බඳිනු ලැබූ ඇතාගේ කථාව

ලිපිය සැකසීම :

මෙසේ අසන්ට ලැබේ. සූරට්ඨජනපදයෙහි අච්චිමන්තසේල නමැති පර්වතයක් විය. ඒ පර්වතයේ ගුහාවක ෂඩභිඥා ලැබූ මහත් ඍඬිආනුභාව ඇති රහත් තෙරනමක් වසයි. ඒ පර්වතය ආශ්‍රයකොට වසන එක්තරා ඇත් රජෙක් ද හැමදා ඒ තෙරුන්ට උපස්ථාන කරයි. එක් වැද්දෙක් ඒ ඇතු දැක උදේනි රට රජුට “දේවයන් වහන්ස ,ශුභ ලකුණුවලින් යුත් රජතුමකුට යෝග්‍යය වූ ඇතෙක් අසවල් වනයෙහි ඇතැ‘යි දැන්වීය. රජ ඌ අල්වන්නට සලස්වා තෙරුන් අවට හැසිරෙමින් හඬන්නා වූ ඒ ඇතා උජ්ජේනියට ගෙන්වීය .තෙරනම ද රජු දැනගෙන උජ්ජේනියට අවුත් ඇතා ඉදිරියෙහි සිටියේ ය. ඇතා තෙරුන් දැක සොය හිසෙහි තබාගෙන බොහෝ සෙයින් හඬන්නට පටන් ගත්තේ ය. තෙරනම “පුත්‍රය උකටලී නොවව ;රජු දකින තුරු කිසිවක් නො කළ යුතු ය.කියා ඔහු අස්වසා ගොස් රජු ඉදිරියෙහි පෙනී සිට මෙසේ කීය.

 

(1) මහරජ,මම එක් ඉල්ලීමක් කිරීම සඳහා වනයෙන් ආවෙමි .ඉදින් ඔබට බරක් නැත්නම් එය කියන්නෙමි.(2) “ස්වාමීනි , කොහි සිට එන්නහු ද ?ඔබ මාගෙන් කුමක් ඉල්වන්නාහු ද?කුමක් සඳහා මෙහි පැමිණි සේක්දැ‘යි මා විසින් විචාරණ ලදුව කියනු මැනවැයි රජ කීය. (3) “මහ රජ ,මම සුරට්ඨදේශයෙන් උජ්ජේනියට ආවෙමි. ඒ ආවේ මේ ඇතා නිදහස් කරන ලෙස ඉල්ලීමට ය. එය සිද්ධ කරනු මැනවැ”යි තෙර නම කීය. (4) “ස්වාමීනි බොහෝ දුර සිට ආ සේක;ඔබගේ ශරිරය ජරාවෙන් දුර්වල ය.මේ ඇතාගේ නිදහස පැතීමට ඔහුගෙන් ඔබට ඇති යහපති කිමෙක් දැයි රජ ඇසීය.(5) “මහ රජ,මේ ඇතා මාගේ ශිෂ්‍යයකි ,උපස්ථායකයෙකි.ඉදින් මම මොහු නිදහස් කොට නොගන්නේ නම් මේ තෙම මිය යන්නේය. (6) ඌ ඔබගේ ශිෂ්‍යයා වන්නේ කෙසේ ද?උපස්ථායකයා වන්නේ කෙසේ ද ? ඌ මරණයට පැමිණෙන්නේ කෙසේ දැයි මට විස්තර ලෙස කිව මැනවැයි රජු කීය. තෙරනම මෙසේ කීය ‘මහරජ, අසනු මැනවි :ඒ ප්‍රවෘත්තිය පිළිවෙළින් කියන්නෙමි.(8) සුරට්ඨ ජනපදයෙහි පුරාණයේ සිට ප්‍රකට වූ අච්චිමන්ත නම් පර්වතයක් වේ.ඒ පර්වතය පසෙක වූ ලෙනක මාගේ වාසස්ථානය වේ. එහි මම සැපසේ වාසය කරමි.

 

(10) මගේ ලෙන සමීපයෙහි එක් ඇතින්නක් විසී.ගැබනි වූ ඕ එහිම පැටියන් වදී,(11)දරුවන් වැදූ කෙරෙහිම පෙර වෛරී වූ එක් යකින්නක් අවුත් ඔවුන් කා දමයි.(12)මේ උපද්‍රවයෙන් පීඩිත වූ ඇතින්න මේ ඇත් පැටවා රැගෙන මාගේ ලෙනට අවුත්(13)තමාගේ සොඬින් ඇත් පැටවා රැගෙන මාගේ අතෙහි තබා පැන් වත්කොට මටපාවා දුණි.(14) යකින්න එය දැක එහි අවුත් පැටවා අල්වන්නට උත්සාහ කරනවිට මම ඔහු අතින් වසා ගතිමි. (15) එසේ කළ බැවින් ඌ අල්වාගත නොහැකි වූ යකින්න ආශා විරහිතව නික්ම ගියා ය. (16) මහරජ මෙසේ මට සබඳකම් ඇති මේ ඇත් පැටවා මට උපස්ථාන කරමින් හැමදා එහි වසයි. ඔහු මාගෙන් ආචාරශිලය උගත් බැවින්  මාගේ ශිෂ්‍යයයෙක් වෙයි.(18)කුඩා කල පටන් මට සම්බන්ධකම් ඇති හෙතෙම මා නොදැක මරණයට පත් වන්නේ ය. (19) හෙතෙම යන්නා වූ මා අනුව යයි ,සිටින විට සිටියි,මා චෛත්‍යයට වඳිනවිට ඌ වඳියි. (20) මා පිඬු පිණිස ගිය විට ඌ කෑම සොයා ගොස් මා එන්නට පළමුවෙන් ම ලෙන සමීපයට ඇවිත් සිටී. (21) පිශාචියගේ අතින් මිදුණු හෙතෙම ඔබගේ අතට පත් විය. මහරජ,හෙතෙම සැපසේ වෙසේවා.

 

රජතෙම මෙසේ කිය.(22) “මම ඒ ඇතා මුදන්නෙමි .එබගේ අවවාදයත් අනුශාසනාවත් කරමි. මා අපායෙන්(23)රජුගේ අතින් මිදුණු ඒ ඇතා සතුටු සිතැත්තේ ප්‍රීතිමත් වූයේ මොහොතකින් සුරට්ඨදේශයට යන මගට බැස්සේ ය.(24) තෙරනම ඒ ඇතා නිදහස් කරවා රජුට අනුශාසනා කොට අහසින් ස්වකීය වාසස්ථානයට ගියේ ය. (25) කල්‍යාණ මිත්‍රයකු කරා එළඹ ඒ ඇතා යක්ෂණියගෙන් ද රජුගෙන් ද මිදී අපායෙන් ද නිදහස් විය. ඒ ඇත් රජ ජීවිතාන්තය දක්වා තෙරුන්ට උපස්ථාන කොට දෙව් ලොව ගියේය.තෙරනම ද එහි අපවත් විය.

 

(උපුටාගැනීම-ඉතා පැරණි සිංහල බණ කතා -පොල්වත්තේ බුද්ධදස්සි හිමි)

1784 වරක් කියවා ඇත.
ict_branch නිර්මාණය :
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
පිටු පෙළගැස්ම | වියාචනය | පරිපාලක පිවිසුම
කතු හිමිකම © 2012-2016 | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
මෙම පද්ධතියේ ඇති සියලුම අන්තර්ගතයන් සඳහා හිමිකම් ඇවිරිණි.
කිසිදු අන්තර්ගතයක් ලිඛිත අවසරයකින් තොරව වෙනත් වෙබ් පිටුවක හෝ වෙනත් කුමන ආකාරයක හෝ සමාජ ජාල වෙබ් අඩවිවල උපුටා පළ කිරීම සපුරා තහනම් වේ.