කෝවිල-

ලිපිය සැකසීම :

1

 

කෝවිල යන වදනේ අරුත දේවස්ථානය, දෙවියන් උදෙසා වෙන් කළ ස්ථානය යන්නයි. මේ නිසා ඊට සම අවශ්‍යතා උදෙසා වෙන් වූ සියලු තැන් මේ නමින් ම හඳුන්වන්නට හැකි වුව ද කෝවිල යන්නෙන් විශේෂයෙන් ම අරුත් ගැන්වෙන්නේ හින්දු ජනයාගේ පූජ්‍යස්ථානය යි.

 

හින්දු කෝවිල ඉන්දියාවේ බිහිවී වර්ධනය වූවකැ’යි කීම අවිවාදයෙන් ම පිළිගතහැකි කාරණාවකි. හින්දූන්ගේ මුල්බිම එය වූ නිසා ය. බෂාම් මහතා කියන්නේ කෝවිලේ මූලික ආකෘතිය එදා සිට අද දක්වා විශාල වශයෙන් වෙනස් වී නොමැති බව ය. එය ග‍්‍රීක දේවස්ථානවල මූලික සැලසුමට ද සම යැයි හේ කියයි. (450 පිට) යම් වෙනසක් සිදුවී නම් මුල් කාලීනව දේව ප‍්‍රතිමාව තැන්පත් කළ ගර්භගෘහය හා වන්දනාකරුවන් උදෙසා වූ මණ්ඩපය යා කරමින් ඉදි වූ අන්තරාලය එක්වීම වියහැක. එහෙත් අප සිතන්නේ අන් දෙයකි. නොදුටුව ද පුරාවිද්‍යා සාක්‍ෂි රහිත වුව ද විද්‍යාමාන නටඹුන් අනුව උපකල්පනය තුළින් යමක් පැවසිය හැක.

 

පළමුකොට ම බිහිවන්නට ඇත්තේ දේවමන්දිරය හෙවත් ගර්භගෘහය යි. පසුකාලීනව පැනනැගුණු අවශ්‍යතා හා ගැටලු මත වන්දනාකරුවන් සඳහා වන මණ්ඩපය ද ඊටත් පසුව අන්තරාලය ද බිහිවන්නට ඇත. බෞද්ධ චෛත්‍යය නිමවා ඒ ආශ‍්‍රිතව මළුව ද වටදාගෙය ද විවිධ විහාරාංග ද ක‍්‍රමයෙන් නිමවූවා සේ ය. කෝවිලක මුඛ්‍ය අංග ලෙස පැවති ගර්භගෘහය අන්තරාලය හා මණ්ඩපය යන ඒවා අතරට ගෝපුරයක් ද පසුකාලීනව එක් විය. පසුකාලීනව එක් වුව ද දැන් එය හින්දු කෝවිලේ ද හින්දු ආගමේ ද සංකේතය බවට පත්ව ඇත. 

 

ඉන්දියාව හින්දුකෝවියේ මව්බිම ලෙස සැලකෙන නිසා එහි කෝවිල් පිළිබඳ වැඩි අවධානය යොමු කිරීම වටී. ඉන්දියාවේ කෝවිල් මුඛ්‍ය වශයෙන් ම දෙකොටසකි. ඒ උත්තර භාරතීය ක‍්‍රමය හෙවත් ඉන්දුආර්ය ශෛලියත් දක්‍ෂිණ භාරතීය ක‍්‍රමය හෙවත් ද්‍රවිඩ ශෛලියත් වශයෙනි. මේ දෙකොටසෙන් උත්තර භාරතීය ක‍්‍රමයේදී වටකුරු හිස සහිත ශිඛරයට වැඩි මනාපය දක්වා ඇත ද පසුකාලීනව සිදු වූ මුසල්වාන් ආක‍්‍රමණයන් හමුවේ මේවා පිළිබඳ පුරාවිද්‍යා සාධක සැඟවී ගොසිනි. නොහොත් වැනසී ගොසිනි. එහෙත් දකුණු ඉන්දියාවේ තත්ත්වය එසේ නො වේ. භාරතයේ භූගෝලීය සාධකයන්ට පින්සිදුවන්නට සිය පැරණි සංස්කෘතියේ වැඩි සාධක ප‍්‍රමාණයක් රැකගන්නට දකුණේ ද්‍රවිඩ නායකයෝ සමර්ථ වූහ. 

 

චෝල, පල්ලව,පාණ්ඩ්‍ය,චාලූක්‍ය ඈ දක්‍ෂිණ භාරතීය රාජධානි හා ඒවායේ පාලකයන්ගේ අනුග‍්‍රහයන් යටතේ වර්ධනය වූ වාස්තුවිද්‍යා අංග අතර හින්දු කෝවිල ද වෙයි. දක්‍ෂිණ භාරතීය ක‍්‍රමයේ දී කෝවිල් ශිඛරය තරමක් පිරමීඩාකාර ස්වභාවයට සමීප විය. දැනට ඉතිරිව ඇති කෝවිල්වල ද දැකගත හැක්කේ මේ හැඩය යි. ක‍්‍රි.ව. හයවන සියවසට පසු කෝවිල් ඉදිකිරීම තවදුරටත් වර්ධනය විය. මාමල්ලපුරම් හා කාංචිය මුල්කරගනිමින් මේ තත්ත්වය ඇතිවිය. අයිහෝල් ආසන්නයේදී චාලූක්‍ය කෝවිල්වල නටබුන් දැකගත හැක. මේවායේ විශේෂත්වය නම් දාරුමය ගොඩනැගිලි සම්ප‍්‍රදායෙන් මිදී වර්ධිත ලක්‍ෂණ පෙන්වීම යි. එය කෝවිල් ඉතිහාසයේ නැවුම් ලක්‍ෂණයක් සේ පිළිගැනේ.

 

ප‍්‍රකට කෝවිල් කිහිපයක්

 

වේලාන්ත සිද්ධස්ථානය (Shore temple)

(මාමල්ලපුරම්)- පල්ලව සම්ප‍්‍රදාය

කෛලාසනාථ - කාංචිපුර- පල්ලව සම්ප්‍රදාය

තන්ජෝර් ශිව කෝවිල -චෝළ සම්ප්‍රදාය(i වන රාජරාජ)

ගංගෙයිකොණ්ඩපුර කෝවිල -චෝළ සම්ප‍්‍රදාය( iරාජේන්ද්‍ර)

ශ්‍රීරංගම් කෝවිල- (මදුරාව) පාණ්ඩ්‍යසම්ප්‍රදාය

මදුරමහ කෝවිල- පාණ්ඩ්‍ය සම්ප්‍රදාය

සෝම්නාත් කෝවිල- චාලූක්‍ය සම්ප්‍රදාය

විට්ඨල කෝවිල- (හම්පී නුවර)- විජයනගර් සම්ප්‍රදාය

භුවනේසර් ලිංගරාජ කෝවිල - ඔරිස්සා සම්ප‍්‍රදාය

විෂ්ණු ජගන්නාථ කෝවිල- ඔරිස්සා සම්ප්‍රදාය

කොනාරක් කෝවිල- ඔරිස්සා සම්ප්‍රදාය

කජුරාහේ කෝවිල- චන්දෙල්ල සම්ප්‍රදාය

කන්දරියේ මහාදේව ශිවකෝවිල- චන්දෙල්ල සම්ප්‍රදාය

 

පල්ලව සම්ප‍්‍රදාය-

 

එකිනෙක මත පිහිටි කවාකාර හා එකිනෙකට කුඩා වහලවල් දෙකක් සහිතව මේ සම්ප‍්‍රදායට අයත් වේලාන්ත සිද්ධස්ථානයේ ඉදිකර ඇත. ඒ මස්තකයේ ස්තූපයක් වැනි කවාකාර ශක්තිමත් කොතක් ද නංවා ඇත. මොවුන්ගේ කාලයේදී කෝවිල් ඉදිකිරීමේ සම්ප‍්‍රදාය ක‍්‍රමයෙන්  දාරුමය ගොඩනැගිලි ක‍්‍රමයෙන් වෙන්වූ බව පෙනෙයි.

 

චෝළ සම්ප‍්‍රදාය

 

පල්ලව සම්ප‍්‍රදායට වඩා විසිතුරු ලකුණ සහිත මණ්ඩපයන්ගෙන් යුක්ත ය. පල්ලව කෝවිල්වලට වඩා උසින් ද වැඩිය ගංගෙයිකොණ්ඩ චෝළ පුරයේ ඉදිකළ කෝවිල උසින් අඩි දෙසීය ද ඉක්මවයි

 

පාණ්ඩ්‍ය ශෛලිය-

 

කෝවිල වටා උස් තාප්ප ඉදිකිරීම හා ප‍්‍රවේශ ද්වාරය මුර අට්ටාලයකට සම ඉදිකිරීමක් ඇරඹෙන්නේ මොවුන් යටතේ ය. මුර අටල්ලට සම ඉදිකිරීම පසුකාලයේ ගෝපුරයක් බවට පත්වූ නිසා ගෝපුරය පාණ්ඩ්‍ය සම්ප‍්‍රදායක් සේ පිළිගැනේ. ගෝපුරය ඇතැම් විට ප‍්‍රධාන දේවාලයේ උස ද අභිබවා යයි. කෝවිල මත ඉදිකළ තාප්පය සාමාන්‍ය එකක් වූ ද ඇතැම් අවස්ථාවල එය විශාල භූමියක් ආවරණය කරමින් සකස් වී ඇත. ශී‍්‍ර රංගම් කෝවිලේ ප‍්‍රාකාරය දිගින් හා පළලින් අඩි 2475 ක් හා 2880 ක් වෙයි.

 

චාලූක්‍ය සම්ප‍්‍රදාය -

 

මෙය මුල් කාලයේ ගුප්ත සම්ප‍්‍රදායට සමාන විය. පසු කාලීනව හැඩයෙන් වෙනස් වූ මෙය විශේෂයෙන්ම ඍජුකෝණාකාර බවින් මිදුණි. බහු කෝණාකාර හෝ තාරකාකාර හැඩවලට කෝවිලේ බිම් සැලැස්ම සකස් විය. කෝවිලේ සමස්ත ඉදි කිරීම විසිතුරු බවින් වැඩි ය. මේවායේ බිත්ති ඇතුන්, අශ්වාරෝහකයන්, හංසයන් ආදී සතුන්ගේ රූ වලින් ද යාලි වැනි කල්පිත සත්ත්ව රූප වලින් ද යුක්ත ය. කීර්තිමුඛ හෙවත් කිඹිසි මුහුණට සම රූ කැටයම් යෙදූ අවස්ථා ද බහුල විය.

 

විජයනගර සම්ප‍්‍රදාය-

 

මෙහි හොයිසාල හා පාණ්ඩ්‍ය ලක්‍ෂණ සම්මිශ‍්‍රව පැවතුණි. කෝවිලේ ගොඩනැගිලි අතරට අම්මන් කෝවිල හෙවත් ප‍්‍රධාන දේවිය උදෙසා වෙනම ම කෝවිලක් ද උත්සව අවස්ථාවල දෙවිවරුන්ගේ හා දේවතාවියන්ගේ ප‍්‍රතිමා ඵක්කොට තැබීමට කල්‍යාණ මණ්ඩප නොහොත් මගුල් මඩුවක් ද මෙකල එක්විය. මොවුන්ගේ කැටයම් කලාව විචිත‍්‍රවත් කැටයමින් අලංකාර කර ඇත. ඒවා අතිශය කි‍්‍රයාකාරී සත්ත්ව රූප වලින් ද වෙනත් මල් ලියකම් ආදියෙන් ද යුක්ත ය.

 

ඔරිස්සා සම්ප‍්‍රදාය-


අභ්‍යන්තර සැරසිලිවලින් තොර ය. එහෙත් බාහිර සැරසිලි සඳහා මහත් උනන්දුවක් දක්වා ඇත. ඝණ්ටාකාර වහලකින් ද යුතු විය

 

චන්දෙල්ල සම්ප‍්‍රද්‍රාය -

 

කෝවිල ප‍්‍රමාණයෙන් කුඩා නමුත් විචිත‍්‍රවත් ය. මිථුන රූප බහුල ය. ශිඛරය ද වෙනස් ය. එහි හැඩය සකස් වන්නේ ශිඛරයේ ඇරඹුමේ සිට ය. 

 

කෝවිලක අංග-

 

ගර්හගෘහය,අන්තරාලය හා මණ්ඩපයකින් යුක්ත ය. ප‍්‍රාකාරය ආශි‍්‍රත ප‍්‍රවේශද්වාරයේ ගෝපුරයක් ඇත.

 

ගෝපුරය-

 

තොරණකට සම ය. පහළ කොටස විශාලවත් ක‍්‍රමයෙන් ඉහළට යනවිට කුඩා වන ආකාරයටත් නිමවා ඇත. අට්ටාල, විමාන, කුලුනු අර්ධ, ව්‍යාජ දොරටු ආදිය වෙයි. පහළින් ඇති සැබෑ දොරටුව ඉහළින් එක මත එක ඇති අයුරින් ව්‍යාජ දොරටු 7 කි. ගෝපුරය මුදුනේ ගිනිදලු රටාවකි. දොරටුවල රූප , ගාන්ධර්ව රූප, බ‍්‍රාහ්ම විෂ්ණු, ශිව, පාර්වති,ගනේෂ,කඳකුමරු, ආදීන්ගේ රූප ද නන්දි ගව රූප මූසික වාහනය වැනි සත්ව රූප ද ඇත. ගෝපුර සතරක් සහිත කෝවිල් ද තිබේ. සිව් දිගින් ඇති ප‍්‍රවේශද්වාරවල ඒවා ඇත.

 

ලංකාවේ කෝවිල්

 

පොළොන්නරුවේ ශිව දේවාල ලෙස හඳුන්වන්නේ ද කෝවිල් විශේෂයකි. 1017- 1070 කාලයේ ලංකාවේ බලය අල්ලා ගෙන සිටි චෝළයෝ මේවා ඉදිකරවූහ. විශාල ප‍්‍රමාණයේ කෝවිල් ඉදිකිරීමට නොපෙළඹුණු නමුත් කෝවිල් ආශ‍්‍රිත පුරා විද්‍යා කැණීම්වලින් හමුවී ඇති නටරාජා, පාර්වතී හා ශිව මුනිවරුන්ගේ මූර්ති අනුව එකම දේවස්ථානයක දේව රූප රැසක් තබා වන්දනා කළ බව පෙනෙයි. වෛශ්නව හා ශිව දේවාලවලට අමතරව සූර්ය පාර්වති, ගනපති ස්කන්ධ ආදින් සඳහා ද කෝවිල් ඉදිකරවූ හ. පදවියට නුදුරු මොරගොඩ කෝවිල අසල කැණීම්වලදී ශිව ලිංගයක් හා සූර්ය දේවතා පිළිමයක් හමු වී ඇත. බුද්ධන්නේ හැල කෝවිලෙන් ශිව ලිංගය සමග ගනේෂ් ප‍්‍රතිමාවක් හමු ව් ඇත.

 

භද්‍රකාලි කෝවිලක නටබුන් අභයගිරිය ආසන්නයෙන් හමු වී ඈත. බැරැන්ඩි කෝවිල යනු සීතාවක , රාජසිංහ රජු විසින් සීතාවක නගරයේ ඉදිකරවූ කෝවිලයි. සැවුල් සංදේශයේ ද කෝවිල් පිළිබඳ වර්ණනාවන් ඇත. මාතොට පිහිටි තිරුකේතිෂ්වරම් කෝවිල ඉතා පැරණි එකකි. හලාවත මුන්නේස්සරම් කෝවිල කෝට්ටේ යුගයට අයත් ය. මඩකලපුව දිස්ති‍්‍රක්කයේ තිරුක්කෝවිල කවර යුගයක ඉදිකළ ද සියවස වනවිට දියුණු තත්ත්වයක පැවති බව ඒ ස්ථානයෙන් ලැබී ඇති සෙල්ලිපියක් අනුව සිතිය හැක. ඵම ලිපිය විජයබාහු නමැති රජෙකුට අයත් ය. ත‍්‍රිකුණාමලේ ද ශිව කෝවිලක් වෙයි. නල්ලූර්හි කන්දසාමි කෝවිල බැතිමතුන් අතර ප‍්‍රකට ඵකකි. ඊට අමතරව වර්තමානයේ වඩාත් ප‍්‍රකට කෝවිල් අතර යාපනයේ අම්මාන් කෝවිල වැල්ලවත්ත, බම්බලපිටිය,පිටකොටුව, කොටහේන ආදී තැන්වල ඇති කෝවිල් අයත් වේ.

 

2

(තොරතුරු- අමිල කෝසල උඩවත්ත- නාගොඩ මහා විද්‍යාලය-කළුතර)

4486 වරක් කියවා ඇත.
ict_branch නිර්මාණය :
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
පිටු පෙළගැස්ම | වියාචනය | පරිපාලක පිවිසුම
කතු හිමිකම © 2012-2016 | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
මෙම පද්ධතියේ ඇති සියලුම අන්තර්ගතයන් සඳහා හිමිකම් ඇවිරිණි.
කිසිදු අන්තර්ගතයක් ලිඛිත අවසරයකින් තොරව වෙනත් වෙබ් පිටුවක හෝ වෙනත් කුමන ආකාරයක හෝ සමාජ ජාල වෙබ් අඩවිවල උපුටා පළ කිරීම සපුරා තහනම් වේ.