කාර්ලේ-(ඉන්දියා)

ලිපිය සැකසීම :

ලෙන් ආරාමයකි. කාර්ලි නමින් ද හැඳින්වේ. මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයේ පූනා දිස්ත‍්‍රික්කයේ කාර්ලේ නම් ස්ථානයේ ඇති ලෙන් කිහිපයකින් යුතු විහාරයකි. ක‍්‍රි. ව. 2 වන සියවස ආරම්භයේ දී පමණ පර්වතය කැණ නිමවූ ලෙන්විහාර කිහිපයක් හා චෛත්‍යශාලාවක් ද මෙහි වෙයි. වඩාත් හොඳින් ම ආරක්ෂාවී ඇත්තේ චෛත්‍යශාලාව යි. මෙම චෛත්‍යශාලාව ඉන්දියාවෙන් හමුවූ විශාලතම චෛත්‍යශාලාව වන්නේ ය. ගල තුළට අඩි 124ක් හාරා සකස් කළ මේ චෛත්‍යශාලාවේ පළල අඩි 46.5කි. බොකු වහලේ උස් ම ස්ථානය තෙක් උස අඩි 45කි. ශාලාවේ ඉදිරිපස විශාල ස්තම්භ දෙකක් තිබී ඇතත් අද දක්නට ලැබෙන්නේ එකක් (වම් පස) පමණි. මේ ස්තම්භ මුදුණේ ලෝහමය ධර්මචක‍්‍ර උසුලාගෙන සිටි සිංහරූප දෙකක් තිබී ඇත. මේ කුලුනු මෞර්ය කුලුනුවල ම විකාශයකැ‘යි විශ්වාස කෙරේ. ඇතැම්විට මේ ආකාරයට අබියස කුලුනු ගොඩනැගීම මෙසපොතේමියාව වැනි බටහිර දිග ප‍්‍රදේශවල සිට පැමිණි ලක්ෂණයක් වියයුතු යැයි ද පිළිගැනේ. දායකකාරකාදීන් පිළිබඳව වූ අතිශය අලංකාර කැටයම් ආදියෙන් අලංකාර කළ ප‍්‍රසාදද්වාරය අමරාවතී කලාසම්ප‍්‍රදාය පිළිබඳ මතකය අවදි කරවයි. ගුප්ත යුගයේ දී මහායාන ආභාසය ඇතිව කළ බුද්ධ හා බෝධිසත්ත්ව රූ කිහිපයකින් ද මෙම ද්වාරය සරසා ඇත. කැටයම් සහිත බිත්තිය ඇතුන් විසින් උසුලා සිටින අයුරින් නිමවා ඇත. මෙම හස්තිරූප මුල්කාලීනව ආභරණ ආදියෙන් සරසා තිබී ඇත.

චෛත්‍යශාලාවේ පියස්සට ඇතුළු වීමට ද්වාර තුනකි. ඒ මත අශ්ව ලාඩමක හැඩයගත් කවුළු තුනක් ද, සියල්ලට ඉහළින් විශාල තනි කවුළුවක් ද ඇත්තේ ය. ඒ කවුළුව ආලෝකය ලබා ගැනීම පිණිස වියයුතුය. ශාලාව ඇතුළත ප‍්‍රධාන සාලය දෙපස ‘පාර්ශ්වපථ’දක්නට ලැබෙන අතර පසෙකට පසළොස බැගින් වන කුලුනු දෙපෙළකින් මේ පාර්ශ්වපථ ප‍්‍රධාන සාලයෙන් වෙන්කර ඇත. මේ කුලුනු අෂ්ටාස‍්‍රාකාර ය. පූර්ණඝටයකින් පැන නගී. බඳ කොටස කැටයමින් අලංකාරකර ඇත. එහි හිස කොටස ඝන්ටාකාරව හා ඒ මත සෝපානාකාර යටිකුරු පිරමීඩයක හැඩයෙන් යුක්තව දක්වා ඇත. ඒ මත ද කැටයම් දෙකක් වෙයි. එකක් ඇත්තේ පාර්ශ්වපථයට මුහුණලා ය. (අශ්වාරෝහකයෙක්) අනෙක ඇත්තේ ශාලාවට මුහුණලා ය. (දණගසා ගත් ඇතුන් දෙදෙනෙකු අරාසිටින ස්ත‍්‍රී පුරුෂ යුවලක්) ශාලාව ඇප්සාකාර නිසා එහි අඩ වෘත්තාකාර කොටසේ ද පාර්ශ්වපථය දිවයයි. ශෛලමය චෛත්‍යය ඇත්තේ ද එම කොටසේ ය. කුලුනු සප්තයකින් චෛත්‍යය හා පාර්ශ්වපථය වෙන් කෙරේ. මුලින් කී ස්තම්භ 30මනා සේ හැඩවැඩ දමා සරසන ලද්දේ වී නමුත් මෙම කුලුනු සත අෂ්ටාස‍්‍රාකාරව ද, කැටයම් රහිතව ද, පාද හෝ ශීර්ෂ රහිතව ද දක්වා ඇත. චෛත්‍යපාදම එකිනෙක මත පිහිටි සිලින්ඩර දෙකක හැඩ ගනී. ගර්භය මත දාරුමය ඡත‍්‍රයක් දරාසිටින හර්මිකාවකි. ඡත‍්‍රය මත යටිකුරු කළ සෝපානාකාර පිරමීඩයකි. ශාලාවේ බොකු වහලයට දාරුමය වක් බල්ක සවිකොට ඇත.

(තොරතුරු- අමිල කෝසල උඩවත්ත- ක/නාගොඩ මහා විද්‍යාලය)

1899 වරක් කියවා ඇත.
ict_branch නිර්මාණය :
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
පිටු පෙළගැස්ම | වියාචනය | පරිපාලක පිවිසුම
කතු හිමිකම © 2012-2016 | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
මෙම පද්ධතියේ ඇති සියලුම අන්තර්ගතයන් සඳහා හිමිකම් ඇවිරිණි.
කිසිදු අන්තර්ගතයක් ලිඛිත අවසරයකින් තොරව වෙනත් වෙබ් පිටුවක හෝ වෙනත් කුමන ආකාරයක හෝ සමාජ ජාල වෙබ් අඩවිවල උපුටා පළ කිරීම සපුරා තහනම් වේ.