කෛලාස කෝවිල

ලිපිය සැකසීම :

කෛලාස කෝවිල හා කෛලාසනාථ කෝවිල නමින් කෝවිල් දෙකක් භාරතයේ ඇත.කෛලාස කෝවිල එල්ලෝරුවේ රාෂ්ටකූට වංශික පළමු කෘෂ්ණ රජු (ක‍්‍රි. 757-783)විසින් ඉදිකළ ශිව දේවාලයක් වන කෛලාස කෝවිල ඉන්දියානු ගෘහනිර්මාණ ශිල්පීන්ගේ විශිෂ්ට නිර්මාණයක් ලෙස සැලකෙයි .මෙම නිර්මාණය හින්දු කෝවිලකට අයත් සියලු අංගෝපාංග සහිතව තනි පර්වතයක නෙළා ඇති අයුරු විස්මිතය.බෂාම් කියන්නේ මෙම කෝවිල එල්ලෝරාවේ ඇති විශිෂ්ටතම නිර්මාණය බව යි.භූමි ප‍්‍රමාණයට අනුව ග‍්‍රීසියේ පාතිනොන් දේවස්ථානය තරම් වුවත් එතරම් උස් නො වන වග ද බෂාම් කියයි.(බෂාම්.ඒ.ඇල්,අසිරිමත් ඉන්දියාව 1995, පිටු 449-451 )

 

මෙම කෝවිලෙහි විමානයේ ප‍්‍රදක්‍ෂිණාපථය වටා කුඩා මැදුරු පහක් නිමවා ඇත.ඒවා සඳහා ප‍්‍රධාන කෝවිලෙහි හැඩය ඒ අයුරින් ම යොදාගෙන ඇත.විමානය ඉදිරිපස ඇති පැතැලි පියස්ස දරා සිටිනුයේ ස්තම්භ 16 කිනි.පියස්සෙන් ආවරණය වී ඇත්තේ සම සතරැස් මණ්ඩපයකි.නන්දි වෘෂභයාගේ රුව සහිත තවත් මණ්ඩපයක් මෙම මණ්ඩපයට යාබදව පිහිටා ඇත.නන්දි ගවරුව සහිත මණ්ඩපය දෙපස ධ්වජස්තම්භ (ශිවලිංග සංකේත) දෙකක් හා ඇත්රූප 2 ක් නිමවා ඇත.ගෝපුරය ඇත්තේ මේ සියල්ලට ම ඉදිරියෙනි.මෙම ගොඩනැගිලි සියල්ල පිහිටි අංගණයේ සීමාවේ ඇති පර්වත බිත්තිය නිර්මාණකරුවන් යොදාගෙන ඇත්තේ ශාලා හා උපදේවාල නෙළීමට ය.

 

මෙම කෝවිලෙහි ඇති අපූර්ව නිර්මාණය වන්නේ ගොඩනැගිලි එකිනෙක යා කරමින් නිමවූ ශෛලමය පාලම් ය.නන්දි මණ්ඩපය අංගණය කෙළවර වූ ශාලා හා උපදේවාල ගෝපුරය යන මේවා මෙකී ශෛලමය පාලම්වලින් එකිනෙකට සම්බන්ධ වී ඇත.සරස්වතී ගංගා යමුනා යන නදී දෙව්දූන් තිදෙනා උදෙසා කැපකළ දේවාල තුන අංගණයේ බටහිර කෙළවරට වන්නට තනා ඇත.උතුරු දිග පර්වත බිත්තියේ ලංකේශ්වර යනුවෙන් සඳහන් ශාලාවක් ද වෙයි.

 

සාමාන්‍යයෙන් කෝවිලක දොරටුවක් තබන්නේ නැගෙනහිර දිශාභිමුඛව ය.නමුත් පර්වතයේ පිහිටීම අනුව මෙහි ද්වාරය බටහිර දිශාභිමුඛව පිහිටුවා ඇත. පිහිටි ගලෙහි ආවාටයක් සකස්කරන අතර ම කෝවිලේ අංගෝපාංග ඉතිරිකරමින් කළ මෙහි නිමැවුම විස්මිත ය.පර්වතයේ කණින ලද ආවාටයේ පත්ල කෝවිල් අංගණය බවට පත් වී ඇත.එහෙත් කෝවිලෙහි ප‍්‍රධාන ගොඩනැගිලි එකී අංගණයෙන් අඩි 25 ක් පමණ උස් වේදිකාවක් මත තනා ඇත.ඇතැම්විට එසේ කරන්නට ඇත්තේ ආලෝකය ලබාගැනීමේ දී මතුවන ගැටලුවට මුහුණ දීමට වියයුතු ය.පල්ලව සමයට අයත් දේවාලයන්හි ලක්‍ෂණ විද්‍යමාන වන මෙම කෝවිල අලංකාර බිතු කැටයම ආදියන් ද යුක්ත ය.

 

කෛලාස කෝවිලේ කලා නිර්මාණ-

 

මෙම කෝවිල දෙස සමස්තයක් ලෙස බැලූ කල එය සපුරාම කලා නිර්මාණයකි.දෙවියන් උදෙසා පිදූ විස්මිත, සෞන්දර්යාත්මක නිමැවුමකි.එහෙත් අපගේ අවධානය යොමු වන්නේ කෝවිලෙහි විශේෂ වශයෙන් නිර්මාණයකොට ඇති කලා කෘති කිහිපයක් කෙරෙහි පමණි.

 

පර්වතය හාරා සකස්කරගත් කෝවිල් අංගණයේ ඇති අඩි 25 ක් පමණ උස් වේදිකාව කෝවිලෙහි ප‍්‍රධාන ගොඩනැගිලි ඔසවාගෙන සිටියි.මෙම වේදිකාවේ ඉහළ හා පහළ අන්තාසන්නයේ බොරදම් කැටයම් යොදා අලංකාර කර ඇත.පාදාන්තාසන්නයේ ඇත්රූප හා සිංහ රූප පන්තියක් නෙළා ඇත.

 

බෞද්ධ ගෘහනිර්මාණ ශිල්පයත් හින්දු ගෘහනිර්මාණ ශිල්පයත් එකිනෙකා වෙතින් ආභාසය ලබමින් පෝෂණය වෙමින් පෙරට ආ ගමනේ එක් සන්ධිස්ථානයක් ලෙස ද මේ කෝවිල් පාදම සැලකිය හැකි ය.

මීට අමතරව කෝවිලේ සෙසු ගොඩනැගිලි බිත්ති ද කැටයමින් සරසා ඇත.ඒ සඳහා බහුල වශයෙන් පාදක කොටගෙන ඇත්තේ රාමායනයේ එන කතා ප‍්‍රවෘත්තීන් ය.ශෛව භක්තිකයින්ගේ ඇදහීම් කෙරෙහි අදාළ වන්නා වූ පූජ්‍ය වස්තූන් ද කලා කෘති අතර වෙයි.

 

ශිව ලිංගය

පාර්වතී ලිංගය

ත‍්‍රිපුරාන්තික ශිව

මහීෂාසුරමර්දිනී

දුර්ගා

සීතාහරණය

කෛලාසය පෙරුළීමට තැත්කරන රාවණ 

 

ආදී කැටයම් විචාරක පැසසුමට ලක් වූ ඒවා යැයි සිංහල විශ්වකෝෂයේ උප කර්තෘව සිටි ජිනදාස ලියනරත්න වියතාණෝ පවසති.

 

පරිමාණ හා මිණුම්- 

 

ප‍්‍රධාන ගොඩනැගිල්ල දරා සිටිනා වේදිකාව අඩි 25 ක් පමණ උස් ය.මහල් තුනක් සහිතව එහි ඇති විමානයේ සම්පූර්ණ උස අඩි 96 ක් පමණ වෙයි.පර්වත ආවාටයේ ගැඹුරු ම පැත්ත අඩි 106ක් ගැඹුරු ය.ගැඹුරින් අඩුව සකස් කළ පැත්ත අඩි 53 ක් පමණ ය. (ගෝපුරය පිහිටා ඇත්තේ ඒ පැත්තේ ය.)කෝවිල් අංගණය අඩි 280×160 ප‍්‍රමාණයෙන් යුතු ය.

 

කෛලාසනාථ කෝවිල- 

 

මෙය ද ශිව දෙවියන් උදෙසා කැප කළ කෝවිලකි.iii වන මහේන්ද්‍රවර්මන් රජ දවස කෝවිල නිර්මාණය කර අවසන් කළ ද එහි විමාන තැනවීම ඔහුගේ පියා වූ ii වන නරසිංහ වර්මන් රජදවස සිදුකොට ඇතැ’යි පිළිගැනෙයි.රාජසිංහේශ්වර කෝවිල ලෙස හැඳින්වූයේ ද මෙය ම ය.සාම්ප‍්‍රදායික සැලැස්මට අනුව සාන්ධාර ප‍්‍රාසාද ක‍්‍රමයට ඉදිකර ඇත.ගර්භගෘහයේ බිත්ති හා කෝවිල් ප‍්‍රාකාරය අතර ප‍්‍රදක්‍ෂිණාපථයක් ඉදිකිරීම සාන්ධාර ප‍්‍රාසාද ක‍්‍රමයේ ලක්‍ෂණයකි.මණ්ඩපය, අන්තරාලය හා ගර්භගෘහය සාම්ප‍්‍රදායික සැලසුමක අංගයෝ ය.

 

අඩි 150×80 ප‍්‍රමාණයේ දිගින් හා පළලකින් යුතු හා මදිළ් නම් වන පවුරකින් වටකළ සෘජුකෝණාස‍්‍රාකර අංගණයක් මධ්‍යයේ අධිෂ්ඨානය ගලින් ද, උපරිභාගය වැලිගලින් ද ඉදිකළ කෝවිල අවට (ප‍්‍රාකාරයට මායිම් ව) තැනූ කුටි 59 කි.ඒවා නැගෙනහිර හා බටහිර දිශාභිමුඛව පමණක් තනා ඇත.(කෝවිල් දොරටුව ද නැගෙනහි දිශාභිමුඛව පිහිටුවා ඇත.)ප‍්‍රාකාරයේ ඇති ප‍්‍රවේශද්වාරය අබියස ද ඉහතින් කී ආකාර කුටි 8කි.

ගර්භ ගෘහයට අයත් ව, සාම්ප‍්‍රායික ලෙස පුන්කළසක් ද දරා අඩි 50 ක් උසට නැගී සිටිනා පිරමීඩාකාර ශිඛර ය.තෙමහල් ව තනා ඇත.ශිඛරය සහිත පියස්සට ගර්භගෘහයට අමතරව ඒ වටා ඇති ප‍්‍රදක්‍ෂිණාපථය ද ආවරණය වී ඇත.ගර්භගෘහය අඩි 6 ක් ඝන ශෛලමය බිත්ති සහිතව ඇතුළත එක් පැත්තක් අඩි 9 ක් වන පරිදි සමසතරැස්ව පිහිටියේ වෙයි.එහි දකුණු දිගින් පියගැටපෙළකි.ඉහළ මහලින් නිමවෙයි.පිවිසුම් ද්වාරය දෙපස කුඩා ගර්භ දෙකකි.ගර්භගෘහයේ බටහිර, නැගෙනහිර, දකුණු හා උතුරු දිග බිත්තිවලට සබඳා තැනූ පරිවාර කුඩා දෙව්මැදුරු 8 ක් ද ඇත.උතුරු හා දකුණු බිත්තිවලට සබඳා ඇත්තේ එක බැගිනි.එහෙත් ඉන් එකක් හෝ උතුරු හා දකුණු දිශාභිමුඛව තනා නැත.බටහිර බිත්තියේ ගර්භ පමණක් බටහිරට මුහුණලා ඇති අතර සෙසු ඒවා නැගෙහිරට මුහුණලා ඇත.

 

පැරණි නිර්මාණ ශෛලියකට අනුව නිමවූ සමසතරැස් කුලුනු 6 ක් මත රැඳුණු පියස්ස සහිත අන්තරාලය දකුණු දිශාභිමුඛ ද්වාරයකින් යුක්ත ය.අන්තරාලය වන සියවසෙහි කළ එකකැ’යි සිංහල විශ්වකෝෂයේ හිටපු උපකතුතුමකු වන ජිනදාස ලියනරත්න මහත්මා විශ්වාස කරයි. ගර්භගෘහයත් අන්තරාලයත් අතර ඇති මණ්ඩපය අසල නැගෙනහිර දිශාභිමුඛව මහේන්ද්‍රවර්මේශ්වර කෝවිල වෙයි.එය අඩි 5×10 ප‍්‍රමාණයේ ආයත හැඩාකාරව තනා ඇත්තේ කෝවිල් භූමියට පිවිසෙන ප‍්‍රධාන ද්වාරය තිබිය යුතු තැන ය.කෝණයන්හි හුනු බදාමයෙන් කළ සිංහ රූප සහ අඹරා පියස්ස මත ඇති විශාල කළස් පහ මහේන්ද්‍රවර්මේශ්වර කෝවිලේ විශේෂත්වයකි.

 

කෛලාසනාථ කෝවිලේ නිර්මිත කලාකෘති පිළිබඳව අවධානය යොමුකිරීම ද වැදගත් ය.ශෛලමය නිර්මාණවලට අමතරව හුනු බදාම හා ගඩොල් යොදාගෙන ද මෙහි කලාකෘති කරවා ඇත.ගොඩනැගිල්ලේ කෝණවල හා කුඩා කුලුනුවල ඇති මූර්ති බොහොමයක් නිමවා ඇත්තේ ගඩොලින් හෝ හුනු බදාමයෙනි.උපරිභාග කැටයම් වැලිගලෙන් නිමවා ඇතත් පසුව හුනු පිරියම්කර ඇත.කෝවිල් ගොඩනැගිලිවල ඇති මූර්ති සියල්ලම පාහේ නෙළා ඇත්තේ කෝවිල නිමකළ ගල් මත හෝ බිත්ති මත මිස වෙනත් තැනක නිමවා සවිකිරීමේ ක‍්‍රමයට නො වේ.විශේෂයෙන් ම ශෛලමය කොටස් මත කළ කැටයම් ගල් කැබලි දෙක තුනකට හෝ ඊට වැඩි ගණනකට පැතිරී ගොස් තිබීමෙන් ඒවා ප‍්‍රකට වෙයි.

 

කෛලාසනාථ කෝවිල පල්ලව කලා සම්ප‍්‍රදායන්ගේ ක‍්‍රමික විකාශය අධ්‍යනයේ දී ද වැදගත් ය.ප‍්‍රධාන කෝවිල් භූමිය තුළට පිවිසෙන ද්වාරය තිබියයුතු තැන මහේන්ද්‍රවරමේශ්වර කෝවිල ඉදිකර තිබීමෙනුත් එහි ස්වභාවය අනුවත් ගෝපුරයක මූලාවස්ථාව මේ යැයි අනුමාන කළ හැක.පල්ලව ශෛලියේ මුඛ්‍ය ලක්‍ෂණයක් වන සිංහරූප සහිත ස්තම්භ කෝවිලේ බොහෝ තැන්වල යොදා ඇත.ඇතැම් තැනෙක සිංහයා මත නැගගත් මනුෂ්‍යයෙකු ද දක්නට ඇත.ගර්භගෘහ ශිඛරය ද ද්‍රවිඩ ශෛලියට ම ආවේණික වූවකි.මේ පිළිබඳ පර්යේෂණ කළ පර්සි බ‍්‍රවුන් මහතා කියන්නේ ද්‍රවිඩ ගෘහනිර්මාණ ශිල්පය අධ්‍යනය කරනා කවරෙකු වුව ද පළමුකොට ම වාගේ අධ්‍යනය කළයුතු වන්නේ මේ කෛලාසනාථ කෝවිල බවයි.

 

(තොරතුරු- අමිල කෝසල උඩවත්ත- නාගොඩ මහා විද්‍යාලය-කළුතර)

 

2476 වරක් කියවා ඇත.
ict_branch නිර්මාණය :
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
පිටු පෙළගැස්ම | වියාචනය | පරිපාලක පිවිසුම
කතු හිමිකම © 2012-2016 | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
මෙම පද්ධතියේ ඇති සියලුම අන්තර්ගතයන් සඳහා හිමිකම් ඇවිරිණි.
කිසිදු අන්තර්ගතයක් ලිඛිත අවසරයකින් තොරව වෙනත් වෙබ් පිටුවක හෝ වෙනත් කුමන ආකාරයක හෝ සමාජ ජාල වෙබ් අඩවිවල උපුටා පළ කිරීම සපුරා තහනම් වේ.