ඇම්බැක්කේ දේවාලය

ඇම්බැක්කේ දේවාලය

පැරණි සිංහල ලී කැටයම් පිළිබඳ මහත් ප‍්‍රසිද්ධියක් උසුලන ඇම්බැක්කේ දේවාලය පිහිටා තිබෙන්නේ මහනුවර දිස්ත‍්‍රික්කයේ උඩුනුවර මැද පළාතෙහිය. පේරාදෙණියේ සිට ඇඹිල්මීගම දක්වා වැටී ඇති මහා මාර්ගයෙහි දවුලගල නම් මංසංධියකි. එතැන සිට ගංහත දක්වා දිවෙන පාරේ සැතපුම් භාගයක් පමණ ගිය කල හමුවන වෙල්යායක් සහිත ගම්මානයක් මධ්‍යයෙහි මෙම දේවාලය සාදවා ඇත. ඇම්බැක්ක ග‍්‍රාමයෙහි ස්ථාපිතව ඇති ඇම්බැක්ක දේවාලය මෙම අගනා කැටයම් නිමවා ඇත්තේ එම දේවාලයේ දිග්ගෙය එනම් හේවිසි මණ්ඩපය ලෙස හඳුන්වනු ලබන ගෘහ අවකාශය තුලය. අඩි 53 ක් දිගින් හා අඩි 25 ක් පළලින් යුතු මෙම ගෘහ කොටසේ දැව කණු 32 ක් සමන්විතව ඇති අතර එම දැව කණු කැටයම් ස’දහා භාවිත කර ඇත. ගම්පොල රාජධානි සමයේදී එනම් 14 වන සතවර්ෂය අග භාගයේදී 3 වන වික‍්‍රමබාහු (ක‍්‍රි.ව. 1357 සිට 1374 දක්වා රජකළ) රජුගේ අනුග‍්‍රහයෙන් දෙල්මඩ මූලාචාරී නම් ශිල්පියෙකුගේ ප‍්‍රධානත්වයෙන් ඇම්බැක්කේ දේවාලය ඉදිකරවා ඇත. මෙම දේවාලය වඩාත් ප‍්‍රසිද්ධව ඇත්තේ ලී කැටයම් සම්බන්ධයෙනි. ”ලක්දිව ශ්‍රේෂ්ඨතම ලී කැටයම් ඇත්තේ ඇම්බැක්කේ” යන්න උගතුන්ගේ පිළිගැනීමයි. වික‍්‍රමබාහු රජුගේ මෙහෙසිය වශයෙන් සිටි හෙනකඳ බිසෝ බණ්ඩාර දේවිය මෙම දේවාලයට අදිගෘහිත බව බොහෝ දෙනාගේ විශ්වාසයයි. ඇම්බැක්කේ දේවාලය හා සම්බන්ධ විවිධ පුරාවෘත ඉතිහාසයේ සඳහන් වේ. හෙනකඳ බිසෝ බණ්ඩාර දේවිය සම්බන්ධයෙන් ද අධි මානුෂිය වූ ජනප‍්‍රවාද රැසක් තිබේ. සුරූපී ඇය වරෙක රජතුමාගේ බිසොව බවටත්, බිසොව නොවී රජු හා සමීප ඇසුරක් පැවති කාන්තාවක ලෙසත් මෙන් ම පසුව කතරගම දෙවිඳුගේ බිසොව බවටත් පත්වූ අයුරු ජනප‍්‍රවාද වල පවතී. ඇම්බැක්කේ දේවාලය කතරගම දෙවිඳු වෙත මෙන්ම හෙනකඳ බිසෝ බණ්ඩාර දේවිය වෙතට කැපව ඇත. ඒ මෙම කලා නිමවුම් පසුතලයේ වූ භාවාත්මක ලෝකයයි. දෙවොල ගොඩනැගිල්ලක ගෘහ නිමැවුමේ අංග තුළ කලාත්මක අංගයෙන් පරිපූර්ණ විවිධ වූ කැටයම් නිමවුම් පන්සියයකට අධික ප‍්‍රමාණයක් නිරූපණය වේ. එනම් ගෘහය ගොඩනගා ඇති දැව කණු, පේකඩ, බාල්ක, තලාඳ ආදී වූ සමස්ත අංග කැටයම් සඳහා පෘෂ්ඨිය අවකාශය ලෙස ගලපා ගනිමිනි. මෙම දැව කැටයම් සමූහය මෙරට අතිමහත් ඓතිහාසික කලා කෘති අතර තේජමානව පවතී.


මූලාශ‍්‍ර - අන්තර්ජාලය හා පොතපත ඇසුරිනි.