සඳකඩපහණ

Written by

සඳකඩපහණ හෙවත් අඩසඳපහණ -සඳෙන් අඩක හැඩය ගත් කලාත්මක නිර්මාණය යි. පුජනීය හෝ රාජකීය ගොඩනැගිල්ලකට ඇතුළු වන ස්ථානයේ ඇති පියගැටපෙළ පා මුල ඇති අර්ධ චන්ද්‍රාකාර ශෛලමය පාටිකාවයි. මෙය මුල් කාලීනව පියගැටපෙළේ පළමු පියගැටය සේ භාවිත වූ බවක් ද සාහිත්‍ය මූලාශ‍්‍ර ගත තොරතුරු අනුව අනුමාන කළ හැක. වංසත්ථප්පකාසිනියට අනුව පෙනෙන්නේ මෙයට අඩසඳ පියගැටය යන අරුත ලැබී තිබූ බවය.

මෙහි ඉතිහාසය ක‍්‍රි. පූ.3වන සියවසටත් වඩා පැරණි බව මහාවග්ගපාලියට අනුව අවබෝධ කොට ගත හැක. ක‍්‍රි. පූ.3වන සියවසට පෙර ඉන්දියාවේ දී රචනා වූයේ යැයි සැලකෙන මහාවග්ගපාලියේ ද අඩසඳපහණ පිළිබඳව සහන් වේ. එහෙත් අඩසඳපහණ යන නාමය වෙනුවට එහි ඇත්තේ පාටිකාව යන නාමය යි. ඊට අනුව යටත් පිරිසෙයින් උතුරු ඉන්දියාවේ වත් මේ යුගය වන විට අඩසඳපහණ හෝ එහි මුල් පරිණාමී අවස්ථාවක් භාවිතයේ තිබී ඇත. එහෙත් ඉන්දීය සඳකඩපහණ දක්නට ලැබුණේ අමරාවතී,නාගර්ජුනකොණ්ඩ,සාංචි,අජන්තා,එල්ලෝරා වැනි බෞද්ධ පූජ්‍යස්ථාන ආශ‍්‍රිතව පමණි. ලංකාවේ ද සඳකඩපහණ මුල් යුගයේ දී දක්නට ලැබුණේ බෞද්ධ පූජ්‍යස්ථාන වල පමණක් යැයි ‍‍හැ‍‍ඟේ. මෙම සම්ප‍්‍රදාය වෙනස් වන්නේ පොළොන්නරු යුගයේ දී විය යුතුය. පොළොන්නරුවේ රාජසභා මණ්ඩපයේ පිවිසුම් පියගැටපෙළ පාමුල සඳකඩපහණක් දක්නට ලැබේ. ඇතැම් විට රාජකීය වැදගත්කමක් ඇති ස්ථානයක පළමුවරට සඳකඩපහණක් සවි කරන්නට ඇත්තේ මේ ස්ථානයේ වියහැක.

ඉහතින් කී මූලාශ‍්‍රයට අමතරව සමන්තපාසාදිකාවේ ද (අඞ්ඩචන්දපාසාන),මහාවංසයේ ද (පාටිකා),වංසත්ථප්පකාසිනියේ ද (අඞ්ඩචන්දපද ගණ්ඨිකා) වැනි මූලාශ‍්‍රය වල ද අඩසඳපහණ පිළිබඳව සඳහන් වේ. රුවන්මැලි සෑ ධාතු නිධානය පිළිබඳ මහාවංසයේ සඳහන් වන තොරතුරු අතර සඳකඩපහණක් පිළිබඳව ද සඳහන් වේ. රුවන්මැලි සෑ මහා චෛත්‍යයේ නිදන් කිරීම පිණිස ධාතු රැගෙන ඒමට නා ලොවට වැඩි සෝණුත්තර හිමියෝ නා රජුට තමා පැමිණි අරමුණ ප‍්‍රකාශ කළ පසු තමා සන්තකයේ පැවති ධාතු ලබා දීමට නා රජු දැඩි අකමැත්තක් ප‍්‍රකාශ කළේය. තමන් එම ධාතු තැම්පත් කර ඇති චෛත්‍යය පිළිබඳව වර්ණනාවක් කරන නා රජු මුළු ලක්දිවෙහි ම ඇති සියලූ මාණික්‍යයන් එක් රැස් කළ ද ඒවා මේ චෛ්‍යයේ පියගැටපෙළෙහි පා මුල පියගැටය (සෝපාණන්තෙ පාටිකං) තරම් වත් නොවටිනා බව කීය. පියගැටපෙළ පාමුල මේ පියගැටය සඳකඩපහණ හෝ ඊට සම නිර්මාණයක් විය යුතුය. පොළොන්නරු යුගයේ දී ලියැවුණු භාවනා පරිච්ජේද නම් කෘතියේ ද මේ කථා පුවත මේ ආකාරයෙන් ම සඳහන් කර පටිකයන්නට සඳකඩපහණ යන අරුත දී ඇත. සඳකඩපහණ යන වදන මුල් වරට සඳහන් වන්නේ මේ මූලාශ‍්‍රයේ (භාවනා පරිච්ඡේද) විය යුතු යැයි ගුණපාල සේනාධීර මහතා පවසයි (ඒ මහත්මා විසින් විරචිත මංගල සංකේත හා සඳකඩපහණ නම් කෘතිය අනුවය. එහෙත් සෙනරත් පරණවිතාන මහතා කියන්නේ අඩසඳපහණ ලංකාවේ වෙහෙර විහාර ආදියේ පියගැටපෙළ පාමුලට එක් වූයේ අනුරාධපුර යුගයේ අග සියවස් තුන ඇතුළත දී බවයි. (ඒ මහතා ලියූහපඉදකසජ ිසටබසසෙජ්බජැ දෙ එයැ ඵදදබිඑදබැ' ලිපිය අනුවය.) එහෙත් සඳකඩපහණේ මුල් අවස්ථා වශයෙන් පිළි ගන්නා සරල සැරසිලි සහිත ශෛලමය පාටිකාව පියගැටපෙළ පාමුලට එක්වී ඇත්තේ ඊට පෙර වියයුතුය. අනුරාධපුර අභයගිරියේ සන්නිපාතශාලාව නමින් හඳුන්වන ගොඩනැගිල්ලේ ශෛලමය පියගැටපෙළ පාමුල ඇති පාටිකාව ඊට උදාහරණ වේ. මීටර 3. 64ක් දිග මීටර 0.56ක් පළල මේ පාටිකාව චතුරශ‍්‍රාකාරය. සැරසිලි වලින් තොරය.

සැරසිලි එක්වීමට පෙර මේ පාටිකාවේ මූලික හැඩය වෙනස් වී අඩසඳ හැඩයට පත්ව තිබූ බව මහාවංසය හා පරණවිතාන මතය සංසන්දනාත්මකව විමසුමට ලක් කිරිමෙන් පෙනී යයි. ක‍්‍රි. ව.6 වන සියවසට පෙර ලියැවුණේ යැයි පිළිගැනෙන මහාවංසයේ අඞ්ඩචන්දපාද ගණ්ඨිකා යනුවෙන් සඳහන් වීමෙන් ම මේ යුගය වන විට මෙම පාටිකාව අඩසඳක හැඩය දක්වා වෙනස් වී තිබුණු බව පෙනේ. එහෙත් පරණවිතාන මහතා කියන්නේ සඳකඩ පහණ විහාර පියගැටපෙළ පාමුලට එක්වන්නේ ක‍්‍රි. ව.8වන සියවසට පමණ පසුව බවයි. පරණවිතාන මහතා අඩසඳපහණ ලෙස හඳුන්වන්නේ මෙම ශෛලමය නිර්මාණයට රූකම් එක්වූ පසු අවස්ථාවක් යැයි අනුමාන කළ හැක. සැරසිලි රහිත සඳකඩපහණ මිහින්තලේ වෙස්සගිරියේ තිසා වැව නොච්චිකුළම රිටිගල ආදී ස්ථාන වල ද දක්නට ලැබේ.

සඳකඩපහණ සඳහා භාවිත කළ පටික යන යෙදුම සංස්කෘතයේ 'පට්' යන ධාතුවෙන් නිපන්නකැයි මහැදුරු පරණවිතානයෝ පවසති. එතුමාට අනුව එහි වාච්‍ය අදහස 'වෙන් කර දක්වන- කැබලි කර දක්වන' යන්නයි. දාර්ශනිකාර්ථය නම් 'ප‍්‍රපඤ්ච ලෝකයෙන් ලෝකෝත්තර ලෝකය බෙදා දක්වන' යන්නයි.

සඳකඩපහණේ විකාශ අවස්ථා

      • 1. චතුරස්‍රාකාර ගල් පුවරුවක් වශයෙන් පැවති අවස්ථාව.
      • 2. කැටයම් රහිතව අඩසඳ හැඩයට පරිවර්තනය වූ අවස්ථාව.
      • 3. අඩ වෘත්තාකාර දාර මතු කළ අවස්ථාව.
      • 4. මැද නෙළුම පමණක් ඇති අවස්ථාව.
      • 5. සරළ රේඛා හා හැඩතල එක් වූ අවස්ථාව.
      • 6. අර්ථවත් රූකම් එක් වු අවස්ථාව.
      • 7. පොළොන්නරු යුගයේ දී විපර්යාසයකට බඳුන් වු අවස්ථාව.
      • 8. අර්ධ පද්මය පූර්ණ පද්මයක් බවට පත් වූ අවස්ථාව.
      • 9. මුලික හැඩය වෙනස් වී සත්ත්ව රූප වෙනුවට මල් ලියකම් එක් වූ අවස්ථාව.
      • 10. පරිහානි යුගය.


1. චතුරස්‍රාකාර පුවරුවක් සේ පැවති අවස්ථාව

මේ සඳහා හොඳම උදාහරණය හමුවන්නේ අභයගිරි විහාර සංකීර්ණයෙනි. අභයගිරි විහාර සංකීර්ණයට අයත් සන්නිපාත ශාලාවේ පියගැටපෙළ පාමුල ඇති චතුරස‍්‍රාකාර පාටිකාව දිගින් මීටර 3.64කි. පළල මීටර 0. 56කි. එහි කැටයම් කිසිවක් දක්නට නො ලැබේ. ඇතැමුන් මෙය ශෛලමය පා පිස්නාවක් සේ සලකතත් එම මතයෙන් පරිබාහිරව සිතන්නට පෙළඹිය යුතුය. මෙය පියගැටපෙළෙහි අලංකාරය වැඩි කරන්නට යෙදූ ගෘහ නිර්මාණාංගයක් සේ සැලකිය හැකිය. පියගැටපෙළට නියම ඇරඹුමක් සැපයෙන්නේ මේ මගිනි.මෙය නොමැති විට පියගැටපෙළ පදනමක් නොමැති අස්ථාවර අවශේෂ නිමැවුමක් සේ පෙනේ. පූජනීය හෝ රාජකීය අගය ඉස්මතු නොවේ. සඳකඩපණ එක් වූ කළ ඉහතින් කී සියල්ල ඉටු වේ. සමස්ත ගොඩනැගිල්ලට ම එයින් වටිනාකමක් එක්වේ. එ බැවින් මෙය හුදෙක් පාපිස්නාවක් නොව ගොඩනැගිල්ලට රාජකීය හෝ පූජනීය අගයක් එක් කළ සුවිශේෂ නිර්මාණයකි. කලාත්මක ගෘහ නිර්මාණ අංගයකි.

2. කැටයම් රහිතව අඩසඳ හැඩයට පරිවර්තනය වූ අවස්ථාව

ජේතවන විහාරභූමිය අශ‍්‍රිතව ම මීට උදාහරණ හමු වේ. ඉහතින් කී ගල් පුවරුව අඩසඳහැඩයට පරිවර්තනය වෙමින් ආ අවස්ථාවට ද අඩසඳ හැඩය ගත් අවස්ථාවට ද උදාහරණ කිහිපයක් මේ විහාර භූමියෙන් සොයාගත හැක. කැටයම් නැතත් මේවායේ මූලික හැඩය වෘත්තාකාර තත්ත්වයට ලං වී ඇත. මහැදුරු ගුණපාල සේනාධීරයෝ පවසන ආකාරයට මෙම හැඩය නිර්මාණය වීමට මූලිකවම බලපා ඇත්තේ පුරාණ හෙළ ඇදහිල්ලක් වූ සූර්ය ඇදහිල්ලයි. සඳකඩ පහණේ මේ හැඩය තුළ ඇත්තේ ද රැස් විහිදුවා ගත් හිරුගේ ස්වරූපය යැයි එතුමා වැඩිදුරටත් පවසති. (බලන්න ඒ මහත්මාගේ "මංගල සංකේත හා සඳකඩපහණ" නම් කෘතිය.)

3. අඩ වෘත්තාකාර දාර මතු කළ අවස්ථාව

මෙම අවස්ථාව වන විට සඳකඩපහණ සපුරා ම වාගේ අඩවෘත්තාකාර ස්වභාවයට පත්ව තිබුණු බව ඒ ආකාර උදාහරණ පරීක්ෂා කිරිමේ දී පෙනී යයි. එහි එකිනෙක කුඩා වෙමින් යන අඩ වෘත්තාකාර රේඛා සටහන් දක්නට ලැබේ. ජේතවන විහාර භූමිය ආශ‍්‍රිතව උදාහරණ දක්නට ලැබේ.

4. මැද අඩ නෙළුම පමණක් ඇති අවස්ථාව

මේ අවස්ථාවට අදාළ උදාහරණයන් ද ජේතවන භූමිය ආශ‍්‍රිතව හමු වී ඇත. ශෛලමය අඩසඳ පහණ මධ්‍යයේ අඩ නෙළුමක් පමණක් දක්නට ලැබේ. මෙහි චාම් සුන්දරත්වයක් දැක ගත හැක.

5. සරළ රේඛා හා හැඩතල එක් වූ අවස්ථාව

අර්ථයක් ප‍්‍රකාශ කිරීමට අපහසු අවස්ථාවකි. අඩසඳපහණේ සරළ සැරසිලි දක්නට ලැබේ.

6. අර්ථවත් රූකම් එක් වූ අවස්ථාව.

අඩසඳපහණේ ඉහළ ම විකාශ අවස්ථාව සේ පිළිගැනෙන්නේ ඊට අර්ථාන්විතව කැටයම් රූකම් එක් වූ අවස්ථාවයි. මේ ආකාරයේ සඳකඩපහණ පිළිබඳව මුල්ම නිදර්ශක හමුවන්නේ අනුරාධපුර යුගයේ දී ය. පොළොන්නරු මහනුවර ඈ යුගවල දී මේ කැටයම් රූකම් හි යම් යම් වෙනස්කම් ඇති වුව ද ඒ සියලූ අවස්ථා මේ සුවිශේෂ නිමාණයේ උසස්ම විකාශ අවස්ථාවේ කොටස් සේ සලකා විස්තර කෙරේ.

අර්ථාන්විත කැටයම් එක් වූ අවස්ථාවේ එසේ එක් වූ කැටයම් මොනවාද යන්න පළමුව විමසුමට බඳුන් කළ යුතු වෙයි. අඩසඳපහණ එකිනෙක ඇතුළත එකිනෙකට කුඩා වෙමින් පැතිර ගිය අඩ කවාකාර තීරු කිහිපයකින් කොටස් වලට බෙදී අවසන් තීරුවේ අඩ නෙළුමෙන් අවසන් වේ. අඩ නෙළුමට පෙර ඇති තීරු වල විවිධ රූප සටහන් වෙයි. ඒවා නම්,

1. පිටත තීරුවේ නාග දැල්ල හෙවත් ගිනි දැල්ල(ඇතැම් විචාරකයන්ට අනුව පළාපෙති රටාව)
2. දෙවැනි තීරුවේ සත්ත්වාවලිය(ඇත්,අස්,සිංහ,ගව යන සතුන් සිව් දෙනා)
3. තෙ වැනි තීරුවේ සංකීර්ණ ලියවැල
4. සිව්වැනි තීරුවේ හංසාවලිය
5. පංචම තීරයේ සරළ ලියවැල ආදී වශයෙනි.

පියගැට පෙළ පාමුල ඇති මේ අනර්ඝ කලා කෘතියේ ඇති මේ රූ කැටයම් වනාහි කලා විචාරකයන්ගේ නොමද අවධානය දිනා ගත් නිර්මාණ පෙළකි. එම නිසා ම මේ පිළිබඳව විවිධ විද්වතුන් විවිධ මත ඉදිරිපත් කර තිබේ. එච්. සී. පී. බෙල් මහතා බෙංජමින් රෝලන්ඞ් මහතා විලියම් ඊ. වෝඞ් මහතා වින්සන්ට් ස්මිත් මහතා ඞී. ටී. දේවේන්ද්‍ර මහතා මාර්ටින් වික‍්‍රමසිංහ මහතා විනී විතාරණ මහතා වැන්නෝ සමග පුරාවිද්‍යා මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා ද වෙයි.

මාර්ටින් වික‍්‍රමසිංහ මහතාගේ මතය (සාරාංශය)

පොළොන්නරු යුගයේ සඳකඩ පහණේ වෙනස්කම් සඳහා බලපෑවේ හින්දු සමයයි. එහෙත් හෙළ රජවරුන් හින්දු සමයේ සංස්කෘතියේ ද ගොදුරු බවට පත්ව තිබීම මේ වෙනසට තදින් බලපා ඇත. ගවයා ඉවත් වීමට මතු නොව හංසයා සඳකඩපහණේ උපරිස්ථානයකට පැමිණෙන්නේ ද හින්දු සමයේ ආභාසයෙනි. අනුරාධපුර සමයේ දී සඳකඩ පහණේ අඩ නෙළුමට ආසන්නයේ ම ඇති අඩ කවයේ සිටි හංසයා පොළොන්නරු යුගයේ දී පිටත පළමු අඩ කවයට පැමිණ ඇත. එසේ පැමිණෙන්නට ඇත්තේ හංසයා බ‍්‍රහ්මගේ වාහනය නිසා විය යුතුය. විෂ්ණු ගේ අවතාරයක් නිසා විය යුතුය. තවුස් දම් රැක සියලූ ආශාවන් නසා බ‍්‍රහ්මාස්වාදය ලබන යෝගීන් හින්දු සමයේ හැඳින්වෙන්නේ ද ‘පරම හංස’යන නාමයෙනි. එහෙත් අනුරාධපුර යුගයේ දී හංසයා ද ඇතා අශ්වයා ගවයා සිංහයා වැනි සතුන් ද සඳකඩ පහණේ යෙදුවේ ඇයි ද යන්න විමසිය යුතු වෙයි. සිංහයා කාලි දේවියගේ වාහනයයි. ඇතා වෛදික දෙවියෙකු වූ ඉන්ද්‍ර ගේ වාහනයයි. ඉහතින් දැක්වූ ආකාරයට හංසයා බ‍්‍රහ්මගේ වාහනයයි. විෂ්ණු ගේ අවතාරයක් ද වෙයි. මේ ආකාරයෙන් හින්දු සමය හා සබැඳි සත්ත්ව රූප සකඩ පහණට යොදනු ලැබූයේ අනුරාධපුර යුගයේ අග දී පමණ හිස ඔසවමින් ආ මහායාන බුදු සමයේ හා හින්දු සමයේ තෙද බිිඳිිිින්නට විය යුතුය. තව ද ගුරුළු ගෝමීන් ධර්මප‍්‍රදීපිකාවේ දක්වන ආකාරයට බුදුරදුන්ගේ පා තලයේ දැක්වෙන චක‍්‍ර සංකේතයේ ඇත් අස් ගව සිංහ හංසාදී රූප ඇත්තේය. මේ සත්ත්ව සංකේත හින්දු දෙවි වරුන්ගේ වාහන හා අවතාර පිළිබඳසංකේතයන් වන නිසා මේ සියලූ දෙවිවරුන්ටත් වඩා බුදුරදුන් උසස් යැයි දක්වන්නට මෙන් ඒවා බුදු සිරිපතුලේ දක්වන්නට ඇත. සඳකඩ පහණ වනාහි එම චක‍්‍රයෙන් අඩකි. එම නිසා සඳකඩ පහණින් සංකේතවත් වන්නේ හින්දු සමයේ හා මහායාන බුදු සමයේ තෙද බිඳදැමීමයි.

ඞී. ටී. දේවේන්ද්‍ර මහතාගේ මතය (සාරාංශය)

ඒ මහතා පවසන ආකාරයට මෙය ශෛලමය පා පිස්නාවකි. සඳකඩ පහණ සහ වෙනත් ලිපි යන මැයෙන් වර්ෂයේ ප‍්‍රකාශයට පත් කළ ඒ මහතාගේ කෘතියේ ආරම්භයේ දීම පරණවිතාන මතය පිළිගැනීම දුෂ්කර බව පවසමින් ප‍්‍රතික්ෂේප කර විවිධ සඳකඩපහණ ඇසුරෙන් සිය මතය ගොඩ නංවා ඇත. එහෙත් සඳකඩ පහණ යන යෙදුම වෙනුවට එතුමා බහුලව යොදාගෙන ඇති පහණගල් යන යෙදුම සදොස් බැව් නම් කිව යුතුය. සඳකඩ පහණ වනාහි ශෛලමය පා පිස්නාවකිය යන මතය සනාථ කිරීමට ඒ මහතා මහාවංසයේ එන කථා පුවතක් උපයෝගී කර ගනී. මහා සෑයේ තැම්පත් කිරීම පිණිස නා ලොවින් සර්වඥ ධාතු වැඩමවනු වස් එහි වැඩම කරන සෝණුත්තර නම් යතිවරයාණන් වහන්සේට නා රජු කී බස එහි අන්තර්ගතය.

ලංකාදීපමහි සකලෙසබබානි රතනානි පි - සෝපාණනෙත පාටිකමපි නාගඝනත’ඤෙඤසු කා කථා
ම.ව.පරි.61ගාථාව
(දීපවංසය් මේ විස්තර සහිත කොටස වියවුල් සහගතය. දොස් සහිතය (දීපවංසය. සංස්. ඤාණවිමල හිමි කිරිඇල්ලේ 1959)

සමන්තපාසාදිකාවේ මනරම් විස්තරයක් ඇත්තේය. ථූපවංසය ද මහාවංසය අනුව යමින් ඒ විස්තරය ම දක්වා ඇත්තේය.-ලියුම්කරුගේ සටහන)

ඉහත උපමාවේ ආකාරයට නම් සකඩ පහණ වනාහි පාපිස්නාවකි. ලංකාද්වීපයේ ම මාණික්‍යයෝ එක්ව ගත්ත ද ඒ සියල්ල සර්වඥධාතු වැඩ හිඳිනා දා ගෘහයේ පා පිස්නාව තරම් හෝ නො වටිනා බව කීම උචිත යෙදුමකි. එහෙත් සඳකඩ පහණ පා පිස්නාවකට සම බවට ඉඟියක් මහාවංසයේ තිබූ පමණින් ම එම මතය පිළිගතයුතු ද යන්න විමසුමට තර්කයට බඳුන් කළ යුතුය.

දේවේන්ද්‍ර මහතා තවදුරටත් සිය සිය අදහස විග‍්‍රහ කරමින් සඳකඩපහණට විවිධ රූ කැටයම් එත් වූයේ කලාවේ සේවයට යැයි ද පවසති. එසේ නොමැතිව ගැඹුරු අරුතක් ද්වනිත කිරීමේ අරමුණින් ඒවා නිර්මාණය කරන්නට ඇතයි යන මතය ඒ මහතා වක‍්‍රාකාරව ප‍්‍රතික්ෂේප කර ඇත. (දේවේන්ද්‍ර.ඞී.ටී.1970 සඳකඩපහණ සහ වෙනත් ලිපි කෘතිය 5-6 පිටු) මේ සඳ<හා උදාහරණ වශයෙන් ඒ මහතා නාගර්ජුනකොණ්ඩයේ සඳකඩපහණක් ද කැටයම් රූ කිසිත් නොමැතිව ලංකාවේ දක්නට ලැබෙන සඳකඩ පහණක් ද ගෙනහැරපාති. නාගර්ජුනකොණ්ඩයේ සඳකඩපහනේ ඇත්තේ ඔටුවා-මුවා-පියාපත් සහිත සිංහයා ආදී සතුන්ගේ රූපයන් ය. මෙම උදාහරණ දෙකට අමතරව ඒක කේන්ද්‍රීයව විහිදී ගිය අඩ වෘත්තාකාර රේඛා සටහන් පමණක් අතිව ලංකාවෙන් හමු වී ඇති සඳකඩ පහණක් ද උදාහරණ වශයෙන් දක්වා ඇත. සත්ත්ව රූප වලින් ගැඹුරු අරුතක් ජනනය කරන්නේ නම් ඉහතින් කී සඳකඩපහණ් පිළිබඳව කුමක් පැවසිය හැකි ද යන්න එතුමා වක‍්‍රව ප‍්‍රශ්න කරයි.

වෙනත් මත

ඔයැ සෙටමරුි චරදඉ්ඉකහ රුචරුිැබඑිී්එය්ර්ඩ්ර්ප ෘැඩසහයගක්‍ගඡුග ඊැකක (සඳකඩපහණේ සත්ත්ව රූප වලින් නිරූපණය වන්නේ සතරවරම් දෙවි වරුන්ය යනුවෙන් බෙල් මහතා මතයක් ඉදිරිපත් කරයි. එහෙත් ඒ මහතා මේ මතයේ තදින් ම එල්බ සිටියේ නැත.)

        • සඳකඩපහණේ සත්ත්ව රූප අතරින් ඇත්-අස්-ගව-සිංහ රූප වලින් සතරවරම් දෙවිවරුන් ද හංස රූප මගින් පංචම දිශාව හෙවත් අහස ද නිරූපණය වේ. බෙංජමින් රෝලන්ඞ් මහතා.
        • කඩ පහණේ අඩ පියුමෙන් පූජ්‍යස්ථානයට පිවිසෙන බැතිමතාගේ පූජා සංකේතය සංකේතවත් වේ. විලියම් ඊ. වෝඞ් මහතා.
        • කඩපහණේ පිටත ම තීරයේ ඇත්තේ නාග රටාවකි.- වින්සන්ට් ස්මිත් මහතා
        • සඳකඩපහණේ පිටත ම තීරයේ ඇත්තේ පලාපෙති රටාවකි.- ජේ. ජී ස්මිදර් මහතා
        • කඩපහණේ පිටත ම තීරයේ ඇත්තේ පලාපෙති රටාවකි.- ආනන්ද කුමාරස්වාමි මහතා

මේ සියලූ මතවාද අතර වඩාත් විචාරක අවධානය හිමි කර ගත්තේ පුරා විදු මහැදුරු සෙනරත් පරණවිතාන මහතා ඉදිරිපත් කළ මතයයි.
මේ ආකාරයට සඳකඩ පහණ පිළිබඳ විවිධ විද්වතුන් විවිධ මත දක්වා ඇත. ඇතැම් විට එම මතවාද වනාහි සඳකඩ පහණ නිර්මාණය කිරීමේ දී කලාකරුවා පවා නොසිතූ දේ විය හැක. එහෙත් මේ මතවාදයන් විසින් සඳකඩපහණට නවමු අගයක් එක් කර ඇති බව අවිවාදයෙන් ම පිළිගත යුතුය. එම නිසා මේ මත දැක්වීම් පිළිබඳ පොදුවේ අප තුළ ඇත්තේ ප‍්‍රසාදයකි. එහෙත් මේ මත දැක්වීම් තවත් අතකින් සඳකඩපහණේ ඉදිරි විකාශයට තරමක බාධාවක් වූ වග ද සිහිපත් කළ යුතුය. රජරට සමයේ දී සඳකඩ පහණ එහි වර්ධනයේ උපරිමය සාක්ෂාත් කරගත්තේය යන මතයේ පිහිටා මේ මතවාද ඉදිරිපත් තර තිබීම ඊට හේතුවයි. මේ නිසා සඳකඩපහණ තව දුරටත් වෙනස් නොවිය යුතුය යන මතය ගොඩනැගී ඇතැයි අනුමාන කළ හැක. ඒ කෙසේ වෙතත් සකඩපහණ තවදුරටත් විකාශය විය යුතුය යන මතයේ අපි සිටිමු.

අනුරපුර යුගයේ මතු නොව සඳකඩපහණ නමැති සුවිශිෂ්ඨ නිර්මාණය පිළිබඳව පොදුවේ අප දරනා මතයක් ද ඇත.‘සඳකඩපහණින් නිරූපණය වන්නේ භව චක‍්‍රයයි’යනුවෙන් පරණවිතාන මහතා ඉදිරිපත් කළ මතය අපි ද පිළිගන්නෙමු. එහෙත් යම් යම් සංශෝධන තිබේ. මූලික වශයෙන් ම සඳකඩ පහණ වනාහි ආගමික ගොඩනැගිලි වලට පමණක් සීමා විය යුතු නිර්මාණයකියි යන මතය ද එය එක්තරා ආකාරයක ආරාධනා ගලක්ය යන මතය ද අප තුළ ඇත්තේය. මේ නිර්මාණය අර්ධ චන්ද්‍රාකාර වුව ද එහි ඉතිරි අඩ පියගැටපෙළට වැසි ගොස් ඇතැයි උපකල්පනය කළහොත් පරණවිතාන මහතාගේ මතය තවත් නවමු ඉසව්වක් වෙත යොමු කිරිමට හැකි වනු ඇත. එහි විවෘතව ඇති අර්ධයෙන් මේ සසර චාරිකාව (භවය) පිළිබඳ අප දන්නා දෙයත් නිර්වාණය පිළිබඳ අප දන්නා දෙයත් නිරූපණය වේ. වැසී ඇති අර්ධයෙන් සසර පිළිබඳ අප ගවේෂණය කළ යුතු උගත යුතු අවබෝධයට ගත යුතු කොටසත් නිර්වාණය පිළිබඳ අප නොදත් කොටසත් නිරූපණය වේ. එසේ නොදත් දේ දැනගන්නට නොදත් දේ පිළිබඳ අවබෝධය (බුද්ධිය හෙවත් බෝධිය) ලබන්නට මේ පියගැටපෙළ තරණය කොට පිවිසෙන්නැයි සඳකඩ පහණෙන් ආරාධනාවක් ලැබේ. සකඩ පහණ එක්තරා ආකාරයක ආරාධනා ගලක් යැයි සඳහන් කළේ එ බැවිණි.සඳකඩපහණ පිළිබඳ පළවූ මතවාද අතරින් කිහිපයක් මීට ඉහත විමසා බැලීමු. මීළඟට විමසුමට ලක් කරන්නේ සඳකඩපහණේ සංකේතාර්ථ පිළිබඳ වඩාත් විවාදයට තුඩුදුන් මතය වන මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ මතය පිළිබඳවයි. දෙස් විදෙස් විද්වතුන්ගේ විවිධ ප‍්‍රතිචාර හමුවේ වුව ද අදත් වඩාත් ප‍්‍රචලිත මතය වන්නේ පරණවිතාන මතය යි.

පුරාවිද්‍යා විෂයක්ෂේත‍්‍රයෙන් මරට මතු නොව ජාත්‍යන්තර මට්ටමින් පවා කීර්තියක් අත්කරගෙන සිටි මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා මෙරට පෞරාණික කලා නිර්මාණ පිළිබඳ විටින් විට විවිධ මතවාද ඉදිරිපත් කර ඇත. සීගිරි ලළනාවන් පිළිබඳව ද ඉසුරුමුණියේ ලෝ ප‍්‍රකට ශෛලමය කැටයම් පිළිබඳව ද මේ මහතා ඉදිරිපත් කළ මත වඩාත් කථාබහට ලක් වී ඇත. 'සඳකඩපහණ හෙවත් අඩසඳපහණ භව චක‍්‍රය හා නිර්වාණය පිළිබඳ භෞතික ප‍්‍රකාශනයකිය'යන මතයේ පිහිටා සිය අදහස ඉදිරිපත් කළ ඒ මහතා ඒ බව සනාථ කිරීමට බෞද්ධ සාහිත්‍යය,පුරාවිද්‍යාව හා ඉතිහාසය වැනි විෂයක්‍ෂේත‍්‍රයන්හි පතළ සිය බුද්ධිය ද උපයෝගී කර ගත්තේය. එතුමාගේ මතය මාර්ටින් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ විද්වතුන්ගේ විචාරයට, විවේචනයට ලක් වුව ද සඳකඩපහණේ සංක්තාර්ථ පිළිබඳව මෙතෙක පළ වූ උසස් ම දාර්ශනික මතය වන්නේ එය යි.

සඳකඩපහණින් භව චක‍්‍රය සංකේතවත් කෙරේ. සඳකඩ පහණේ ඇති විවිධ රූකම් වලින් මේ බව සනාථ වේ. ඊට අනුව සඳකඩපහණේ වාටියේ දක්නට ලැබෙන රටාවෙන් සංසාර චක‍්‍රයේ ගිනි දැල් වලල්ල නිරූපණය වේ. සසර සැරිසැරීම වනාහි දුකකැයි බුදු දහමේ ඉගැන්වේ. සසර චාරිකාවේ දී මිනිසා ප‍්‍රමුඛ සියල් සත්ත්වයන්ට අනන්තාපරිමාණ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණදීමට සිදු වීම ඊට හේතුවයි. මේ ගමනේ දී සත්ත්වයා මුහුණ දෙන සතුට,ප‍්‍රීතිය,සෙනෙහස දනවන සිදුවීම් නිසා උපදින තෘෂ්ණාව හේතුවෙන් අවසාන වශයෙන් ඇති වන්නේ ද දුකක් මය. එම තෘෂ්ණාව විසින් සත්ත්වයා තවදුරටත් සසරේ බැඳතබන බැවිනි. සඳකඩ පහනේ පිටත වාටියේ ගිනිදැල් රටාවෙන් නිරූපණය වන්නේ මේ දුක් ගින්නයි. එම ගිනි දැල් රටාව දක්වා ඇත්තේ ද මාරුතයකට හසුව නන් දෙසට විහිදී යන ආකාරයෙනි. එයින් මුළු ලොව ම අවුළුවාලන මහ ගින්න සංකේතවත් වේ. මීළට දක්නට ලැබෙන සත්ත්ව රූප සතරින් භවයේ පවත්නා විපත් සතර සංකේතවත් කෙරේ. එනම් ජාති (උපත හෙවත් බිහිවීම)ජරා(වයෝවෘද්ධභාවයට පත් වීම හෙවත් දිරාපත් විම) ව්‍යාධි(ලෙඩරෝග,දෝෂ ආදියට ලක් වීම) හා මරණ යන විපත් සතරයි. මේ සතුන් සතරදෙනා එකා පසුපස එකා වශයෙන් නොනැවතී ගමන් කරමින් මේ සතර බියෙහි ස්වභාවය දක්වති. ලිය වැලෙන් දැක්වෙන්නේ තන්හාවයි. (තන්හාලතාව) එහි වැඩෙමින් පවත්නා මල් කොළ දෙ වර්ගයෙන් මිනිස් දිවිය හා බැදී පවත්නා තන්හාවත් එය අඛණ්ඩව වැඩෙමින් පවත්නා ආකාරයත් පිළිබිඹු වේ. ධම්මපදයේ ද තන්හාව ලතාවකට උපමා කර දක්වා ඇත. හංස පන්තියෙන් සංකේතවත් කෙරෙන්නේ ආත්ම ශික්ෂය යි. මේ ආත්ම ශික්ෂණය විසින් භව ගමන මැඩ පැවත්වීමට උත්සාහ කරයි. පද්මය වනාහි සඳකඩපහණේ උසස් ම ස්ථානයක වැජඹෙන සංකේතය යි. මෙයින් සංකේතවයත් කෙරෙන්නේ පිවිතුරු අත්භවය ලද්දන් නිර්වාණාපේක්ෂාවෙන් වසන ශුද්ධවාසය යි.

ඉහතින් දැක්වූයේ පරණවිතාන මහතාගේ මතයේ සාරය යි. සිය මතය වඩාත් ශක්තිමත් කරවනු පිණීස ඒ මහතා විහාරස්ථානයේ සෙසු ගෘහනිර්මාණාංගයන් ද ඉහතින් කී මතය හා ගළපා විස්තර කරති. ඊට අනුව බුදුරදුන් වැඩ වාසය කරන විහාර මන්දිරය ‘ප‍්‍රඥා ප‍්‍රාසාදය‘ වශයෙන් ද පියගැටපෙළ ප‍්‍රඥා ප‍්‍රාසාදයට ඇතුළු වන මාර්ගය හෙවත් ක‍්‍රම පද්ධතිය’වශයෙන් ද දක්වා ඇත. ගුණපාල සේනාධීර මහතා ප‍්‍රකාශ කරන්නේ පරණවිතාන මහතාගේ මේ අර්ථ දැක්වීම ව්‍යක්ත, සිත් ගන්නාසුළු හා දාර්ශනික අර්ථකථනයක් බව යි. එහෙත් මේ මතයේ දොස් සහිත තැන් පවතින බව ද ඒ මහතා සඳහන් කරයි. මාර්ටින් වික‍්‍රමසිංහ මහතා ද සෙනරත් පරණවිතාන මහතාගේ මේ මතයේ දොස් දක්වමින් විචාරයක් ඉදිරිපත් කර ඇත. (ඒ පිළිබඳ මීට ඉහත කලාපයක සඳහන් කර ඇත.) එතුමා ඉදිරිපත් කරන ප‍්‍රබලතම තර්කය වන්නේ පරණවිතාන මහතා සඳහන් කරන මේ උත්තම බෞද්ධ සංකල්පය සහිත නිර්මාණය නිතර දෙවේලේ පයට පෑගෙන ස්ථානයක (අවමන් සහගත ස්ථානයක) තැන්පත් කළයුතු වන අන්දමින් නිර්මාණය කළේ ඇයි ද යන්නයි. ගුණපාල සේනාධීර මහත්මා සෙනරත් පරණවිතාන මහතාගේ සංකල්පයේ තවත් දෝෂයක් දක්වති. එනම් සඳකඩ පහණේ සත්ත්ව රූප සතර ජාති ජරා,ව්‍යාධි,මරණ යන සතර විපත් සංකේතවත් කරන බව කීව ද ඒ ඒ සත්වයාගෙන් කවර විපතක් සංකේතවත් කෙරේද යන්න දක්වා නොතිබීමයි. මේ සත්ත්වයන් සතර දෙනා බෞද්ධ සාහිත්‍යයට ඉතා සමීප සබඳතාවයක් ඇති සත්ත්වයන් සතර දෙනෙකි. එ මෙන් ම විවිධ අවස්ථා වල විවිධ අරුත් ජනනය වන සේ සේ චිත‍්‍ර, මූර්ති, කැටයම් ආදියේ යොදාගෙන ද ඇත. එහෙත් පරණවිතාන මහතා දක්වන අරුතින් මේ සතුන් තිදෙනා මූර්තිමත් තර ඇති අවස්ථාවන් පිළිබඳ අපි අසා නැත්තෙමු. මේ නිසා ඒ ඒ සත්ත්වයා කවර විපතක් නියෝජනය කරන්නේ ද යන්න සාධක සහිතව සඳහන් කළේ නම් පරණවිතානයන්ගේ මතයේ වටිනාකම අන් මත සියල්ල පරයා නැගී සිටින්නට ඉඩ තිබුණි. මේ සත්ත්වයන් සතර දෙනා සතර දිශාවන් නියෝජනය කරමින් යොදා ගත් බව අනුරපුර යුගයේ මුරගල්, චෛත්‍ය ආයක ආදිය ආශ‍්‍රයෙන් පෙනී යයි. ගවයා හා සිංහයා ඊටත් වඩා උත්තරීතර අරුත්හි ද යොදා ඇති බව අශෝක කුලූනු ශීර්ෂ පරීක්ෂාවෙන් පෙනී යයි. බුදුරජාණන් වහන්සේ සෑසී හෙවන් ශාක්‍ය සිංහ යන පර්යාය නාමයෙන් ද හැඳින්වෙන නිසා සිංහ රුව බුද්ධ සංකේතයක් වශයෙන් ද, බුදුරජාණන් වහන්සේගේ ගිහි ගොත‍්‍ර නාමය වූ ගෝතම (ගවයන් බොහෝ කොට ඇති) යන්න සංකේතවත් කිරීමට ගව රුව ද යොදාගෙන ඇත. සෙසු සත්ත්වයන් අතරින් අශ්වයා මහාභිනිෂ්ක‍්‍රමණය සම්බන්ධයෙන් වැදගත් වූ නිසා බෞද්ධ සාහිත්‍යයේ වැදගත් ස්ථානයක් හිමි කරගෙන ඇත. ඡුද්දන්ත ආදී වූ ජාතක කථා ගණනාවක ද බුද්ධ චරිතය හා බැඳි අවස්ථා ගණනාවක ද (නාලාගිරි, පාරිලෙය්‍ය) ඇතුන් පිළිබඳව සඳහන් වේ. මේ ආදී ලෙස ඇතා ද බෞද්ධයන් අතර වැදගත් ස්ථානයකත් හිමි කරගත් සත්ත්වයෙකි. ඒ එකදු අවස්ථාවක හෝ මේ සත්ත්වයන් ජාති, ජරා, ව්‍යාධි මරණ ආදී සංසාර විප්පත්ති සංකේතවත් කර නැත. මේ නිසා පරණවිතාන මහතා සිය මත දැක්වීමේ දී ඒ ඒ සත්ත්වයාගෙන් කවර විපතක් සංකේතවත් කෙරේද යන්න සඳහන් කළ යුතුව ම තිබුණි. එහෙත් එසේ සිදු වී නොමැති නිසා එතුමාගේ මතයේ එක් කොටසක් අපහැදිලි වග පැහැදිළිව ම සඳහන් කළ හැක.

මාර්ටින් වික‍්‍රමසිංහ මහතා සිය මත දැක්වීමට පාදක කරගෙන ඇත්තේ හින්දු ද්ව සංකල්පයන් හා ඒ මගින් බුදු දහමට ඇති වූ බලපෑම් වලට එදිරිව බෞද්ධයන් විසින් ගෙන ගිය ක‍්‍රියා මාර්ගය යි. එහෙත් එතුමාගේ මතයේ ද පිළිගත නොහැති තැන් වෙයි. හින්දු සමයේ තර්ජන බුදු සමය කෙරේ තදින් ම බලපෑයේ අනුරපුර සමයේ නොවේ. පොළොන්නරු සමයේ හා ඊට පසු කාලවල ය. එහෙත් වික‍්‍රමසිංහ මහතා අදහස් දක්වන්නේ අනුරපුර සඳකඩපහණ මුල්කරගෙන ය. අනුරපුර සමයේ බුදුසමයට අභියෝග එල්ලවූයේ බුදු සමයේ ම නිකායන් වලිනි. එම අභියෝග වලට තදින් ම බලපෑයේ දේව සංකල්ප නොවේ. අල්පේච්ඡු ජීවිතය හා නිර්වාණය පිළිබඳ බුදුසමයේ ඉගැන්වීම් වලට පටහැනිව නැගී සිටි බලවේගයන් ය. මේ නිසා හින්දු දේව සංකල්ප මැඞීමේ මුවාවෙන් එම දෙවිවරුන්ගේ වාහන වශයෙන් යොදා ගත් සත්ත්ව රූ සඳකඩපහණට යෙදුවේය යන්න පිළිගැනීමට උගහට මතයකි. අනෙක් කරුණ නම් හින්දු දෙවිවරුන්ගේ වාහන හෝ සංකේත වශයෙන් සිංහයා හා අශ්වයා යොදා ගත් බවක් ද නොපෙනේ. ගවයා, හංසයා හා ඇතා යොදා ගත් බව ප‍්‍රකටය. හින්දු දේව සංකල්ප මැඞීමේ අරමුණෙන් මේ රූප සටහන් සඳකඩපහණට එක් කළේ නම් පොළොන්නරු යුගයේ දී සඳකඩපහණින් ගවයා පමණක් නොව අශ්වයා හා සිංහයා හැර සෙසු සතුන් සියල්ල ඉවත් කළයුතුව තිබුණි. එහෙත් සිදු වූයේ අනෙකකි. පොළොන්නරු යුගයේ දී ගව රුව ද ඇතැම් අවස්ථාවල සිංහ රුව ද සඳකඩපහණින් ඉවත් වී ඇත. මේ ආදී තත්ත්වයන් නිසා සඳකඩපහණ පිළිබඳ තව තවත් පර්යේෂණ කළයුතුව ඇත.

ඞී. ටී. දේවේන්ද්‍ර මහතා කියන්නේ සෞන්දර්යාත්මක චමත්කාරයක් මතු වන ආකාරයෙන් පෙළගැස්වූ සංකේත පෙළක් සඳකඩපහනේ ඇති බවය.

ගුණපාල සේනාධීර මහත්මාට අනුව සඳකඩ පහණේ ඇත්තේ සුභ සංකේත පෙළකි.එතුමා ලියූ ‘මංගල සංකේත හා සඳකඩපහණ’නම් කෘතියට අනුව පිටත දාරයේ ඇති ලියපත් රටාව (පරණවිතාන මහතා ගිනිදැල් රටාව සේ හඳුන්වන රටාව) වර්ධනයේ සංකේතයක් නිසා ද, සිංහයා පරාක‍්‍රමය වික‍්‍රමය හා කායශක්තියේ සංකේතයක් වන නිසා ද, ඇතා පූර්ණ වර්ධනය, සුවිශේෂ කායශක්තිය හා ලිංගික ශක්තියේ සංකේතයක් වන නිසා ද, ගවයා විශිෂ්ට කාය ශක්තියේ හා සහනශීලීත්වයේ සංකේතයක් වන නිසා ද, අශ්වයා ශක්තියේ හා ජවයේ සංකේතයක් වන නිසා ද, හංසයා බුද්ධියේ සංකේතයක් වන නිසා ද ප‍්‍රබුද්ධ පද්මය සූර්යයාගේ සංකේතයක් වන නිසා ද (සූර්යබන්ධු) සඳකඩපහණින් සංකේතවත් වන්නේ ශුභ සංකේතයන් යැයි ඒ මහතා කියා සිටී. (ඉහත මූලාශ‍්‍රය 1999 මුද්‍රණය 77-78 පිටු) එහෙත් හංසයාගෙන් සංකේතවත් කෙරෙන බුද්ධියේ සංකේතය හැරුණු කල සෙසු සංකේත විහාරස්ථානයකට උචිත වේ ද යන්න විමසුමට බඳුන් කළයුතු වෙයි. ඊට අමතරව විහාරස්ථානයක ඇති වාමන රූප, ඇත් රූප, මකර රූප ආදියේ භාවිතය තුළින් ලබා දුන් නිහඬ අධ්‍යාපනය මේ ශුභ සංකේත වලින් ලැබෙන්නේ ද යන්න ද විමසුමට බඳුන් කළයුතුය. කාය ශක්තිය, වික‍්‍රමය ලිංගික ශක්තිය ජවය ආදිය ලෞකික අවශ්‍යතාවන්ය. එහෙත් විහාරස්ථානය වනාහි මිනිසාගේ ආධ්‍යාත්මික ශක්තිය පුබුදු කරවන ස්ථානයකි. මේ නිසා සේනාධීර මහත්මාණන්ගේ අර්ථ දැක්වීම පිළිබඳව ද තවත් වරක් සිතා බැලිය යුතු වේ.

Read 6130 times
உருவாக்கம்
த.தொ.தொ கிளை, கல்வியமைச்சு,இலங்கை
பக்க வரிசைப்படுத்தல் | மறுப்பு
பதிப்புரிமை © 2012-2016 | த.தொ.தொ கிளை, கல்வியமைச்சு,இலங்கை