වටදාගේ

ලිපිය සැකසීම :

දාගැබ වටකොට බැදි ගෘහයයි. අතීත ලංකාවේ. වාස්තු විද්‍යාත්මක ඉදිකිරීමකි. වර්තමානයේ ද නැත්තේ නොවේ. එහෙත් කලාත්මක බවින් හීනය. ධාතු ගෙය යනුවෙන් ථුප වංසයේ හැදින්වෙයි. ( අන්කප‍්‍රකාර රුවනින් මනා කොට කරවන ලද්දාවූ ගෙය ද එසෙයින්ම විසිතුරු කොට බඳවන ලද්දා වූ දාගැබද බැලූව මැනව ....අගි* වටදා ගෙය( පාලි වට්ටධාතුගෙහ) යන යෙදුම පසු කාලීන එකකැයි පෙනේ. සියවස් හි රචිත කෘති වල හමුවන්නේ මේ වදනයි (....ලමැනි වංශයෙන් ආ වහප් මහරජ අනුරපුර නුවර (...* ථූපාරාමයෙහි වටදාගෙය කරවා ...) පූජාවලිය කිරි ඇල්ලේ ඤාණවිමල හිමි සං 2002- 775 පිටුව )දාගෙයි යන වදන අමාවතුර කෘතියේ ද එයි. අමාවතුර පොළොන්නරු යුගයට අයත් කෘතියකි. එහි භික්‍ෂු දමන නම් පරිච්ෙඡ්දයේ සියලූ සක්වල ගැබ රුවන් මුවාවක් ගොවනැස් ඔත් දාගෙයක් සෙයින් දිලියෙ යනුවෙන් දැක්වේ. මෙයින් දාගෙයක හැඩය පිළිබඳව යම් අවබෝධයක් ලබාගත හැක. ගොවා නැස් හෙවත් ගොනැස් යනුවෙන් පරාල විශේෂයකි. මේ පරාල යොදන්නේ අර්ධ ගෝලාකාර වහලයක් සහිත ගොඩනැගිලි වලටයි. ඊට අනුව දාගෙයි වහලයට නොගොස් පරාල යොදාඑය අර්ධ ගෝලාකාර හැඩයට සකසන්නට ඇතැයි පරණවිතාන මහතා කරන උප කල්පනයේ යම් සත්‍යයක් තිබිය හැක.
වටදාගෙය ලංකාවට ආවේණික වූවක් නොවේ. ඒ චෛත්‍යඝර වලට උදාහරණ භාරත යේද දැකිය හැක. භාජාචෙශර්ලා,ටෙර්,බෙඞ්සා,අඡුන්තා,නාශික්,ජුම්නාර්,කොණ්ඩානි,අමරාවතී,සාංචි,අයිහෝල් වැනි ස්ථාන වල චෛත්‍ය ඝර හා ඊට සම නිර්මාණ දක්නට ලැබෙයි. මේවා ලංකාවේ චෛත්‍යඝරයන්ට වඩා හැඩයෙන් වෙනස් නමුදු එකම අරමුණක් උදෙසා ඉදිකර ඇත. ඇප්සාකාර චෛත්‍ය ශාලාවලට පැහැදිලි උදාාහරණ අජන්තාවේ හා කාර්ලෙහි දක්නට ලැබෙයි. භාරතයෙහි චෛත්‍ය හැඳින්වෙන්නේද ඒවා චෛත්‍ය ඝරයන්සේ හඳුනාගත හැක. චෛත්‍යයේ සැලසුම ඈත පෙරදිග රට වලට ගෘහ නිර්මාණ කටයුතු වලට පාදක වීදැයි සැක කරන්නට මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න මහතාගේ ලක්දිව වටදාගෙය නමැති කෘතිය හේතු සාධක සපයයි.ඔහු කියන්නේ පර්සිපොලිස් හි ඇති එක් නිමැවුමක් භාරතීය වටදාගෙයක් අනුව නිමවන්ට ඇතැයි සැක කළ හැකි බවය.

ලංකාවේ වටදාගෙයට භාරතීය වටදාගෙය බලපැවේ ද නැද්ද යන්න නිශ්චිතවම කිව නොහැකි නමුත් ලක්දිව වටදාගෙයි ඇතැම් ලක්‍ෂණ සහිත වටදාගෙයක් ගෝධාවරී දිස්ත‍්‍රික්කයේ ගන්තුපල්ලේ නම් ස්ථානයෙන් සොයා ගෙන ඇත.(සෙනෙවිරත්න,අනුරාධ,පිටුව 8) එය වටකුරු චෛත්‍ය ලෙනකි පරාල හැඩ ඇති ආකාරයද ලංකාවේ වටදාගෙයට සමාන ස්වභාවයක් පෙන්වයි. ඇතැම් විට මෙය සිංහල ශිල්පීන්ට හුරු වන්නට ඇත. එහෙත් ඊට සාධක නැත. සිංහල ශිල්පියා ථුපඝරය නිමැවූයේස්වාධින අදහසක් අනුව විය හැක. මහාවංශයේ ද ස්ථාන ගණනක ථුපඝර පිළිබඳ සඳහන් වෙයි. 35:87, 35:90, 36:9....*තවත් මුලාශ‍්‍ර ගණකද එබඳු සඳහන් ඇත. ඒවා අනුව ථූපාරාම දාගැබකට ද අම්බස්ථල දාගැබට ද වලගම්බා රජු කරවන්නට ඇතැයි සැලකුනද නිශ්චිතවම හඳුනාගෙන නැති මනිසෝම විහාර දාගැබ ද නාගදීප ථුපයටද ලංකාරාමයටද මැදිරි ගිරිය ථුපයටද තිරියාය ථුපයට ද පොළොන්නරුවේ ථුපයටද (දැනට පොළොන්නරු වටදාගෙය) අත්තනගලූ ථුපයට ද රාජාංගන ථුපයට ද මැනික්දෙන ථුපයටද ආදි වශයෙන් මෙරට ඉදි වූ කුඩා පරිමාණ දාගැබ් කිහිපයකටම වටදාගෙවල් ඉදිවී තිබී ඇත. වර්තමානයේ කළුතර පුදබිමේ ඉදිවු වටදාගෙය ස්තූපයක හැඩයට ඉදිකර තිබේ.

 

ථූපාරාම වටදාගෙය- 

 

පොළොව මට්ටමින් තරමක් ඉහළින් තැනූ මලූවක් ඉදිකළ ථූපයට නැගීම පිණිස පියගැට 17කින් යුත් පියගැට පෙලක් තරණය කළයුතුවේ. ස්මිතර් මහතාට අනුව මෙහි වටදාගෙයි කුලූනු 176ක් තිබී ඇත. එහෙත් දැනට ඇත්තේ කුලූනු 134ක් පමණි. එයින් ද කුලූණු දහයක පමණ ශීර්ෂ නැත්තේය. මේ කුලූනු පේළි 4කින් තිබී ඇත. මුල්පෙළෙහි (චෛත්‍යයට යටින් පෙළෙහි) කුලූනු 52ක් තිබී ඇතත් දැනට ඇත්තේ 43ක් පමණි. දෙවෙනි පෙළෙහි කුලූනු 36ක් තිබී ඇතත් දැනට ඇත්තේ 34ක් පමණි. තෙවෙනි පෙළෙහි කුලූනු 40ක් තිබී ඇතත් දැනට ඇත්තේ 37ක් පමණි. සිවුවැනි පෙළෙහි කුලූනු 48ක් තිබී ඇතත් දැනට ඇත්තේ 20ක් පමණි. ඊට අනුව ඉතිරිව ඇති සමස්ත කුලූනු ප‍්‍රමාණය 134ක් වුව ද ඉන් 93ක් ම බිදී ගිය ඒවාය. යථාතත්ත්වයෙන් ඇත්තේ කුලූනු 31ක් පමණි. තවත් 10ක ශීර්ෂයෝ පමණක් නැත.ථූපයට සමීපතම කුලූනු පෙළ චෛත්‍යයට අඩි 3යි අගල් 1ක් ඈතින් පිහිටා ඇත. එහි කුලූනක් අඩි 20යි අඟල් 10ක් උසය. එම පෙළට අඩි 10යි අගල් 3ක් දුරින් දෙවැනි පෙළපිහිටි අතර අඩි 21යි අඟල් 3ක් උස කුලූනු 36ක් තිබී ඇත. දෙවන වටයෙන් අඩි 9යි අගල් 7ක් දුරින් තෙවන වටය තිබී ඇත. එහි කුලූනු අඩි19යි අඟල් 9ක් බැගින් උස්ව තිබී ඇත. කුලූනු 40ක් තිබී ඇත. අවසන් වටයට තෙවැනි වටයේ සිට ඇති දුර අඩි 14කි. මෙහි කණුවක උස ද අඩි 14කි. එබඳු කුලූනු 48ක් මෙහි තිබී ඇත. තෙවන හා සිවුවන කුලූනු වට අතර පුරාණ ගඩොලූ බැම්මක් තිබූ බවට සාධක ඇතත් දැනට බැම්ම දක්නට නැත. ඇතැම් විට මලූව දෙකොටසකට බෙදා දක්වන්නට ඇත.

ථූපාරාමයේ කුලූනු පිහිටා ඇති ස්වභාවය හා උස පරිමාන සලකා පරණවිතාන මහතා එහි සැලැස්ම දළ වශයෙන් ඇද දක්වා ඇත. අර්ධ ගෝලාකාර ශිඛරය ගොනැස්පරාලයෙන් සැකසූ සේ දක්වා තිබෙන්නේ සාහිත්‍ය සාධක අනුව විය හැක. ලංකාවේ උසම ශෛලමය කුලූනු දක්නට ලැබෙන්නේ ද මෙතැනය. මෙහි මුල් කුලූනු පේළි 3ක් එකක් කොටස් 4කට බැගින් බෙදා ඇත. කොටස් බෙදීමේ දී දෙකොටසක් අතර අඩි9යි අගල් 6ක පරතරයක් බැගින් ද ඇත. අවසන් වටයේ කුලූනු පෙළ කොටස් දෙකකට පමණක් බෙදා ඇති සේ පෙනේ. ප‍්‍රවේශද්වාර 2ක් පමණක් ඇති නිසා විය යුතුය.

කුලූනු පේළි සතරින් මුල් දෙකෙහි කුලූනු හිසෙහි කුඩිම්බි දක්නට ලැබේ. තෙවැනි පෙළෙහි කුලූනු හිස ඍජුකෝණාස‍්‍රාකාර පැතලි ඵලකයන්ගෙන් සමන්විතය. සිවුවන පෙළෙහි කුලූනු මස්තකයේ ඇත්තේ අර්ධගෝලාකාර උන්දමකට සම හැඩයකි. එහි විෂ්කම්භය අඟල් 4කි. සෙනරත් පරණවිතාන මහතා කියන්නේ ඒ ආකාර කුලූනු ලංකාවට ආවේණික බවයි. (පරණවිතාන.එස්, 2009, පිට 67)ථූපාරාම වටදාගෙයි පැරණි ස්වරූපය පිළිබද පුරාවිදාඥයන් ද ඉතිහාසඥයන් ද කලා විචාරකයන් ද විවිධ මතවාද දක්වා ඇති බව අමතක නොකළ යුතුය.ලංකාරාම වටදාගේ ථූපාරාමයට වඩා ප‍්‍රමාණයෙන් කුඩා ස්තූපයක් වන ලංකාරාමයේ ද වටදාගෙයක් තිබූ බවට සාධක ඇත. ස්තූපය වටකොට ඇති ඒක කේන්ද්‍රීය කුලූනු වට තුනකි. පළමු වටයේ කුලූනු 20කි. දෙවැන්නේ 28කි. තෙවැන්නේ 40කි. පළමු කුලූනු පෙළ අඩි 16 අගල් 8කින් යුක්තය. එහෙත් ඒවා චෛත්‍ය මලූවට වඩා තරමක් උස් බිමක පිහිටුවා ඇති නිසා මලූවේ සිට සැබෑ උස ඊට වැඩිය අඩි 17 අඟල් 1කි. දෙවැනි පෙළ කුලූනු අඩි අඟල් 11ක් උස් වුව ද ඒවා ථූප මලූවේ ම පිහිටුවා ඇත. කුලූනු දෙපෙළෙහි උස් පරතරය අඟල් 5ක් පමණි. කුඩිම්බි හෝ අර්ධගෝලාකාර නෙරුම් රහිත වුව ද ලංකාරාම වටදාගෙයි කුලූනු හැඩයෙන් ථූපාරාම කුලූනු වලට සමානය. ථුපාරාමයේ මෙන් ම මෙහි ද පිටත කුලූනු දෙපෙළ අතර ගඩොල් පවුරක් තිබූ බවට සාධක ඇත.

මිහින්තලේ අම්බස්ථල දාගැබ වටදාගේ - 

 

මිහින්තලේ අම්බස්ථල දාගැබ වටදාගේ අඩි 29ක විෂ්කම්භයකින් යුක්ත දාගැබෙහි ඒකකේන්ද්‍රීය ගල් කුලූනු වට දෙකක් පමණි. ඒවා අටපට්ටම්ය. කුලූනු වල උස සමානය. අඩි 14 ක් බැගිනි. එහෙත් මලූවේ පිටතපැත්තේසිට චෛත්‍ය පාදමට සමීපවත්ම මලූව ක‍්‍රමයෙන් උස්වන අයුරින් තනා ඇති නිසා පළමු වටය හෙවත් ථූපයට සමීප වටයේ කුලූනු අඟල් කීපයක් උසින් වැඩිය. මේවායේ කුලූනු හිස් මස්තකය පැතලිය. කුඩිම්බි නැත.මැදිරිගිරිය වටදාගේ පුරාණයේ මණ්ඩලගිරිය ලෙස හැදින්වු මෙය මින්නේරියේ සිට 26ක් පමණ දුරින් තමන්කඩුවේ පිහිටා ඇත. මේ විහාරය පිළිබදව මහාවංසයේ සදහන්වෙයි.

කල්‍යානි කවිහාරෙ ච මණ්ඩල ගිරිකෙ තථා දුබ්බලවාපිතිස්සව්හේ විහාරෙසු ඉමෙසුභි(ම.ව. 36 . 16) මෙහි වටදාගෙය ඉදි කරන්නට ඇත්තේ සිවුවැනි අග්බෝ රජසමයේය.ඒ සඳහා අෂ්ටාස‍්‍රාකාර කුලූනු තුන්පෙළක් යොදාගෙන තිබේ. පළමු වටය හෙවත් චෛත්‍යයට සමීපතම වටය කුලූනු 16 කින් යුක්තය. කුලූනක උස අඩි 17කි. චෛත්‍යයේ සිට අඩි 1යි අඟල් 9ක් දුරින් එම කුලූනු පෙළ පිහිටා තිබේ. කුලූනු 20කින් යුක්ත දෙවන වටය පිහිටා ඇත්තේ පළමු වටයට අඩි 6යි අඟල් 3ක් දුරිනි. එක් කුලූනක උස අඩි 16කි. දෙවනි වටයේ සිට අඩි 14යි අඟල් 5ක් දුරින් පිහිිටි තෙවන වටයේ කුලූනු 32කි. එක් කුලූනක උස අඩි 9ක් බැගිනි තෙවැනි හා දෙවැනි ගල් කුලූනු පේළි අන්තරයේ ගඩොලූ පවුරකි.හමු වී ඇති සාධක අනුව මෙ පවුර අඩි 8 කට වඩා උස් වූ සහ බොරදම් සහිත ශෛලමය පාදමක් මත්තේ ගොඩනැංවු එකකි. මේ හරහා ප‍්‍රවේශ දොරටුව වලට මුහුණ ලා චෛත්‍යයට පිටුපා පිහිටුවන ලද බුද්ධ ප‍්‍රතිමා 4ක් ද වෙයි. ගඩොලූ බැම්මට අඩි 1 යි අගල් 9ක් පිටතින් ඊට සමාන්තරව දිවෙන ශෛල ප‍්‍රකාරයක් ද වෙයි. මැදිරිගිරිය වටදාගෙයි සුවිශේෂි ලක්‍ෂණයක් වෙන මේ ශෛල ප‍්‍රකාරය අඩි 3ක් හා අඟල් 6ක් උසින් යුක්තය. මෙය අවසන් කුලූනු පෙළ මැදි කරමින් තනා තිබේ. ප‍්‍රකාර පාදම ද්වි පද්ම බොරදම් හැඩයෙන් සරසා ඇත.වටදාගෙයි ඇතුළත එනම් මලූව ගල් පුවරු අතුරා නිසිලෙසසකසා ඇත. ඉහතින් කී මේ ශෛල ප‍්‍රකාරය හා ඊට සමාන්තරව ගඩොළු ප‍්‍රාකාරය අතර බිම් තිරස් හිරිගල්පුවරු අතුරා ඇත.

ඒ සැලසුම උදෙසා වටදාගෙය වටදාගෙය ඉදිකර ඇත්තේ ගල් තලාවක් මත්තේය. එය සෑම තැනම සම නොවන නිසා එහි තැන තැන ප‍්‍රකාරය උස්ව ද මිටිවද දක්නට ලැබේ. මලූව උතුරු දෙසට නෙරා ගිය වේදිකාවකි. ප්‍රවේශද්වාරය සමිබන්ධ වන්නේ මේ වේදිකාවටය පිහිටි භූමියේ ස්වභාවය බලපා ඇත මෙය. ඉතා මනරම් සැලසුමකි .සමස්ත ඉදිකිරීම ලෙස විමසුමෙන් බැලිමේදී තරමක් උස් ගල් තලාවක් මත්තේ පිහිටා ඇති නිසා තේජස්වීප‍්‍රතාවත් ස්වභාවයක් දක්නට ලැබේ. අවට පරිසරය අතරින්තුරු ගොමු අතරින් දිස්වන විට එහි අපූර්ව සෞන්දර්යයක් ගැබ්ව ඇත.

තිරියාය වටදාගේ - 

 

නැගෙනහිර පලාතේ ති‍්‍රකුණාමලයට කි.මී. 46ක් උතුරින් පිහිටා ඇති මෙය නැගෙනහිර පලාතේ පැරණි බෞද්ධ පසුතලයට සාධකයක්ද වන්නේය. මෙහිදී සොයා ගනු ලැබු අටවන සියවසට අයත් සංස්කෘත ලිපියක් අනුව මෙහි පුරාණ නම ගිරිකණ්ඩි චෛත්‍ය නම් වේ. මෙම ලිපියේ ස්ථාන 8කට ගිරිකණ්ඩික චෛත්‍ය යන නාමය දැක්වේ. ( එපිග‍්‍රැපියා සෙයිලනිකා (සිංහල) 2002 මුද්‍රණය 86 පිටු) මේ ලිපියටම අනුව මෙහි චෛත්‍ය තපස්සු භල්ලූක (ත‍්‍රපුස්සකෛව- වල්ලිකෛව_ වණිග් ගෙණෙඃ කෘත ....) වෙළඳ දෙබෑයන් විසින් කරවා ඇතැයි විශ්වාස කෙරේ. පූජාවලියේ ද මේ බව දැක්වේ.( එ කල බුදුහු ඒ පාත‍්‍රයෙන් මී පිඩු පිළිගෙන පළමුවන භෝජනය වළදා ඒ වෙළද දෙබෑයන්ට අනුමෙවෙනි බණ වදාරා බුත්සරණ - දහම් සරණ පිහිටුවා ඔවුන් බුදුසස්නෙහි ද්වේවාචික නම් උපාසක කළ සේක. ඒ වෙළඳ දෙබෑයෝ ස්වාමීනි නිති අප වැදපුදා ගන්නා න්‍යායෙන් වස්තුවක් දුනමැනවැයි කීහ. ස්වාමි දරුවෝ ශ‍්‍රී හස්තයෙන් සිරස පිරිමැද කේෂධාතු මිටක් ඔවුන්ට දුන් සේක.ඔහු රුවන් කරඩුවකින් ඒ කේෂධාතු පිළිගෙන රථයෙහි තබා සියනුවර ගෙනගොස් පුජා කරන්නාහු කලෙක ජලයාත‍්‍රවෙහි ඇවිද ශ‍්‍රී ලංකාද්වීපයට පැමිණ දර පැන් සොයා ගිරිහඬු බැස දා කරඬුව ගලපිට තබා බත් පිස කා යන කල දාකරඩුව තුබු පලින් සොලවා ගත නොහී මේ උත්තම ස්ථානයක් වනැයි දැන පාෂාණ ගොඩකින් වසා ගඳදුම් මල් පුදා ගියහ. පසුව එතෙන ගිරිහඩු නම් වෙහෙරක් විය. - පූජාවලිය සාධුනාද පුජා කථා.( විනය පිටකයට අයත් මහාවග්ග පාලියේ -  රාජා යතන කථාවේ ද මේ බව කියවේ.( අථ ඛො තපස්සුබල්ලිකා වාණිජෝ භවන්තං එතද වොචුං එතේ මයං භන්තේ භගවන්තං සරණං ගච්ඡුාම ධම්මඤ්ච උපාසකෙ නොභගවා ධාරේතු අජ්ජ තග්ගේ පාණුපෙත සරණං ගතේ ති තෙචලෝකේ පථමං උපාසකා අහේසුං ද්වේවාචිකා

තිරියාය වටදාගෙය රමණීය පරිසරයක පිහිටා ඇත්තේය. කදුමුදුනක පිහිටි එම ස්ථානයට නැගෙනහිර සමුදුර මනාව දිස්වේ.තිරියායි ථුපය විෂ්කම්භයෙන් අඩි 32යි අඟල් 6 කි. එහෙත් එහි මුල් ථූපය අඩි 24යි අඟල් 9ක විෂ්කම්භයෙන් යුතු එකකි .පසු කාලින ප‍්‍රතිසංස්කරණවලදී එහි ප‍්‍රමාණයන් මෙසේ වෙනස් වී ඇත. මේ ථුපය පිහිටා ඇත්තේ අඩි 79ක විෂ්කම්භයක් සහිත මළුවකය. මේ මළුව දෙකොටසකි.චේතියට සමීප කොටසචෛත්‍ය පාදයේ සිට අඩි 3යි අඟල් 6ක් දුර දක්වා කොටස මදක් උස්ව තනා ඇත. වටදාගෙයට අයත් පළමු ගල් කුලූනු පෙළ ඇත්තේ ඒ උස් කොටස මතය. චෛත්‍ය පාදයේ සිට මෙතනට දුර අඩි 3යි අඟල් 3කි. දෙවනි ගල් කුලූනු පෙළට දුර අඩි 16කි. දෙවනි හා පළමු ගල් කුලූණු දෙපළ අතර අඩි 12යි අඟල් 9ක පරතරයක් ඇත්තේය.මෙහි මුල් පෙළේ කුලූනු වල උස පරණවිතාන මහතා සිය කෘතියේ දක්වා නැත. අනුරාධ සෙනවිරත්න මහතා 1966දී ප‍්‍රකාශයට පත් කොට ඇති කෘතියේ (ලක්දිව වටදාගේ)ද දක්නට නොලැබෙන්නේ ඔහුගේ කෘතියට පාදක වී ඇති නිසා යැයි සිතමි.චෛත්‍යඝරයේදෙවන කුලූනු පෙළෙහි එක් කුලූනක් අඩි 14යි අඟල් 6ක් බැගින් උස් වෙයි .කුලූනු බඳද ශිර්ෂයද යන දෙකොටසම එකම ගලකින් තනි ඒකකයක් සේ නිමවා ඇත. පාමුල සිට අඩි 4 ක් යනතුරුත් එය සිවුරැුස්ය. ඉන් ඉහළ අෂ්ටාස‍්‍රාකාරය. එහෙත් මුල් කුලූනු පෙළෙහි කුලූනු පාමුල සිටම අෂ්ටාස‍්‍රාකාරය.

ථුපාරාම වටදාගෙය හෝලංකාරාම වටදාගෙය මෙන් මෙහි කුලූනු දෙපෙළ අතරින් ගඩොලූ බැමි දක්නට නොලැබේ. ඒ වෙනුවට වට බිත්තිය ඉහළටම බැඳ තිබේ. පිටතින් එහි උස අඩි යි අඟල් 3කි. ඇතුළත මළුවේ සිට අඩි 6 කි. අඩි 2යි අගල් 7ක් ඝනව බිත්තිය බැඳ ඇත. දාගැබ ආසන්නයේ ඇති මුරගල් පල්ලව ලක්‍ෂණ වලින් යුක්ත යැයි පරණවිතාන මහතා පෙන්වා දෙයි.

අත්තනගල්ල වටදාගෙය - 

 

කොළඹ දිස්ත‍්‍රික්කයට අයත්ය. දාගැබ අලූත්වැඩියා කර ඇත.දාගැබ වටා ඒක කේන්ද්‍රීය කුලූනු පේළි 2 කි. පැරණි වටදාගෙයක ස්වරූපය දැක්වීම පිණිස දැනට ඉතිරිව ඇති එකම වටදාගෙය මෙය වෙයි.

පොළොන්නරුව වටදාගෙය - 

 

පොළොන්නරුව වටදාගේ සෙසු වටදාගෙවල්වලට වඩා සැලසුම් සහගත ඉදිකිරීමකැයි කීම වඩා උචිතය. දළදා මළුවේ ඉදිකර ඇති මෙය ලංකාවේ වටදාගේ සංකල්පයේ උපරිම අවස්ථාවකැයි පැවසිමට ද විද්වතුන්පෙළඹෙන්නේද ඒ නිසාය. වටදාගෙයට පිවිසෙන තැන අලංකාර ද්වාර මණ්ඩපයක් තිබුණ බවට සාධක ඇත. ද්වාර මණ්ඩපයෙන් පහළ මළුවට පිවිස ඒ ඔස්සේ ඉහළ මළුව හෙවත් චෛත්‍යය තිබූ මළුවට පිවිසීමට හැකිය. ඉහළ මළුවේ චෛත්‍යය වටා ඒක කේන්ද්‍රීය කුලූනු තුන් පෙලකි,පහළ මළුවේ දෙපලකි. මේ කුලූන මත්තේ ඉදිවූ වහලයන් දෙකෙන් ඉහළ මළුව සපුරාම ආවරණය වූ අතර පහළ මළුවේ අර්ධයක් ආවරණය වුණි.

මෙම මළු දෙක ඉදිකිරිම නිසා චෛත්‍යයට ඇති ගෞරවය වැඩි වූ අතර සෞන්දර්යයක්ද ඉස්මතු විය. මෙහි කුලූනු ථූපාරාමයේ කුලූනු වලට සමාන ස්වරූප ගත් ඒවාය. එහෙත් ඇතුළු වට දෙකට අයත් කුලූනු දැනට දක්නට නොලැබෙයි. කෙටි බිත්තියකට කා වද්දා ඉදිකළ දෙවන කුළුන සේ දැකගත හැක. එහෙත් සාධක අනුව කළ හැකි නිගමනය නම් පළමු පෙළෙහි වූ කුලූනු 16ක් ද දෙවන පෙළෙහි කුලූනු 20ක් ද තිබුණු බවයි. එහෙත් සම්පුර්ණ කුලූනක් හමුවී නොමැති නිසා එවායේ උස නිශ්චිත වශයෙන්ම කිව නොහැක. තෙවැනි පෙළෙහි වු කුලූනු කෙටි ප‍්‍රාකාරයකට එක්කොට බැඳ ඇති නිසා ඉතිරිව ඇති ඒවා ගණනින් තිස්දෙකකි.එකක් උසින් අඩි 8 කි. මේ කුලූනු පෙළ හා දෙවන කුලූනු පෙළ අතරේ ගඩොලූ බැම්මක් වෙයි .ඒ බැම්ම සුවිශේෂ වන්නේ ඉදිකිරීම උදෙසා යොදාගත් හුණු බදාමයේ සංයුතියේ අනර්ඝත්වය නිසා දෝ මේ වනතාක් උපරිමයෙන් ආරක්‍ෂා වී පවතින නිසා ත් මේ ප‍්‍රාකාරය පොළොන්නරු වටදාගෙයි වත්මන් අනන්‍යතාවය වන නිසාත් ය. මේ බිත්තියෙහි තවත් විශේෂත්වයක් වන්නේ එහි ඇති අධිකතර චාම් භාවයයි. ඉහළ ලීස්තරයේ ඇති බොරදම් තීරුව හැරුණු කල එහි වෙනත් හැඩ මතු කොට නැත. පැන්නුම් කුලූනු මගින් ජනේල වෙන් කොට නැත. බිත්තිය අඩි 2යි අඟල් 2ක් ඝන වන අතර අඩි 15ක් පමණ උසය. බිත්තියේ වටකුරු ස්වභාවය ද එහි රැුකීමට උපකාර වන්නට ඇත.

පොළොන්නරු වටදාගෙයි විශේෂ ලක්‍ෂණයක් වන දෙවන මළුවේද කුලූනු දෙපෙළක් තිබීඇත. මේවා දාරුමය කුලූනු යැයි නිගමනය කරන්නට සාධකද ඇත්තේය. කුලූනු රැඳවීමට සැකසු වටකුරු කුඩුම්බි තවමත් දක්නට ලැබෙන හෙයිනි. මළුව විෂ්කම්බයෙන් අඩි 120කි.පොළව මට්ටමින් අඩි 4 අඟල් 6ක් උසින් පිහිටා ඇත. ගල්ලෑලි අතුරා ඇත. සාමාන්‍යයෙන් පැරණි විහාර ගොඩනැගිලි දොරටු ආශි‍්‍රතව දක්නට ලැබෙන මුරගල සදකඩපහණාදී සැරසිලි වලින් අලංකාර කරන ලද හා ශෛලමය කුලූනු 12 ක් පමණ මත්තේ ඉදිකළ වහලයක් විසින් සෙවන සදන ලද ද්වාර මණ්ඩපයෙන්මේ දෙවන මළුවට පිවිසිය හැකිය.

පොලොන්නරු වටදාගෙයි තවත් විශේෂතා කිහිපයක්ම වෙයි.
කෙටි බිත්තියේ සැරසිල්ල - එය අලංකාර මල් රටාවකි. ඇතැමුන් කියන්නේ බිනර මල් රටාවකි කියාය. නමුත් මේ පිළිබඳව තවදුරටත් විමසිය යුතුය. මේ රටාව වෙනත් තැනක දැකීමට නොහැකිය. මල් අතරේ හිඩැසට වෙනත් මල් රටාවක් (පිච්ච මල්) යොදා ඇත.
බුද්ධ ප‍්‍රතිමා-මේවායේ හිසකෙස් වෙනස්ය. කුණ්ඩලාකාර නොවේ. හිස් ආවරණයක් යෙදුවා සේය.ඒ නිසා විශේෂ වේ.
නැගෙනහිර දොරටුවේ ඇති මුරගලද දෙවන මළුවේ බැම්මේ ඇති වාමන හා සිංහ රූප කැටයම් ද විශේෂ අවධානයට යොමු විය යුතුය .

රාජාංගන වටදාගෙය- 

 

සතරැස් වේදිකාවක් මත ගොඩනගා ඇත. මේ ආශ‍්‍රිත නටබුන් අක්කර 5ක පමණ ප‍්‍රදේශයක විහිදී ඇති අතර නටබුන් වූ ගොඩනැගිලි අතරේ ශිව දේවාලයක යැයි සැලකිය හැකි නටබුන් ද වෙයි. අනුරාධපුර යුගයේ දී ඉදිකරන ලදැයි විශ්වාස කෙරෙයි .

මැණික්දෙන වටදාගෙය- 

 

මධ්‍යම පළාතේ මාතලේ උතුරේ ඇතාබැඳි වැව අසලින් සොයාගෙන ඇත. වෘත්තාකාර වේදිකාවක ඉදිකර ඇත. ඇතුළුවටයේ ගල්කුලූනු 8ක් ද පිට වටයේ 24ක් ද තිබී ඇතැයි සිතේ. දාගැබ කුඩාය. ඒ වටා ආසන 3කි. පිළිම නැත. ප‍්‍රවේශද්වාරයේ සදකඩපහණ පියගැටපෙළ ආදිය හුනුගල් විශේෂයකින් නිමවා ඇත.
අල්පනා මෝස්තර උත්සව ආදී අවස්ථාවන් හි දී ගෙබිම අදිනු ලබන තාවකාලික සැරසිලි විශේෂයකි. මෙය ඉන්දීය හින්දු සංස්කෘතාංගයන් වුව ද ලංකාවේ ද ඇතැම් අවස්ථා වල අල්පනා මෝස්තර ප‍්‍රයෝජනයට ගනී. උත්සව අවස්ථා ආදියෙහි දී පොල්තෙල් පහන පාමුල සැරසිල්ලද අල්පනාවකි.
මෙය ආලිපනා හෝ ආලිම්පන ලෙසද හැඳින්වේ. මෙි සැරසිලි විශේෂයෙන් ම සිදුකරන්නේ කාන්තාවන් විසිනි. සිත්තම්කරණයේ දී තෙලි කූර වශයෙන් යෙදා ගැනෙන්නේ කුඩා රෙදි කැබැල්ලකි. සායම් වශයෙන් සහල් පිටි දියරයි. සායම් වර්ග යොදා ගන්නා අවස්ථා ද වෙයි. වංග අල්පනාවට සුදු සායම් ද යොදා ගැනේ. මේ සිතුවම් තාවකාලික ඒවා වන නිසා ඇදීමේදී සලකාබැලෙන්නේ අලංකාරය හා අරමුණ පමණකි. ගෘහ උත්සව වලදී කුඩා දේව ප‍්‍රතිමා තැම්පත් කිරිමේ දීඑහි පාමුල මේ අල්පනා ඇදීම සිරිතකි. දේව ප‍්‍රතිමාවට වේදිකාව මේ ය. "ලක්‍ෂ්මි පුජා" නමැති අල්පනාව මත ලක්‍ෂ්මී දේවියගේ සංකේතය වන ධාන්‍ය පත‍්‍රය තබනු ලැබෙයි.
අල්පනා රටාව ඇරඹෙන්නේ වෘත්තාකාර රටාවකිනි. මේ වටා තවතවත් සැරසිලි යොදනු ලැබෙයි. සැරසිලි යෙදු පසු ද අල්පනාවේ සමස්ත හැඩය බොහෝවිට වෘත්තාකාරය. එහෙත් එසේ නොවන ඒවාද වෙයි. මෙම සිතුවම්කරණයේ දී ශිල්පියාට නිදහස ඇත. මල්,මල් වැල්,පක්‍ෂි රූප සිවුපාවන් සිත් සේ සටහන් කරන්නට හැකිය. අල්පනා චිත‍්‍ර විශේෂයක් බෙංගාලයේ ද ප‍්‍රචලිතය. ව‍්‍රත අලිපනා නම් වේ. තාරාව‍්‍රත අලිපනාව ඒ අතරින් ද වඩාත් ප‍්‍රකටය. සුර්ය චන්ද්‍ර ශිව දුර්ගා හා විශ්වය පිළිබඳ සංකේත මෙහි දක්නට හැකිය. මාඝ මාසය හෙවත් ජනවාරි පෙබරවාරි කාලයේ කුඩා දැරියෝ දිනපතා තාරාව‍්‍රත අලිපනා සිත්තම් කරයි.මිසරයේ ඇතැම්සංකේතාක්‍ෂරයන්ට ද සමානත්වයක් දක්වන මේවා ශතවර්ෂ ගණනාවක් තිස්සේ ඒ ආකාරයෙන්ම ඇදීම හේතුකොටගෙන පැරණි ස්වරූපයෙන්ම රැකී ඇති බැවු පිළිගැනේ.
අල්පනා ගුජරාටයේ දි සාතියා නමින් ද උත්තර් ප‍්‍රදේශයේ සංජි නමින් ද හඳුන්වන මෙය පැරණි පොත්වල රංගාවලි යනුවෙන් දැක්වෙයි. ලංකාවෙහි පැරණි පතපොතෙහි මේ පිළිබඳ තොරතුරු නැතත් ආනන්ද කුමාරස්වාමි මහතා කියන්නේ මෙහි ඉතිහාසය වසර පන්දාහක් පමණ වනු ඇති බවයි. සංස්කෘත බසින් රචිත කාදම්බරි හා තිලක මඤ්ජරි වැනි කෘති වල ද කාජල්රේඛා නම් බෙන්ගාලි ග‍්‍රන්ථයේ ද මේ පිළිබඳව තොරතුරු ඇති බව ජ්‍යෙෂ්ඨ කලා ගුරු සිහිල් ඇම්. සිරිසේන වියතාණෝ ප‍්‍රකාශ කරති.

4208 වරක් කියවා ඇත.
ict_branch නිර්මාණය :
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
පිටු පෙළගැස්ම | වියාචනය | පරිපාලක පිවිසුම
කතු හිමිකම © 2012-2016 | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
මෙම පද්ධතියේ ඇති සියලුම අන්තර්ගතයන් සඳහා හිමිකම් ඇවිරිණි.
කිසිදු අන්තර්ගතයක් ලිඛිත අවසරයකින් තොරව වෙනත් වෙබ් පිටුවක හෝ වෙනත් කුමන ආකාරයක හෝ සමාජ ජාල වෙබ් අඩවිවල උපුටා පළ කිරීම සපුරා තහනම් වේ.