හිසකෙස් කපා දන් දුන් සුමනාවගේ කථාව

ලිපිය සැකසීම :

සෑගිරිය සමීපයෙහි “විල්ගමක් විය.එහි පර්වත ගුහාවක බුද්ධ පුත්‍රයෝ වෙසෙත්. (2)එහි වෙසෙන භාවනානුයෝගී  වූ සමාහිත වූ සසරභය දක්නා  භික්ෂුහු සත්නමක් ඒ ගමට පිඬු පිණිස  ආහ.(3) පවුල් පන්සීයක් ඇති ඒ ගමෙහි ගෙපිළිවෙළින් හැසිරුණු ඒ භික්ෂූහු කිසිවක් නො ලැබ සේදු පාත්‍ර ඇතිව ම ගමෙන් පිටතට පැමිණිය හ. (4)ඒ ගමෙහි වසන දුගී වූ මවක් ද දුවක් ද දුගී ශාලාව ආශ්‍රය කොට වසමින් සිඟා කෑමෙන් ජීවත් වෙති. (5) සුමනා නමැති ඒ දුවණියෝ ගමෙන් නික්මුණු ඒ භික්ෂූන් දැක සංවේගයට පත් සිතැ‘තිව මෙසේ සිතී.(6) අතිශය අනුකම්පාවට භාජය වූ මා සතු කිසිවක් නැත. පෙර කුසල් නො කොට දිළිඳු බවට පැමිණියෙමි. (7) මා විසින් මාගේ හිසකෙස් කපා කඩයට ගොස් විකුණා කුසලයක් කරනු ලැබේ නම් යෙහෙකි. ඕ මෙසේ සිතා සිත දැඩි කොට ගෙන මව වෙත ගොස් ඇඳිලි බැදගෙන මෙසේ කීය : (9) “මෑණියනි ,අහර නො ලත් භික්ෂූන් සත් නමක් ගමෙන් නික්මිය හ; මට පිනක් කරන්ට අවසර දෙනු මැනවි.” (10) “දුවණියන් පින් කරව ;මා නිසා බිය නො‍ වෙව .පිනට අන්තරාය කරන්නේ අපායයන්හි පැසෙන්නේ ය”යි මව කීය.

 

(11)මවගේ කීම ඇසූ ඈ කඩ වීදියට ගොස් තමාගේ හිසකෙස් කපා විකුණා කහවණු අටක් ලැබ (12) ඒවා රැගෙන වහා ගෙට ගොස් ඒ භික්ෂූන් නවත්වා ආසන ශාලාවට පැමිණ වීය.(13) එසේ භික්ෂූන් වැඩහිඳුවා තමා ලත් ධනය සත් කොටසක් කොට එක් කොටසකින් හාල් සපයා බත් පිස ශාලාවට ගොස් එය භික්ෂූන්ට පිළිගැන්වී ය. (15)සතුටු සිතින් භික්ෂූන්ට දන් පිළිගැන්වූ සුමනාව මෙසේ ද කීය. (16) “මාගේ හිසකෙස් විකුණා මම මේ දානය දෙමි. ඒ දානය මට පසු කලකදී ධන සම්පත් ලැබීමට හේතුවක් වේවා. ”(17) සසරෙහි නො ඇලුණු සිතැ‘ති ඒ භික්ෂූහු දානය පිළිගෙන ඒ ගමෙන් නික්ම වනයට පිවිසිය හ.(18)එයින් වැඩිමහලු තෙරනම එහි මාර්ගය මැද සිටගෙන ඒ භික්ෂූන්ට මෙසේ කීය. (19) ඇවැත්නි ,තමන්ගේ හිසකෙස් කපා දන් සපයා දුන් මේ සුමනාව කෙලෙස් සිඳින පිරිසක්බව දැන එසේ කළා ය.(20) මම අශ්‍රවක්ෂයට නො පැමිණ මේ  දානය නො වළඳමි.ඒ සදහා කාලය පැමිණියේ ය.ඔබ ද ඒ කාරණය දත මැනවි.(21) සප්ත සද්ධර්මයෙන්  යුක්ත වූ මෛත්‍රි සහගත සන්සුන් සිතැ‘ති ඒ භික්ෂූන් කෙලෙසුන් සිඳීම පිණිස බලවත් උත්සාහ කළ හ.((22) ඒ භික්ෂාව පසෙක තබා ගල්මුල් වෙත පැමිණි ඒ සියල්ලෝ දුක් කෙළවර කොට ආහාර අනුභව කළ හ.

 

(23)එතුමන් දානය වැළඳූ කෙනෙහි ඒ දැරිය මනා රූ ඇත්තී විය.ඕ දේවවර්ණයට නො පැමිණ මනුෂ්‍ය වර්ණය ඉක්මවා සිටියා ය.(24)සිරුරෙහි  වර්ණය ද හිසෙහි  දික් වූ කෙස් ද    හොබනා අඟ පසග ද දැක තරුණිය මෑණියන්ට මෙසේ කීවා ය:(25)මෑණියනි මාගේ රූපය ශෝබන වූවා දකිමි, මෙය මෙලොව දී ම දකින්නට ලැබෙන ඵලයකි. ඒකාන්තයෙන් ඒ  මහ තෙරුන් රහත් බවට පැමිණෙන්නට ඇත. (26) ඒ ප්‍රවෘත්තිය අසා අසල්වැසි මිනිසුන් ඒ ගෙට අවුත් පිරිවරාගෙන බොහෝ පැහැදීම් ඇති කර ගත් හ. (27) දේවතාවෝ ද අනුරාධපුරයට ගොස් උද්ඝෝෂණය කළ හ.රජුගේ ඡත්‍රයෙහි අධිගෘහිත දේවතාවා ද සාධුකාර දුණි.(28)එයැසු  එක් මහා යුද්ධ භටයෙක් රථයක නැගි අවුත් සොයන්නේ එක් පැත්තක සිටි ඒ ස්ත්‍රිය දැක රථයෙහි නංවා ගෙන ඇය රජුට යෝග්‍යයයි සිතා රජු වෙත ගෙනාවේ ය.(30) හෙතෙම රන්වන් වූ සුමනාව දැක මෙලොව දී විපාක ලැබූ ඒ දානය කුමක්දැ‘යි විචාළේ ය.(31) රජු විසින් විචාරන ලද ඕ තොමෝ “ මහරජ ,මාගේ කෙස් වැටිය කපා විකුණා දන් දුනිමි”යි කීය.(32) එයැසූ රජ සතුටුව තමාගේ දූ තනතුරෙහි තබා ඇය ‍සොයා ගෙන ආ යුද්ධ භටයාට ම පාවා දුණි. (33) මෙසේ ඒ දැරිය තමාගේ කෙස් වැටිය කපා විකුණා දන් දී උසස් සම්පතට පැමිණියා ය.

 

සද්ධාතිස්ස මහ රජ ඈට තමාගේ කුමරියකට මෙන් දාසයන් සියයක් ද දෙනුන් සියයක් ද මීමුන් සියයක් ද වාහන සියයක් ද ගම් සියයසක් ඇති ජනපදයක් ද රජ දුවකට දිය යුතු ආභරණාදිය ද දුන්නේ ය.ඕ තොමෝ  මහා දානපතිනියක් විය. ඇගේ මරණාසන්න කාලයේ දී සදෙව්ලොවින් රථ පැමිණිය හ. චුල්ලී උපාසිකාවගේ කථාව මෙන් විස්තර කළ යුතු.

 

උපුටා ගැනීම- ඉතා පැරණි සිංහල බණකතා- පොල්වත්තේ බුද්ධදත්ත හිමි)

1670 වරක් කියවා ඇත.
ict_branch නිර්මාණය :
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
පිටු පෙළගැස්ම | වියාචනය | පරිපාලක පිවිසුම
කතු හිමිකම © 2012-2016 | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
මෙම පද්ධතියේ ඇති සියලුම අන්තර්ගතයන් සඳහා හිමිකම් ඇවිරිණි.
කිසිදු අන්තර්ගතයක් ලිඛිත අවසරයකින් තොරව වෙනත් වෙබ් පිටුවක හෝ වෙනත් කුමන ආකාරයක හෝ සමාජ ජාල වෙබ් අඩවිවල උපුටා පළ කිරීම සපුරා තහනම් වේ.