අරිසෙන් අහුබුදු (1920 මාර්තු 18 – 2011 මැයි 26)

ලිපිය සැකසීම :

කලාසූරී අරීසෙන් අහුබුදු සිංහල බස පිළිබඳ වියතෙකි. එතුමා ශ්‍රීලංකාවේ කීර්තිමත් කතුවරයෙක්, කථිකයෙක්, ශාස්ත්‍රඥයෙක්, නාට්‍ය රචකයෙක්,ගුරුවරයෙක්,සිංහල ගීත රචකයෙක් සහ කිවියෙක් වීය. තව ද හෙළහවුලේ කැපී පෙනෙන සාමාජිකයෙක් ලෙස ද ඔහු ප්‍රසිද්ධියක් ඉසිලීය.

ළමාවිය හා පවුලේ තොරතුරු -

 

“දෙවුන්දර දේවමනිමේන්ද්‍ර ආර්යසේන ආශුබෝධ” හෙවත් අරිසෙන් අහුබුදු මහතා 1920 මාර්තු 18 වන දා කොග්ගල මළලගම දී උපත ලැබීය. ඔහුගේ පියා තොරෝනිස් දේවමනිමේන්ද්‍ර විය. මව ලයිසොහාමි වතුගෙදර නම් වූවාය. සිය මුත්තණුවන් වූ සලමන් වතුගෙදර මහතාණන් ඇසුරෙහි ළමා කාලය ගතකළ ඔහු සාහිත්‍ය රසය හඳුනාගන්නේ එහි දී ය. මුත්තණුවන් වෙතින් ඇසූ කවි කතා සිලෝ ආදිය ඔහුගේ පසු කාලීන සාහිත නිමැවුම්වලට මනා පිටිවහලක් විය. කොග්ගල මළලගම එකල පැවැති ගැමි පරිසරයත් ජනකලා නැඹුරුවත් ළමා අහුබුදුගේ රස හැඟුම් පිබිදවූ තවත් කරුණු ය. (හෙළයේ මහා ගත්කරු, මාර්ටින් වික්‍රමසිංහයෝ ද කොග්ගල මළලගම උපන්නෙකි.)

 

අහුබුදුගේ වැඩිමහල් සොහොයුරා අමරසේන ආශුතෝෂ නම් වේ. හේ වෛද්‍යාචාර්යවරයෙකි. උපසේන නම් බාල සොහොයුරෙකු සිටි අතර ඔහු කුඩා කල දී ම මිය ගියේය.

 

අධ්‍යාපනය-

අහුබුදු මහතා 1927 දී කතළුවේ රජයේ පාසලට ඇතුළු වී 1934 තෙක් මූලික අධ්‍යාපනය ලැබීය. 1934 දී පාසල් හැරයෑමේ සහතිකපත් විභාගයෙන් ඔහු පළමු පෙළේ සාමර්ථ්‍යයක් ලැබීය. 1935 වසරේ දී හබරාදූවේ අභයදාන විදුහලට ඇතුළත් වී ප්‍රාරම්භ සහතිකය ලබා 1937 දී කොග්ගල අමද්‍යපාන බෞද්ධ මිශ්‍ර පාසලට ඇතුළත් ව ගුරු සහතිකය ලබාගත්තේය. 1939 දී නිට්ටඹුවේ ගුරු අභ්‍යාස විද්‍යාලයට ඇතුළත් වූ අහුබුදු ශූරීහු, 1942 දී පුහුණු ගුරුවරයකු ලෙස එයින් පිටවූ හ.

 

විවාහ දිවිය-

 

අරිසෙන් අහුබුදු තිස්තුන්වන වියේ දී (1953 අගෝස්තු මස 23 වැනි දින) “බෙලිදෙණියේ චන්ද්‍රා දේවාලෙගම” මෙනෙවිය හා විවාපත් විය. එදා සිට ඕ “සඳා අහුබුදු” බවට පත් වූවා ය. මේ යුවළට උපන් දරුවෝ දෙදෙනෙකි. නමින් දුව සමන්ති ද පුතු උදම් ද වෙති. මනූ ,සනූ නමින් මුනුපුරු දෙනෙක් ද සඳනි නම් මිනිපිරියක් ද සෙනූ නම් මී මුනුපුරෙක් ද ඔවුනට සිටිති.

 

සාහිත දිවිය

 

පාසලින් ලද දැනුමට වඩා දැනුමක් ඔහු යහපත් ගුරු ඇසුරින් ලැබීය. කොග්ගල මහ කිවි වෙල්ලාල ජයමහයන් ඇසුරින් සාහිත්‍යයත් ශබ්ද ශාස්ත්‍රයත් හදාළ අහුබුදු ශූරීහු ගුරු දෙවි කුමාරතුංග මුනිදාසයන් ඇසුරින් සියබස් දැනුම පෝෂණය කරගත්හ. කුමාරතුංගයන්ගේ ඇසුර ඔහුගේ දිවිය නව මඟකට හරවන්නට සමත් විය. කුමරතුඟුවන් ඇරැඹි සුබස සඟරාවට පද්‍ය සැපයූ අහුබුදු ශූරීහු ක්‍රමයෙන් හුදු හෙළ වහරට නැඹුරු වූ හ. එහි ප්‍රතිඵලයක් ලෙස ආර්යසේන ආශුබෝධ යන නම ද ‘අරීසෙන් අහුබුදු’ යැ යි හුදු හෙළ බසට නඟා ගැනිණ. කුමාරතුංගයන්ගෙන් පසු හෙළ හවුලේ නායක බවට පත් ජයන්ත වීරසේකරයන් ගේ ගුරු ඇසුර ද අහුබුදුවන් ගේ දිවියට විශේෂ බලපෑමක් ඇතිකෙරිණි.

 

1944 දී කුමාරතුංග මුනිදාසයන් විසින් අරඹන ලද හෙළ හවුලේ සාමාජිකයෙකු ලෙස ද අහුබුදු ශූරීහු කටයුතු කළහ. ඔහු වරක් එහි සංස්කාරක ධුරය ද දැරී ය. හෙළ හවුලෙහි අටවන නායකයා ලෙස ද කෙටි කලක් සිටි අතර ඔහු අධික කාර්යබහුලත්වය හේතුවෙන් එම තනතුරින් ඉල්ලා අස්විය. අදත්, කුමාරතුංග මුනිදාස ,ජයන්ත වීරසේකර,රැයිපියල් තෙන්නකෝන්,අමරසිරි ගුණවඩු, වෙල්ලාල ජයමහ ආදී ජ්‍යෙෂ්ඨ භාෂා වියතුන් ඇසුරින් භාෂා ශාස්ත්‍ර දැනුම වර්ධනය කරගත් අහුබුදුවන් හා සමකාලීන ව හෙළ හවුලේ කාර්යයෙහි නිරතවූවෝ බොහෝ වෙති. අලවු ඉසි සැබිහෙළ,ගුණපාල සේනාධීර , හියුබත් දිසානායක, , වෙ.වි. අභයගුණවර්ධන, ශ්‍රී චාල්ස් ද සිල්වා, අ.දො. චන්ද්‍රසේකර, සඳදස් කෝපරහේවා, සවිමන් ගුණතිලක, දො.දෙ. මොහොට්ටි ආදීහු ඔවුනතර කිහිප දෙනෙකි.

 

ගුරු දිවිය

 

මුල්පත්වීම-1937අහංගම ශාරිපුත්‍ර විදුහල

 

1942 -කීඹියේ රජයේ පාසල

 

1943- කටුගස්තොට දීගල විදුහල

 

1944 - වැල්ලේතොට පාසල

 

1945 -නුවරඑළියේ හෝලි ට්‍රිනිටි විදුහල

 

1946 -ගාල්ලේ මහින්ද විදුහල

 

1951 -1979-ගල්කිස්සේ සාන්ත තෝමස් විදුහල

 

ගුරුදිවියේ ඉසිඹු සමය

 

වසර 42ක් ගුරු සේවාවේ යෙදුණු අහුබුදු ශූරීහු 1979 වර්ෂයේ දී ගුරු දිවියෙන් සමුගත් අතර 1985 තෙක් සිංහල ශබ්දකෝෂ කාර්යාලයේ සංස්කාරක තනතුරක් දැරූ හ. ඉන්පසු 1985-1989 තෙක් අගමැති කාර්යාලයේ උපදේශකවරයකු ලෙස ද එතැන් සිට 1994 තෙක් ජනාධිපති භාෂා උපදේශක ලෙස ද අනඟි මෙහෙයක් ඉටු කළේය.

 

අරීසෙන් අහුබුදුවන්ගේ නම විශේෂයෙන්ම කියවෙන්නේ සිංහල භාෂා විශාරදයකු ලෙසිනි. භාෂාමය ගැටලුවක දී බොහෝ දෙන පිළිතුරු අපේක්ෂා කළේ මෙතුමාගෙනි. 

 

භාෂාව වෙනුවෙන් සිදුකළ සේවාව

 

නිවැරදි භාෂා ව්‍යවහාරය පිළිබඳ රට පුරා දේශන පැවැත්වීම.

 

පුවත්පත් සඟරා ආදියට ලිපි සැපයීම

 

පොත්පත් ලිවීම

 

හෙළ වදන්වලට නිරුක්ති සැපයීම

 

භාෂා ව්‍යාකරණය පිළිබඳ පර්යේෂණ සිදුකිරීම

 

ස්වාර්ථ තද්ධිත ප්‍රත්‍ය ගණනාවක් සොයා ගැනීම.

 

සංඥානාම ප්‍රකෘතියට ම ප්‍රත්‍යය එකතු කිරීම සිංහල භාෂා ව්‍යවහාරයට පටහැනි නොවන බව පෙන්වා දීම. (ගුණදාසට, පියසේනට ඈ විසින්)

 

‘සිංහලයේ පදබෙදුම’ නම් භාෂා පර්යේෂණ ග්‍රන්තය රචනාකිරීම.

 

දර්ශනාත්මක නමින් නව රස විශේෂයක් හඳුන්වාදීම

 

පර්යේෂණවල ප්‍රතිඵල

 

සංස්කෘත,පාලි යන භාෂාද්වයෙන් සිංහලය බිඳිනැ’යි යන මතය සපුරා බැහැර කළ මොහු, සිංහලය ලොව පැරණිතම භාෂාවක්/භාෂාව යැයි පැවසීය.

 

අරිසෙන් අහුබුදු නිර්මාණ

 

නිර්මාණකරුවෙකු ලෙස සලකන කල්හි අහුබුදුවන්ගේ ඉහළතම හැකියාව වන්නේ කවිත්වයයි. හැම ජාතික ගැටලුවක දී ම දැයට මෙහෙ කළ කෙනකුන්ගේ වියෝගයක දී ම පැදි පෙළක් සැපැයීම ඔහුගේ සිරිතකි. සරල බවත් පහන් ගුණයත් ඔහුගේ පබැඳුම්හි කැපී පෙනෙන ලකුණු යි.

 

කාව්‍ය නිර්මාණ

 

කොග්ගල සේන- මුල් ම නිර්මාණය(1936 සිළුමිණ පුවත්පතට සැපයූ පද්‍ය පංතියකි)

 

පරෙවිය අසුන් කව

 

රස දහර

 

ලක් බුදු සසුන් මහ කව

 

ඉර හඳ නැඟි රට

 

යටගිය වංසය

 

ගීත රචකයකු ලෙස ද අරීසෙන් අහුබුදුවන් දක්වා ඇත්තේ ඉහළතම හැකියාවකි.

 

1939 දී ලියූ නිට්ටඹුවේ ගුරු විදුහල් ගීය ඔහුගේ මුල් ම ගී පබඳ ලෙස ගැනේ. එතුමා විවිධ ඉසව් නියෝජනය වන පරිදි ගීත රචනාකර ඇත.

උදා- බොදු බැති ගී, දෙව් බැති ගී, ජාතිකාභිමානී ගී, ආයතන ගී, චිත්‍රපට ගී, ළමා ගී, නාට්‍ය ගී, සමරු ගී

 

අහුබුදුවන්ගේ ගී පබැඳුම්-

 

ලංකා ලංකා පෙම්බර ලංකා

 

“දකුණ නැඟෙනහිර...”

 

සමන් වැලේ මල්...”

 

“සෙංකඩගල පුර දළදා බුදු රැස්...”

 

“අතු අගැ වන මල්...”

 

“ගොළු මූදේ මුතු ඇටේ...”

 

“කෝ හතුරෝ...”

 

“පුර්තුගීසීකාරයා...”

 

“සුදට සුදේ වලාකුළයි...”

 

“පුන්සඳ එළිය යි...”

 

“කටේ කිරි සුවඳ...”

 

“කවුරුදෝ කවුරුදෝ දැන් ලොක්කෝ...”

 

ළමා සාහිත්‍යය නිර්මාණ

 

අරිසෙන් අහුබුදු ශූරීහු අද්විතීය ළමාසාහිත්‍යකරුවෙකි. ළමා සිතෙහි අබිමන් වඩවන බස රැස දෙස පිළිබඳ ඇල්ම වඩවන සොබාදහමෙහි අසිරිය පෙන්වන රසයෙන් කුල්මත් කරවන ලොව පිළිබඳ දැනුම ලබාදෙන ළමාකතා කවි ගී රැසක් ඔහු අතින් ලියැවී ඇත.

 

ළමා පොත්- මල් පාත්තිය, දළඹු නින්ද,මල්ලී ඉපැදීම

 

ළමා කව්,ගී පොත්-

අත්තටු, සමන් වැළ, ළමා ගී

 

යොවුන් සාහිත්‍ය නිර්මාණ

 

යොවුන් නවකතා- රන් කිරුළ

 

කලට පිපෙන මල

 

කෙටිකතා නිර්මාණ

 

කෙටිකතා කරුවකු ලෙස ද අහුබුදුවෝ කැපී පෙනෙති. පුවත්පත් සඟරා ආදියට ඔහු විසින් කෙටිකතා සියගණනක් ලියා ඇත.

 

කෙටිකතා-

 

අසම්මතය රජ වීම

 

අපේ බණ කතා

 

නූතන ජාතකතා

මීට අමතරව අහුබුදුවන් නාට්‍ය රචකයකු, අධ්‍යක්ෂවරයකු ලෙස ද ඉහළ කුසලතාවක් දක්වා ඇත. 1946දී ඔහු නාට්‍ය පිටපත් රචනයට පිවිසුණි.

 

නාට්‍ය නිර්මාණ- වනරාජ කුමරිය, හෙළ හැතිරිය, සක්විති රාවණය, ලෝකාන්තය සහ ගැට, සිවුහෙළ, රාජයෝගය,

 

පරාජිත චරිත මතු කරන නාට්‍ය මඟින් ජාතියෙහි කොඳු නාරටිය වන් තරුණ පරපුර නොමඟට යොමු කැරෙනු දැක ඔවුන්ගේ හදෙහි අභිමානය දල්වා එඩිමත් ජාතියක් බිහි කරනු පිණිස තමන් නාට්‍ය රචනයට පෙළඹුණහ’යි අහුබුදුවෝ ම පවසති. සක්විති රාවණය උක්ත නාට්‍ය අතර ඉහළතමය යි. විසි වසරක් ඉක්මවා (1987 - 2007) රඟ දැක්වුණු එය විචාරක පසැසුමට වෙසෙසින් බඳුන් වූවෙකි. එහි එන ගී ද ඉතා ජනප්‍රිය වී ය.

 

ගුවන් විදුලි ගීත නාටක-

 

ලංකා පුරාණය ,පඬු අබා

 

ඉතිහාස පර්යේෂකයකු ලෙස ද අරීසෙන් අහුබුදුවනට ලැබෙන්නේ නොදෙවෙනි තැනෙකි. මහාවංසයෙන් යට ගිය ඉපැරැණි ලංකා ඉතිහාසය හෙළි පෙහෙළි කිරීමට ඔවුන් අතින් සිදු ව ඇත්තේ ඉමහත් මෙහෙයෙකි. ඔහුගේ පර්යේෂණ අනුව ලක්ඉතිහාසය වසර තිස් දහසක් ඉක්මවා ඈතට යයි. එම ඈත යටගියාව පිළිබඳව ඔහු පළ කළ ඇතැම් කරුණු පුරාවිද්‍යා පර්යේෂණ මඟින් ද තහවුරු ව ඇත. තාරක, රාවන ආදී ඉපැරැණි හෙළ නිරිඳුන් ගැන අහුබුදුවන් හෙළි කළ කරුණු මෙරට විද්වතුන්ගේ විමැසුම් ඇස ඇරැවීමට සමත් විය. ඉපැරැණි ලක් ඉතිහාසය අලළා පුවත්පත් -සඟරාවලට ලියූ ලිපි සිය ගණනක් වේ.

 

අනෙකුත් ග්‍රන්ත-

 

“හෙළ දෙරණ වග”

(පර්යේෂණ ග්‍රන්ථයකි)

 

ඉර හඳ නැඟි රට (‍ඉතිහාස කාව්‍ය)

 

කුමරතුඟු දෑ

ඇල්ම

 

කුමරතුඟු ඇසුර

 

ලංකා ගම් නම් වහර

 

අරුත නිරුත (ශබ්දකෝෂ)

 

මහා පාවා දීමේ ජාතකය

 

හෙළ අවුරුදු වග

 

බිළිඳුනට ද ආයතනවලට ද නම් දීමෙහි ලා අහුබුදුවන් අතින් සිදු ව ඇත්තේ සුවිසල් සේවාවෙකි. ශබ්ද ශාස්ත්‍රානුකූල ව විපුල සුබ පල දෙන නම් තැනීමෙහි ඉහළ ම තැන හිමි වන්නේ ඔහුට යි. බිළින්දන් සිය දහස් ගණනකට නම් දී ඇත. වෙළෙඳ ආයතන මෙන් ම රජයේ වැදගත් ආයතන ද බොහෝ ගණනෙක නම් තනනු ලැබ ඇත්තේ අහුබුදු ශූරීන් විසිනි. දැනුදු දින පතා ම ඔවුන් ගෙන් නම් ගැනීමට බොහෝ පිරිස් පැමිණෙති.

 

සිත්තරකු ලෙස ද අහුබුදුවෝ ඉහළ සමත්කමක් දක්වති. පුද්ගල රූප ඇඳීමට ඔහු විශේෂ සමත්කමක් දැක්වීය. තමන් හමුවට එන බොහෝ දෙනාට ඔවුන් තිළිණ කරන්නේ සියතින් ඇඳි බුදු රුවක පිටපතෙකි.

 

ඔහු රාජ්‍ය සාහිත්‍ය සම්මාන තුනක් ද,කලාශූරී ,නාමය ද හොඳම ගීත රචකයාට පිරිනැමෙන සරසවි සම්මානය ද හිමි කරගෙන ඇත.

 

ලක්මවට මෙවන් විශිෂ්ට සේවාවක් සිදුකළ ඒ මහා වියතාණෝ, සිය දිවි මගෙහි 92වන සැතපුම් කණුව පසුකරමින් සිටියදී 2011 මැයි මස 26වන දින ප.ව 2.09 ට දැයෙන් සමුගත්හ.


 

6577 වරක් කියවා ඇත.
ict_branch නිර්මාණය :
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
පිටු පෙළගැස්ම | වියාචනය | පරිපාලක පිවිසුම
කතු හිමිකම © 2012-2016 | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
මෙම පද්ධතියේ ඇති සියලුම අන්තර්ගතයන් සඳහා හිමිකම් ඇවිරිණි.
කිසිදු අන්තර්ගතයක් ලිඛිත අවසරයකින් තොරව වෙනත් වෙබ් පිටුවක හෝ වෙනත් කුමන ආකාරයක හෝ සමාජ ජාල වෙබ් අඩවිවල උපුටා පළ කිරීම සපුරා තහනම් වේ.