සෙනසුරාදා, 12 දෙසැම්බර් 2015 00:00

ගණිත ඉතිහාසය

ලිපිය සැකසීම :
Rate this item
(10 votes)

ඉංග්‍රීසි බසින් ගණිතය Mathematics ලෙස හැඳින්වෙන නමුත් භාවිතයේ දී බොහෝ විට Maths හෝ math යනුවෙන් යෙදේ.

 

ප්‍රමාණය,ව්‍යුහය,අවකාශය සහ විපරිණාමය යනාදී දෑ අධ්‍යයනය කෙරෙන්නා වූ විෂය ක්ෂේත්‍රයක් ලෙස'ගණිතය' බොහෝ විට අර්ථ දැක්වේ. ගණිතඥයන් බොහෝ දෙනෙකු විසින් දරන තවත් මතයක් නම්, ‘ප්‍රත්‍යක්ෂ සහ අර්ථදැක්වීම්වලින් ඇරඹී නිගාමී තර්කණය මඟින් සනාථ කළ දැනුම් සම්භාරය වනාහී ගණිතය’ යන්නයි.

 

ඕනෑම සමාජයක පාහේ, තැබීම, බිම්මැනුම සහ තාරකා ශාස්ත්‍ර ආශ්‍රිත සිද්ධි පූර්ව නිශ්චය කිරීම යනාදී කටයුතු සඳහා ප්‍රායෝගික ගණිතය යොදා ගෙන ඇත.

 

ගණිතමය සොයාගැනීම් සහ පර්යේෂණවල දී බොහෝ දුරට, යෙදීම් ගැන සැලකීමකින් තොරව, රටා සොයාගැනීම සහ ඒවා අනුපිළිවෙළක‍ට සකස් කිරීම සිදුවේ. "සුවිශුද්ධ" ගණිතයෙහි ඇති සුවිශේෂ කරුණක් නම්, එය නිතරම ප්‍රායෝගික යෙදීම්වලට තුඩු දීමයි. මේ කරුණ "ගණිතයෙහි අතක්කාවචර ඵලදායිතාව" ලෙස ඉයුජින් විග්නර් හඳුන්වා ඇත. වත්මනෙහි, ස්වභාවික විද්‍යා, ඉංජිනේරු විද්‍යාව, ආර්ථික විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාව යනාදී විෂය කේෂේත්‍ර නව ගණිතමය සොයා ගැනීම් මත බෙහෙවින්ම යැපේ.

 

ගණිතයෙහි විකාසනය නිමක් නොමැති වියුක්තීකරණ මාලාවක් ලෙස හෝ විෂය කරුණුවල සිදුවන පුළුල් වීමක් ලෙස හෝ දැකිය හැකි ය. මුල් වියුක්තීකරණය ලෙස සංඛ්‍යා හැඳින්විය හැකි ය.ඇපල් ගෙඩි දෙකක් හා දොඩම් ගෙඩි දෙකක් අතර යම් පොදු ලක්ෂණයක් ඇති බව, එනම් ඒ දෙකම එක් මිනි‍සකුගේ දෑතට ගත හැකි බව, වටහා ගැනීම‍ට හැකිවීම මිනි‍ස් චින්තනයේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරයි.

 

සංයුක්ත වස්තු ගණනය‍ට අමතරව,ප්‍රාග් ‍ඓතිහාසික මිනිසා කාලය, දින, ඍතු, වර්ෂ වැනි වියුක්ත රාශී ගණනය‍ට සමත් විය. අංක ගණිතය(උදා:එකතු කිරීම,අඩු කිරීම, වැඩි කිරීම සහ බෙදීම )ස්වභාවිකවම ගම්‍ය වෙයි. මොනෝලිතික ස්මාරක එකල පැවති ජ්‍යාමිතික ඥානය ගැන සාක්ෂි දරයි.

 

ඓතිහාසිකව ගණිතය තුළ දැවැන්ත ශික්ෂණ මතුව ආවේ වාර්තා වී ඇති ඉතිහාසයේ ආරම්භයේ සිට, බදු හා වාණිජ ක්ෂේත්‍රයේ ගණනය කිරීම් කිරීම,සංඛ්‍යා අතර ඇති සබඳතා හඳුනා ගැනීම,බිම් මැනුම,තාරකා ශාස්ත්‍ර ආශ්‍රිත සිද්ධි පූර්ව නිශ්චය කිරීම වැනි අවශ්‍යතා නිසා ය. මෙකී අවශ්‍යතා දළ වශයෙන් ගණිතයෙහි පුළුල් අනුක්ෂේත්‍ර ලෙස නම් කළ හැකි ප්‍රමාණය,ව්‍යුහය,අවකාශය සහ විපරිණාමය යන ක්ෂේත්‍ර යටතට අනුරූපණය කළ හැකි ය.

 

ඉතිහාසය පුරාම ගණිතමය සොයා ගැනීම් සිදු වූ අතර දැනටත් සිදු වෙයි .

 

සංඛ්‍යා අතර, අවකාශයේ, විද්‍යාවේ, පරිගණකවල , උපකල්පිත අමූර්තනවල සහ අනෙකුත් දෑ වල රටාවන් සෙවීම ගණිතඥයින් විසින් සිදු කරන බව ඔවුන්ගේ මතයයි. නව ඌහන නිර්මාණය කිරීමටත්, අදාළ ලෙස තෝරාගත් ප්‍රත්‍යක්ෂ සහ අර්ථ දැක්වීම් ඔස්සේ දැඩි අපෝහනයන්ට යටත් කොට ඒවායේ සත්‍ය අසත්‍ය බව සෙවීමටත් ගණිතඥයෝ ඉහත ආකාර සංකල්ප පරීක්ෂා කරති. ගණන් කිරීම, ගණනය කිරීම, මැනීම සහ භෞතික වස්තූන්ගේ හැඩ සහ චලන පිළිබඳ විධිමත් අධ්‍යයනයේ සිට අමූර්තනය සහ තර්කානුකූල හේතු දැක්වීම ඔස්සේ ගණිතය පරිණාමයට ලක් විය.

 

තනි තනිව හෝ සමූහ වශයෙන් ගත්ත ද මුලික ගණිත දැනුම භාවිතය සැමවිට පුද්ගල ජීවිත හා බද්ධ වී පැවතුණි. පුරාණ ඊජිප්තු, මෙසපොතේමියානු, ඉන්දියානු, චීන, ග්‍රීක හා ඉස්ලාම් ශිෂ්ටාචාරවලට අයත් ග්‍රන්ථවල මූලික ගණිතමය සංකල්ප වඩාත් පැහැදිලි ආකාරයට සටහන් කර තිබෙනු දැකිය හැක. අශිථිල තර්කනය, මුල්වරට දැකිය හැකි වන්නේ ග්‍රීක ශිෂ්ටාචාරය ආශ්‍රිතව වන අතර මේ අතරින් යුක්ලීඩ්ගේ “Elements” ග්‍රන්ථය ප්‍රමුඛ වේ.

වර්තමාන‍ය දක්වා පැවත එන පරිදි පර්යේෂණ ශීඝ්‍රතාව ඉහළ නංවමින් 16 වැනි සියවසට අයත් පුනරුද සමයේ දී ගණිතමය නව සොයා ගැනීම් සහ විද්‍යාත්මක සොයා ගැනීම් අන්තර් ක්‍රියා කරන තුරුම ගණිතයේ ප්‍රගමනය කඩින්කඩ වූ තත්ත්වයෙන් සිදු විය.

 

වර්තමාන ලෝකයේ ස්වභාව විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, වෛද්‍ය විද්‍යාව සහ ආර්ථික විද්‍යාව වැනි සමාජ විද්‍යාවන් ආදී බොහෝ ක්ෂේත්‍රවල ගණිතය භාවිත වේ. මෙසේ ක්ෂේත්‍රයේ භාවිත වන ගණිත කොටස්, ව්‍යවහාරික ගණිතයට අයත්වන අතර එහි දී ගණිතමය නව සොයාගැනීම් ප්‍රායෝගිකව භාවිත වන අතරම ප්‍රායෝගික භාවිතයන් හේතුවෙන් ගනිතමය නව සොයාගැනීම් ඇතිවූ අවස්ථා ද තිබේ. ඇතැම් විට ව්‍යවහාරික ගණිතය ඔස්සේ මුළුමනින්ම අළලුත් විෂය පථයන් ඇති වීම ද සිදු වේ. මේ හැරුණු විට කිසිදු ප්‍රායෝගික භාවිතයක් ඉලක්ක කර නොගෙන ගණිතමය හේතු නිසාම ගණිතමය පර්යේෂණ සිදු කරන ගණිත ක්ෂේත්‍රයක් ද පවතින අතර එය ශුද්ධ ගණිතය නම් වේ. නමුත් බොහෝ විට කිසිදු ප්‍රායෝගික භාවිතයක් ඉලක්ක කර නොගෙන සිදු කරන ශුද්ධ ගණිතමය අධ්‍යයනයන්ට අදාළ ප්‍රායෝගික යෙදුම් කල් ගතවෙත්ම භාවිතයට පැමිණෙනු දැකගත හැක.

 

අන්තර්ජාලය හා විකිපීඩියා ඇසුරිනි

4829 වරක් කියවා ඇත.
ict_branch නිර්මාණය :
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
පිටු පෙළගැස්ම | වියාචනය | පරිපාලක පිවිසුම
කතු හිමිකම © 2012-2016 | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
මෙම පද්ධතියේ ඇති සියලුම අන්තර්ගතයන් සඳහා හිමිකම් ඇවිරිණි.
කිසිදු අන්තර්ගතයක් ලිඛිත අවසරයකින් තොරව වෙනත් වෙබ් පිටුවක හෝ වෙනත් කුමන ආකාරයක හෝ සමාජ ජාල වෙබ් අඩවිවල උපුටා පළ කිරීම සපුරා තහනම් වේ.