Print this page

අකතඤඤුත ජාතකය 90

Written by

තවද ශාක්‍යකුලකල්පදාම වූ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර නිසා ජේතවනාරමයෙහි වැඩවසනසේක්, මේ ජාතකය අනේපිඬු මහසිටාණන් අරභයා වදාළසේක.

 

හේ කෙසේදැ’යි යතහොත්?

 

අනේපිඬු මහාසිටාණන්ට පසල්දනව්වැසි එක්තරා සිටාණකෙනෙක් අදෘෂ්ටමිත‍්‍රව වාසය කරන්නාහුය.එකල්හි ඒ පසල්දනව්වෙහි උපදනා බඩුයෙන් ගැල්පන්සියයක් බඩුපුරා තමන්ගේ කාරියෙහි නියුක්ත පුරුෂයන් කැඳවා දරුවනි, තොපි හැමදෙන මේ ගැල්පන්සියයෙහි බඩු ගෙන්වාගෙන ගොස්, සැවැත්නුවර අපගේ යාළු වූ අනේපිඬුමහසිටාණ සම්මුඛයෙහි ගෙන ගියාවූ බඩු විකුට, ඒ රටින් අපට උවමනා බඩුවක් ගෙනඑව’යි විධානකළාහ. ඒ පුරුෂයෝ සිටාණන්ගේ බස්ගිවිසගෙන බඩුගෙන්වාගෙන සැවැත්නුවර අනේපිඬුමහසිටාණන් දැක, ඒ බඩු හා පඬුරුත් දක්වා දී තමන් ආ පවතුත් සිටාණන්ට කීවාහු ය.මහසිටාණෝ ද ඔවුන් දැක අප ළඟට තොප හැම ආයේ ඉතා යහපතැ’යි කියා හිඳිනා නවාතැන් බත් වැටුප් ආදිය ද දෙවෙව්වාහු ය. අපගේ මිත‍්‍ර වූ මහසිටාණන්ට සුවදුක් කීමදැ’යි විචාරා සමීපයට එවූ බඩු පඬුරු විකුණවා මිල පුරුෂයන්ට දෙව්වාහු ය. තමන්ගේ පසල්දනව්වට ගොසින් ඒ කාරණය තමන්ගේ සිටාණන්ට කීවාහු ය.

 

තවද මෑතභාගයෙහි එක්සමයෙක්හි අනේපිඬුමහසිටාණෝ බඩුපිරූ පන්සියයක් ගැල් පසල්දනව්වට යව්වාහු ය .සිටාණන්ගේ මිනිස්සු පසල් දනව්වට ගොසින් තමන් ගෙනගිය පඬුරු පසල්දනව්වැසි සිටාණන්ට පෑදූට හ. සිටාණෝ ද තොපි හැම කොයිසිට අව්දැ’යි විචාරා, සැවැත්නුවර නුඹ වහන්සේගේ යහළු වූ අනේපිඬුසිටාණන්වහන්සේ ළඟසිට ආම්හ’යි කී කල්හි අනේපිඬුමහසිටාණෝ යයි යන නමකුත් මිනිසුන්ට ඇද්දැ’යි අප හා සරිකොට කියා තමන් යව් පඬුරුත් ඇරගෙන යහපත තොපි නික්මෙව’යි කීහ. ගිය පුරුෂයන්ට හිඳිනා තැනක්වත් බත් වැටුප් ආදියක්වත් විචාරා නුදුන්හ.

 

එකල්හි ගියපුරුෂයෝ තමන් ගෙනගිය පඬුරු තුමූ ම විකුට ඒ රටින් උවමනා පඬුරු ඇරගෙන සැවැත්නුවරට ගොසින් අනේපිඬුමහසිටාණන්ට එපවත් කීවාහු ය. නැවත කලාතුරකින් පසල්දනව්වාසී සිටාණෝ ගැල් පන්සියයක් බඩුපුරවා සැවැත්නුවරට යව්වාහු ය. ඒ පුරුෂයෝ තමන් ගෙනගිය පඬුරු ඇරගෙන අනේපිඬුමහසිටාණන්ට දුටහ. එකල්හි අනේපිඬුමහසිටාණන්ගේ මිනිස්සු මෙසේ කීහ. “ස්වාමීනි, මේ ආ සියල්ලවුන්ට හිඳිනා ගෙවල්, බත් වැටුප් දීමත් අපට භාරයයි කියා ඔවුන්ගේ ගැල්, පිටි නුවර එක්තරා ස්ථානයක මුදවා තොපි හැමදෙනම මෙතැන්හි ඉඳුව’යි තොපි හැමදෙනාටම බත් බුලත් ආදීවූ සියල්ලම අපගෙන් ලැබෙන්නේ යයි කියා ඔවුන් විචරක් නොහැර උදුරගෙන රථ අදිනා ගොන් ඒ ඒ තැන ලුහුබඳවා ගැලින් රතසක්ගලවා ගැල්පිට තබා ගැලසක් හැරගෙන ගියාහු ය.ඒ පසල්දනව් වැස්සෝ තමතමන් හැඳිපෙරවි අහිමිව මහත්වූ භයින් තැතිගෙන, නොරඳා යුහුව නික්මුනාහුය”, අනේපිඬුමහසිටාණන්ගේ මිනිස්සු තමන් ඒ කළා වූ පවත් සිටාණන්ට කීවාහු ය .

 

සිටාණෝ ද එපවත් අසා සර්වඥයන්වහන්සේට දන්වන්ට සුදුසු වූ බස් පඬුරෙකැයි සිතාගෙන සර්වඥයන්වහන්සේ සමීපයට ගොසින් ආදියෙහි පටන්ගෙන තමන් කළ කටයුතු සහ පසල්දනව්වැසි සිටාණන් කළදෙයත් සවඥයන්වහන්සේට දැන්වූවාහු ය.ඒ වේලෙහි බුදුහු වදාරණසේක් එම්බල ගහපතිය පසල්දනව්වැසි සිටාණන් කෙළෙහිගුණ උපකාර නොදත්තේ දැන්මතුනොවෙයි, යටගියදවසත් කෙළෙහිගුණ උපකාර නො දත්තෝමය’යි වදාරා සිටාණන් විසින් ආරාධිතවූ බුදුහු ඉකුත්වත් දක්වා වදාළසේක.

 

හේ කෙසේදැයි යතහොත්?

 

යටගියදවස බරණැස්නුවර බ‍්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍යය කරන සමයෙහි පුරනලද බෝධි සම්හාර ඇති අප මහබෝසතාණන් වහන්සේ බරණැස මහාසම්පත් ඇත්තාවූ සිටුකුලයක උපන්නාහ, ඒ බොධිසත්‍වයන්ට අදෘෂ්ටමිත‍්‍රව වාසයකරන්නා වූ පසල්දනව්වැසි අනික් සිටාණ කෙනෙක් ද වූවාහ’යි කියා ඒ සියලු ඉකුත්වත් කථාව වර්තමාන කථාව හා සදෘෂවන්නේ ය. බොධිසත්‍වයෝ වනාහි තමාගේ මිනිසුන් අද මේ කටයුත්තක් අප විසින් කරනලදැයි කියා අවුත් තමන්ට කීකල්හි පළමුව අනුන් විසින් තමාට කළාවූ උපකාරයක් නොදන්නාවූ යම් සත්‍වකෙනෙක් ඇත්නම් මෙබඳු විකාරයට පැමිණෙන්නාහුයයි කියා සම්ප‍්‍රාප්තවූ පර්ෂදට ධර්මදේශනා කරන්නාවූ බොධිසත්‍වයෝ මේ ලෝකයෙහි ක්‍ෂත‍්‍රිය බ‍්‍රාහමණාදී වූ යම්කිසි පුරුෂයෙක් අනුන් විසින් පළමුකොට තමා කරනලද්දාවූ උපකරණයක් නොදන්නා වූ අඥානපුරුෂතෙම කුදු මහත් යම්කිසි කටයුත්තක් තමාට පැමිණගියාවූ යම්කාලයෙක් ඇද්ද එබඳු කාලයෙහි ඊට ප‍්‍රතිබලව සිටියවූ අනික්සහයක්වත් නො ලබන්නේ යයි යනාදී ධර්මදේශනාකොට තුමූ දිවිපමණින් දානාදී පින්කම්කොට තමාගේ කම්වූ පරිද්දෙන් මිය පරලොව ගියාහ, ශාස්තෲ වූ බුදුරජාණන්වහන්සේ ජාතක ධර්මදේශනාව ගෙනහැරදක්වා වදාරා, ජාතකය පූර්වාපර සන්‍ධිගළපා නිමවා වදාළසේක. එකල්හි පසල්දනව්වැසි සිටාණෝ නම් දැන් මේ පසල්දනව්වැසි සිටාණෝ ය, බරණැස්නුවර සිටාණෝ නම් මේ සර්වඥපදප‍්‍රාප්තවූ මම්ම වේදැ’යි තමන්වහන්සේ දක්වා වදාළසේක.

 

උපුටා ගැනීම- පන්සියපනස් ජාතක පොත්වහන්සේ

Read 1766 times