පල්ලව දේවාල

ලිපිය සැකසීම :

පර්වත තුළට ලෙන් හාරා දේවාල ඉදි කිරීමේ ක‍්‍රමය දකුණු ඉන්දියාවට හඳුන්වාදුන් පල්ලවවරුන් දකුණු ඉන්දීය සංස්කෘතියේ සුවිශේෂ රාජවංශයක් ද වෙයි. මොවුන්ගේ කාලයේ ඉදිකළ දේවාල ප‍්‍රධාන කොටස් 2 කින් යුක්ත ය. ලෙන් දේවාල හා ඉදිකළ දේවාල වශයෙනි. ලෙන් දේවාලයන් ද වර්ග කිහිපයකි. ඒවා වෙනස් වන්නේ ඒවාට අනුග‍්‍රහ දැක්වූ රජුට අනුව ය. මහේන්ද්‍රවර්මන් රජු දවස ඉදිවුයේ කුලුනු සහිත ලෙන් දේවාලයන් ය. මේවා සඳහා හොඳ ම උදාහරණ නම් ආර්කොට් ත‍්‍රිවිනාපෝලි වැනි ස්ථානවල දැකගත හැකි ය. විසිතුරු මණ්ඩපය හා රථ ස්වරූපයෙන් සකස් කළ මේවායේ හින්දූන් ට ආවේණික සැරසිලි රටා ඇත.

 

මහේන්ද්‍රවර්මන් රජු දවසට අයත් දේවාලයන් හි වඩාත් විසිතුරු නොවු ලක්‍ෂණ ගහන වූ නිසා මේවා චාම් ගෘහනිර්මාණ සහිත ඉදිකිරීම් ලෙස සැලකෙයි.මෙකල ඉදිකළ ලෙන් දේවාලවලට පොදුසැලැස්මක් ඇති වගක් පෙනෙයි. ලෙන ඇරඹෙන්නේ අඩි 7 කට ආසන්න උසක් සහිත කුලුනු යොදා ඉදිකළ කුඩා මණ්ඩපයකිනි. මණ්ඩගපට්ටු,ත‍්‍රිවිනපොලි, පල්ලාවරම් ආදි ස්ථානවලට වඩාත් උචිත උදාහරණ ඇත්තේ ය. මෙම මණ්ඩපයේ කුලුනුවල ඉහළ හා පහළ කොටස් චතුරස්‍රාරාකාරව ද මධ්‍ය කොටස අෂ්ටාස්‍රාකාරව ද ඇත්තේ ය. මණ්ඩපය හරහා ලෙන් දේවාල ශාලාවට පිවිසිය හැක. එය කුලුනු සහිතව සකස් කළ චාම් ශාලාවකි. එම කුටියට පිටුපසින් ඊට සබැඳි තවත් කුටියක් ඇත. ඇතැම් දේවාල වල එබඳු කුටි කිහිපයකි. මෙම දේවාල වල කුලුනු මුල් කාලීනව ඉතා සරල හා චාම් හැඩවලින් යුතු වූ නමුත් පසුකාලීන ඒවා විසිතුරු හැඩවලින් රටාවලින් අලංකාර කර ඇති වග පෙනේ. ඒ බවට හොඳම සාධක ඇත්තේ ගුන්තූර් දිස්ත‍්‍රික්කයේ අනන්තගයන දේවාලයේ උතුරු ආර්කොට් හි පිහිටි දේවාලය පන්තියකත් ය. මේ දේවාලය සංකීර්ණ හැඩ සැරසිලි හා සැලසුම්වලින් යුක්ත ය. අනන්තගයන දේවාලයේ සැලසුම වඩාත් සංකීර්ණ ය. එය සිව්මහල් නිර්මාණයකි. සමස්ත දේවාලයේ උස අඩි 50 ක් පමණ වේ. මහල් සතර ම කුලුනුවලින් යුක්ත ශාලා සහිත ය. උතුරු ආර්කෝට්හි දේවාලයවල කුලුනු සෙසු දේවාලයවල කුලුනුවලට වඩා විශේෂය. මේවා පල්ලව සම්ප‍්‍රදායේ උපරිම අවස්ථවක් සේ සැලකිය හැක. කුලුනුවල දෙකෙලවර සිංහරූප වලින් අලංකාර කර තිබේ. මීට ම සම කුලුනු සෛරවකොණ්ඩ දේවාලයේ දක්නට ලැබේ.

 

පල්ලව දේවාලයන් ඉදිකිරිමේ ක‍්‍රමයේ වෙනසක් සිදුවූ අවධිය වන්නේ මහාමල්ල හෙවත් පළමුවන නරසිංහ වර්මන් යුගයේදී ය. මේ යුගයේ දේවාල හා ඒ ආශ‍්‍රිත උපාංග තවදුරටත් විචිත‍්‍රවත් වී ඇත. අලංකාරයට නැඹුරු වී ඇත. මේ සමයේ ඉදි වූ දේවාලයන් මතු නොව සෙසු ගොඩනැගිලි සියල්ලම වාගේ දැකීමට යා යුත්තේ මාමල්ලපුරම් හෙවත් මහාබලිපුරම් වෙත ය. මහාබලිපුරම් පිහිටා ඇත්තේ මදුරාසියට ආසන්න පාලර් නදී මුව දොර ය. මීටර් 800 ක් පමණ දිගින් ද මීටර් 400 කට ආසන්න පළලින් ද මීටර් 30 කට ආසන්න උසකින් ද යුත් සුවිශාල කළුගල් වැටියක් හා එ් ආසන්න තවත් කුඩා කඳු වැටියක් මේ ඉදිකිරීම් සඳහා පාදක වී ඇත. මීට අමතරව ආගමික කටයුතු උදෙසා ම මහාමල්ල සම්ප‍්‍රදායට ගලෙහි නෙළන ලද මණ්ඩප දහයක් පමණ මහාබලිපුරම් ප‍්‍රධාන කඳුගැටය මත්තේ ඇත. මේවායේ ස්වභාවය ද ප‍්‍රමාණය ද මහේන්ද්‍රවර්මන් සමයේ නිම කළ ලෙන්වලට සමාන වුව ද ඊට වඩා සවිස්තර අංගයන් ද නැත්තේ නොවේ. ද්වාර මණ්ඩප ක‍්‍රමය මෙකල වඩාත් ජනප‍්‍රිය විය.

 

ලංකාවේ ද බොහොමයක් ගොඩනැගිලිවල ද්වාරමණ්ඩප ක‍්‍රමය ඇති වන්නේ පෙළොන්නරු යුගයේ දී ය. ඊට පෙර නොතිබුණා නො වේ. උදාහරණයක් වශයෙන් මැදිරිගිරිය ථූපාරාමය වැනි ස්තූපයන්වල ද්වාරමණ්ඩපවලට සමාන ඉදිකිරීම් හෝ ඒවායේ මුල් අවස්ථා සේ සැලකිය හැකි ඉදිකිරීම් තිබේ. එහෙත් පොළොන්නරු යුගයේ එය පැහැදිලි ඉදිකිරිමකි. මේ උදෙසා පල්ලව සංස්කෘතියේ සෘජු හෝ වක‍්‍ර බලපෑම ඇතැයි අනුමාන කළ හැක. මණ්ඩප ක‍්‍රමය වඩාත් ජනපි‍්‍රය වූයේ පළමුවන නරසිංහවර්මන් රජුගේ කාලයේ දී ය. මෙකල ඉදි වූ ද්වාර මණ්ඩප අඩි 15, 20 පමණ උස් වූ අතර පළල අඩි 25 ක් පමණ විය. දේව රූප හා සත්ත්වරූප යොදා අලංකාර ලෙස සැරසූ හා අඩි 9 ක් පමණ උස් වූ කුලුනු මේවායේ විශේෂ අංගයක් විය.

 

පල්ලව සමයේ තවත් ප‍්‍රකට වූ ගෘහනිර්මාණ අංගයක් නම් රථ දේවාල ඉදි කිරීම යි. මේවා වනාහී පර්වතයක් කපා මනා ලෙස ඔපමට්ටම් කොට සකස් කළ දේවාල විශේෂයකි. සාමාන්‍යයෙන් රථයක් යනු චලනය කළ හැකි ස්ථාවර නිමැවුමකි. ශෛලමය කර්මාන්තයකි. එහෙත් දාරුමය රථවල් ඇති ඉතා සියුම් අංගයන් පවා මේවායේ ද නිර්මාණය කර ඇත්තේ ය. රෝදය රකිනා කඩ ඇණය පවා ගලින්ම නිමවා ඇත්තේය. මේ ආකාරයේ රථ සඳහා හොඳම උදාහරණය මාමල්ලපුරම් හෙවත් මහාබලිපුරම් හි ඇත. දාරුමය ගොඩනැගිලි අංග පවා ඇතුළත් කරමින් නිර්මාණය කර ඇති මේවා මහා භාරතයෙහි එන භීම දෞපදි අර්ජුන සහදේව ධර්ම, ගනේෂ පීඩාරි, වලයියාන්,කුට්ටියි වැනි වීරවරයන්ගේ නම්වලින් වෙන් කොට ඇත. මේ රථ සප්ත ස්තූප යනුවෙන් ද හැදින්වෙයි. ස්තූප යනුවෙන් හඳුන්වන්නට විශේෂතම හේතුව නම් මේවායේ හැඩයට බෞද්ධ ඉදිකිරීම් හි ආභාසය ලැබීම යැයි ඉතිහාසඥයෝ විශ්වාසය පළ කරති.

 

මේවායේ බෞද්ධ විහාරාංගවලට සමාන අංග ද ඇත. ධර්ම රාජරථය එක් උදාහරණයකි. ලෙන් විහාරයකට ද සම මෙහි මධ්‍යයේ සතරැස් ශාලාවකි. කුලුනු පෙළකින් අලංකාර කළ මණ්ඩපයකින් පහතමාලය සකසා ඇත. පිරමීඩාකාර ශිකරයක් මත වහලය ගොඩනංවා ඇත. සහදේව, භීම, ගනේෂ යන රථ මහල් කිහිපයකින් තනා ඇති අතර බෞද්ධ ලෙන් විහාර ලක්‍ෂණවලින් යුක්ත ය. ගනේෂ රථයේ ඉදිරිපස කුලුනුපෙළක් සහිත මණ්ඩපයක් ඇති අතර එක් අන්තයක් කවාකාර සහ දේව රථය නිමවා ඇත. එහි මුදුන ගෝලාකාර පියස්සකින් යුක්ත ය. බෞද්ධ ස්තූපයක් සිහිගන්වයි. සිංහ ඇත් රූපාදිය නෙළා ඇත්තේ ගොඩනැගිල්ල උසුලාගෙන සිටින ආකාරයෙනි.

 

ක‍්‍රි .ව. 670 දී පමණ චාලුක්‍යයන් හා යුද වැදීමට සිදුවූ නිසාදෝ වැඩ අවසන් කිරීමට නොහැකි වූ සේ පෙනෙන ධර්ම රාජ රථය මේ රථ අතර විශේෂ ය. නිමවූ කොටස් අනුව එහි විශිෂ්ටත්වය අගය කළ හැකි ය.

 

සමස්තයක් වශයෙන් ගත්කල මේ රථ දේවාලයේ එල්ලෝරාවේ කෛලාංග දේවාලේ නිර්මාණ ලක්‍ෂණවලට ද සමානත්වයක් දක්වයි. එක් දේවාලයක් අඩි 42කට ආසන්න දිගකින් අඩි 35කට ආසන්න පළලකින් හා අඩි 40කට ආසන්න උසකින් යුක්තව මේ රථ සියල්ල නිමවා ඇත. චෝළ සමයේ කෝවිලට එක්වන ගෝපුරයේ මූලාදර්ශය පල්ලව රථ දේවාල යැයි පිළිගැනේ.

 

පළමුවන නරසිංහවර්මන් රජු දවසින් පසු පල්ලව දේවාල සම්ප‍්‍රදායේ දෙවැනි යුගය උදාවෙයි. මෙය වර්ධිත යුගයක් සේ සැලකීමට අපහසු වුව ද උසස් නිර්මාණ නැත්තේ නො වේ. මේ යුගය ප‍්‍රධාන කොටස් 2 කට බෙදෙයි.

 

1 මාර වර්මන් රාජසිංහ යුගය/ශෛලිය

 

2 නන්දිවර්මන් යුගය /ශෛලිය

 

මින් මාරවර්මන් රාජසිංහ යුගයට අයත් ඉදිකිරීම් හයක් හඳුනාගෙන ඇත. ඉන් 3 ක් ම මාමල්ල පුරයෙහි ඇත්තේ ය. සෙසු දේවාල 3 කාංචි පුරයෙහි දෙකක් හා දකුණු ආර්කෝට් එකක් වශයෙනි. මේ අතරින් උසස් ම නිර්මාණ සේ සැලකෙන්නේ කාංචිපුරයේ කෛලාශනාථ හා වෛකුණ්ඨපෙරුමාල් නමැති දේවාල දෙකයි. කෛලාශනාථ දෙවොල මාරවර්මන් රාජසිංහ සමයේ ඉදිකිරීම ඇරඹුව ද එහි නිමාවේ අවසානය දකින්නට ලැබෙන්නේ ඔහු පුත‍්‍ර මහේන්ද්‍රවර්මන් රාජ සමයේ දී ය. මෙම දේවාලය දෙක ම පුළුල් ඉඩකඩක් සහිත භූමිභාගයක සංකීර්ණ ගොඩනැගිලි කිහිපයක් වශයෙන් තනා ඇත. හාත්පස කුටි ගණනාවකි. භූමිය වටා ප‍්‍රාකාරයකි. කෛලාශනාථයේ පාදම ශක්තිමත් ය. තද කළුගලින් නිමවා ඇත. විශාල බරක් දැරිය හැකි ය. උපරිභාගය ඉදිකර ඇත්තේ හුණු ගලිනි. නොහොත් වැලි ගලිනි. එ් කොටස් අනර්ඝ මූර්ති සහිතය. වහලයට විශේෂ එකකි. කවාකාර වහලය තුනක් එකිනෙකට කුඩාවී යන ලෙස එකමත එකක් ඇති සේ ඉදිකර ඇත. පිරමීඩාකාර මේ මත ශිඛරය හෙවත් විමානය ද ඒමත ස්තූපාකාර කොත ද ඇත. දේවාලයේ ගර්භය හා මණ්ඩපය මුල් කාලීන ඉදිකිරීම් සේ පිළිගැනේ. මණ්ඩපය සිංහරූපවලින් අලංකාර කළ කුලුනුවලින් යුක්ත ය. දේවාලගෘහය ධර්ම රාජ රථයට සමාන ය. දේවාලගෘහයේ ශිඛරය පසු කලෙක එක් කළැයි පිළිගැනෙයි. ගර්භය සිව්පැත්තේ හතරක් හා මධ්‍යයේ තුනක් වශයෙන් උපගර්භ ද 7 ක් ඇත.

 

වෛකුණ්ඪපෙරුමාල් දේවාලය කෛලාශනාථයට වඩා විශාලවන්නා සේ ම ඊට වැඩි සංවර්ධිත ලක්‍ෂණ ද පෙන්වයි. ගර්භගෘහය හා මණ්ඩපය වැනි ප‍්‍රධාන අංග ඇතත් ඒවා ඉදිකොට ඇත්තේ එකිනෙකට වෙන්ව පෙනෙන පරිදි නො වේ . එකම සංකීර්ණයක් පරිද්දෙනි. කුලුනු 8 ක් මත ඉදිකළ පියස්සක් සහිතව හා අඩි 21.5 ක් බැවින් දිග හා පළල සහිතව මණ්ඩපය ඉදිකර ඇත. ගර්භගෘහය ඝෘජුකෝණාස‍්‍රාකාරය. අඩි 90 ක් පමණ දිගින් යුතු ය. ඊට ඉහළින් ඇති විමානය චතුරස‍්‍රාකාර වන අතර එය පොළව මට්ටමින් අඩි 60 ක් පමණ ඉහළින් පිහිටා තිබේ. විමානය මහල් 4 කි. පැත්තක දිග අඩි 47කි. මේ දෙවොල වටා ද ප‍්‍රාකාරයකි. ප‍්‍රාකාරය පිට පැත්තේ චාම් කැටයමින් අලංකාර කර ඇත. ඇතුළත විවෘත ප‍්‍රදක්‍ෂිණාපථයකි. එය සිංහ රූප යොදා සැරසූ කුලුනු පෙළකින් අලංකාර කර ඇත.

 

මේ යුගයේ ඉදිකළ විහාර අතරින් සුන්දර පරිසරයක ඉදිකොට ඇති දෙවොල නම් මාමල්ලපුරම් වෙරළේ ඉදිකළ ඊශ්වර දෙවොල යි. මෙය සෙසු දේවාලවලට වඩා විශේෂ වන්නේ කරුණු කිහිපයක් නිසා ය. ගර්භගෘහය මුහුද දෙසට විවෘතව පැවතීම එකකි. මුදුනේ ශ‍ිඛරාකාර හැඩය ගත් කුඩා විමානයක් ඇත. සෙසු දේවාලාංග ඇත්තේ මේ ගර්භගෘහයට පිටු පසින් හෙවත් මුහුදෙන් තරමක් ඈතින් ප‍්‍රවේශද්වාරය බටහිරින් යෙදූ ප‍්‍රාකාරයකින් දෙවොල වටකොට ඇත. කෛලාසනාතයේ මෙන් ම මෙහි ද කුලුනු සිංහරූපවලින් සරසා ඇත. යාබද අනෙක් දෙවොල පසු කාලීනව ඉදිකළ පරිවාර දේවාල යැයි විශ්වාස කෙරෙයි.

 

නන්දිවර්මන් යුගයට අයත් දේවාල, පල්ලව සම්ප‍්‍රදායේ අවසාන යුගයට අයත් ය. කාංචිපුරයෙහි ඇති මෘතංගේශ්වර දෙවොල හා මුක්තේශ්වර දෙවොලත් තිරුත්තණි හි වීරථානේශ්වර දෙවොලත් ගුඩිමල්ලම් හි පරාශුරාමේශ්වර හා ඔරගදම් හි වාඩාමල්ලීශ්වරම් යන දෙවොල මේ යුගයට අයත් නිර්මාණයක් වෙයි. විශේෂත්වය වන්නේ කුඩා ගර්භගෘහ පිහිටා තිබීම යි. පල්ලව කලාවේ පරිහාණී ලක්‍ෂණ ගවේෂණයට මේවා උපකාරි වේ. කලාත්ම සියුම් විසිතුරු කැටයම් මේවායේ හමු නොවේ.

 

මේ යුගයට පසුව පල්ලව දේවාල සම්ප‍්‍රදාය අභාවයට යන මුත් චෝලයෝ මේවා ගුරුකොට ගනිමින් මේවායේ ලක්‍ෂණ වැඩි ප‍්‍රමාණයක් එක් කරමින් නව සම්ප‍්‍රදායක් ඇරඹුවේ ය.

 

(තොරතුරු- අමිල කෝසල උඩවත්ත-නාගොඩ මහා විද්‍යාලය-කළුතර)

2863 වරක් කියවා ඇත.
ict_branch නිර්මාණය :
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
පිටු පෙළගැස්ම | වියාචනය | පරිපාලක පිවිසුම
කතු හිමිකම © 2012-2016 | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
මෙම පද්ධතියේ ඇති සියලුම අන්තර්ගතයන් සඳහා හිමිකම් ඇවිරිණි.
කිසිදු අන්තර්ගතයක් ලිඛිත අවසරයකින් තොරව වෙනත් වෙබ් පිටුවක හෝ වෙනත් කුමන ආකාරයක හෝ සමාජ ජාල වෙබ් අඩවිවල උපුටා පළ කිරීම සපුරා තහනම් වේ.