මුරගල

ලිපිය සැකසීම :

lowamahapaya

 

විහාර දොරටුවල සඳකඩ පහණ දෙපස, කොරවක්ගල ඉදිරියෙන් ඇති අර්ධ කවාකාර මුදුණක් සහිත ගල් පුවරුවකි. දොරටුපාල රූප ලෙස ද හැඳින්වේ. කැටයම් සහිතව හා රහිතව ද හමු වේ. සඳකඩ පහණ තරම් ම පැරණි යැයි සැළකේ. අලංකාරය, ශුභ සංකේතය ආරක්‍ෂාව හා තාක්‍ෂණික අවශ්‍යතා මත මුරගල නිර්මාණය කරන්නට ඇත.

 

අලංකාරය-

 

මුල් යුගයේ මුරගල කැටයම් රහිත වූ අතර පසුව එයට මල් කොළ විහිදෙන පුන්කලසක රුවක් එක්කර තිබුණි. එය අලංකාරය පිණිස යැයි සිතිය හැක. 

 

ශුභ සංකේතය-

 

මුරගලේ එක් පරිණාමී අවස්ථාවක දී එයට පුන්කලසක් (ශෛලීගත පුන්කලසක්) එක්විය. මල් කොළ නොව නෙළුම් මලින් පිරුණු මෙම පුන්කලස ශුභ සංකේතයක් ලෙස සැළකිය හැක. 

 

7

 

 

ආරක්‍ෂාව-

 

මුරගල ඉහළ ම පරිණාමී අවස්ථාවේ දී එයට නාරජ රුව එක්විය. ශක්තිමත් ප‍්‍රාංශුදේහදාරී නාග ගෝත‍්‍රිකයෙකු මෙයින් නිරූපණය වූ අතර ගොඩනැගිල්ලට ඇතුළුවන අවස්ථාවේ ඒ පිළිබඳ ගෞරවයක් ඇතිකර ආරක්‍ෂාව තහවුරු කරගැනීමට බලාපොරොත්තුවූවා විය හැකි ය.

 

10

 

තාක්‍ෂණික අවශ්‍යතා-

 

කොරවක්ගල හා පඩිපෙළෙහි ගල් බාල්ක වඩා ශක්තිමත්ව නොසැලෙන ලෙස තබාගැනීමට මුරගල ද යම් තරමකින් උපකාරී වන්නට ඇත. මේවා එකිනෙකට බැඳී හේත්තු වී තිබෙන අයුරින් තැබීමේ දී මුරගල ශක්තිමත් හා අලංකාර ආධාරකයක් වන්නට ඇත.

 

මුරගලෙහි විකාශය

 

1 අවස්ථාව - මුදුන හැඩගැන්වූ කැටයම් රහිත ආයත චතුරස‍්‍රාකාර ගල්පුවරුවකි.

 

 

1

 

 

2 අවස්ථාව - ගල් පුවරු මුදුනට නෙළුම් පෙති තුඩක් වැනි උන්නත කොටසක් එක්විය.

 

2

 

3 අවස්ථාව - මුරගලට එක්වූ පළමු කැටයම සේ සැලකෙන පුන්කලස කැටයම් කිරීම. මෙබඳු මුරගලක් අනුරාධපුර විජයාරාමයෙන් හමු වී ඇත.

 

3

 

4 අවස්ථාව - නාග රූපය එක්විය. පෙණ 7 කින් යුතු නා රුව සහිත මුරගල අභයගිරිය ආශ‍්‍රිතව හමුවිය.

 

5 අවස්ථාව - බහිරව රූප එක්වීම. මෙබඳු මුරගල් තොලුවිලින් ද, අනුරාධපුර අභයගිරි දාගැබ් පරිශ‍්‍රයෙන් ද, මහවිජයබා රජමාළිගයෙන් ද හමුවී ඇත.

 

5 6

6 අවස්ථාව - නා රජ රුව එක්වීම. කලාත්මක භාවයෙන් උසස් ම අවස්ථාව සේ සැලකේ. මෙම මුරගලට වාමන රූප, මකර තොරණ මෙන් ම මුරගලෙහි පසෙකින් උත්කුටුකයෙන් සිටින ඇතා, අශ්වයා ගවයා හෝ සිංහයා යන රූප හතරෙන් එකක් ද එක්විය. එම සතුන්ගෙන් දොරටුවේ දිශාව සංකේතවත් කෙරේ. ඇතා- නැගෙනහිර, අශ්වයා- දකුණ, වෘෂභයා- බටහිර, සිංහයා - උතුර ආදී වශයෙනි.

 

11

 

අනුරාධපුර යුගයේ මුරගල ඉතා උසස් මට්ටමක පවතී.

 

පොළොන්නරු යුගයේදී නා රජ මුරගලේ එතුවක් තිබූ වාමන රූපය වෙනුවට වාමන රූප 2 ක් එක්විය.

 

8

 

මහනුවර දළදා මැදුර අසල ඇති මුරගල් දෙකෙහි ඇත්තේ ඇතෙකු පිට නැගි ඇත්රුවෙකුගේ රුවකි.

 

9

 

11250 වරක් කියවා ඇත.
ict_branch නිර්මාණය :
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
පිටු පෙළගැස්ම | වියාචනය | පරිපාලක පිවිසුම
කතු හිමිකම © 2012-2016 | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
මෙම පද්ධතියේ ඇති සියලුම අන්තර්ගතයන් සඳහා හිමිකම් ඇවිරිණි.
කිසිදු අන්තර්ගතයක් ලිඛිත අවසරයකින් තොරව වෙනත් වෙබ් පිටුවක හෝ වෙනත් කුමන ආකාරයක හෝ සමාජ ජාල වෙබ් අඩවිවල උපුටා පළ කිරීම සපුරා තහනම් වේ.