Saturday, 14 December 2013 00:00

ගඩලාදෙණිය විහාරය (සද්ධර්මතිලක විහාරය)

Written by

 

 පිහිටීම

ඓතිහාසික ගඩලාදෙණිය රජමහා විහාරය හෙවත් සද්ධර්මතිලක විහාරයට යාමට කොළඹ-නුවර මාර්ගයේ ගොස් පිළිමතලාව නගරයෙන් හැරී දවුලගල මාර්ගයේ කිලෝමීටරයක් පමණ යා යුතු ය. (ලංකාතිලක විහාරයට ද මේ මාර්ගයෙන් යා හැක.)

 

 gadaladeniya2
 ඉතිහාසය

ගඩලාදෙණිය විහාරය මුල් වරට ඉදි කරවන ලද්දේ පළමුවන ධර්මකීර්ති හිමියන්ගේ අනුශාසනා අනුව ගම්පොළ රජ කළ සිව්වන බුවනෙකබාහු (ක්‍රි.ව.1341-1351) රජු විසිනි. රජුගේ උපදෙස් පරිදි සේනාධිලංකාර නමැති අමාත්‍යවරයා මෙහි ඉදිකිරීම් අධීක්ෂණය කරන ලදී. (ඒ බව මෙහි ඇති සෙල්ලිපියකින් තහවුරු වේ.)අනුරාධපුර යුගයේ මෙන් නොව මේ කාලය වන විට ලංකාවට වැඩි වශයෙන් ම එල්ල වූයේ දකුණු ඉන්දීය බලපෑම් ය. මේ නිසා මේ යුගයේ ඉදි වූ බොහොමයක් වෙහෙර විහාරවල දැකිය හැක්කේ දකුණු ඉන්දීය සම්ප්‍රදායන් ය. ගඩලාදෙණිය විහාරයේ ද මූලික ඉදිකිරීම් ලක්ෂණ හා කලා ලක්ෂණ ඉන්දීය විජයනගර් සම්ප්‍රදායේ ආභාසය සහිත ය. ඊට හේතුව මේ විහාරය ඉදිකිරීමේ දී බුවනෙකබාහු රජු දකුණුඉන්දීය ශිල්පී ගණේශ්වරාචාර්යයන්ගේ උපකාරය ලබා ගැනීම යි.

 

 gadaladeniya1
විහාරාංග හා ගෘහ නිර්මාණ ලක්ෂණ

පැතිරුණු ගල් තලාවක් මත සම්පූර්ණයෙන් ම ගලින් නිම කළ මේ නිර්මාණය ගම්පොළ යුගයට අයත් විශේෂ ගෘහ නිර්මාණයක් සේ සැලකේ. ඊට හේතුව මෙය බෞද්ධ විහාරයක් වුව ද හින්දු ගෘහ නිර්මාණ ලක්ෂණ දක්නට ලැබීමයි. මෙම විහාරය පිවිසුම් තොරණක්, පිළිම ගෙයක්, චෛත්‍යයක්, බෝධි වෘක්ෂයක්, දේවාල දෙකක් හා සංඝාවාසයකින් යුක්ත ය. ඊට අමතරව මෙහි දී පැරණි ශිලා ලිපි කිහිපයක් ද දැකිය හැක. දකුණු ඉන්දීය ක්‍රම හා සමානව ඉදිකිරීම් සඳහා යොදගෙන ඇත්තේ කළුගල් හා ගඩොල් ය.

 

පිවිසුම් තොරණ
ගලින් නිම වූ මෙම තොරණේ පහළ කෙටසේ නටන, ගයන, වයන රූප වලින් අලංකාර කර ඇත.

 

චෛත්‍යය
උස් කුලුනු 4ක් මත ඇති වහලයකින් යුතු චෛත්‍යඝරයක් සහිතව අඩි 12ක් උස් පාදමක් මත ඉදි කළ මෙය ශෛලමය මලසුන් ගෙවල් 4ක් හා ඇත් රූප 8ක් පිරිවර කොට ඇත්තේය. මේ සියල්ලේ සම්පූර්ණ උස අඩි 40ක් පමණ වේ. මේ චෛත්‍යය විජයොත්පාය චෛත්‍යරාජයා නමින් හැඳින්වේ.

 

පිළිමගෙය
මෙය එකක් පසුපස එකක් පරිද්දෙන් ඇති කුටි දෙකක්  හා මණ්ඩපයකින් සමන්විතය. මෙහි රියන් 12ක ඔත්පිළිමයක් හා හිටි පිළිමවහන්සේලා සිව්නමකි. මෙහි පිටත මණ්ඩපයේ ඇති විශේෂ ලක්ෂණය නම් දකුණු ඉන්දීය ගෘහනිර්මාණ අංගයක් වන ත්‍රිත්ව කුලුනු ක්‍රමය අනුගමනය කර තිබීම යි. මෙහිදී කුලුනු තුනක් එක පොකුරක් ලෙසින් යෙදාගැනේ. මෙහි එවන් පොකුරු 2ක් දක්නට ලැබේ. මෙහි පියස්ස ද ගලින් ම නිමවා තිබෙන්නේ ගෙඩිගේ සම්ප්‍රදාය අනුව ය. ගඩලාදෙණිය සෙල් ලිපියේ මෙම පිළිමය හඳුන්වා ඇත්තේ ශක, බ්‍රහ්ම, සුයාම, සන්තුසිත නාථ, මෛත්‍රී ආදි දෙවියන් විසින් පිරිවරණ ලදුව වජ්‍රාසනාරූඩව බෝධීන් වහන්සේට පිටලා වැඩසිටිනා සාධාතුක මහ පිළිම වහන්සේ ලෙසිනි. ධ්‍යාන මුද්‍රාවෙන් සහ වීරාසනයෙන් වැඩසිටිනා පිළිමය තනා ඇත්තේ ගඩොල් සහ බදාම භාවිතයෙනි. එහෙත් මේ පිළිමයේ ඇත්තේ සපුරාම වාගේ හින්දු දේව ප්‍රතිමා ලක්ෂණයන් ය. බුදු පිළිමයක ඇති ශාන්ත බව වෙනුවට හින්දු දේව ප්‍රතිමාවල ඇති විවෘත දෙනෙත්  ඇති බවත්, දකින්නන් තුළ බිය මුසු ගෞරවයක් ඇති කරන ගතියත් මේ පිළිමයේ දක්නට ලැබේ.

 

බෝධි වෘක්ෂය
මෙහි බෝධීන් වහන්සේ ශෛලමය බෝධිඝරයකින් වට කර ඇත. බුද්ධකාලීනව දඹදිව තිබූ ජේතවනාරාමය සමීපයේ එකල පටන් ම තිබුණේ යැයි පිළිගැනෙන ආනන්ද බෝධියේ අංකුරයකින් මෙම බෝධි වෘක්ෂය රෝපණය කර ඇත්තේ ගම්පොළ යුගයේ දී මේ විහාරයේ වැඩවිසූ ධර්මකීර්ති මාහිමියන් විසිනි.

 

දේවාල දෙක
විහාරයේ කුටි දෙකෙන් පිටත කුටියේ දකුණු බිත්තියේ පිටතට පන්නා තැනූ කුටියක් ලෙසින් විෂ්ණු දේවාලයක් තනා තිබේ.

 

කලා නිර්මාණ
ගලින් නිම කළ සඳකඩපහණ, කොරවක්ගල වැනි නිර්මාණ මෙහිදී දැකගත හැක. විහාරගෙයි ඇතුළු බිත්තියේ සිතුවම් කිහිපයක් ඇඳ තිබේ. එහෙත් ගඩලාදෙණි විහාරය සිතුවම් අතින් එතරම් ප්‍රකට විහාරයක් නොවේ.


 

ගඩලාදෙණිය පිළිබඳ ජනප්‍රවාද

 

 

ගඩලාදෙණියට නම සෑදුණු අයුරු

 

මේ පිළිබඳ මත දෙකක් ජනප්‍රවාදයේ පවතී. ඉන් එක් මතයක් වන්නේ විහාරස්ථානයට ආසන්නයේ පිහිටි දෙණිය නැමැති ස්ථානයෙන් මෙම විහාරය ඉදිකිරීම සදහා අවශ්‍ය ගල්කඩාගෙනආ බවත් ඒ නිසා මුල් කාලයේ කඩලාදෙනිය නමින් හැදින්වී පසුව ජන ව්‍යවහාරයේ දී කඩලාදෙණිය යන්න ගඩලාදෙණිය ලෙස වෙනස් වූ බව ය. අනෙක් මතය නම් විහාරය ඉදිකිරීමට තෝරා ගත් දෙණිය නම් වූ ස්ථානයේ ගඩොල නමින් අල වර්ගයක් උඩට මතුවූ බැවින් ගඩොල ආ දෙණිය නම් වූ බව යි. මේ නම පසු කාලයේ ගඩොලාදෙණිය ලෙසත් ඊටත් පසු කාලයේ ගඩලාදෙණිය ලෙසත් වෙනස් වූ බව යි.

 

 

තොරතුරු - අමිල කෝසල උඩවත්ත. - සමන් කුමාර විජේරත්න.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

Read 4871 times
உருவாக்கம்
த.தொ.தொ கிளை, கல்வியமைச்சு,இலங்கை
பக்க வரிசைப்படுத்தல் | மறுப்பு
பதிப்புரிமை © 2012-2016 | த.தொ.தொ கிளை, கல்வியமைச்சு,இலங்கை