ක්ලෝඩ් මොනේ

ලිපිය සැකසීම :

(1840.11.14-1926)මූලික අධ්‍යාපනයෙන් අනතුරුව කලක් හමුදාවේ සේවය කළ මොනේ පසුව ඉන් ඉවත්ව උපන් රටට පැමිණ ග්ලේයර් කලාගාරයේ සිත්තරෙකු වශයෙන් සේවය කළේය. සිස්ලේ ඇකඩමියෙන් චිත‍්‍ර කලාව පිළිබඳ වැඩිදුර ඉගෙන ගන්නා අතරවාරයේ පිසාරෝ, සිස්ලේ සහ රෙනුවා ආදී චිත‍්‍ර ශිල්පීන් සමග සමීප ඇසුරක් පැවත්වීමට අවස්ථාව උදා විය. මොවුන් සියළු දෙනා කලාවේ නිදහස සොයා ගියා වූ ද, ශාස්ත‍්‍රාලීය කලාව තුළ සිරගත වීමට අකමැත්ත පළකළා වූ ද නිදහස් මතධාරීහු වූහ. මේ නිසා මේ පිරිස අතර වූ සන්ධ්‍යා සාකච්ඡා, සුහදතා ආදිය තුළින් නව අදහස් මතු විය.
මේ කාලයේ දී ම එඩුවාර්ඩ් මැනේගේ සිත්තම් සැලෝනයෙන් ප‍්‍රතික්ෂේප වීම මේ ශිල්පීන් තුළ ඇති කළේ පසුබෑමක් නොව ධෛර්යයකි. මේ ප‍්‍රතික්ෂේප වීම නිසා මේ ශිල්පීන් සියලු දෙනාට සැලෝනයට එරෙහිව නැගී සිටීමට අවස්ථාවක් උදා විය. ශාස්ත‍්‍රාලීය කලාව තුළ සැබෑ කලාව නොමැති බවත්, ඒ තුළ ඇත්තේ ව්‍යාජ සුන්දරත්වයක් බවත් සැබෑ කලාව පේ‍්‍රක්ෂකයාට ක්ෂණිකව ග‍්‍රහණය විය යුතු බවත් මොනේ ගේ අදහස විය. මොනේ ගේ සිත්තම් සඳහා වැඩි වශයෙන් පාදක වූයේ ආලෝකවාදීන්ගේ මූලික තේමාව වූ ආලෝකය යි. වස්තූන් මත ආලෝකය පතිත වී එහි ස්වරූපයේ සිදුවන වෙනස්වීම් උසස් ලෙස ග‍්‍රහණය කර ගැනීමත් එය කැන්වසය මත සිත්තම් කිරීමටත් මොනේ තුළ ප‍්‍රශස්ත හැකියාවක් විය. එකම දසුන දවසේ විවිධ අවස්ථාවල සිත්තම් කිරීමත්, එකම දර්ශනය විවිධ දිනවල එකම වේලාවට සිත්තම් කිරීමත් මොනේගේ විශේෂත්වය විය.

‘හිරු උදාව උපස්ථිතියක්’ නම් සිත්තම මොනේගේ ප‍්‍රමුඛ සිත්තම වූ අතර එම සිත්තම උපස්ථිතිවාදයට එම නම හිමිවීමට ද මූලික විය. මීට අමතරව ඔහුගේ සිත්තම් අතර,

1. පොපි මල් යාය
2. ලිලී මල්
3. වෝටර්ලූ පාලම
4. රොපින් පල්ලිය

එකම දර්ශනය විවිධ ආලෝක තත්ත්ව යටතේ ඇඳීමට වඩාත් ප‍්‍රිය කළ මොනේ රෝම දේවස්ථානයක් විවිධ ආලෝක තත්ත්ව යටතේ 26 වතාවත් සිත්තම් කළේ ය. ඒ ආකාරයට ම වෝටර්ලූ පාලම 16 වරක් සිත්තම් කළ බව පැවසේ.

"මොනේ ඇසකට වැඩි යමක් නොවේ. නමුත් දෙවියනේ මොන තරම් විස්මයජනක ඇසක් ද ඒ" යැයි සෙසාන් ප‍්‍රකාශ කළේ ආලෝකය හා ආලෝකය විසින් විවිධ වස්තූන් මත ඇති කළ බලපෑම මනාව ග‍්‍රහණයකර ගැනීමේ විස්මිත හැකියාවක් මොනේ සතුව පැවති නිසා ය. යම් වස්තුවක් සිත්තම් කිරීමේ දී එය එම අවස්ථාවේ දර්ශනය වන සජීව ආකාරයට ම සිත්තම් කරනු මිස, එම වස්තුව පිළිබඳ අප දන්නා හා අවබෝධ කරගෙන සිටිනා දැනුම අනුව, එනම් මළගිය මතකය අනුව සිත්තම් කිරීම තුළ කලාවක් නැතැ’යි ඔහු විශ්වාස කළේ ය. මොනේ සිත්තමින් කෙතරම් විස්මයජනක දේ නිර්මාණය කළ ද, ඔහුගේ පෞද්ගලික ජීවිතය දුක් කම්කටුලුවලින් පිරී තිබුණි. එහෙත් සිත්තරාට ඒ සියල්ල වටිනා ජීවන අත්දැකීම් ය. මුදල් හිඟ විටෙක මොනේ අනේකවිධ දුක් කම්කටුලු මධ්‍යයේ ඇඳි, සිත්තම් රැස පනහේ ගොඩවලට වෙන්කර එක් ගොඩක් ෆ‍්‍රෑන්ක් තිහකට බැගින් අලෙවි කළේ ය. ඉන් වසරකට පසු ද තත්ත්වයේ වෙනසක් නොවූයෙන් සියදිවි නසා ගැනීමට ද උත්සාහ කළේ ය. අවසාන කාලයේ බෝට්ටුවක කලාගාරයක් තනා ගත් මොනේ එහි ම පදිංචිව හිදිමින් සිත්තම් කරන්නට වූයේ ය. ඔහුගේ ජීවිතය සේ ම බෝට්ටුව ද නිතර ගඟ දිගේ ඉහළ පහළ ගියේ ය. මොනේ දිගින් දිගට ම සිත්තම් කළේ ය.

( තොරතුරු- අමිල කෝසල උඩවත්ත- ක/නාගොඩ මහා විද්‍යාලය)

2236 වරක් කියවා ඇත.
ict_branch නිර්මාණය :
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
පිටු පෙළගැස්ම | වියාචනය | පරිපාලක පිවිසුම
කතු හිමිකම © 2012-2016 | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
මෙම පද්ධතියේ ඇති සියලුම අන්තර්ගතයන් සඳහා හිමිකම් ඇවිරිණි.
කිසිදු අන්තර්ගතයක් ලිඛිත අවසරයකින් තොරව වෙනත් වෙබ් පිටුවක හෝ වෙනත් කුමන ආකාරයක හෝ සමාජ ජාල වෙබ් අඩවිවල උපුටා පළ කිරීම සපුරා තහනම් වේ.