දීග යන දියණියට

ලිපිය සැකසීම :

දීග යන දියණියට

 

නුඹේ කූඩුව තනන

සිහින පෙරදැරි කරන්,

නුඹ ... ගොසින් පසු කරන්

එළිපත්ත.. මගේ පැලේ...

හැරී බලමින් මදෙස

පැවසූ දේ දහසක්ය...

නුඹේ නිල් දෙනෙත් මත

කඳුළු කැට පිරී ඇත...

එකම දරු පැටියාව

මගෙ නිවස එකළු කළ

‘පහන‘ ගෙන ගියත්... නුඹ

සුබ පතමි හදවතින්...

නුඹේ කෙළි කවට කම්

යළි කෙදින දකින්නද?

හද පතුලේ කැකෑරෙන

දරු සෙනෙහෙ මත හැඬුණි....



සරසවි සිහිනය

 

නිසංසල රාත්‍රියේ

සඳ කිරණ නිදැල්ලේ

නින්දකට නෑ ඉඩක්

නේවාසික කාමරේ

පොත් පිටු සිසාරමින්

පෑන් තුඩ මෙහෙයමින්

නිබන්ධන විසඳමින්

මැදියම් රෑ හමන

ශීතල සරසවි සුළඟට

මුසපත් වෙමින්

ඔරලෝසුවේ

ටික් ටික්

ඉකිබිඳින අදෝනා මැද

නිදිවරමින්, රෑ තුන්යම

වෙහෙසෙන්නේ

පරිපූර්ණ උපාධිය

දෝතට ගෙන

සරසවි ජය ලබන්නයි



වෙනස

 

රටේ හෙට දවස ගැන

පිදූ ඩා බිඳු කඳුළු

එපමණින් නොනැවතී

ජීවිතත් පිදූ ඒ

සැබෑ මිනිසුන්ගෙ තතු

නොදුටු මුත් රට වැසියෝ

එතනෝල්-කුඩු රජුන්

පාතාල මැරවරුන්

රටේ කිත් නම මකන

පව්කාර නරුමයන්

මේ දහම් දිවයිනේ

සෑම තැන ප්‍රසිද්ධයි

 

පාසල් පෙම

 

එළිසමය එළිවැටක්

විරිතක්....

ශබ්ද රසයක්...

අර්ථ රසයක්

කිසිත් නොලබා

ලොවට රහසින්...

ජීවිතේ නරකම

දසාවක

සැමට සඟවා...

විටින් විට ලියූ..

නුඹේ ප්‍රේමය

හිස්ම කවියක්...

 

කවිකම

 

සුරපුරෙන් බට

‘සැලොන්‘ එකෙ රැදි

‘ක්ලබ්‘ එකෙන් බී

‘පීට්සා‘ වළඳන

නුඹේ කොපුලත සුනිදු බව හෝ

දෙනෙත ඇති

නිල් කාන්තිය ගැන

ලියන කවි කම කුමකට ද?

මට....

බක්කියේ කුණු අතර නෑමක්

සොයන උන් වැඩ සිටින

පැල්පතෙ

රෑට දන් දී රුහිරු ඇට මස්

දවල් පත් පත බුදින උන් ගැන

ලියන්නට වැර දරන කවි කම

හිතට එකඟයි ......

වාසනාවන්.....

 

සමුදෙමි

 

තිමිර පටලෙන්

වැසුණු නුඹ ලොව

එළිය කෙරුමට මම

ගත්ත තැත

අපමණම විය

කුඩා තරුවක් වෙලා

අහසේ...

පුර පසට ආ

සඳක් මයි ඔහු

නුඹ විඳියි...

එහි සිසිල සිතුසේ

මියුලැසිය නුඹ...

නොපතනා මුත්

එයි අමාවක නොසිතූ

මොහොතක....

අද වගේ සඳ

දිලෙන රැයකට

මේ පුංචි තරුවෙන්

කුමන ඵල

මම සැඟව යමි

ලොවට රහසේ....

 

ඡන්දය

 

මහා කළුගල් හදැති

වෙඩරු මෙන් උණු කෙරෙන...

ඩිගෙන්ඩර් සැප කාර්

පැල අසල ගාල් වෙත...

අපෙ කරට අත දමා

වැල් ඇඳේ වාඩි වෙන....

‘රැස් කදම්භය‘

නැතිව

මාවතට

ඇද වැටුණු....

දෙවිවරුන්ගෙන්

පිරුණ..

කාලයකි

මැතිවරණ...

 

බිරිඳ

 

විහිදුවා සඳ එළිය

මිහිතලය බබළවන..

ඇගේ ආදරෙ වගෙයි

නොකියාම යන්න ගිය...

එය බොහොම සංකරයි

විටින් විට වෙනස් වුණ...

 

මගේ තනිකම මකන

නුඹ වගෙයි තරු එළිය...

හැමදාම ළඟ රැඳෙන

ඒ එළිය මට සැපකි....

සඳ එළියටත් වැඩිය...

 

අමාවක මහ රෑක

අඳුරු අහසට වැඩිය...

බිරිඳ නුඹ වගේමයි

ඒ පුංචි තරු එළිය...

 

නුඹේ ආදරය

 

වරා මලකි... මා

නිදහසේ සැරිසැරූ

ගුවන මත

නුඹේ... ආදරේ

අකල් වැස්ස

වැටෙන තෙක්ම....

 

මෑණියනි

 

නුඹ පැතූ නව ලොවක...

හිරු කිරණ දකින්නට...

මාව ඔසවා තබා

ඈත සිට සිනාසෙන...

රෑට මා එනතුරා

දෑස නිදි සුව නොලද....

පියුම් විකසිත කරන්

රොන් සුණුව නොම පැතුව....

කාට නැති වුනත් නුඹ

මගෙ ලොවට රැජිනක්ය...

මෑණියනි.... නුඹ බුදුව

දම් රසය බෙදන සඳ...

මාව අසලට රැගෙන

සසර දුක නිවනු මැන...


<

ප්‍රේමය හා විවාහය

 

මල් ඉහිරුණු කුඩය යටින්

මොර සූරන මහ වැස්සේ

කුරුලු ජෝඩුවක් වාගේ

දොඩමලු වී තර තරඟෙට

අකුණු ගසන මහ වැස්සක්

පැතුවේ ... අපියි.. නොතෙමී ඉඳ

මතකද? සොඳුරියේ අදත්

ඒ එදාය...

දෙපසට වී එම කුඩයෙම

බලා දෙපැත්තම පමණක්

හුදෙකලාව යනෙනා විට

හොඳට තෙමෙනවා අපි දැන්

පසු කරද්දි ගිය මාවත්

හඬා වැටෙනවා දැන්නම්

ඒ මෙදාය...

1530 වරක් කියවා ඇත.
ict_branch නිර්මාණය :
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
පිටු පෙළගැස්ම | වියාචනය | පරිපාලක පිවිසුම
කතු හිමිකම © 2012-2016 | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
මෙම පද්ධතියේ ඇති සියලුම අන්තර්ගතයන් සඳහා හිමිකම් ඇවිරිණි.
කිසිදු අන්තර්ගතයක් ලිඛිත අවසරයකින් තොරව වෙනත් වෙබ් පිටුවක හෝ වෙනත් කුමන ආකාරයක හෝ සමාජ ජාල වෙබ් අඩවිවල උපුටා පළ කිරීම සපුරා තහනම් වේ.