Print this page

ඵුස්සදේව මහතෙරුන්ගේ කථාව

ලිපිය සැකසීම :

ඵුස්සදේව තෙරුන්ගේ කථාව සිහලවත්ථුවේ සවැනි කථාව යි. එහි නැති විස්තරයක් සහස්සවත්ථුවේ තිබෙන බැවින් නැවත එය මෙසේ දක්වනු ලැබේ.

 

කාලකන්දවිහාරවාසී ඵුස්සදේව තෙර නම්, සද්ධාතිස්ස මහරජුගේ සොහොයුරිකගේ පුතෙකි. හෙතෙම මුලදී ඵුස්සදේව නැමැති ඇමතියෙක් ව සිටිය දී තමාගේ දේවිය වූ සුමනා දේවිය සමග ගිරිගමට පැමිණ එහි වසන්නේ ඇත් කුස (හත්ථිකුච්ඡි) විහාරය ‍මෙය යයි ද ප්‍රතිපත්තිධර භික්ෂූහු වෙසෙත් යයි ද අසන්නට ලැබී, එහි ගොස් මහා දන් දී, හත්ථිකුච්ඡි විහාරයේ චෛත්‍යයට පූජා පවත්වා, භික්ෂු සංඝයා කෙරෙහි සිත පහදවාගෙන ආසන හා ලෙන් පිහිටි ආකාරය බලා, සස්නෙහි පැහැද, ගිහියෙන් නික්ම පැවිදි වෙනු කැමතිව ඒ විහාරයෙහි විසූ මහාදේව තෙරුන් සමීපයෙහි පැවිදි විය .ඔහුට රහත් බව ලැබීමට හේතු සම්පත් ඇතිබව දැක කමටහනක් දී “යම් ලෙනක ආවාසියකු ඇත්නම් එහි වාසය කරවයි කියා පිටත් කළේ ය.හෙතෙම උපාධ්‍යායන් වැඳ එයින් නික්ම පිළිවෙළින් චාරිකාවෙහි හැසිරෙන්නේ කටකන්දර විහාරයේ පිහිටුවිය යුතු ස්ථානයට පැමිණ එක් රැයක් කටකන්දර ගංතෙර පිහිටි මයිලගසක් මුල වැලි ගොඩක විසී ය.

 

ඒ ගසෙහි උපන් දේවතාවා පසුදා තෙරුන්ට මුවදෝනා පැන් හා දහැටි දඬු දී “කටකන්දර ගමෙහි පිඬුපිණිස හැසිරෙනු මැනවැ”යි කීය. තෙර නම සිරුර පිළිදැගුම්කොට එගමෙහි පිඬු පිණිස හැසුරුණි. දේවපුත්‍රයා කලින් ම එගමට ගොස් “ඵුස්සදේව තෙරනම පිඬුපිණිස වඩින්නේ ය ;කැඳබත් ආදිය පිළියෙළ කරව්”යයි උද්ඝෝෂණය කළේ ය. ගම් වැසියෝ තෙරුන්ට කැඳ බත් ආදිය දී ,අවස් හි තෙරුන්ගේ ප්‍රතිඥාව ගෙන කටකන්දර ගඟ සමීපයෙහි විහාරයක් ගොඩනංවා එහි වාසය කරවූහ. එතැන් පටන් ගමට පිඬු පිණිස වඩින තෙරුන් දැක, අතරමග කුඹුරු සීසාන මිනිස්සු ගොනුන් අතහැර තෙරුන් වැඳීමට මග දෙපසට ආහ. ඒ විවේකය නිසා තෙරුන් කෙරෙහි සිත් පහදවා ගත් බොහෝ ගොන්නු මරණින් මත්තෙහි දෙව් ලොව උපන්හ.

 

(උපුටාගැනීම- ඉතා පැරණි සිංහල බණකතා- පොල්වත්තේ බුද්ධදස්සි හිමි.)

2336 වරක් කියවා ඇත.