සිරි ගුනසිංහ

Written by

220px-Siri-gunasinghe

නවසිය විසි පහේ පෙබරවාර් 18 දා කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ලේ පනාපිටිය ගමේදී ඔහු උපන්නේය. ඔහුගේ උප්පැන්නයට යොදා තිබුණේ බැරගම ආරච්චිගේ ශ්‍රියාරතන ගුණසිංහ යනුවෙනි. එහෙත් අම්මා හැමදාම පුතුට ඇමතුවේ “සිරියාව” කියාය. පවුලේ අයට ඔහු “සිරි” ය. පසුකාලීනව ඔහු භාවිත කළේත් ජනාදරයට පත් වූයේත් “සිරි ගුනසිංහ” යන නාමයෙනි.

 

සිරි ගුනසිංහයන් අකුරු කළේ ගාල්ලේ අක්මීමන කොටගොඩ සිංහල පාඨශාලාවටය. ද්විතියික අධ්‍යාපනය ලැබුවේ ගාල්ල මහින්ද විද්‍යාලයෙනි. සිංහල, ඉංග්‍රීසි, පාලි, සංස්කෘත හා ප්‍රංශ භාෂා ඔහු වඩා කැමැත්තෙන් හැදෑරූ භාෂාවන්ය. කුලරත්න ස්වර්ණ මුද්‍රිකාවත්, සමස්ත ලංකා පාලි ත්‍යාගයත් ඔහු දිනා ගත්තේය.

 

ඔහු සරසවියට ඇතුළු වූයේ 1945දීය. බී.ඒ. ගෞරව උපාධියට ප්‍රථම පන්ති සමාර්ථයක් ලබා ගත් අතර 1949දී ලංකා විශ්ව විද්‍යාලයෙන් සංස්කෘත අංශයේ කථිකාචාර්ය පදවියකට තේරී පත්විය. කලා උපාධි ප්‍රථම පරීක්ෂණයෙන් විශිෂ්ට ලෙස සමත් වූ නිසා ‘පැටා ලයිබ්රරි’ ප්‍රධානයත්, ත්‍යාගයත් හිමි වූ අතර උපාධි අවසාන පරීක්ෂණයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලැබූ නිසා ලංකා රජ්‍ය ශිෂ්‍යත්වය ද හිමි විය.

 

1951 දී ලන්ඩන් විශ්ව විද්‍යාලයට ඇතුළත්ව වසරක කාලයක් ඉගෙනීමේ නියැලුණි. අනතුරුව 1952 වර්ෂයේදී පැරිසියේ සෝබෝන් විශ්ව විද්‍යාලයට ඇතුළත්ව පශ්චාත් උපාධිය අධ්‍යනය කළේය. 1955 දී ගෞරව සම්මාන සහිතව ආචාර්ය උපාධිය හිමිකර ගත්තේය. ආචාර්ය උපාධිධාරියකු හැටියට යළි ශ්‍රි ලංකාවට පැමිණෙන සිරි ගුනසිංහයන් 1955 දීම ලංකාවට පැමිණ ලංකා විශ්ව විද්‍යාලයේ සංස්කෘත පිළිබඳ කථිකාචාර්යවරයෙක් ලෙස සේවයට බැඳුණි. 1962 දී සංස්කෘත අධ්‍යනාංශයේ පළමු ශ්‍රේණියේ කථිකාචාර්ය ධූරයට පත් කෙරුණු ආචාර්ය සිරි ගුනසිංහයන් 1968 දක්වාම එකී තනතුර හෙබවීය.

 

ඔය අතරවාරයේ වසරක කාලයක් හවායි විශ්ව විද්‍යාලයේ ඊස්ට්-වෙස්ට් සෙන්ටර්හි විශේෂඥයක් හැටියට සේවය කළේය. 1970 දී කැනඩාවේ වික්ටෝරියා විශ්ව විද්‍යාලයේ කලා ඉතිහාසය පිළිබඳ ආරාධිත සහය මහාචාර්ය ධූරය පිරිනැමීය. 1975-1988 කාලයේ එහි මහාචාර්යවරයෙකු හැටියට සේවය කළේය. 88-89 කාලයේ ඔහු සේවය කළේ කැනඩාවේ එඩ්මන්ටන්හි ඇල්බර්ටා විශ්වවිද්‍යාලයේය. වික්ටෝරියා සරසවියේ ඉගැන්වීම් කාර්යයට අමතරව කලා ඉතිහාස අංශයේ ශිෂ්‍ය උපදේශක හා වැඩ බලන සභාපතිවරයා හැටියට ද කටයුතු කළේය.

 

කුමන තනතුරක් දැරූවද සිරි ගුනසිංහයන් දිගින් දිගටම සිය අපූර්වතර නිර්මාණකරණයේ යෙදුණි. ඒ අතර 1949 සරසවියේ සිටියදීම අරුණ සංග්‍රහයට , “ආ පසුව” නමින් ඡන්දසින් තොර නිර්මාණයක් කර තිබුණි. 1951 දී පියවර සඟරාවට “ඊයේ සොඳුර” නමින් ඒ ආකෘතියේම නිර්මාණයක් කළේය. 1956 දී ප්‍රකාශයට පත් කළ “මස් ලේ නැති ඇට” සමාජයේ ඉමහත් ආන්දෝලනයක් ඇති කළේය.

 

මතක වස්තුව

 

මා හැරදා

දර දඬු කොට දා මා අත් පා

ඈ යන්න ගියා මැකිලා

ඈ යන්න ගියා...

සැමරුම් වග වලසුන් රෑනට

මා ගොදුරක් වී

ලේ ගලනා ගොදුරක් වී...

කාලයේ ගන අඳුරින් වැසුනත්

සෙලවෙන හදවත පහනෙහි සිලුවේ

ඈ ගත දිලිසෙයි

දෑසට දිස්වෙයි

 

ගොරහැඩි ගල් ගෙඩි අතරින්

සීතල දියර ඉරක් සේ

ගලා බසී

හද තෙමා බසී

පිරිසිදු අහසෙහි පැහැය ඇගෙයි

ගස්වල මල්වල පැහැය ඇගෙයි

මුළු ලෝකෙම හැම පැහැය අගෙයි

 

කෙතෙකුත් දැගලුවත් සැගවෙන්නට

ඇසිපිය දැල්වලමයි ඇය දැවටුම

අමතක භාවයෙ අන්ධකාරයේ

දෙබෑ කරන් වේලුන ඝන හම

එබී බලයි සොඳුරිය ඔබ ඇස් දෙක

තොල් දෙක සෙලවුම තවම පෙනෙනවා

හීන් සැරේ මා වැලඳ ගන්නවා

 

ජීවිතයට ඇති එකම සොඳුරු බව

ලෝකයටම ඇති රූමත් එක දෙය

ඈමයි තනිවට හිටි එක ගැහැනිය

මැකී ගියත් තනිවට හිටි ගැහිනිය

 

“මස් ලේ නැති ඇට“ ප්‍රකාශයට පත් කිරීමෙන් පසු “රතු කැකුළ” ප්‍රකාශයට පත් කළේය. ආලකමන්දාව මුද්‍රණය වූයේ ඊට වසර හතලිස් ගණනකට පසුවය. සිරි ගුනසිංහයන් න,ණ,ල,ළ භේදය ගැන තැකීමක් කළේ නැත. සිය පෙළපත් නාමයද දන්තජ ‘න’ කාරවත්ව භාවිත කරන්නේය.

 

කොලුවා

 

ඇඟ කලුයි, දූවිලි ගොඩයි

මේ පොඩි එකා

සිනාසෙමි මා දෙමස රවයි

 

ඇයි ද මා දෙස රවන් ඉන්නෙ

කුස රජුට මෙන් මටත් ඇත්තෙ

විසුලු පුවක් වැනි වතක් දෝ

 

මුඩුක්කුවට මරදානේ

අරුමයක්ද මා මෙතරම්

බලා ගනින්, බලා ගනින්

කල් යන්නට පෙර උඹේ ඇඟේ

හම ගැලවී බිම වැටේවි

නාකි වෙන්නටත් ඉස්සර

ඇඟේ මයිල් ගැලවී ගිය

බලු පැටියෙක් වගේ ඉඳන්

බුරමින් අතපය හපමින්

පාන් කෑල්ලක් උදෙසා

කුනු බාල්දිය අවුස්සාවි

දෙවියන් කිරි සයුර වගේ

 

කසල ගොඩක අසල තිබෙන

වතුර නැතුව ඇතුල වියලි

පයිප්පයක් වගේ මොකෝ

කට ඇරගෙන බලා ඉන්නෙ

 

ඔහු ලියූ “හෙවනැල්ල” නවකතාවත් ආන්දෝලනයට තුඩු දුන් එකකි. එය ප්‍රකාශයට පත් කෙරුණේ 1960 දීය. ඉන් පසුව “මන්දාරම”, “මිරිඟුව ඇල්ලීම” පළ කෙරිණි. එතෙක් නවකතාකරුවන් නොගත් මඟක් ඔස්සේ මේ කෘති රචනා විය. ඔහු ඉතාමත් හොඳ සිනමා අධ්‍යක්ෂවරයකු ද වන්නේය. “සත් සමුදුර” චිත්‍රපටිය හා “රන්වන් කරල්” වාර්තා චිත්‍රපටිය ඊට උදාහරණයන්ය. රත්නාවලී, සඳ කිඳුරු, තුරඟා, දැන් දැන් හඬනා නාට්‍යවල අංග රචනය හා ඇඳුම් නිර්මාණකරුවාත් ඔහුයි. Sigiriya, Kassapa’s Homage to Beauty විශිෂ්ට කෘතියක් ලෙස සම්භාවනාවට පාත්‍ර විය. “සීගිරිය කාශ්‍යපගේ සෞන්දර්ය ප්‍රණාමය” නමින් සිංහලයෙන් පළ විය. 1995 දී ස්වාධීන රූපවාහිනියට “ගුත්තිල” දෘශ්‍ය රූප නාටකය නිර්මාණය කළ අතර යුනෙස්කෝව සඳහා බුද්ධ චරිතය පදනම් කරගෙන තිර රචනයද කළේය. රූපවාහිනී හා ගුවන් විදුලි වැඩසටහන් රැසක් නිෂ්පාදනය කළේය. සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම ලිපි ලිව්වේය.

 

බ්‍රිටිෂ් - කොලොම්බියා විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා කෞතුකාගාරයේ ශ්‍රි ලංකා වෙස් මුහුණු දැක්ම සංවිධානය කිරීමේ උපදේශකවරයා වූ අතර ලොස් ඇන්ජලීස් කෞතුකාගාරය සංවිධානය කළ “ආසියාලෝකය” ප්‍රදර්ශනයේත් උපදේශකවරයා විය. ඒ අතර වික්ටෝරියා සරසවියේ සිටියදී ලලිත කලා පීඨ උපදේශක, ශාන්තිකර හා ප්‍රාචීන අධ්‍යයන මධ්‍යස්ථාන උපදේශක කමිටුව, ලලිත කලා පීඨ, විෂය මාලා කමිටුව (සභාපති) අධ්‍යාපන සැලසුම් කමිටුව, සම්මාන උපාධි හා අනෙකුත් මුද්‍රණ පිළිබඳ කමිටුව, විශ්ව විද්‍යාල විමර්ශන කමිටුව, පීඨාධිපතීන්ගේ උපදේශක මණ්ඩලය, පීඨාධිපතිවරයෙකු පත් කිරීම පිළිබඳව විශ්ව විද්‍යාලපතින්ගේ උපදේශක කමිටුව ආදී කාර්යයන්හි ද නිරත විය. දිවයිනේ පැරණි බිතු සිතුවම් අධ්‍යයනය කළේ සංස්කෘතික දෙපාර්තුමේන්තුමේ ආරාධනයෙනි. දේශ දේශාන්තරයෙහි චිත්‍ර හා මූර්ති අධ්‍යයනය කළේ කළේය. ඊජිප්තුව, ග්‍රීසිය, ඉන්දුනීසියාව, ජපානය, කාම්බෝජය, නේපාලය, ඉන්දියාව ඒ අතර වේ.

 

සිරි ගුනසිංහයන් ගේ ග්‍රන්ථ හා ශාස්ත්‍රීය ලිපි නාමාවලිය ඉතා දිගු එකකි. දෙස් විදෙස් විද්වතුන්ගේ සම්භාවනාවට පාත්‍ර වූ සුවිශේෂි සම්පත් දායකයකු ලෙසින් සිරි ගුනසිංහයන් හැඳින්විය හැකිය.

 

තොරතුරු- නදීශානී මාතරආරච්චි- බප/කළු/කරඳගොඩ ප්‍රා.වි-බේරුවල

Read 3200 times
உருவாக்கம்
த.தொ.தொ கிளை, கல்வியமைச்சு,இலங்கை
பக்க வரிசைப்படுத்தல் | மறுப்பு
பதிப்புரிமை © 2012-2016 | த.தொ.தொ கிளை, கல்வியமைச்சு,இலங்கை