මෞර්ය කලාව

ලිපිය සැකසීම :

ස්ථූප සාංචි ස්තූපය ස්වභාවික සෞන්දර්යය අතින් ලංකාවේ මිහින්තලයට බෙහෙවින් ම සමාන වූ චේතියගිරිය හෙවත් සාංචි කඳුගැටය පුරාණ මාල්වා රාජ්‍යයට අයත් වූවකි. යුවරජු ලෙස මෙම ප‍්‍රදේශ පාලනය කළ අශෝක රජු නතර වී සිටියේ උදේනී නම් නුවර සිටු නිවෙසක ය. එහිදී හෙතෙම දේවී නම් සිටු කුමරිය හා විවාහ වූයේ ය. මහින්ද කුමරු උපන්නේ ද මෙම ග‍්‍රාමයේ දී ම ය.

අශෝක අධිරාජයා විසින් ඉදිකරවන ලද ස්තූපයකි. ස්තූපයකැයි කීව ද සැබැවින් ම මෙම ස්ථානයේ ස්තූප කිහිපයක් හා ආරාම සංකීර්ණයක් තිබී ඇත. ප‍්‍රධාන ස්තූපය සතර දෙස ඇති තොරණ සතර ද බොහෝ දුරට ආරක්‍ෂා වී ඇත. ශ‍්‍රීමත් ජෝන් මාෂල් මුල් වී මෙම චෛත්‍යයන් ප‍්‍රතිසංස්කරණය කළ අතර පැරණි ස්වභාවය සිත්හි මවාගතහැකි ලෙස අද වනවිට ඉතිරිව පවතී.

මෙම ස්තූප අතරේ ප‍්‍රධාන ස්තූපය අඩි 54ක උසින් යුක්තය. විෂ්කම්භය අඩි 120කි. ස්තූපය වටා තොරණ (වාසල්කඩ) සතරකි. එ්වා විසිතුරු කැටයමින් යුතුය. දක්‍ෂිණ දිශාවේ තොරණ ආසන්නයේ අශෝක අධිරාජයා විසින් කරවූ ස්තම්භයක් වෙයි. ඝණ්ඨාවක හැඩැති හිසකින් හා එය නෙළුෑ ගලෙන් ම නෙළුෑ සිංහරූ සතර ද සහිත මෙම කුලූණු සාරානාත් අශෝක ස්තම්භයට ඉතා ආසන්න ලක්‍ෂණ සහිතය. එහෙත් එතරම් උසස් නිමාවකින් යුතු නොවේ. සිංහරූප සහිත වේදිකාවේ සිරස් මුහුණත හංසරූප දෙක බැගින් වන එ්කක හතරකින් ද එ් එකක දෙකක් අතරේ එකක් බැගින් ඇති විශේෂ හැඩයේ මලක් වැනි සැරසිල්ලකින් ද යුතුවීම විමසිය යුත්තකි. සාරානාත් කුලූණු හිසෙහි මෙන් මෙහි වේදිකා සිරස් මුහුණතේ ධර්මචක‍්‍රයන්ගේ ඇත්,අස්,ගව,සිංහාදී රූප නොව්. මෙහි ඇති හංසරූප වලින් බුද්ධ ශ‍්‍රාවකයන් නිරූපණය කරන්නේදැ’යි සිතේ. මෙම කුලූණු හිසෙහි සිංහ රූ අතරින් ඉහළට එසවී යන ආකාරයේ ධර්මචක‍්‍රයක් තිබූ බවට සලකුණක් නොමැති වීම නිසා ද සෙසු කුලූණු වලට වඩා වෙනස් ය.

සාංචියේ සෙසු ස්තූප ප‍්‍රධාන ස්තූපයට අමතරව සාංචි ආරාම සංකීර්ණයට අයත් තවත් ස්තූප 3ක් වෙයි. එ්වා ප‍්‍රධාන ස්තූපයට වඩා කුඩාය. ශ‍්‍රීමත් ඇලෙක්සැන්ඩර් කනිංහැම්, ශ‍්‍රීමත් ජෝන් මාෂල් හා මේසි වැනි පුරාවිද්‍යාඥයෝ මෙම භූමියේ කළ පර්යේෂණ වලට අනුව එම ස්තූප ආශ‍්‍රිතව විවිධ පුරාවස්තු ද සොයාගෙන ඇත. දෑගසව්වන් වහන්සේලාගේ ධාතු නිධාන කළ චෛත්‍යය ද ධාතුකරඬු සතරක් සහිතව හමු වූ චෛත්‍යය ද ඔවුන්ගේ විශේෂ අවධානයට යොමු වී ඇත.

දෑගසව්වන් වහන්සේලාගේ ධාතු සහිත කරඬු තැම්පත්කළ ස්තූපය ශ‍්‍රීමත් ඇලෙක්සැන්ඩර් කනිංහැම් හා මේසි යන මහත්වරුන් විසින් පළමුවරට ගවේෂණය කරනු ලබද්දී අතිශයින් ම ගරාවැටි තිබුණි. ධාතු ගර්භයේ තිබූ ශෛලමය බඳුන් දෙකක් තුළ ධාතුකරඬු 1ක් බැගින් තැම්පත් කොට තිබු අතර ඉන් එකක පියන ඇතුළු පැත්තේ ‘ස’ අකුරත් අනෙකෙහි ඇතුළු පැත්තේ ‘ම’අක්‍ෂරයත් ලියාතිබී ඇත. ස’ අක්‍ෂරයෙන් සාරිපුත්ත යන වදනත් ‘ම’ අක්‍ෂරයෙන් මොග්ගල්ලාන යන වදනත් අරුත් ගැන්වෙන වග විශ්වාස කෙරේ. (විමලානන්ද, තෙන්නකෝන් 1957, පිටුව 31)

දෑගසව්වන් වහන්සේලාගේ ධාතු නිධන් කළ ස්තූපය බාහිර හැඩයෙන් මහාචෛත්‍යයට අතිශය සමානය,(ගුරුගේ ආනන්ද 1962 පිටුව 23) එහෙත් මෙහි ඇත්තේ ඉහළ ප‍්‍රදක්‍ෂිණාපථය පමණෙකි. චෛත්‍යය වටා පොළොව මට්ටමෙහි ගල් ගරාදි වැටක් නැතත් ඉහළ ප‍්‍රදක්‍ෂිණාපථයට ප‍්‍රවිෂ්ට වන සෝපාන පන්තිය අබියස ඉදිකළ එක් තොරණක් පමණක් ඇත්තේ ය. ප‍්‍රධාන ථූපයේ තොරණේ හැඩයට ම නිර්මාණය කර ඇතත් එය උසින් තරමක් අඩු ය. කලාත්මක බවින් නොඅඩු ය, (ගුරුගේ ආනන්ද 1962 පිටුව 23)

සාංචියේ ඇති තවත් ස්තූපයක මොග්ගලීපුත්ත මාහිමියන් ප‍්‍රමුඛව තෘතීය ධර්මසංගායනාව මෙහෙය වු මහරහතන් වහන්සේලාගේ ධාතු තැම්පත්කොට ඇත. එම ධාතු සහිත කරඬු වල ලිපි කොටා ඇති අතර එ්වායින් ඓතිහාසික කරුණු ගණනාවක් ද සනාථකර ගැනීමට හැකිවෙයි. මදක් කහ පැහැයට හුරු ශෛලමය පෙට්ටියක් තුළ ධාතු ඵාලික කරඬු(පළිඟු කරඬු)සතරක් තිබී ඇති අතර යථෝක්ත ශෛලමය පෙට්ටියේ හා ධාතුඵාලික කරඬු වල ද එම ලිපි කොටා ඇත. එම ලිපිපෙළ හා අනුවාද පහතින් දක්වා ඇත.

"සවින විනායකාන අරං කාසප ගොතං උපදය අරං ව වාජී සුවිජයිතං විනායක"

අනුවාදය - කාශ්‍යපගෝත‍්‍ර රහතන් වහන්සේ, වාත්සි රහතන් වහන්සේ, සුවිජයිත ආචාර්යයන් වහන්සේ ආදී සියලූ ආචාර්යවරයන්ගේ ය. මෙම ලිපිය ශෛලමය පෙට්ටියෙහි කොටා තිබූ අතර ඵාලික කරඬු වල තිබූ ලිපි සහ අනුවාදයෝ මෙසේය.

"සපුරිස කසප ගොතස සව හෙමාවතාචරියස"

අනුවාදය - මුළු හිමවත් පෙදෙසේ ආචාර්යවරයා වූ උතුම් කාශ්‍යප ගෝත‍්‍රයන් වහන්සේගේ ය.

මෙම ලිපිය තිබුණේ එක් ඵාලික කරඬුවෙක පියනෙහි පිටත පැත්තේ ය. එහි පියනේ ඇතුළු පැත්තේ ත් කරඬුව පතුලෙහිත් කොටා තිබූ ලිපි දෙකක් පහත දැක්වේ.
පියනේ ඇතුළු පැත්තේ ලිපිය-
සපුරිස මඣිමස (උතුම් මජ්ඣිමයන් වහන්සේගේ ය).
කරඬුව පත්ලේ ලිපිය-
සපුරිසස භාරිති පුතස.
(උතුම් භාරිතිපුත‍්‍රයන් වහන්සේගේ ය).
මීළඟ ඵාලික කරඬුවේ පිටත හා ඇතුළත තිබූ ලිපිදෙක පිළිවෙළින් මෙසේ ය.
සපුරිසස වාචිය සුවිජායතස ගොත ආතේ වාසීනෝ
(ගෙත(ගුත්ත) හිමිගේ අතවැසි වාචිය සුවිජාතයන් වහන්සේගේ ය.)
කාකනාව පහාස සිහ ආ දා න.
(කාකනාව පහාසයන් වහන්සේගේ ශිෂ්‍යයන්ගේ දානයකි).
ඊළඟ ඵාලික කරඬුවේ ද පියනේ පිටත හා ඇතුළත ලිපි දෙකක් විය.
එ්වා පිළිවෙළින් මෙසේ ය.
සපුරිසස මහ වනායස - සපුරිස ආපගිරස.
උතුම් මහවනාය(මහාවනාර්යයන් වහන්සේ)ගේ ය.
සපුරිසස කොදිනි පුතස.
උතුම් කෝදිනී පුත (කෞණ්ඩිනී පුත‍්‍රයන් වහන්සේ)ගේ ය.
අවසන් ඵාලික කරඬුවේ පියනේ පිටතපියනේ ඇතුළත හා කරඬුව පතුලේ ආදී ලෙස තිබූ ලිපි තුන පිළිවෙළින් මෙසේ ය.
සපුරිසස කොසිකී පුතස උතුම් කෝසිකී පුතගේ ය.
(කෞශිකී පුත‍්‍රයන් වහන්සේගේ ය).
සපුරිසස ගොති පුතස.
උතුම් ගොති පුත‍්‍රයන් වහන්සේගේ ය.
සපුරිසස මොගලි පුතස.
උතුම් මෝගලීපුත‍්‍රයන් වහන්සේගේ ය.

මෙම ලිපි සහිත කරඬු ලන්ඩනයේ වික්ටෝරියා ඇල්බට් කෞතුකාගාරයේ තැම්පත්කොට ඇත. මේවායේ යථෝක්ත ලිපි කියැවූ කනිංහැම්, බියුලර්, මජුම්දාර් ආදීන් අතරින් ඉහතින් දැක්වූයේ මජුම්දාර් මහත්මාගේ අදහස් ය. (තෙන්නකෝන් විමලානන්ද මහතාට අනුව ය). එහෙත් ඔහු මොග්ගලීපුත්තතිස්ස තෙරුන්වහන්සේගේ ධාතූන් මෙහි ඇතැයි නොපිළිගනී. ඔහුට අනුව මෙහි එනමින් එන්නේ වෙනත් තෙරුන් කෙනෙකි.

මහාවංසයට අනුව,
මධ්‍යම නම් මහා සෘෂි තෙමේ සතර තෙර කෙනෙකුන් හා හිමවත් පෙදෙසට වැඩමවා වදාළහ. ම.පරි.41, 42 ගාථා) පළමු ඵාලික කරඬුවේ ධාතූන් වහන්සේලා උන්වහන්සේලාගේ විය හැකි යැයි කනිංහැම් මහත්මා විශ්වාස කරන්නේ ඊට අනුව ය.

මතවාද කෙසේ වෙතත් සාංචියේ මෙම ථූපයෙහි ඓතිහාසික වැදගත්කමක් ඇත්තේ ය යන්න සත්‍යයකි. කාලයේ ශ‍්‍රීමත් ජෝන් මාෂල් මහත්මා මෙම ප‍්‍රදේශයේ කළ කැනීම් අනුව ඔහු ද එ් බැව් සනාථ කොට ඇත.
සාංචි ස්තූප ආශ‍්‍රිතව ලැබුණු ශිලාලේඛනයකින් ද ලංකාවේ මහාවංස තොරතුරක් සනාථ කරගැනීමට හැකිවිය. මෙම ලිපිය වනාහි අශෝක අධිරාජ්‍යයාගේ සමයේ ම පිහිටුවා ඇතැ’යි සිතිය හැක. (ඤණවිමල හිමි, බෙල්ලන 2000 පිටුව 62ට අනුව ය.)මහාවංසයේ සඳහන්වන ආකාරයට අශෝක රජතෙම විසින් කළ ශාසන සංශෝධනය පිළිබඳව මෙම ලිපියෙන් ද සාධක ලැබී ඇත.(ම.ව.5.පරි.269-275 ගාථා) සාංචියෙන් හමු වූ ලිපිය මෙසේ ය.
යා හෙත(වෙ)සං (ඝෙ)(ස) මගෙ කටෙ භිඛුනංච භිඛුනිනං චා තී පුතපපොනිකෙ චංදමසුරියිකෙ. යෙ සංඝං භාඛති භිඛු වා ඔදාතානි දුසානි සනං ධාපයිතු අනාවාසසි වාසාපෙකවියෙ. ඉජා හි මෙ කිං ති සංඝෙ සමගෙ චිලථිතිකෙ සියා ති. බිඳීමට දරුමුණුබුරන් දක්වා සඳහිරු පවත්නාතාක් සංඝයා සමඟි කරන ලදී. යම් භික්‍ෂුවක් හෝ භික්‍ෂුණියක් හෝ සංඝ භේදය කරයි ද හෙතෙම සුදුවස්ත‍්‍ර අන්දවා ආවාසයෙන් නෙරපා හැරිය යුතු ය. මා කැමති වන්නේ කුමක් සිදුවනවා දකින්න ද? සංඝයා බොහෝ කලක් සමඟිව සිටිනු දකින්නට ය.(ඤණවිමල හිමි, බෙල්ලන, 2000. පිටුව 62)
මෙම ලිපියේ සඳහන් වන්නේ ද සංඝ සංශෝධනයක් පිළිබඳව ය. මෙම සංශෝධනය ක‍්‍රි.පූ. 245වැන්නේ දී පමණ යැයි අනුමාන කළ හැකිය.
<සාංචි ආරාම පෙදෙස වඩාත් ප‍්‍රකට වූයේ එ් ආශ‍්‍රිත චෛත්‍යය තොරණ කිහිපය හා එ්වායේ කැටයම් නිසාවෙනි. එසේ වුව ද එ් අවට ඇති ආරාම සංකීර්ණය ද නොසලකාහැරිය නොහැක්කේ ය. මෙම ආරාම සංකීර්ණය ආශ‍්‍රිතව ඇති අශෝක ස්තම්භයක්, පසුකාලීන ස්තම්භ තුනක් හා විහාර කිහිපයක නටබුන් පිළිබඳ ආනන්ද ගුරුගේ මහත්මා සිය‘ දඹදිව බෞද්ධ කලාව’ නමැති කෘතියේ සඳහන්කොට ඇත. අඩි 17 බැගින් උස ගල්කුලූනු නවයක්, අඩිතාලම හා නෂ්ට වූ බිත්ති කැබැල්ලක් ද සහිතව මහා චෛත්‍යයට දකුණින් පිහිටි විහාරය ඉතා වැදගත් ය. පුරාවිද්‍යාඥයෝ විශ්වාස කරන්නේ මෙම ගොඩනැගිල්ල එකල අජන්තා ලෙනක ස්වරූපයෙන් ඉදිකරන්නට ඇති බවයි. මෙයට නැගෙනහිරින් පිහිටි තවත් ගොඩනැගිල්ලක් පිළිබඳව පර්සි බ‍්‍රවුන් මහතාගේ කෘතියක සඳහන් වෙයි. බොහෝදුරට ආරක්‍ෂා වී පවතින මෙය ශෛලමය පියස්සක් සහිත එකකි. සාංචියේ තවත් බොහොමයක් ආරාම නටබුන් දක්නට ඇතත් මේ සියල්ලම එක ම යුගයක ඉදිකළ එ්වා නොවන වග ද අවබෝධයට ගතයුතු ය. මෞර්ය යුගයේ අශෝක රාජ සමයේ පටන් ගුප්ත යුගයටත් පසු කාලය දක්වා මෙහි ඇති ඉදිකිරීම් අදාළ වෙයි. (ගුරුගේ ආනන්ද, 1962 පිටුව 23)

3448 වරක් කියවා ඇත.
ict_branch නිර්මාණය :
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
පිටු පෙළගැස්ම | වියාචනය | පරිපාලක පිවිසුම
කතු හිමිකම © 2012-2016 | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
මෙම පද්ධතියේ ඇති සියලුම අන්තර්ගතයන් සඳහා හිමිකම් ඇවිරිණි.
කිසිදු අන්තර්ගතයක් ලිඛිත අවසරයකින් තොරව වෙනත් වෙබ් පිටුවක හෝ වෙනත් කුමන ආකාරයක හෝ සමාජ ජාල වෙබ් අඩවිවල උපුටා පළ කිරීම සපුරා තහනම් වේ.