ලෝවැඩ සඟරාව
ලිපිය සැකසීම : චාන්දනී තෙන්නකෝන්1.
සෙත් සිරි දෙන මහ ගුණ මුහුදාණන්.
සතහට වන බවදුකට වෙදාණන්.
තිත් ගණඳුරු දුරලන දිනිදාණන්
සිත් සතොසින් නමදිමි මුනිදාණන්.
2.
ඇම පමණින් පැවසූ මුනි දැන තතු.
මෙම හැමදෙන බලවයි දැක්විය යුතු.
තම තම නැණ පමණින් දැන ගත යුතු.
මම නමදිමි සදහම් පැහැදී සිතු.
3
සිරිමත් බඹ සිරසෙහි පා පිසිනා.
සැරියුත් මහා මුගලන් පිළිවෙළිනා.
පිළිවෙත් සරු මහාසඟගණ සෝබනා.
මුදුනත් බැඳ නමදිම් බැති පෙමිනා.
4.
මනරම් නරදම් සැරදම් සඟනට.
මෙලෙසින් බැතියෙන් අදරින් නම කොට.
වෙසෙසින් පෙලදම් නොම දත් දන හට.
පවසම් කළ කම් පල දැන් හෙළු කොට.
5.
දහමට සරිකොට ළුළුවෙන් පෙර කී
කවියට සිත පහදා සීටැ නිසැකි.
සිහිකොට කඳ පිළිවෙළ දොස් නොයෙකි.
නිවණට සපැමිණි සඟ සැට නමෙකි.
6.
එබැවින් ළුළුවෙන් කීවයි අන්දර.
නොවෙමින් බැතියෙන් අදරින් නමකර
සතොසින් ඇසුවොත් මෙ දහම් මනහර.
සැබවින් සිදුවෙයි සඟමොක් සිරිසර.
7.
බිම ඉඳ සිට කී බණ නාසන්නේ.
විමතිවැ උඩ ඉදැ සිට නාසන්නේ.
කැමති වැ කීවොත් විමසාසන්නේ.
එමවද සගමොක් සැප සාදන්නේ.
8.
සියල් සසර දුක් දුරු කර නොයෙකි.
අසල් කරන මොක් සිරිසැප නිසැකි.
සියල් සතුනි පින් කරවයි මුනිකි
නොකල් අටෙකි පින්කම් කළ නොහැකි.
9.
සිතුවත් බිය කරවන අරතරයේ.
වැටුනොත් එක්සිය සතිසක් නිරයේ.
බලවත් දුක් විඳිනෙය කරදරයේ.
මඳකුත් පිණකට නැත අවසරයේ.
10.
තිරිසන් ජාතිය උපනත් පව් කොට.
අවසන් නොව බිය පවතී පිට පිට.
මඳ සන් සුන් කමකුත් නැත හැම විට.
සලසන්නේ කෙලෙසද සිතූ පිනකට.
11.
උපනොත් පේත වැ පව් කොට නොපනත්.
කලෙකත් නොලැබේයි සෙම් සොටු පමණක්.
උගුරත් නොතෙමෙයි සුරගග වැටුණත්.
කලෙ කත් පිං නොකළකි මැයි සිතුණත්.
12.
පව් මිසැ පිණේකැයි නොකරන හැම කල.
මුනිබණ නොපවතිනා පිට සක්වල.
නිසිලෙස උපනත් ලැබ දන මනකල.
කිසි කලෙකත් කුසලක් නො කලෑකි බල.
13.
දද මිනිසුන් බස් ගෙන කිසි කලෙකය.
තද අකුසල් කොට කුසලින් වැළකය.
අඳ ගොළු බිහිරිව ලදුවත් මේකය.
මඳ පිනකුත් නොපිරෙයි බල නිසැකය.
14.
සිත මිස කය නැති බඹලොව සතරකි.
සිත නැතිවම කය ඇති බඹ තලයෙකි.
මෙද සත පින් කොටස උපදින පෙදෙසකි.
එහි උපනත් කුසලක් නොම කළ හැකි.
15.
බල කොටු වන් තර මෙ සසර නුවරේ.
මුල සැටු වනදළු ලන පව් පඳුරේ.
විස කටු වන සඟමොක් මග අතුරේ.
මිසදිටු වන් අයටත් පිං නොපිරේ.
16.
බුදු කෙනෙකුන් මේ ලොව නුපන් වර.
අඳුරෙක් මය සදහම් නැති මෙ සසර.
ඉඳුරා නොදැනෙයි පව්පින් තොරතුර.
සිදු නොකළැකි ඉන් සගමොක් සිරිසර.
17.
සැබැවින් බණ ඇසුවොත්මුනිදුන් කී.
ගොළුවන් බිහිරන් සේ නොව සැලකි.
ඉදිනෙන් මිස තොප කුසලින් වැළකී.
මෙලෙසින් පින් නොකළැකි කල් අටෙකි.
18.
දිගු පුළුලින් සකවළවන් සිඳු කුස.
සියවසකින් උඩඑන කැස්බා හිස.
විය සිදුරෙන් නැගෙතත් දුගතිය බැස.
තව උපදින්නට බැරි මෙ මිනිස් කුස
19.
කලෙකිනි බුදුකෙනෙකුන් උපදින්නේ.
දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ.
මෙ දෙකෙනි මෙ සසර දුක් දුරැ ලන්නේ.
සුදනනි කිම විරිය නොකරන්නේ.
20.
පස් පවු කොට මෙතනත් ලැබ සෝකය.
ගොස් නිරයේ දුක් විඳිති අනේකය
රැස් කොටඉන් පිං මෙමිනිස් ලෝකය.
සිස් නොකරව් කලකින් ලත් මේකය.
21.
කන්නන් ලෙස විස අඹපල රිස්සේ.
මන් සන් තොස් කිම පල සෙස්සේ.
දැන් දැන් එයි මරුවා පසු පස්සේ.
ඉන් පින්මය කටයුතු නම් දස්සේ.
22.
ඉස ගිනි ගත්තෙකු එ ගිනි නිවන ලෙස.
කුස ලට මඳකුත් පමා නුවොත් මිස.
මෙස සර අත් හැර නොයන මෙ දුක් රැස.
වෙසෙසින් නැත අත්හරිනා උපදෙස.
23.
තැත කින් ගෙන දැමුවත් කැට නුඹ කුස.
අතරක නොරඳන මෙන් මේ බිම මිස.
සිත සතොසින් පින් නොකලොත් නිසි ලෙස.
නැත සිටිනා තැන් සතර අපා මිස.
24.
තිරව නොසිත කුණු කය මෙ තමා යේ.
නොතිර බවට විදුලිය උපම යේ.
නිතර මේ කය පවකට නොනමා යේ.
කරව කුසල් වීරිය නොපමා යේ.
25.
අඳුරෙහි අස් ලොම විදිනට දුරැ දී.
විදුලිය පැහැ වැරදුණ හොත් වර දී.
විදුලිය වන් මේ කය ලත් තැනැ දී.
සිදු නොකලොත් මතු සඟමොක් වර දී.
26.
කොතන වුවත් නැත මාරු හට බදා.
විදින මෙ සැප පින් ඇත්තෙක් වේදා.
ගෙවන සසර දුක් බුදු බණ නාදා.
කුමන නැටුම් කෙළි කවට සිනාදා.
27.
සැදැ හැත් තන්හට බවදුක් නොකැමැති.
යහපත් කල් මේ කල් මිස වෙන නැති.
දනිතොත් දන්සිල් ගුණසත නොවැති.
පැයකුත් අවරුදු දහසක් විතරැති.
28.
අද අද එයි මරු පිං කැර ගන්නේ.
කෙලෙසද සෙට මරු නේති සිතන්නේ.
කිකලද මහසෙන් මරු ඇප ගන්නේ.
කුමටද කුසලට කම්මැලි වන්නේ.
29.
කුමටද කා බී නීති සැරසෙන්නේ.
කොතනද මේ කය ඇරගෙන යන්නේ.
ඇම සඳ නොමැළිව පින් කැර ගන්නේ.
එමවද බව සයුරෙන් ගොඩ ලන්නේ.
30.
තරව සසර සයුරෙන් තොප නොලසා.
තිරව ලබන මොක් සිරිසැප සකසා.
තොරව පවින් නිතොරම මුණි බණසා.
කරව කුසල් විරිය පසු නොබැසා.
31.
හැමවිට පිණටම සිත පාදන්නේ.
නිවනට මග එමවද සාදන්නේ.
වැඩකට කී බස් කීම නාදන්නේ.
නිරයට වන් කලාදෝ තොප දන්නේ.
32.
මොක් සිරි දෙන මුනිදුන්ගේ උපතෙකි.
කප් කෙළ සියදහසකිනුත් නොලැදැකි.
පත් වූ එ බුදූන්ගෙන් යුත් මෙ කලෙකි.
33.
අත් වැඩ පරවැඩ සමව සිතන්නේ.
මෙත්සිත සව්සත කෙරෙහි කරන්නේ.
එත් බැරිනම් තොප සසර ගෙවන්නේ.
සෙත් පුර සැප කෙලෙසකද ලබන්නේ.
34.
මස් ලේ නැති ඇට බලු ලේවැ කන්නේ.
කුස් පිරුමක් පලයක් නොලබන්නේ.
ලෙස් ඒ සැපතෙහි සැප නොසිතන්නේ.
දොස් නොපෙනෙනුමිස දුක් මයි වන්නේ.
35.
මස් කැටියක් ගත් උකුසෙකු අහසේ.
මස් නොදැමුව උකුසන්ගෙන් වැනැසේ.
පස් කම් රස ලොබ කළහොත් එමසේ.
පස් විසි මහ බයකින් දුක් සැලැසේ.
36.
සෙත සලසන මුණි බණ ඇත සුමිහිරි.
ඇත තොපගේ කන් ඇසුමට නොබිහිරි.
නැත කරණට පිණකුත් මෙ තොපට බැරි.
සතර අපා දුක් වද විඳිනට බැරි.
37.
කරන කලට පව් මිහිරිය මීසේ.
විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ.
ඇදින ඒපව් දුරලන උපදේසේ.
නුදුන මැනැවී තුන් දොර අවකාසේ.
38.
අදමින් ජිවත් වෙනවා විටරට.
දැහැමින් මියයනු සොඳ මැයි දන හට.
මෙලෙසින් වදහළ මුනි බණ සිහි කොට.
සැබැවින් පින් කොටැ පැමිණෙව් නිවනට.
39.
එකම සතෙකු තම මව් මළ දුකටා.
වෙනම හැඩු කඳුලේ බිඳු වලටා.
මෙහැම මුහුදු දිය අඩුවන කලටා.
තවම සසර ආලය ඇයි තොපටා.
40.
ලිප ගිනි මොලවන තෙක් දිය සැළියේ.
සැපයක් යයි කකුළුවා දිය කෙළියේ.
එපමණ තොප සිතතොත් නොහැකිළියේ.
සැපයක් නම් නැත කම් නැත කම්රස කෙළියේ.
41.
උඩු සුළ ඟට අල්වාගෙන යන්නේ.
තණ සුළ නොදනී නම් අත දන්නේ.
වර පල යයි කම්රස තෙපලන්නේ.
එද කළ කම් නිරයේ පසවන්නේ.
42.
පිරුලෙන් අරගත් අබරණ මඟුල ට.
දමමින් ගැතිවන අය මෙන් අනුන ට.
පෙරපින් ඇති තෙක් විඳින සැපත ට.
තොපි දැන් උඩගුව නොවදිව් නිරය ට.
43.
වදයට බැඳ ගෙන ගෙන යන සොරුටා.
වැද මල් දම් ලූ බෙර පිරිවර ටා.
ලද ඉසුරෙහි ලොබ වූ වොත් තොප ටා.
එද සැපතෙහි කළ කම් මරු රව ටා.
44.
දැමූ වෙන් ගිරි මුදුනෙන් හෙන සොරුටා.
පවනින් කම්නැති මෙන් ඇඟ ගිමටා.
ජරයෙන් මිදීමෙන් යන මරු මුවටා.
සැපතින් කීම ඉන් කම් කළ තොපටා.
45.
අල වන මේ කම් රස දොස විමසා.
පලයව් තපසට පුලුවන් වයසා.
පල රස විඳ ගස උඩ උන් මිනිසා.
මුල සිඳිනා තෙක් ඉඳිදෝ නොබැසා.
46.
බණ නම් නිබොරුය මුනිවරයින් නේ.
කයනම් නොතිරය අදහා ගන්නේ.
පණ නම් තණ අග පිනි බිඳු වැන්නේ.
පිණ නම් නොපමා වැ මැ කරගන්නේ.
47.
ආසන් මෙමා කී දෙය වැඩ ඇති වන.
පසන් සිතින් උන්නන් පව් කරමින.
උපන් නොතින් මතු යක් බු පිසසුන.
සයින් ඇවිද පිණකුත් බැරි එ පවින.
48.
ලොබේ සිතින් පව් කල හැම සත ටා.
සබේ කියති ගෙන ගොස් යම රජු ටා.
ඉබේ ඉන්ටනොදී සිතුරඟ ටා.
ලැබේ නිරාදුක් පැමිණේ එවිටා.
49.
තොසින් නොයෙක් සැප විඳ සමහරු නීති.
ඇසින්ම දැක පව් පින් කළවුන් ගති.
බසින් කිවත් අදහා පිං නොකරති.
ගොසින් නිරේ වැටුණොත් දුක් හිම් නැති.
50.
පින් පව් නොදැනැ මැ අනුවන කම් කොට.
කන් තන් මස් රස සොඳ මැ යි කර තුට.
ඉන් ගැලවෙනු බැරි නොගොසින් නිරයට.
දැන් ඒ මැ ආලය අරිනේ අද සිට.
51.
කාලා රස මුසු බෝජන කර පෙම්.
ගාලා සුවඳති සඳුනුත් මනරම්.
ලාලා අභරණ නිසිලෙස සැරැසුම්.
පා ලා ගිය වැනි බහු රූ කෝලම්.
52.
මෙ බස් තම නුවණින් ම විමසා
නොතිර වූ කය ගති අසන්නේ.
දෙ තිස් කුණුයෙන් යුතුවූ මඳකුත්
සාරනු බව නැණින් දන්නේ.
මිනිස් බව ලත් තැනේ කුසලක්
නොකර උන්නොත් අපල වන්නේ.
සතිස් එකසිය නිරේ වැටුණොත්
එදයි අනුවන කම් දැනෙන්නේ.
53.
පෙරත් ජාතියේ පතාගත් දැන් හේතු
බලයෙන් මෙ තැන්නේ.
ලඟත් වෙන් නොවැ සමග දවසැර
උන් නුමුත් සෙනෙහසින්නේ.
පණත් යන කල තනි වැ ගෙයි උන්
අයත් වෙන්වේ බඳින්නේ.
පිනුත් කළ නීති කටුව යෙයි ගිය
තැනේ දී සැප විඳින්නේ.
54.
සාර නූ කුණුකයක් ඇරගෙන කරන
බහුනාටක තදේ.
නෑර තම හිමි සමග දවසැර උන්
නමුත් සැප විඳ විඳේ.
ගොර මරුවා පැමිණි කල් දැනැ යන්ට
කැඳවා ඒ මැ සඳේ.
බාර වැමැ සිටුවන්ට බැරිවද පිනක් කර
ගත්තොත් සොඳේ.
55.
සරණ මුනිඳුගේ අදහ පිණකුත් නොකර
ඉන්නේ කුමට දෝ.
මරණ පැමිණෙන කලට යමයා ඇවිත්
කැඳවා යන්නට දෝ.
කරන සොඳකම් දම්පිනක් කළ කියනු
නුවණින් සොඳ වෙදෝ.
කුමන අනුවණ කම්ද නෑයිනි අඬනු
සිටුවා ගන්ට දෝ.
56.
අඩලා කම්පා වැ උන්නත් ඉතින්
දක්මෙක් නොවන්නේ.
තනලා සිත පිණක් නොකරම
කුමට උපයා තබන්නේ.
දමාලා යන නරක කුණු කය
කුමටදෝ සැප විඳින්නේ.
දිනාලා මොක් පුරට යන්නට මැකී
මේ බණ අසන්නේ.
57.
සිටින ඇවිණ ගෙන මෙසසර බිළියේ.
විඳින මේ සැප ජරයෙන් තැළි තළියේ.
දකින නැටුම් වැනි විදුලිය එළියේ.
මේ දැන නොකර කුසලට කම්මැළියේ.
58.
දන් පින් බැරිදේකැයි නොසිතන්නේ.
අන්කළ පින් අනු මෝදන් වන්නේ.
උන් කළ පින් සරි පින් ලැබ ගන්නේ.
ඉන්නවද සග මොක් සැප සාදන්නේ.
59.
සයට වේද රස මුසු බත් කන්නේ.
ගඳට වේද ඇඟ සුවඳ කරන්නේ.
ලෙඩට බේති මේ මෙලොව සතුන්නේ.
කුමට මීට සැපයෙකැයි සිතන්නේ.
60.
මානෙන් ඉඳිතත් මේ සැප පෙරුමය
සීනෙන් ගෑ සුවඳක් සේ බොරුමය.
දානෙන් සීලෙන් නොකළොත් දරුමය.
පානෙන් අඳුරට ගෙන යයි කරුමය.
61.
දර රැස ගිනි අවුලුණු කල නිබඳේ.
ගිනිමිස දරයැයි යන බස නොයෙදේ.
එම ලෙස එක් කොට වදහළ මුනිඳේ.
දුක මිස කයකැයි යන බස නොයෙදේ.
62.
ඉඳි තොත් බෝකල් ජරයෙන් විසිරේ.
නැතහොත් වැදැ යයි මරු මුව කුහරේ.
මෙ මහත් ජරමර දෙදෙනා අතරේ.
මෙ සැපතත් සැප යයි ගනී දෝ කවරේ.
63.
අකුසල් ගෙයෙකැ සොරකම් ගිය දවසක.
කුහුල් සිතින් ඉඳිනේ තම ගෙය රැක.
සියල් සතුන් මරු ගෙනයනවා දැක.
කුසල් නොකර ඇයි ඉඳිනේ නොවැසැක.
64.
ගඟ යන ඇත්කුණ ඉදෑ මස් රසටා.
සිඳු මැදෑ වැදැ වැනසුණු මෙන් කපුටා.
ලද ඉසුරෙහි ලොබ කළහොත් තොපටා.
බව සයුරෙන් ගමනක් නැත ගොඩටා.
65.
පර සතුරන් එති එති යන බැස ටා.
ඇර අඹුවන් යන තොප වල ටා.
ගොර ජර මරු එනු එනු දැක වෙත ටා.
බව සයුරෙන් ගමනෙක් නැත ගොඩ ටා.
66.
ගඟ වතුරෙහි යන මිනිසෙකු දුකිනේ.
ලඟ කල ඔරුවට නො නැගෙන ලෙසිනේ.
සග මොක් දෙන බණ අදහා නොගන්නේ.
දුගතිය වැද තොප කීම දුක් විඳින්නේ.
67.
සිල්ප නැටුම් සේවාකම් පෑ තද.
අල්ප දෙයක් උදෙසා විඳිනා වද.
සිලප හදා රැක්කොතින් තතු ලෙද.
කල්ප දහස් සුර සිරි විඳිනේ වද.
68.
උන්නත් නැගී සිටිනට බැරි සීරුව.
සිටියත් ඉඳිනට බල නැති මාරුව.
ජරපත් වූ කල නොතිබෙයි මේරුව.
කරතොත් කරගන් දන් පින් සිරුව.
69.
මුන් හැම අඹුදරුවන් උපදින්නේ.
පින් බලයෙන් බෝ කල් පවතින්නේ.
උන්කළ පින් මය උන් රඳවන්නේ.
ඉන් සිත ලොබ මය තොප පවතින්නේ.
70.
සීල ගුණේ පිහිටා ගෙන නොයිදේ.
ආලය කර රකිනා තොප නිබඳේ.
බාල පියඹු දරුවෝ නම් මෙසදේ.
බාල කලට කෙළිනා උතු වැලදේ.
71.
දුක් ගෙන රැස් කර දන හැම කැමති.
නික්මෙන නිරයට නරයින් සිරති.
දුක් දෙන අඹු දරුවන් නීති රකිති.
මොක් දෙන පිරිසිදු සිල් නොමැ රකිති.
72.නොලදත් අහරක් සාදුක් දුරු කොට.
නැතුවත් කඩ රෙද්දක් එක පටකට.
බලවත් නිරයේ තද දුක් සිහි කොට.
මඳකුත් පසු නොබසිව් තොපි පිනකට.
73.
නසතොත් සිතලොබ අනුවණ දොස මය.
වසතොත් සැදෑහැත්තන් ඇති දෙස මය.
දෙසතොත් සඟ මොක් දෙන උපදෙස මය.
අසතොත් මුනිඳුන් වදහළ බස මය.
74.
වැනුවා නම් බුදුගුණ වැනුවාමය
තැනුවා නම් තම සිත තැනුවාමය
දෙනුවා නම් දන් පින් දෙනුවාමය
දිනුවා නම් පරලොව දිනුවාමය
75.
අසතොත් නිබොරුවැ මුනිඳු තෙපු ල්මය.
හරිතොත් නොතබා දස අකුස ල්මය
රකිතොත් සිත පිරිසිදු කොට සි ල්මය
දනි තොත් මෙසියල්ලට මේ ක ල්මය
76.
මෙ ස සර රුක දුක් විස පල ගත් අ තු
ලෙ ස ඇතිවෙති පව් සිය පලයෙන් යු තු
තොස වඩමින් ඉන් බැහැර නොලා සි තු
ද ස අකුසල් පල අසව මෙයින් ම තු
77.
බුදු බණ අසමින් සිත සතපායේ.
කුරු පණ කම් ඇර පිය ඒ පායේ.
පර පණ නැසුවොත් කවර උපායේ.
අප මණ දුක් දෙයි සතර අපායේ.
78.
මැදියන් නයිමුව ගොදුරුවැ ඉඳයා.
පණුවන් කන මෙන් රස විඳ විඳයා.
සැලෙමින් ජරගොර මරු මුව වැදයා.
බලමුත් පරපණ වනසන ලෙදයා.
79.
බලයෙන් වත් කිසියම් සොර සිතකින්.
සියතින් වත් දැන් වූ උපදෙසකින්.
පරසන්තක දෙය ගත සොර කමකින්.
නිරයෙන් නිරයට පැමිණෙයි එ තෙකින්.
80.
ලොබිනා මිහිරිව සෝරකම් කල සත.
විදින්නා දුක් මේ ලොව මෙතෙකැයි නැත.
මෙදිනනා ඒ දැක දැක ඉන් නොනැවත.
ඉදින්නා කල කිකලක වේදෝ සෙත.
81.
අසුකොට ගත නොතබති ආදාරය.
වදකොට මැරුවත්නැත එ විචාරය.
ලගුකොට නොසිතව පව් පරදාරය.
නිරයට ඇද ගෙන යනඒ මැ පාරය.
82.
අසවා ම කියනබස්අර තරයේ.
මුසාවා බස් කිවා එක මුරයේ.
වසවා දෙව් ලොව යන මන්තරයේ.
පැසුවා මිසෑ නාරී ගොස් නිරයේ.
83.
පලදෙන පව් පින් දෙක නොබලාමේ.
පවා යන බස් උරසක් මාලමේ.
බිඳු වන බස් වැඩ නැති කෙලාමේ.
මතුවන දුක් නොදැනෙන වෙලාමේ.
84.
අවිස නොවන බස් කනට යවුල් ලෙස.
සිතසතොසින් කියා කියතොත් පිය බස.
පරුස තෙපොල් බිනුවා නම් මහ දොස.
එ විස නොයයි පරලොව දුක් දී මිස.
85.
පෙර සිට වියතුන් නොකියා වැළකී.
දෙලොවට වැඩ නැති බස් අකුසලකි.
කෙළියටවත් ඒ වැඩ නැති බසෙකි.
නිරයට වැද යන රජ මහවතකි.
86.
අන් සතු සැපතක් දැක දළ ලොබිනේ.
උන්ට නොවේ මට වේයයි සිතිනේ.
උන් ක;ල ඒ සිත හටගත් පවිනේ.
උන් මතු නිරයේ දුකමයි විඳිනේ.
87.
රිසි නූ දන හට කර වාදේයා.
නසීවයි යන සිත වෑ පා දේයා.
බසිනා නිරයට ඒ පාදෙයා.
කිසි කලෙකත් ඒ ඒ පා දේයා.
88.
නිවනට මඟ මේ යයි මුනි කී යමී.
දහමට වෙන් වූ දෙසැටක් සමයමි.
සරි කොට ගත් සිත වෙයි මිස දිටුයමි.
සසරට බිජුවට මයි ඒ සමයමි.
89.
නට සිල් මිස දිටු ගත් ය කැමති.
අට ගත් කැප ගිනිකඳ මැද පැසෙති.
අට මහා නරකය පැසුණත් නොමැති.
පිට සක්වල එක් පෙදෙසක පසෙති.
90.
නොයෙකී රස බිම නිඹ බිජු වට ලත.
එමකි සිටිනෙය තිත්ත වැ පල ගත.
මෙමැකි මිසදිටු අදහස් ඇති සත.
කළ කී දෙය අකුසල් මිස පිං නැත.
91.
මේ ද ස අකුසලි’නෙක කුත් කළ හොත්.
උප දෙස කින් බැස කින් කර වූ වොත්.
ඒ වීගස එක් අදහස සිත සිතුවොත්.
නොවලස මොහු හැම දෙන නිරයට යෙත්.
92.
කරදර දස අකුසලයෙන් නොමිදී.
වැර සැර පෑවොත් මෙමිනිස් ලොවැදී.
මේර ගිර මුදුනෙන් හුණු මෙන් නොරැදී.
පර තෙර නැති දුක්සයුරේ කිමිදී.
93.
බුදුවත් මෙතෙකැයි නොකීයැකි පිරි සිඳ.
බලවත් මහදුක් විඳුවන හැම සඳ.
සිතුවත් බියවන අට මහානිරය ද.
ඔසුපත් සහා එකසිය සතිසෙක් වද.
94.
තෙසියක් තෙප් මුව වැද සිදුරු වැ ගත.
දවසක් මිනිසකු විඳී දුක් නොනැවත.
මොහොතක් නිරයේ විඳි දුක් සමවත.
ඇ බැ ටක් හා සරිවේදෝ හිමවත.
95.
පෙර අඟ නක් එක් එළු දෙනක හිස සිඳා.
සියලඟ වැලැදී ගිනි දැල් නිරය දුක් විඳා.
ඇය ඇඟ ලොම ගණනේ ඉස් කැපුම් ලදා.
මෙ මැ රඟ වේ ය කාටත් අකුසලේ ලෙදා.
96.
කෙළියට කඩක් සඟවා යහළුවෙකු ගෙනේ.
එළි කොට නැවත දුන් මිනිසෙකුට එතෙ කිනේ.
විළි වැස්මක් නොලැබුණි දෙව් උණත් අනේ.
කෙලියටවත් නොකරව සොර කමක් දැනේ.
97.
නොනැවතී අයෙක් පෙරපර දර පව් කැමැති.
ගුගුරති ගැලෙති තිස්වා දහසින් උඩෙති.
හිමිනැති තවම ලෝකුඹු නිරයේ පසෙති.
නොකෙරති මේ පව් නුවණැති අය වැඩ කැමති.
98.
ලැදිව රජෙක් බොරු බස් කී විගස කයා.
නැතිව රිද්දි බලයත් ඒ මිනිස් කයා.
පොළොව පලාගෙන ගොස් වැටුනිනර කයා.
මෙලොව සතුනි ඉන් බොරු කීම නර` කයා.
99.
පිසුණු කියා සඟ දෙනමක් වෙනස් කොට.
පැසුණු එකෙක් නිරයේ කල්පයක් සිට.
මුහුණු කුණුව තව පෙත වැ විඳ ගැ හැට.
පිසුණු බසක් නොකියව් අද පටන් කොට.
100.
පෙර මහණෙක් සඟ ගණහට බැණ නපුරු.
නිරයේ වැටී බිම සත්ගව් වැඩෙන තුරූ.
ගොර දුක් විඳී තවැ පෙත වැ සීටැ කුරිරු.
පර හට එයින් නොකියව් බස් නොපිය කරූ.
101.
කිවොත් වැඩක් නැති බස් බොරු නිරා ගැබේ.
මහත් කුරිරු දුක් විඳ යළි අවොත් මොබේ.
කිවත් සැබෑ නොගනිති ඔහුගේ බස් සබේ.
ගෙවත් සසර දුක් මෙම නොකියතොත් සැබේ.
102.
අන් සතු දෙයක් වේවයි සිතුව තම හට.
ඉන් දුගතියෙහි දුක් විඳ අව මේ ලොවට.
උන් සිතුවා සිදු නොම වෙයි සිතු ලෙසට.
මින් මතු සිතක් නොසිතව් එවැනි පවකට.
103.
බෝ වාදහස් පැසවෙන නිරය වෙන වෙන.
වෑපාදනම් රුදු මන බව නපුරු වන.
ආ බාද දුක් විඳුවන උප නුපන් තැන.
වෑ පාදයක් නොසිතව දැනැ දැන සිතින.
104.
කලක් නිරා දුක්විඳ විටෙක ගොඩ දුටූ.
නොයෙක් රෝග අටගෙන ගත වෙයි අරිටු.
උදෙක් නුවණ නැතිවේ සිත වෙයි කිළුටු.
මෙවක් පටන් පව් නොම කරනු මිසදිටු.
105.
බවයෙන් බවයෙහි කෙලෙසුන් නොයෙකි.
තොප දැන් විඳිනා දුක් දැන නිසැකී.
සසරින් ගොඩ නැඟුමට මුනිදුන් කී.
ලෙස පිං පවසමි ඇසුවොන් යෙහෙකී.
106.
අන් හට අලසව නොකොටැ විදානය.
පින් මිස අනිකක් නොකොටැ ආදානය.
තුන්සිත පිරිසිදු කරදුන් දනය.
උන් ගිය ගිය තැන ලැබෙති නිදානය.
107.
ඇතුලට වැදගෙන ඇවිලෙන ගින්නේ.
පිටතට හළ බඩුමය වැඩ වන්නේ.
මෙසිතට ගෙන ලොබ නොව දන් දෙන්නේ.
තම හට එම වැඩ මතු පල දෙන්නේ.
108
බුදිනටගත් බත් පිඩ මිස වෙන නැත.
යදිහට දැන් දෙව මතු දුක් නොවිදිත.
මෙම හට ඇත, ඉතිරිය දෙමි යන සිත.
හැම රට රජ සිරි සැප ලදුවත් නැත.
109.
පින් නොකරන දුදනන් බස් නාදා.
තුන් දොස් මළ දුරු කර සිත පාදා
පන්සිල් නීති අට සිල් රැක පෝදා.
ඉන් මොක්පුර පැමිණෙව් නොවැ බාදා.
110.
ලොල් සිත මුල් සිදෑ නීති තැන් සිතිනේ.
සිල් පහදා රැක සඳ රස් ලෙසිනේ.
වල් රකිනා සෙමරෙකු මෙන් තැතිනේ.
කල් නොයවා සේද මොක් සිරි ලබනේ.
111.
වෙත්වා සව සත සැමකල් නිඳුකි.
පත්වා සැපතට බව දුක් වැලකී.
යෙත්වා නිවනට සමගිව මුනිකී.
මෙත් බා වන නම් වැඩි පින් කමකි.
112.
යහපත නොසිතන සැටි මේ දනයා.
කිපී සිත උනුනට වෙතී වේදනයා.
හැමසත වෙත කළ මෙත් බාවනයා.
සැක නැත සඟ මොක් සැප සාදනයා.
113.
දෙනනන් දැන් දුන් රන් සේ පොළියට.
දුන්දුන් සේ තම කල පින් අනුනට.
එන්නේ දියුණුවැ තියුණු වැ තම හට.
ඉන් දැන් නුකුසිතව වැව් පින් දීමට.
114.
මුනිඳුන් බණ පද කරගෙන පුහුණු.
දෙසමින් දනහට වඩමින් කුළුණු.
එපිනෙන් නොපැමිණ නිරයට දරුණු.
ලැබගත් සඟ මොක් මතු සිරි දියුණු.
115.
දිවමෙන් මුනිඳුන් දුටුමෙන් තොසවා.
බණ දන් නන් හටවැදෑ අත ඔසවා.
පද යෙන් පදයට අදරින් අසවා.
එපිනෙන් නිරයට යන මං වසවා.
117.
ඇත ලොවැ වනපස මල් හැම දවසා.
කොත නක පිදුවත් මුනිඳුන් උදෙසා.
සිත මෙවිතර පිනටත් නොමැ සලසා.
සත සතරින් ගැළවෙන්නේ කෙලෙසා.
118.
ලොවැ ඇත්තන් නුවණින් විමසා දැක.
හිත ඇත්තන් යයි නොතබා වෙනසක.
ගුණ ඇත්තන් ගුණ කිමැ නොවි සැක.
නුවණැත්තන් පින් කරන උපාසක.
119.
මුණි පුත් සඟ ගණ මව් පිය ගුරුවර.
පරපත් කුලදෙටු ගිලනුන් තවසර.
රැක සිත් සේ කළ අත් පා මෙහෙවර.
සුවපත් කර සිරි විඳිනුය සුරපුර.
120.
ගොඩ ලමිනේ සත්වග බව දුකිනේ.
ගෙන නිවනේ සිටුවන තුටු මතිනේ.
තුණු රුවනේ ගුණ සිහි කළ සිතිනේ.
නැත විඳීනේ දුක් සසරෙයි ඉතිනේ.
121.
පින්මිස නයෙක් වන පිහිටක් නැත.
උන් ගෙන මතු හිමි වන දෙයකුත් නැත.
මින් මතු අදහා සිහි කර තොත් සත.
අන් කුසකුසලක් නොකලත් මේ දේ ඇත.
122.
පුරවා සත් රුවනින් මුළු දෙරණය.
කරවා පායක් බඹ ලොව පමණය.
බඳවා රන් දද ලා මිණි තොරණය.
දෙනවාටත් වැඩි පින් බුත්සරණය
123.
අපමණ සැප සපයා දෙන සත හට.
කූරුපණ අව බිය පැවතුම් නැති කොට.
බුදු බණ ලෙස පැවතුම් බැරි මෙ තොපට.
තිසරණ මිස පිහිටක් නැත සසරට.
124.
අසමින් මෙදහම් අලසව නොයිඳේ.
පුරමින් මෙ සියලු පින්කම් නිබඳේ.
කෙලෙසුන් මල් නොතබා සිත පසිඳේ.
ලැබ ගත් සඟ මොක් මතු දුක් නොවිඳේ.
125.
සිඟ පත් එකෙක් පෙර අනුරුදු තෙරුන් දැක.
තම ලත් බතින් දුන්නේ එක මැ සැන්දෙක.
බලවත් එයින් සුරපති විය ඉන්දික.
නියාවත් කරව් දැන් පින් පළ මෙයින් දැක.
126.
දවසක් පමණ සිල් රැකි කුලඟනන් පෙරා.
දහසක් සරඹ පිරී වරමින් රුවින් සරා.
තවසක් දෙවිඳු ළග සිරි විඳ නිරන්තරා.
විගසත් එසිල් තොර නොකරව් සිතින් දරා.
127.
කෙලෙසුන් සිතින් තොර කල් සිතු තනාමය.
නින්දුකින් ලැබෙයි බඹලොව සැප මනාමය.
සුදසුන් නිවන්දෙයිමරසෙන් දිනාමය.
පිනෙකින් උතුම් පිණ නම් බාවනාමය.
128.
කළ පින් දීම තම සිත සතුටු කොට.
බැඳීරන් හීනෙක දෙව් ලෝ සයට නැගුමට.
නැගී පුන් සදෙක අව බිය ගිම් නිවීමට.
නීති පින් එයින් දෙව් දුටුදුටු දනන් හට.
129.
දන් දෙන සඳෙහි දෙව්රම් වෙහෙරැ මුනිඳුට.
පින් අනුමෝදන් වූ මිනිසෙක්එතැනැ සිට.
පින්ලැබ ගතිය වැඩි තරමින්ම සිටුහට.
ඉන් දුන නොදුන කීම අනුමෝදනා වට.
130.
බුදුන් දෙසන බණ මිහිරෙන්ම සිත තැනි.
පසන් වැ උන් මැඩියෙකු කෙවිටෙකින් ඇනි.
එයින් මිස තිදස ලද ඉසුරු නොපමනි.
මෙවන් දහම් ඇසුමට මැළි නොවෙව් දැනී.
131.
දුක් සත්සතෙක් මුනිඳුන් වෙත සිත පෑදී.
එක් දා ගැබෙකැ දියබෙරලිය මලක් පිදි.
සක්විති සැපත් ඉන් පන්සීය වරෙකැ ලදී.
දුක් නැත මෙපුද කරතොත් අකුසලින් මිදී.
132.
වෙස්සැබූ මුනිඳු දැක එකවරකි වැන්දේ.
තිස් එක කපෙක දුගතිය දුක් නොවිඳේ.
තොස් වඩවන සක් දෙව් ඉසුරු වින්දේ.
තිස් පල සතුනි මෙකුසල් බැරි කුමන්දේ.
133.
මින් ලබමි නොසිතා කිසි උපකරණ.
මුන් සසරින් ගොඩලමි යන සිත් කුළුණ.
පින් පව් දෙකම නොවරදවා කියන බණ.
ඉන් තොප විදින සැප මෙතෙකැයි නැත පමණ.
134.
කළහොත් සිල්වතුන් හට නීති වතාවත.
දුටු සත් කෙනෙක් වෙයි ඕ හට ඉතා හිත.
නැණ ඇත්තවුන් සාදන පින් වතාවත.
එමහත් පිනකි දෑන ගතිතොත් ඉතාහිත.
135.
පින් නම් කරන අය ඒ දියුණු වන ලෙස.
මන් සන් තොසින් එහි ගුණ කියති ඇති ලෙස.
උන් උපනුපන් තැන පැතිරෙයි ලොවට යස.
පුන් සඳ පහන් වූ මෙන් අදහව් මෙ බස.
136.
තිසරණගත් එක් මිනිසෙක් එක් කලෙක.
නොපැමිණ දුගතියට සිට කප් එක් තිසෙක.
අපමණ සැපක් සගමොක් සැප ලද නිසැක.
එසරණ නොගෙන තොප විදින්නේ ඇයි මෙදුක.
137.
අනුවණ කමින් සිහි නොකරනු මිස සතත.
අසරණ තොපට පිලිසරණක් මය දිමුත.
බුදු ගුණ සිතින් එකඟව සිහි කරත හොත.
අපමණ සැපක් සිදු වෙයි සැක නොකර සිත.
138.
ලොවට උතුම් මුනි රජුගේ ගුණ විපුල.
සිතට රැගෙන සිහිකළ නුවණින් නිමල.
සතට නොවී කාලෙකත් බව දුක් අසල.
යසට මෙයින් වැඩවෙවා සුබසිරි ` මඟුල.
139.
නොදැන න ලොවන් සැම පව් පින් නියම කොට.
බැඳ ලෝවැඩ සඟරා පිනෙනි හැම විට.
ලද සැපතින් තොර නොව ලැබ නිති පිහිට.
වැද සව් සත සැනසෙත්වා මොක් පුරට.
140.
විදාගම වෙහෙරෙයි මෙත් තෙරිඳු සඳ.
සාදා රණව පවසාලා සිතින් නඳ.
බා දා නොවී මොක් දැකුමට බැඳී මේ පද.
පාදා සතුන් සිත පවතීවා නිබඳ.