේ යැයි සඳහන් වන අතර, තවත් වාර්තාවකට අනුව කැප්ටන් ඩෝසන් මියගියේ නාගයෙක් දෂ්ඨ කිරීමෙනි. කැප්ටන් ඩෝසන් සමග මේ මාර්ගය ඉදිකිරීමට සහායකයකු වූ මේජර් ස්කිනර් ඔහුගේ සටහන්වල ලියන්නේ " ඔහු මියගියේ මගේ දෑතේ. මට හොඳ මිතුරෙක් වගේම නායකයෙක් නැතිවුනා" යනුවෙනි. කොළඹ නුවර පාර බ්‍රිතාන්‍යයන් ලංකාවේ ඉදිකළ පළමු මහා මාර්ගයයි. කොළඹ නුවර පාර 1832 දී තාර දමා නිමකළ අතර ආසියාවේ පළමුවර අශ්ව කෝච්චි සේවය 1832 කොළඹ නුවර අතර ආරම්භ විය. කොළඹ නුවර මහාමාර්ගය 1832 වසරේදී විවෘත වූ නමුත් එම විජයග්‍රාහි අවස්ථාව සියසින් නැරඹීම සඳහා කපිතාන් විලියම් ෆ්‍රැන්සිස් ඩෝසන් මෙලොව සිටියේ නැත. තමන් සමග එකට වැඩකළ හිතවතුන් හා මිතුරන්ගේ පරිත්‍යාගයන් එක්කොට කඩුගන්නාවේ 'ගල විදපු' තැනට නුදුරින් තම හිතවතා සිහිවීම පිනිස මුහුදු මට්ටමෙන් අඩ් 1730 උස කඩුගන්නාව දුර්ගය කෙළවර ඩෝසන් කුළුණ සෑදීය. උසින් මීටර 13.5 ක් වන මෙම ඩෝසන් කුළුණ ඉදිකර ඇත්තේ 1829 වසරේදීය. තවද කපිතාන් ඩෝසන් පදිංචිව සිටි නිවස හෙවත් ඩොසන් බංගලාව ගලිගමුව හංදිය පසුකර කෑගල්ල දෙසට කන්ද නගින විට දකුණු පැත්තේ පිහිටි උස් බිමේ පිහිටා ඇත.