නපුරු, නරක හා කාලීනව ඔබට වැදගත් නොවන හා ඔබ පහළට ඇද දමන සිතුවිලිවල බල බිඳිමු.(මල් මංජරී ලිපි පෙළ අංක 09)

ලිපිය සැකසීම :

නපුරු, නරක හා කාලීනව ඔබට වැදගත් නොවන හා ඔබ පහළට ඇද දමන සිතුවිලිවල බල බිඳිමු.

 

මීට පෙර පැවසූ ආකාරයෙන් ම ඉතා වේගයෙන් වර්ධනය වන, අධිප්‍රාණවත්, ජවසම්පන්න සිතුවිලි, කරුණාව වුව ද, මෛත්‍රිය වුව ද, දයාව වුව ද, වෛරය වුව ද, ඒ සියල්ල ඔබට හානිදායක ය. ඔබගේ කාර්යයන් අඩාල කරයි. ඔබට විපත් ළඟා කරයි. ඇතැම් විට ඔබ විනාශයට ම රැගෙන යයි. ඕනෑම සිතුවිල්ලක් සිතෙහි වර්ධනය විය යුත්තේ ද, එය සක්‍රිය විය යුත්තේ ද, යම් පාලනයකට නතු කළ වේගයකිනි. පාලනයකට නතු කළ ප්‍රාණවත්බවකිනි. පාලනයකට නතු කළ ජවයකිනි. නැතහොත් එහි වේගය විසින් ම, එහි ජවය විසින් ම, එහි ප්‍රාණය විසින් ම ඔබව ද විනාශය කරා රැගෙන යනු ඇත.



විනාශය කරා යෑම ඔබගේ අරමුණ ද...?



සිතන්න.



විනාශ වීමේ අරමුණින් ක්‍රියා කිරීම ත්‍රස්තවාදියෙකුගේ හෝ ස්වභාවය නො වේ. ඔහුගේ ක්‍රියාවන් නිසා ඔහු හෝ නොදැනුවත්ව විනාශයකරා ගමන් කළ ද, විනාශ වීමේ අරමුණක් ඔහු තුළ නැත.ගමන් කරනා මාර්ගය වැරදි වුව ද නිවැරදි වුව ද ඕනෑම අයෙකුගේ අරමුණ වන්නේ ආර්ථික,දේශපාලනික, සාමාජික, අධ්‍යාපනික හෝ කුමන හෝ ආකාරයකින් ඉහළට යෑමයි. වර්ධනය වීමයි. ඒ කුමන හෝ ආකාරයක වර්ධනයකට පෙළඹවීමක් ඇති වන්නේ ඒ සඳහා ඇති ආශාව නිසා ය. ඇතැම් විට ඔබ තර්ක කරනු ඇත. සතුරෙකුගේ ගෙල සිඳලන්නට යමෙකු මෙහෙයවන්නේ ආශාව නිසා නොව වෛරය නිසා යැයි කියා නැත. ඔහු තුළ ඇත්තේ සතුරා නැසීමේ ආශාවකි.එය වියරු ආශාවක් වන අතර ඒ ආශාව ඉටුකරගන් පිණිස ඔහුව මෙහෙයවන්නේ වෛරය විසිනි. ආශාව වඩාත් දැඩි වූ විට එය තෘෂ්ණාව නම් වෙයි. එය දැඩි ලෝභී බව ලෙස ද හැඳින්වේ. එය මර්දනය කළ යුතු තත්ත්වයකි. එහෙත් මර්දනය කිරීමට පළමු එය හඳුනාගතයුතුය. පසුව එය ඉවත්කළ යුතු වුව ද ඉවත් කළ සැනින් ඒ රිත්කකයට ආදේශකයක් සපයිය යුතුය. නැතහොත් ඉවත් කළ සිතුවිලි යළි ඒ ස්ථානයට ම ඇතුළු වේ.



සිතන්න.



විනාශවීමට ඔබ තුළ ආශාවක් නැත. ඔබ තුළ ඇත්තේ රැකී සිටීමට, ජයගැනීමට, රසවත් වින්දනයට, ආදරය,කරුණාව, සෙනෙහස ලැබීමට ආශාවකි.එහෙත් අවාසනාවට ඔබ තෝරාගෙන ඇත්තේ වැරදි මාර්ගයකි.

 

ඔබ දැනුමෙන් බුද්ධියෙන් සන්නද්ධ නොවී ප්‍රේම මාවතට පිවිස තිබේ.

 

ප්‍රේමය අංජනයකි. ඇස ගැල්වූ විට සිහිල් සුවයක් දැනේ. වතට සුන්දරත්වයක් එක් කරයි. නමුත් ජීවන යුධපිටියේ දී හී සැර වළකන්නට මේ අංජනයට බැරිය. කඩු, පලිස් හා ගත රකිනා සන්නාහයන් සේ දැනුම කුසලතා හා ආකල්ප ඔබ තුළ වර්ධනය කරගතයුත්තේ ඒ නිසා ය. නොදැන හෝ ඔබ පිවිස සිටින්නේ අමුතු ම ආකාරයක භයානක ඉසව්වකට ය.කඩුව ගන්නට තවත් ගව්වක් යා යුතු ය. සතුරා සිටින්නේ දෙගව්වකු ඈතිනි. ඔබ කඩුව ගන්නට ගව්ව නොගොස් දෙගව්වක් ඈතින් හිඳිනා සතුරාට යුද්ධයට ඇරයුම් කරයි. සතුරා නිතර සූදානම් ය.සන්නාහ සන්නද්ධය. ඔබ යුද්ධ කරන්නේ කෙසේ ද?



සිතන්න.



පළමුව ඔබ තවත් ගව්වක් දුර යා යුතු ය. අසිපත හිමිකරගතයුතු ය. අසිපත ගත් පමණින් සතුරාට යුද්ධයට ඇරයුම් නොකළ යුතුය. සතුරා හමුවන තුරු යා යුතු ය. ඒ අතරතුර ඔබට තවත් ආයුධ ද සන්නාහයන් ද හිමි වනු ඇත.සන්නාහ සන්නද්ධව ඔබ සතුරාට සමීප වන විට සතුරෙක් ලෙස ඔබ දැක ඇත්තේ මිතුරෙක් බව වැටහෙනු ඇත. ඒ මිතුරා ද එක් වූ පසු ශක්තිය ද, ජවය ද, ප්‍රාණවත් භාවය ද දෙගුණ තෙගුණ වනු ඇත.එවිට ඔබ ආරක්ෂිතය.

 

සතුරා ලෙස දුටුවේ ජීවිතය යි. නූගතාට ජීවිතය පෙනෙන්නේ සතුරෙකු ලෙසිනි. ඔහු ජීවිතය වනසා ගන්නේ, නැතිකර ගන්නේ ඒ නිසා ය.එහෙත් ජීවිතය ඔබගේ මිතුරෙක් වූ විට බොහෝ ගැටලු විසඳේ. ඔබට ජීවිතය ජය ගැනීමට හැකි වේ. ජීවිතය තවදුරටත් ඔබගේ සතුරෙක් නො වේ.

 

අධ්‍යාපනය ලැබිය යුතු කාලයේ ප්‍රේමයට යොමු වීමෙන් මගහැරී යන්නේ ඔබට හිමි විය යුතු දැනුම, කුසලතා, ආකල්ප වර්ධනය කරගැනීමට වැය කළයුතු කාලය යි. ඉතින්,

 

පාසල් ප්‍රේමය තුළින් ඔබ ජීවිතය සතුරෙකු කරගන්නවා ද?ජීවිතය සතුරෙකුකොටගෙන ජීවිතය නැති කර ගන්නවා ද...? විනාශය කරා යනවා ද...?

 

නැති නම් අධ්‍යාපනය තුළින් ජීවිතය ජයගෙන වඩාත් සුන්දර,ප්‍රේමණීය ලෝකයකට පියවර තබනවා ද...?

3488 වරක් කියවා ඇත.
ict_branch නිර්මාණය :
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
පිටු පෙළගැස්ම | වියාචනය | පරිපාලක පිවිසුම
කතු හිමිකම © 2012-2016 | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
මෙම පද්ධතියේ ඇති සියලුම අන්තර්ගතයන් සඳහා හිමිකම් ඇවිරිණි.
කිසිදු අන්තර්ගතයක් ලිඛිත අවසරයකින් තොරව වෙනත් වෙබ් පිටුවක හෝ වෙනත් කුමන ආකාරයක හෝ සමාජ ජාල වෙබ් අඩවිවල උපුටා පළ කිරීම සපුරා තහනම් වේ.