අලම්බුසා ජාතකය 508

ලිපිය සැකසීම :

තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වසන සේක් පළම් හරන ලද ස්ත්‍රීයක කෙරෙහි ලෝභ ඉපද වූ භික්ෂුවක් අරභයා මේ ජාතකය වදාළ සේක.

 

නිධාන කථාව:- තමගේ නොකැමැත්තෙන් බුදුන් හමුවට ගෙන ආ ඒ භික්ෂුව අතින් මහණ සැබෑ ද තොප පුරාණ දූතිකාව කෙරෙහි ලෝභ කෙළේදැ’යි විචාරා සැබවයි කී කල්හි එම්බා මහණ මේ ස්ත්‍රීය තොපට අනර්ථව යෙදුණේ දැන් පමණක් නොවෙයි , පෙරත් ඈ නිසා ධනයෙන් පිරීහි තුන් අවුරුද්දක් මුළුල්ලෙහි විසඥව වැදහෙව සිහි ලැබගෙන මහ හඬින් හැඬුයේ වේදැයි ඉකුත්වත වදාළ සේක.

 

ආරාධනය:- භික්ෂූන් වහන්සේ,

 

ජාතක කථාව:- යටගිය දවස බරණැස බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍යය කරන කල්හි කසීරට බමුණු මහසල් කුලයක ඉපිද වැඩිවිය පැමිණ සිල්ප හදාරා වනගතව පැවිදිවූ එක් තාපසයෙක් වීය. ඒ අසළ වාසය කළ එක් මුවදෙනක් තාපසයන් මුත්‍රා කළ ස්ථානයක තුබු තණ අනුභව කොට පැන්බී පමණකින් තාපසයන් පිළිබඳ දරු ගැබක් හටගෙන එතැන් පටන් පන්සල සමීපයෙන් පිටත නො ගොස් සිටීන්නී කල්යාමෙන් කුමාරයකු වැදුවාය. තාපසයෝ ඒ කුමාරයන් කෙරෙහි පුත්‍ර ස්නේහය උපදවා ‘ඉසිසිඬඟ තාපසයෝ’ යයි නමක් තබා මනාකොට ඇතිදැඩි කොට වැඩිවිය පැමිණි කල්හි තමාම ශිල්ප උගන්වා පැවිදිකොට තමන්ගේ මහලු අවස්ථාවෙහි තාපස කුමාරයන්වද කැටුව නාරිවාහන නම් වනයට ගොස් එහි පිපියා වූ මල්කැන් දක්වා “පුත , මේ හිමාලයෙහි මල් හා සමාන ස්ත්‍රීහුනම් ඇත. උන්ගේ වසඟයට ගියහොත් මහත් විනාශයට පත්වන්නේය. එබන්ඳන්ට වසඟ නොවිය යුතුය”යි අවවාද කොට සිට ටික දිනකින් මියගොස් බඹ ලොව උපන්හ.

 

එකල ඉසිසිඞ්ග තාපසයෝ ධ්‍යාන උපදවා ඝොරවූ උන්ගේ තේජසින් ශක්‍රභවන උණුව ගියේය. ඒ බව දුටු ශක්‍ර දේවේන්ද්‍රයෝ මොහු උග්‍ර ගපස් රැක මාගේ ශක්‍ර පදවිය උදුරා ගතහොත් නපුරැයි වරදවා සිතා තාපසයන්ගේ සීල භෙද කරනු පිණිස දිව්‍යාඬගනාවක් යවමියි අදහස් කොට දෙව්ලොව හැමතැනම බලන්නාහු අලම්බුසා නම් දෙවඟන ඊට සුදුසුයි නියමකොට ඈ අමතා උග්‍ර තපස්කම් කරන ඉසිසිඞ්ග ළඟට ගොස් “තොපගේ මායමින් ඔහුගේ ශීල භෙදකොට දෙව්ලොවට එන මාර්ගය වලකව”යි කීහ. අලම්බුසාව මුලදී එය නොඉසු නමුත් ශක්‍ර දේවේනද්‍රයාගේ ඇවටිල්ල නිසා එය පිළිගෙන ඉසිසිඞග තාපසයන්ගේ පන්සලට ගොස්, අලුයම ධ්‍යානයෙන් නැගී සිට ගිනිහල් ගෙය අමදනාවූ තාපසයන් කරා පැමිණ ස්ත්‍රී විලාස දක්වමින් අභිමුඛයෙහි සිටියාය. තාපසයෝ ඈ දැක විචාරන්නාහු විසිතුරු ආභරණවලින් සැරසී ඕසධී තාරකාවක් මෙන් බබළන තී කවර දිව්‍ය නිකායකට අයත් දිව්‍ය ස්ත්‍රියක් ද? තොපගේ ශෝභාමත් වූ අඟපසඟ දැකීමෙන් මාසිත බැඳි ගියේය. තී කවරෙක් දැ’යි විචාළහ.

 

එවිට ඈ කියන්නී “තපස්වීන් වහන්ස , ඔබගේ සිත මා කෙරෙහි බලවත්ව ඇලුණ බැවින් විචාරන්ට කල් නො වෙයි,වහාම එනු මැනව. අපි දෙදෙනා එක්ව වැළදගෙන පංචකාම රතියෙන් අභිරමණය කරම්හ”යි කියා තාපසයන්ව ඉක්මන් කරවනු සඳහා තමා ආ මඟටම යාමට පිළිපන්හ. ඈ යති’යි සිතූ තාපසයෝ වහා දිවගොස් ඇගේ කෙස් වැටියෙන් අල්ලා ගත්හ.

 

අලම්බුසාව වහා හැරී තපස්වී වැළඳගත්තීය. එකෙනෙහිම තාපසයන්ගේ ධ්‍යාන අන්තර්‍ධාන විය. බ්‍රහ්ම චර්යාවෙනුත් චුතවූහ. ශක්‍රයන්ගේ අදහස් ද ඉටුවීය. අලම්බුසාව ඉටුවූ සීල භේදය නිසා ප්‍රීතියට පැමිණ තාපසයන් වැළඳගෙන සිට ම අප දෙදෙනාට සැතපෙන පිණිස යහනක් එවූසේක් වී නම් යහපතැ’යි සිතන්නී, අලංකාර ස්වර්ණ පර්යංකයක් එවූහ. ඈ එහි හිඳ ඉසිසිඬග තාපසයන් තමා ලෙහිලා දරාගෙන මිනිස් ගණනින් තුන් අවුරුද්දක් එසේම සිටියාය. ඒ කාලය මුළුල්ලෙහි තපස්වී විසඥ භාවයට පැමිණි සිටියහ. මේ තුන් අවුරුදු කාලය අලම්බුසාවට එක් මොහොතක් තරම්වත් කාලයක් නො වීය.

 

තුන් වර්ෂය ඉක්මී සිහිය යථාතත්ත්වයට පත්වේගෙන එන අවස්ථාවේ තපස්වී අතපය සොලවා පුබුදින්නට පටන්ගත් කල්හි ඒ බව දැනගත් අලම්බුසාව යහන අතුරුදහන් කොට තොමෝත් අතුරරුදහන් වූවාය. තාපසයෝ පිබිදී වටපිට බලා, වර්ෂ තුනක් මුළුල්ලෙහි වල් බිහිවී මල් පිපී ගිය අවට බලා තමාගේ සීලය විනාශ භාවයට පත්වූ බැව් දැන මහ හඬින් හඬා කඳුළු වැගුරූහ. මෙතෙක් කල් හෝමයත් මන්ත්‍ර පිරීමත් නො කළෙමි. ගිනි දෙවියාට පූජාත් පිරිහෙළිමි. මෙතෙක් කල් කුමක් වූයේදෝයි මහත් හඬින් විලාප කියන්නට වූහ.

 

ඒ වාක් විලාප අසා අලම්බුසා සිතන්නී “ඉදින් මා එහි නොගියේ නම් ඔහු මට දොස් තබන්නාහ. මම ඔහුගේ ශිල භේදය කළබැව් කියමි”යි සිතා එහි ගොස් “තපස්වීන් වහන්ස, ඔබගේ ශීලය භේද කරනු පිණිස ශක්‍රයන්ගේ නියමයෙන් පැමිණි මම ඔබව පොළඹවා මාගේ වසඟයට පමුණුවාගෙන ශීල භේදයට පැමිණවිමි, මාගේ ශරීරස්පර්‍ශයෙන් මත් වූ ඔබ මෙතෙක් කල් කිසිවක් නො දත්තේය”යි කීවාය. එබස් ඇසූ තාපසයෝ පියා දුන් අවවාද සිහිකොට මහත් ශෝකයට පැමිණ, මාගේ ජීවත්වීමෙන් කවර ප්‍රයෝජනයක් ද මරණයට හෝ පැමිණෙමි. නැත්තම් නටුවා වූ ධ්‍යාන නැවත උපදවා ගනිමි’යි සිතා වීර්ය වඩා නැවත ධ්‍යාන ඉපදවූහ.

 

එකල්හි තපස්වීන්ගේ තේජසින් ධ්‍යාන ඉපදවූ නියාව දැන අලම්බුසාව භයින් ත්‍රසත්ව වහා පැමිණ ශක්‍රයන්ගේ ඉල්ලීම පිට කළ වරදට ක්ෂමාව ලබාගෙන දෙපය අල්ලා වැඳ පැදකුණු කොට ගියාහ. ශක්‍රයෝ ඈ දැක ඉතා සතුටුව කැමති වරයක් ගනුවයි කීහ. ඈ වර ගන්නී නැවත තපස්වී කෙනෙකුගේ සීල භේදය කරනු සඳහා තමාව මතු නොයවන ලෙසට පොරොන්දු කරවා ගන්නා වරයක් ලබා ගත්තාය.

 

එසමයෙහි අලම්බුසාව නම් මේ පූරාණ දූතිකාවය, ඉසිසිඞග තාපසයෝ නම් මේ උකටලී භික්ෂුවය. අවවාද දුන් තාපසයෝ නම් තථාගතයන් වහන්සේ ය.

 

උපුටා ගැනීම- පන්සියපනස් ජාතක පොත් වහන්සේ

1959 වරක් කියවා ඇත.
ict_branch නිර්මාණය :
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
පිටු පෙළගැස්ම | වියාචනය | පරිපාලක පිවිසුම
කතු හිමිකම © 2012-2016 | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
මෙම පද්ධතියේ ඇති සියලුම අන්තර්ගතයන් සඳහා හිමිකම් ඇවිරිණි.
කිසිදු අන්තර්ගතයක් ලිඛිත අවසරයකින් තොරව වෙනත් වෙබ් පිටුවක හෝ වෙනත් කුමන ආකාරයක හෝ සමාජ ජාල වෙබ් අඩවිවල උපුටා පළ කිරීම සපුරා තහනම් වේ.