ජීවිතයට අභියෝග කුමකට ද? (මල් මංජරී ලිපි පෙළ අංක 02 )

ලිපිය සැකසීම :

 

ජීවිතයට අභියෝග කුමකට ද?

 

අප මේ පෘථිවි තලයේ උපන්නේ මෙහි ජීයවයට හිතකර පරිසරයක් ඇති නිසා ය. එසේ නොවිණි නම් බ්‍රහස්පති මත හෝ සෙනසුරු මත හෝ ප්ලූටෝ මත ද ඉපැදිය යුතු ය. එහෙත් එසේ නොවූයේ ඒ ආදී වූ බොහොමයක් ග්‍රහවස්තූන් මත ජීවයට හිතකර පරිසරයක් නොමැති නිසා ය.

 

පෘථිවිතලයේ ඇති ජීවහිතකාමී පරිසරය සර්වාකාරයෙන් ම ජීවයට උපකාර කරයි. උපදින්නට පමණක් නොව වැඩෙන්නට ද පරිණත වන්නට ද උපකාර කරයි. ඈත ශිලා යුගයේ සිට ම මිනිසා වැඩුණේ, මේ සා දුරක් ආවේ අප අවට පරිසරය අපට දුන් අනභිභවනීය සහය නිසා ය. හිරු ද සඳු ද, ඇළ දොළ ද, සයුර ද, සතා සීපාවා ද පමණක් නොව මිනිසා ද මේ පරිසරයේ ම කොටස්කරුවෝ ය. අවුව වැස්ස පමණක් නොව, දුප්පත්කම, ආහාර හිඟකම, රෝගාබාධ, භූගෝලීය දුෂ්කරතා ආදිය ද පරිසරයේ අභියෝගයන් ය. එහෙත් අභියෝග ස්වරූපයෙන් පරිසරය අපට ලබාදෙන මේ සහය අවාසනාවකට මෙන් අප තේරුම් ගන්නේ නැත. අපි දැන් පරිසරයට අනුගත වීම පසෙක තබා අපට අභියෝග වන පරිසරය අපට අවැසි ලෙස වෙනස් කිරීමට පෙළඹී ඇත්තෙමු. ගස්කොළන් කපා දමමින් වනපෙත් හෙළිකරන අතර මිනිසා හැර සෙසු ජීවීන්ගේ ජීවත්වීමේ අවස්ථා පැහැරගනිමින් සිටිමු. එපමණක් නොව කඳු ද පර්වත ද දැන් තිබූ ස්ථානවල නැත. ගංගා ගලන්නේ එතුවක් ගලා ගිය මාවතේ නො වේ. මේ නිසා වැසි වැටෙන්නේ නියමිත කාලයට නො වේ. නියමිත පරිමාණයට ද නො වේ. මේ සියල්ලට ම වඩා භයානක තත්ත්වය නම් තමන්ට අභියෝගයක් වන මිනිසුන්ව ද අති අමානුෂික ආකාරයෙන් ඝාතනය කිරීමට මිනිසා පෙළඹී සිටීමයි. තමන්ට වඩා වෙනස් මතයක් දරනා, තමන්ට වඩා වෙනස් ආගමක් අදහනා මිනිසුන්ව ද ඝාතනය කිරීමට පෙළඹීමයි. එහි අවසන් ඵලය වන්නේ ඔබත් මමත් ඇතුළු සමස්ත ජීවය ම මේ පෘථිවිතලයෙන් වඳ වී යාම යි.

 

සත්‍යවශයෙන් ම පරිසරය මිනිසාට අභියෝග එල්ල කරන්නේ ඇයි. මිනිසා වනසන්නට ද? පෙළන්නට ද, පළිගන්නට ද? නැත සත්‍යවශයෙන් ම පරිසරය මිනිසාට අභියෝග එල්ල කරන්නේ පරිණතවීමට අතදීමක් වශයෙනි. දිනකින් දෙකකින් වැඩී පැයකින් දෙකකින් මියැදෙනා මලක් හෝ ඵලයක් නොමැති වැලක් සේ නොවී සවිමත් මූල පද්ධතියක් ඇති විසල් රුකක් සේ වැඩෙන්නට ය. ජලය ද පොහොර ද නිසි කලට නිසි ලෙසට ලබා දී වර්ධනය කරනා ගස් ඉතා ඉක්මනින් ඉදිරී වැටෙන්නේ එහි මූල පද්ධතිය ශක්තිමත් හෝ බොහෝ දුරක පැතිරී නොයන නිසා ය. ජලය හෝ පොහොර සොයා දුර ඇදෙන්නට මේ ගසේ මුල්වලට අවශ්‍ය නො වේ.මන්ද යත් සියල්ල නිසි කලට නිසි පමණට ළඟට ම ලැබෙන නිසා ය. ඒ නිසා මුල් පද්ධතිය පටු බිමක පැතිර පවතී. මද සුළඟට ද ඉදිරී වැටෙයි. එහෙත් වියළි ප්‍රදේශයක වැඩෙනා ගසක් පිළිබඳ සිතා බලන්න. හුදෙකලා ගස් ද මහා මේඝයන්ට පවා ඔරොත්තු දී නොවැටී සිටී. ඒ පරිසරයේ අභියෝගය නිසා ය.

 

එහෙත් අභියෝග අබියස අප කරන්නේ කුමක් ද? අප අවට පරිසරය අපට අවැසි අයුරින් සංස්කරණය කර ඒ අභියෝග එල්ලවන තැන් වැනසීමයි. මෙහි ඵලය වන්නේ මිනිසා අපරිණත වීමයි. වෙනස් වන පරිසරයට ඔරොත්තු දීමට නොහැකි සත්ත්වයෙකු වීම යි. පළමු අභියෝගයට මුහුණ නොදුන් මිනිසා පරිසරයේ දෙවන අභියෝගයේ ගොදුරක් වන්නේ පළමු අභියෝගයට මුහුණ දී පරිණත නොවූ නිසා ය. ශක්තිවන්ත නොවූ නිසා ය.එහෙත් මිනිසා මේ ගොදුර අර්ථකථනය කරන්නේ වෙනස් අයුරකිනි.

 

‘පස්කන්ද මිනිසුන් දෙදෙනෙකු බිලිගනී.‘

 

‘කුඩා දරුවා ගංදියට බිලි‘

 

‘ජල රකුසා තවත් බිල්ලක් ගනී‘

 

‘තරගයට වැස්සෙන් බාධා‘

 

‘නියං රකුසා දැඩි වෙයි‘ ආදී වශයෙනි. එහෙත් සත්‍යය නම් භෞතික විද්‍යාවෙන් සියල්ලට පිළිතුරු සෙවීමට පෙළඹී ඇති මිනිසා පරිසරයේ අභියෝග මගහැරීම නිසා අපරිණතව තමා විසින් ම තමා බිල්ලට දීමයි.

 

අභියෝග ඇත්තේ මුහුණ දී පරිණත වන්නටය. අභියෝග සිඳින්නට එපා. අභියෝග හමුවේ ජිවිතයෙන් පලා යන්නට එපා. එයට මුහුණ දී ශක්තිමත් වන්න. ඔබ ප්‍රමාණවත් පරිදි ශක්තිමත් වූ පසු පරිසරය තවදුරටත් ඔබට අභියෝග එල්ල කරන්නේ නැත. අභියෝග හමුවේ ජීවිතයෙන් පලායෑම යනු තවත් භවයකට දුර්වලයෙකු රැගෙනයෑමක් පමණි. අභියෝග යනු පරිසරය විසින් අපවෙත ලබා දෙන සහයක් බව මතකයේ තබාගන්න. එය වෙස්වලාගත් ආශිර්වාදයක් බව මතකයේ තබාගන්න.

 

3545 වරක් කියවා ඇත.
ict_branch නිර්මාණය :
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
පිටු පෙළගැස්ම | වියාචනය | පරිපාලක පිවිසුම
කතු හිමිකම © 2012-2016 | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
මෙම පද්ධතියේ ඇති සියලුම අන්තර්ගතයන් සඳහා හිමිකම් ඇවිරිණි.
කිසිදු අන්තර්ගතයක් ලිඛිත අවසරයකින් තොරව වෙනත් වෙබ් පිටුවක හෝ වෙනත් කුමන ආකාරයක හෝ සමාජ ජාල වෙබ් අඩවිවල උපුටා පළ කිරීම සපුරා තහනම් වේ.