Print this page

අලීනචිත්ත ජාතකය 153

Written by

තව ද සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි වීර්ය අඩු කළ භික්ෂූන් කෙනෙකුන් නිසා මේ ජාතකය දක්වන ලද, මෙහි වර්තමාන කථාව එකාදය නිපාතයෙහි සීවලී ජාතකයෙහි විස්තර වශයෙන් බස්නේය.මෙහි සර්වඥයන් වහන්සේ මහණ, දැන් තොපගේ වීර්යය අඩුපමණක් විනා ආදී තොපගේ විර්ය බලයෙන් දොළොස් යොදුන් බරණැස්නුවර වටලාගත් සේනාව බිඳුවා රාජ්ජය ගෙනදුන්නේ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළ සේක.

 

ඒ කෙසේද යත් යටගිය දවස බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍යකරන සමයෙහි වඩුවෝ පන්සියයක් ඒ නුවර මංපාදී දෙසවලට ගොස් දඬුපත් කපාගෙනවුත් කර්මාන්ත කරන්නාහ. එසමයෙහි වඩුවෝ සිතන්නාහූ දඬුපත් කපාදාගත මෙතනට එන්නා සුලභව ලබනතෙන ගෙවල් කොටාගෙන වසන්නාහ. එසමයෙහි එක් මහා ඇතෙක් ගොදුරු සොයා ඒ ඒ තැන ඇවිදිනේ දිරාගිය කිහිරිගසෙක පය උලා ඇනී මහත්වූ වේදනාවෙන් තුන් පසයක් ඇණ, වඩුවන් උන්තෙනට අවුත් වැටීපියා වැදහොත්තේය. ඒ වෙලාවට වඩුවෝ එතනට අවුත් ඇතු පය ඇනුණු උල දැක වටින් අවුළුවා උල ඇද බෙහෙත් කොට වණය සුවකළාහ. එවිට ඇතු තමාට කළ උපකාරය දැක ප්‍රත්‍යුපකාර කරන්ට උවමැනවැයි සිතා ඇතා එතැන්පටන් මෙහෙකරන්ට පටන්ගත. මේ නියායෙන් දවස්පතා දඬු ඇදීම් දඬු පෙරළීම් ආදී මෙහෙවරකොට වඩුවන් විසින් දවස්පතා ලබන බත්පිඩි පන්සියය කා, දවස් ඇර, තමා දුර්වලවන්නා සිතන්නේ ‘මෙහෙකොටගන්ට ශක්ති මදව එසේ හෙයින් තමන්ගේ පුත්වන අජානීය ඇත්පැටවා මෙහෙයට ලා යෙමි’සිතා ඇත්පැටවා වඩුවන් ළඟට ගෙනවුත් පුත, මා කළ මෙහෙ ලෙස වඩුවන් සිත්ගෙන මෙහෙකරවයි කියා වඩුවන්ට පාවාදී ගියේය.

 

ඒ ඇත්පැටවාත් වඩුවන් සිත්ගෙන මෙහෙකොට වඩු කුඩා කොල්ලන් හා සමග දියකෙළි ආදී වූ කෙළිත් කෙළිනේය. අජානීය ඇත් ගොඩ මිස දියෙහි මළමුත්‍ර නොකරන්නේය. එක්දවසක් වට වැස්සකින් ඉලත්තියෙක් දියේ වැටී ගස්වලක අස්සේ වැටී ගියේය. බරණැස්නුවර ඇත්තලයෝ ඇතුන් නාවන්ට ගොස් ගගට බැස ඇත් ඉලත්තිය ආඝ්‍රාණය කොට දියට නො බසිනාහ. එවිට ඇත්තලයෝ කුමන කාරණයක්දෝහෝයි පරීක්ෂා කොට ඒ ඉලත්තිය කලන්දුකොට ඇතුන්ගේ ඇඟ ඉස්සාහ. සුවඳ ඇති ඉලත්තිය ඇඟ වැදගත්තා හා සමාන කොට සිතා සතුටුව දියට බැස දිය කෙළියාහ.ඇත්තලයෝ වඩුගම අජානීය හස්තියා ඇතිනියාව දැන රජ්ජුරුවන්ට එපවත් කියා මගුලැත්කමට නිසි ඒ ඇතා ගෙන්වා ගතහොත් යහපතැයි දැන්වූහ. රජ්ජුරුවෝ එපවත් අසා සතුටුව ඔරු පාරු පණත්කොට වඩුවන් ඉන්නා උඩුගන් බලා ගියාහ. ඒ වෙලාවට ඇත්පැටවාත් දියකෙළිමින් සිටි පංචාංගික තූර්යනාද අසා ගොඩ අවුත් වඩුවන් ළඟ සිටියෝය.

 

ඒ වෙලාවට රජ්ජුරුවන්ට වඩුවෝ පෙර ගමන්කොට රජ්ජුරුවන් වහන්සේ දැක වැඳ බලා ගැත්තවුන්ගෙන් දඬු පතින් ප්‍රයෝජන ඇත්නම් මිනිස් කෙනෙකුන් අත කියා එවන්නෝමෝ වේදැයි වැඩියේ ඇයිදැයි විචාළහ. එවිට රජ්ජුරුවෝ තොප ඇමගෙන් දඬු පත් ඉල්ලවා නො ආම්හයි කීහ. එවිට වඩුවෝ කියන්නෝ යහපත ඇරගෙන වඩිනාබව යහපතැයි කීහ. රජ්ජුරුවෝ ඒ ඇතා ගෙනයන්ට යොමු කළහ. ඒ ඇත් යන්ට මැලිවිය. රජ්ජුරුවන් විසින් මේ කුමන නිසාදැයි විචාරන්නා එවිට වඩුවෝ කියන්නෝ තමා රැකී මිලදී යන අභිප්‍රාය ඇතිවයයි කියන්නා, රජ්ජුරුවෝ ඇතු මිලකොට සොඬ ලක්ෂයක් අගනා කොට, සතරපය සාරලක්ෂයක් වටිනාකොට, වල්ගය ලක්ෂයක් වටිනාකොටත් මේ නියායෙන් ඇතුට සලක්ෂයක් මිලකොට වඩුවන්ට එපමණ මිලදී ඇතාගෙනයන්ට උත්සහකළත් ඇතා යන්ට මැලිවිය. එවිට රජ්ජුරුවන් විසින් මැලිවන්ට කාරණා කිම්දැයි විචාරන්නා වඩුවන් පන්සියයට පිළිසි දෙන නිසායයි කියන්නාහ. එවිට රජ්ජුරුවෝ වඩුවන්ට පිළි දී එසේත් මැලිවනසෙයින් වඩුවන් විසින් පන්සියයක් බිරින්දන් පන්සියයටත් පිළි දීත් එසේත් පමාවන හෙයින් වඩුවන්ගේ දරුවන් ආදීන්ටත් වැල්වළලු ආදී කර්මාන්ත දී ඉක්බිති කිසිකෙනෙකු හන් නොකොට ඉන්දදීම තෙමේම නික්මිනි.

 

එවිට බරණැස් රජ්ජුරුවෝ ඇතා ඇරගෙන නුවර ඇත්තල දිව්‍යපුරයක් මෙන් සරහා නුවරට ගෙන්වත් තමන්ට මගුල් සහසනය කොට සලස්වා තමන්ට ඇතියම්ම පෙරෙහැරක් ඇත්රජ්ජුරුවන්ටත් සලස්වාලා වාසස්ථාන දවස්රිනා සමයෙහි ඇත් රජ්ජුරුවන්ගේ ආනුභාවයෙන් ඒ රජ්ජුරුවෝ සිත්ගෙන වාසය කරන්නාහ. එසමයෙහි බෝධිසත්වයෝ ඒ රජ්ජුරුවන්ගේ අග්‍රමෙහෙසිකා බිසවුන් කුස පිළිසිඳ දසඑකඩ මසක් පුරා වදන අවස්ථාවට එක්තරා ව්‍යාධියකින් බරණැස් රජ්ජුරුවෝ නැසී ගියේය. එවිට අමාත්‍යයෝ රජ්ජුරුවන් මළ පුවත් ඇත්රජ්ජුරුවන්ට කීවොත් ඇත් රජ්ජුරුවෝ නැසියෙති සිතා නො කීවාහ. ඒ අවස්ථාවට කෝසල රජ්ජුරුවෝ කාත් නැති රාජ්ජය හෙයින් මා සන්තකයයි කියා ඇවිත් නුවර වටකොටගෙන රාජ්ජය හෝ දෙව යුද්ධ හෝ කරවයි කියා පත් යව්වාහ ය. එබස් ඇසූ බරණැස් නුවර අමාත්‍යයෝ කියා යවන්නාහු ශාමුද්‍රික දන්නා බමුණෝ බිසවුන් වහන්සේගේ බඩ පිරිමි කුමාරයෙක් සත් දවසකින් බිහිවෙති කිහ. එබස් නියම දත් කල රාජ්ජය දෙතත් යුද්ධ කරත් එවිටයයි කියා කැඩපත් යවුහ. එබස් ඇසූ කෝසල රජ්ජුරුවෝ යහපතැයි කියා ගිවිස්සාය.

 

මේ නියායෙන් සත්දා ගිය පසු බෝධිසත්වයෝ උපන්නාහ. උපන් පසු සේනාව තල්ලු පසු යුද්ධ කරවන්ට වැද පිටතල නැතිහෙයින් සේනාව බිඳබිඳ අනිලන්නාහ. එපවත් අමාත්‍යයෝ බිසවුන්ට පලාගොස් කියන්නාහු පිටබල නැති හෙයින් යුද්ධ කළ නොහැක්ක. එසේ හෙයින් රජ්ජුරුවන් වහන්සේ මළ නියාවත් රාජකුමාරයන් වහන්සේ උපන් නිසා ඇත් රජ්ජුරුවන්ට කියා ඇත් රජ්ජුරුවන් පිටිවහකොටගෙන යුද්ධ කරම්හයි කීහ. එබස් බිසව අසා යහපතැයි බෝධිසත්වයන් දුහු කල වැදහොවා ගෙන ඇතා කරාගොස් කියන්නාහු නුඹ වහන්සේගේ යාළු වූ රජ්ජුරුවන් වහන්සේ නැසුණු නියාව නුඹ වහන්සේ ශෝකයෙන් පැලෙතියි සිතා නො කීම්හ.

 

ඒ අවසරයෙන් කෝසල රජ්ජුරුවෝ අවුත් නුවර වටකොට ගත්තෑය. එසේ හෙයින් නුඹ වහන්සේගේ යාළු රජ්ජුරුවන්ගේ පුතණුවන් මරතත් නුඹවහන්සේම මැරුව මැනව. නැවත රාජ්ජය ගෙනදෙතත් දුනමැනවයි. කියා ඇතා පාමුල රාජකුමාරයන් ඉඳුවුහ. එවිට ඇත්රාජයන් කුමාරයන් වඩා ඉස තිබාගෙන අඬා මෑණියන් වහන්සේට පාවාදී සේවාකමට නික්මුණේය. එවිට අමාත්‍යයෝ ඇත් රජ්ජුරුවන් සන්නාහයෙන් සන්නද්ධ කරවා සරහා සතර වාසල් දොර අළහ. එවිට ඇත් සේනාව සමුර්ධියෙන් නුවරින් පිටත්ව කුඤ්චනාද කොට ඒ ඒ සත්ත්වයන් නොයෙක් තැන ලුහුබඳවා පළමුව රජ්ජුරුවන්ගේ බලකොටුව බිඳ රජ්ජුරුවන් ජීවග්‍රහයෙන් ඉසකේ පත්ගසා අල්වාගෙන අවුත් රාජ කුමාරයන් දක්වා බොහෝ දෙනම මරන්ට කී ගමනේ මැරීය නො දී ඉනික්බිති මෙසේ වූ දෙයක් නො කරවයි අවවාද කියා උන්ගේ රටට යවුහ. බෝධිසත්වයන්ටත් සියල්ලන්ගේ සිත් සන්තෝෂකරවා උන් විසින් අලිනචිත්තයයි නම් තුබූකල්හි සත් ඇවිරිදි අවස්ථාවේ අභිෂේකකොට එක්සියයක් රාජධානිවල රජදරුවන්ට නායකව දැහැමෙන් රාජ්‍යය කොට කම්වූ පරිද්දෙන් මිය පරලොව ගියාහයි වදාරා මහණෙනි, ඒ ඇතුන්ගේ විර්ය බලයෙන් බිළිඳු කුමාරයන්ට පවා රාජ්ජය දුන්නුය. එසේ හෙයින් මහණෙනි වීර්ය ම කළමනායයි වදාළ සේක.

 

මේ දේශනාව අවසානයෙහිදි වීර්ය අඩුවූ භික්ෂූන් වහන්සේ සියලු කෙලෙසුන් නසා අර්හත් භාවයට පැමිණිසේක. එසමයෙහි ඒ රාජ කුමාරයන් ගේ මෑණියෝ නම් මහාමායා දේවියන් වහන්සේ ය. පියරජ්ජුරුවෝ නම් සුද්ධෝදන රජු ය. ඒ අජානීය හස්තියා නම් මේ වීර්ය අඩු වූ භික්ෂූන් ය. ඒ ඇතුට පිය වූ මහඇත් නම් සාරිපුත්‍ර ස්ථවිරිය අලිනසන්තු කුමාරව උපන්නෙම් දැන් බුදුවු මම් ම යයි වදාරා අලිනචින්ත ජාතකය නිමවා වදාළ සේක.

 

උපුටා ගැනීම- පන්සියපනස් ජාතක පොත් වහන්සේ

Read 2120 times