රූං ගා Room එකට(මල් මංජරී ලිපි පෙළ අංක 10)

ලිපිය සැකසීම :

 

රූං ගා Room එකට

 

Room යනු පසුගිය කාලයේ මාවත් දෙපස වැඩියෙන් ම එල්ලනු ලැබූ පුවරුවල සඳහන් වූ වදන යි. එය සද් ආචාරය වඩාත් උතුම් සේ පිළිගන්නා අප වැනි පෙරදිග රටක සදාචාර වර්ධනයේ එක් පැතිකඩක් සේ සැලකිය හැක. Room යනු නරක හෝ පහත් වදනක් නො වේ. Room යනු කාමරය යි. නිවසේ ද කාමර තිබේ. පන්සලේ ද පල්ලියේ ද කෝවිලේ ද දේවස්ථානයේ ද පමණක් නොව පාර්ලිමේන්තුවේ ද, පාසල් හා විශ්ව විද්‍යාල ආදියේ ද කාමර තිබේ. එහෙත් මග දෙපස ඇති පුවරුවල සඳහන් වන Room තරමක් වෙනස් ය. ඒ වෙනස ඕනෑම අයෙකු දන්නේ ඒ තරමට ම Room පිළිබඳ සමාජ කතිකාවක් ඇති නිසා ය. මේ Room තනා ඇත්තේ දුරගමන් වන්දනාකරුවන්ට හෝ සංචාරකයන්ට නතර වීමට නොවේ. එවැන්නෝ ද මෙහි ලැගුම් ගන්නා බව සත්‍යයකි. එහෙත් වැඩි වශයෙන් ම මේ Room භාවිත කරන්නේ කවු ද?

 

මෑත කාලීනව ලංකාවේ කළ සමීක්ෂණ අනුව පෙනී ගොස් ඇත්තේ Room වලට වැඩියෙන් ම යන්නේ නව යොවුන් පෙම්වතුන් බවයි. ගම් දනව්වල හෝ නාගරික ප්‍රදේශවල ඕනෑම අහුමුල්ලක ඇති Rooms වලට හිටි හැටියේ පොලිසියෙන් කඩා පනින්නේ ද, පරීක්ෂාවට ලක්කරන්නේ ද ඒ නිසා ය.තාවකාලික ලැගුම්හල් පවත්වාගෙනට යෑම ලංකාවේ නීතියෙන් බාධාවක් නැතත්, ඒවායේ බාල වයස්කරුවන්ට වරදේ හැසිරීමට අවස්ථාව සැලසීම වරදකි. (බාල වයස්කරුවන් පමණක් නොව කිසිදු අයෙකු වරදෙහි හැසිරීම ශිෂ්ට සමාජය පිළිගන්නා කරුණක් නො වේ. එය වරදක් පමණක් නොව, පිළිකුල් සහගත ක්‍රියාවක් ද වෙයි. පාපී ක්‍රියාවක් ද වෙයි.) එවැනි ස්ථානවලට යෑමට පෙළඹෙන්නේ ද අන්‍යයන් පොළඹවන්නේ ද සැබෑ පෙම්වතුන් නො වේ. ප්‍රේමය යනු කුමක්දැයි නොදන්නා, එය රාගය හා පටලවා අවබෝධයට ගන්නා, සිය හැඟීම් පාලනයට අසමත් රෝගී කාමුකයන් ය.‘ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි’ යනුවෙන් නන්දා මාලනිය ගයනා ගීයේ පදය ද අපි අසා ඇත්තෙමු.

 

සත්‍ය වශයෙන් ම ප්‍රේමය තුළ රාගය නොවිය යුතු ය. ප්‍රේමය ගනුදෙනුවක් ද නොවේ.එය රාගයෙන් කිළිටු නොවිය යුතු ය.වෛවාහිත යුවලක් අතර සිදු වන කායික සබඳතා යනු වර්ගයා බෝ කිරීම මූලික අරමුණ කරගත් සමාජ සම්මත මානව ක්‍රියාවලියක් මිස ප්‍රේමයේ කොටසක් නොවේ. ප්‍රේමය කිලිටි කරනා, රාගයට, කාමයට වැඩියෙන් ම ක්ෂේම භූමි වන්නේ Room ය. බොහෝ දෙනා ජීවිතය වරදවා ගන්නේ ද එතැන දී ය. අන්තර්ජාලයට මුදාහැර ඇති කාමුක වීඩියෝ දර්ශන බහුතරය Room වලට සම්බන්ධ බවට පොලිස් සමීක්ෂණ වාර්තා පවා සාක්ෂි දරනු ඇත.යොවුන් වියේ ගැබ්ගැනීම් අතරින් 90%කට ම පමණ Room වලට සම්බන්ධතාවක් තිබේ. ප්‍රේමයෙන් පරාජය වී අකලට ජීවිතයට සමුදෙන්නන් බහුතරය ද Room වල දී අනාගත ජීවිත අත්හදාබැලූවන් ය. ඔබ ද Room පිළිබඳ ව අවබෝධයෙන් සිටිය යුතුය. එය ප්‍රේමයට කිසිදු ඥාතිත්වයක් නොමැති ස්ථායක් බව ද දැන සිටිය යුතු ය. දැන් ඔබ ද Room එකට යා යුතු ය. ඔව් සත්තකින් ම ඔබ දැන් ම Room එකට ගොස් පාඩම් කිරීමට පටන්ගත යුතු ය.

 

3213 වරක් කියවා ඇත.
ict_branch නිර්මාණය :
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
පිටු පෙළගැස්ම | වියාචනය | පරිපාලක පිවිසුම
කතු හිමිකම © 2012-2016 | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
මෙම පද්ධතියේ ඇති සියලුම අන්තර්ගතයන් සඳහා හිමිකම් ඇවිරිණි.
කිසිදු අන්තර්ගතයක් ලිඛිත අවසරයකින් තොරව වෙනත් වෙබ් පිටුවක හෝ වෙනත් කුමන ආකාරයක හෝ සමාජ ජාල වෙබ් අඩවිවල උපුටා පළ කිරීම සපුරා තහනම් වේ.