ථූපාරාම පිළිමගෙය හා ථූපාරාම ස්තූපය

ලිපිය සැකසීම :

ථූපාරාම පිළිමගෙය හා ථූපාරාම ස්තූපය

 

පිළිමගෙය වනාහි ථූපාරාමයට දකුණින් ප‍්‍රතිමා ගෘහයකි. එය වඩාත් වැදගත් වන්නේ ප‍්‍රතිමාඝරයන් අතර ටැම් හිස්වල වජ‍්‍ර ලක්‍ෂණයන් දැකිය හැකි බැවිනි. සම්පූර්ණ ගඩොලින් කළ ථූපාරාම පිළිමගෙය පරාක‍්‍රමබාහු රජු සමයේ කරන ලද්දකි. ගෙඩිගේ සම්ප‍්‍රදාය අනුව කරන ලද මෙය ඉන්දියාවේ හින්දු කෝවිල්වල දක්නට ලැබෙන බිම් සැලැස්මක් අනුව කර තිබේ. ඇතුළත බිත්ති වල චිත‍්‍ර නැති වුවත් පිට බිත්ති නොයෙක් රූකම්වලින් අලංකාර කර තිබේ. ඇතුළත ගඩොලින් කළ බුදුපිළිමයකි. 

ථූපාරාම දාගැබ 

අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ අනුරාධපුර පූජා නගරයේ රුවන්වැලිසෑයට උතුරින් ඇතුළු නුවරට නිරිත දිිගින් පිහිටා ඇති බෞද්ධ පූජ්‍යස්ථානයකි. ඓතිහාසික වැදගත්කමක් සහිත ස්ථානයකි. ආරාම සංකිර්ණයක් සමඟ ඇති නිසා ථූපාරාමය යන නම ලැබී යැයි විශ්වාස කෙරේ. ථූපාරාමය පිහිටි භූමියේ එය පිහිටුවීමට පෙර ගෞතම බුදුරජාණන්වහන්සේ සිය තෙවන ලංකා ගමනේදී සමාධි සුවයෙන්  මද වේලාවක් වැඩහිඳි බව මහාවංසයේ සඳහන් වෙයි. (ම.ව. 01 පරි. 81, 82 ගාථා)

ථූපාරාම ස්තූපය ක‍්‍රි.පූ. තෙවන ශතකයේ දී මහින්ද මාහිමියන්ගේ අනුශාසනා පරිදි දෙවනපෑතිස්ස රජු විසින් කරවූ බව වංසකතා බොහෙමයක සඳහන් වෙයි. (මහා වංශයේ 16 වන පරිච්ඡේදයේ 40 ගාථාවේ සිට ථූපවංශයෙන් ථූපාරාම කථාව, විශේෂයෙන් බලන්න) මෙම භූමියේ පෙර බුදුවරුන් තිදෙනා වහන්සේලාගේ ධාතූන් ද තැන්පත් කොට තිබූ බව වංසකථා උපුටා දක්වන වලිසිංහ හරිශ්චන්ද්‍ර මහත්මා කියයි. (හරිශ්චන්ද්‍ර වලිසිංහ 1918 පිටුව 53) ඊට අනුව, කකුසඳ බුදුරදුන්ගේ ඩබරා ධාතුව ද (දිය ගෙනයන භාජනයකි), කෝණාගාම බුදුරදුන්ගේ පටි ධාතුව ද (ඉණ බැඳි පටිය), කාශ්‍යප බුදුරදුන්ගේ ජලසාටිකාව ද (නානකඩය, දියරෙද්ද) මෙහි තැම්පත් කර තිබී ඇත. ‍<br> 

අනතුරුව ගෞතම බුදුරදුන්ගේ දකුණු අතු ධාතුව ද (උරයෙහි ඉදිරිපසින් හරස්ව පිහිටි අස්ථිය) තැම්පත් කරන ලදී. ථූපාරාමය ඉදිකර ඇත්තේ එම අකුධාතුව සහිත ධාතු ගැබ සහිතව ය. පළමුවමෙහි ඉඳිකළ ථූපය එතරම් උස් නො වූ බැව් පෙනෙයි. ථූපවංශයට අනුව ඒ ථූපයේ ධාතු ගැබ දක්වා උස දණක් තරම් විය. (ථූපාරාම කථා) මහාංවංසයට අනුව සමස්ත ථූපය ම කෙණ්ඩක් තරම් (මිනිසෙකුගේ දණහිස තරම්) උස් ය. (ම.ව. 16 පරි 41 - 42 ගාථා ) එහෙත් ඒ ථූපය තැනුයේ ඇතුගේ කුම්භස්තලයට තරම් උස් වේදිකාවක් මත ය. (ථූපවංශය බලන්න)  ඒ වේදිකාව තැනුයේ අභයවැවෙන් ගෙන ආ වියළි මඩ යොදා ගෙන ය. ඒ මත ථූපය ගොඩනැගුණේ එදින ම පිළියෙළ කළ ගඩොලිනි. එය වී ගොඩක හැඩය ගත් බව ථූපවංශයට අනුව පෙනීයයි. (ථූපාරාම කථා බලන්න)

මෙසේ ඉදිකළ දාගැබ පසුකාලීනව රජවරුන් කිිහිපදෙනෙකු විසින් ප‍්‍රතිංස්කරණය කරවා කංචුක නිමවා හාත්පස තවත් ගොඩනැගිලි කරවා පූජා පවත්වා දියුණුවට පත්කළ බව මූලාශ‍්‍ර පරිශීලනයෙන් පෙනී යයි.

ලජ්ජිතිස්ස රජතුමා (ක‍්‍රි.පු. 119 - 109 ) සද්ධාතිස්ස රජුගේ ඇවෑමෙන් භික්ෂූණ්වහන්සේලා ථුල්ලත්ථන කුමරුන්ට රජකම පැවරීයයි කෝප වූ ලජ්ජිතිස්ස කුමරු වැඩිමහල් පිළිවෙළ නොදත්තෝ‘යි කියා භිෂූණ්වහන්සේලාට පරිභව කළෝ ය. ථුල්ලත්ථන සිහසුනෙන් නෙරපා රජකම ලබා ගත්තේ ය. එහෙත් භික්ෂූන්ට හරිභව කිරීම වරදක් බැව් වටහා ගත් පසු ලජ්ජිතිස්ස රජු ඊට දඩුවම් විඳිනු වශයෙන් ලක්ෂයක් වැයකොට ථූපාරාමයට ශෛලමය මල් අසුන් 3ක් කරවා තවත් ලක්ෂයක් වැය කොට මහසෑය (රුවන්මැලිමහසෑය හා ථූපාරාමය) අතර භූමිය ගොඩකර සමකරවා ථූපාරාමයට ශෛලමය කංචුකයක් ද නිමවී ය. ස්තූපයකට කංචුකයක් නිමවීම යනු පවතින ස්තූපය මැදිවන සේ ඊට ම සම්බන්ධකොට (අතර කුහර නො තබා) පිටතින් යළි යම් ආවරණයක් කිරීම යි. (කංචුකය නම් පිටකවරය යි) (මහවංශයේ 33 පරි. 14 - 24 දක්වා බලන්න)

පෙර ගෞතම බුදුරජාණන් වහන්සේ සිය තෙවන ලංකා ගමනේ දී සමාධි සුවයෙන් මද වේලාවක් වැඩ හිඳි බව මහාවංසයේ සඳහන් වෙයි. (ම.ව. 01 පරි. 81, 82 ගාථා)

 

භාතිකාභය රජතුමා (ක්‍රි.පූ. 22-7) මේ රජතුමා ථූපාරාමයට පොහොය ගෙයක් කරවී ය. (ම.ව. 34 පරි. 40.41 කාථා)

අාමණ්ඩගාමිණී රජතුමා (ක‍්‍රි.ව. 19 -29) ථූපාරාම පිළිමගෙහි ම ඇතුළු මිදුල් හා ඇතුළු ආලින්ද කරවා ස්වර්ණ සැරසිලි කළේ ය. (ම.ව. 35 පරි. 3 - 4 ගාථා) දීපවංසය සඳහන් කරන්නේ මේ රජතුමා ථූපාරාම දාගැබ සඳහා වැඩිපුර ඡත‍්‍රපත් පිහිටුවන ලද බව ය. (පරණවිතාන , සෙනරත් 2009 - පිටුව 31 ,32)

වසභ රජතුමා (ක‍්‍රි.ව. 677 -111) මේ රජතුමා ථූපාරාමයට ධාතුඝරයක් ද , චෛත්‍යඝරයක් ද කරවා පහන් පූජා පවත්වමින් ගරු කළෝ ය. (ම.ව. 35 පරි. 79 – 92 ගාථා)

භාතියතිස්ස රජතුමා (ක‍්‍රි.ව. 143 -167) දෙවැනි පොහොයගෙය ද කරවී ය.

පළමු උපතිස්ස රජතුමා (ක‍්‍රි.,ව. 365 - 406) ථූපරාමයේ ‍කොත රනින් කරවා ථූපයට කංචුකයක් ද නිර්මාණය කළේ ය. (ම.ව. 37 පරි. 207 ගාථාව)

දෙවැනි අග්බෝ රජතුමා (ක‍්‍රි.ව. 604 - 614) ථූපයේ ගැලවී ගිය කොටස් ප‍්‍රතිසංස්කරණය කරවා බුදුරදුන්ගේ ධාතුව තාවකාලිකව ඉවත්කර චෛත්‍ය ප‍්‍රතිසංස්කරණයෙන් පසු යළි තැම්පත් කළේ ය.

දාඨෝපතිස්ස රජතුමා (ක‍්‍රි.ව. 639 - 650)  ථූපාරාමයේ රන්කොත පැහැරගත්තේ ය. (ම.ව. 42 පරි 125 ගාථාව පටන් බලන්න)

දෙවැනි කාශ්‍යප රජතුමා (ක‍්‍රි.ව. 650 - 659) ථූපාරාමයේ නිදන්ගත පූජාවස්තු පැහැර ගත්තේ ය. (ම.ව. 42 පරි. 137, 138 ගාථා) පසුව කළ පාපකර්ම සමාකරනු පිණිස ථූපාරාමයට ග‍්‍රාමයක් පිදී ය.

මානවම්ම රජතුමා - ථූපාරාමයට කංචුකයක් ( නිර්මාණය කළේ ය. ඒ අසල ප‍්‍රසාදයක් ඉදිකර එය පාංශුකූලිකාංගය රක්ෂා කරන (පාංසුකූල සිවුර දැරීම නැමති ධුතාංගය රකින) (ධුතාංගය, කෙළෙස් හෙවත් සිත කිළිටිකරන ක්‍රියා දුරු කිරීමට ඉවහල් වන පැවැතුම් විධිය) භික්ෂූන්ට පිදී ය. ථූපාරාම දාගැබහි ඡත‍්‍ර ද පිළිසකර කළේ ය. (ම.ව. 47 පරි 62 ගාථා පටන් බලන්න)

දෙවන උදය රජතුමා (ක‍්‍රි.ව. 887 - 898) ථූපාරාමයේ ස්වර්ණාලේප කළේ ය.

මහා පරාක‍්‍රමබාහු රජතුමා (ක‍්‍රි.ව. 1153 - 1180) ථූපාරාමය පිළිසකර කරවී ය. රන්කොතක් පැළඳවී ය.

බි‍්‍රතාන්‍ය ජාතිකයෝ - 1842 දී ස්තූපය ප‍්‍රතිසංස්කරණය කරවී ය.

 

මේ ආදී ලෙස විවිධ කාලවල විවිධාංග එක්වෙමින් ථූපාරාම දාගැබ විවිධ විපර්යාසයන්ට ලක්විය. අද දක්නට ලැබෙන දාගැබ පුරාණ දාගැබට වඩා හාත්පසින් ම වෙනස් ය. ධාන්‍යකාර හැඩය වෙනුවට ඝන්ඨාකාර හැඩයෙන් පවති. දැනට පාදයේ විෂ්කම්භය අඩි 59 කි. උස අඩි 63 කි. දාගැබ සහිත වේදිකාව අඩි 11ක් උස ය. වෘත්තාකරය එම වෘත්තාකාර වේදිකාවේ විෂ්කම්භය අඩි 164 . 6 කි. පියගැට දෙපෙළක් සහිත ය. චෛත්‍යයේ වටදාගෙය විනාශව ගොස් ඇතැත් ගල් කණු 176ක් මත ඉදිකළ මනරම් වටදාගෙයක් එහි තිබූ බවට සාධක පවති. එම ගල්කණු 176 කි. 42 ක් අද දක්නට නොලැබේ. 93 ක් කැඞී බිඳී ගොසිනි. කණු 10ක හිස නොමැත. අංග සම්පූර්ණ කුළුණු 31 ක් වෙයි. ස්මිතර් මහතා මේ දාගැබ දුටු මොහොත වන විට එහි වටදාගෙයි වම් බිත්ති කොටස් තිබූ බව සඳහන් කර ඇත.

 

ථූපාරාමය පිළිබඳව ප‍්‍රාථමික මූලාශ‍්‍ර සටහන්

ථූපාරාම කථා

ඉක්බිති මිහිඳු මහ තෙරුන් වහන්සේ ප‍්‍රධානකොට ඇති පාත‍්‍රයක් පමණ ධාතුන් වහන්සේ මිහින්තලාගල තබා දකුණු අකුදාණන් වහන්සේ ගෙන පස්වරු වේලේ මහමෙව්නා උයනට වැඩි සේක. එවේලෙහි දෙවනපෑතිස්ස රජ්ජුරුවෝ සාමණේරයන් වහන්සේ වැඳ, ඔබ කී ලෙසට ම ධාතුන් වහන්සේට පූජා කොට ඇත්කඳපිට සේසත තබා මහමෙවුනා උයනට ගොස් වන්හ. ඒවේලෙහි රජ්ජුරුවන්ට මෙසේ සිතක් උපන, කෙසේද යත් මොවුන් වහන්සේ සමපත් සම්බුදුරජාණන් වහන්සේගේ ධාතු වී නම් නඟන ලද මේ ධවලඡත‍්‍රයට ඇලව (ඇළව?) යේව‘යි,මේ මඟුලැ‘තු දකුණු දණ බිම හැනපියව යි. මේ ධාතු කරඬුව මා හිස් බුදුන් පිහිටුවාව‘යි සිතූ ය. සිතූ සිත හා සමඟ නගන ලද කුඩය පහත් විය. ඇතු ද දණ බිම හැනපී ය. ධාතු කරඬුව රජ්ජුරුවන් හිස් මුදුනෙහි පිහිටා ගියේ ය.

රජ්ජුරුවෝ එවේලෙහි කොලබෝ විතක් සුළං පුරාපි කලක් මෙන් විශේෂයෙන් සන්තෝෂයට පැමිණ ගොස් නැවත මේ ධාතූන් වහන්සේට ස්වාමීනී, කුමක් කෙරෙම්දෝ හෝ යි කිවුය.එවේලෙහි මිහිඳු මහ තෙරුන් වහන්සේ මහරජ, ඇත්කඳ පිට ධාතු කරඬුව බව යි වදාළ සේක,තෙරුන් වහන්සේ කී සැටියේ ධාතු කරඬුව ද ඇත් කඳ පිට තැබූ ය. සතුටු සිත් ඇති ඒ ඇත් රජ කුඤ්චනාද කළේ ය. එවෙලෙහි පොකුරු වැසි වසින්ට පටන් ගත. දිය පොළොව කෙළවර කොට ඇති දෙලක්ෂ සතලිස් දහසක් යොදුන් ඝනකඩ බොල් පොළොව විශේෂයෙන් ම ගුගුරා පැන නැංගේ ය. එවේලෙහි ඇති රජ නොයෙක් සිය ගණන් භේරිජාති ගස්වමින් සියගණන් කාහල ශබ්දයෙන් පිරිවරණ ලදුව ඒ මහත් වූ පූජා සත්කාරයෙන් බස්නාහිර දිශාවට මූණ ලා පසු බස්නේ ය.  යම්තාක් බස්නාහිර වාසල ද, එතැනට ගොසින් නැගෙනහිර වාසලින් ඇතුළු නුවරට වැද, සියලු නුවරවාසීන් බොහෝ පූජා කරමින් සිටියදී දකුණු වාසලින් නික්ම ථූපාරාම දාගැබ පිහිටන තැනට බටහිර දික්හි ප‍්‍රභේජවස්තු නම් තෙනෙක් ඇත. එතැනට ගොස් නැවත ථූපාරාම ස්ථානයට මුහුණලා වැළකුණේ ය. (නැවතුණේය?)

ඒ බිම ද ආදි බුදු වු තුන්දෙනා වහන්සේගෙන් කකුසඳ බුදුන්ගේ ඩබරා ධාතුව පිහිටියේ ය. කෝණාගමන බුදුන්ගේ පටිධාතුව පිහිටියේ ය.  කාශ්‍යප බුදුන්ගේ ජලසාටිකාව පිහිටියේ ය. මේ තුන් බුදුවරයන්ගේ ධාතු පිහිටුවා කරන ලද දාගබ එතන නට කල්හි දේවතානුභාවයෙන් කටුයෙන් ගහනව අනෙක ගසින් පිරිවරන ලදුව සිටියේ ය.  කුමක් පිණිසද? යත් :- මළමුත‍්‍ර කසළ ආදී වූ යම්කිසි දෙයකින් අපවිත‍්‍ර නො වනු පිණිස ය.

ඉක්බිති ඇතුළට ඉදිරිව ගොස් රාජ පුරුෂයෝ ගස් කපා හැර බිම තනා බෙර ඇසක් සේ සම කළෝ ය.

ඇත් රජ ඒ ස්ථානයට ගොස් එතැන් පෙරදැරි කොට ඊට බස්නාහිර දිශාවේ දැන් ශ‍්‍රී මහබොධීන් වහන්සේ පිහිටි තෙන සිට ගත. ඉක්බිති ඇත් කඳ පිටින් ධාතුගෙන බා තබාගන්ට පටන් ගතු ය. ඇත් රද ධාතු බාගත නුදුන්නේ ය. ඒ බව ගොසින් තෙරුන්වහන්සේට කී ය. ස්වාමීනී, ඇත්රජ කුමක් පිණිස තමා පිට තුඩු ධාතු බාගත නොදේ ද? විචාළෝ ය. එසේ විචාළවුන්ට තෙරුන් වහන්සේ මහරජ, උඩනැඟි ධාතුන් වහන්සේ බාගන්ට වටනේ නො වේ‘යි වදාළ සේක. එසමයෙහි අබාවැව දිය සිඳී ගියේ ය. වැව මුළුල්ලෙහි වළල් තැළි ගියේය රජුජුරුවෝ බොහෝ දෙනා ලවා වළල්කැට ගෙන්වා ගෙන ඇත්කුඹ විචරට ගොඩකොට ලූ හ. එකෙණෙහි දාගැබ කරවනු පිණිස උළු කපවන්ට පටන්ගත්තු ය. යම්තාක් උළු කපවා නිමවත් ද ඒ තාක් ඇති රජ කිහිප දිනක් දාවල් දවස ඇත්හල සිටිනේ ය. ?දවස දාගැබ බඳනා තෙන වටකොට ඇවිදිනේ ය.

එවේලෙහි රජජුරුවෝ තෙරුන් වහන්සේ අතින් විචාරන්නේ ස්වාමිනි දාගැබ කෙබඳු කොට බඳවම් දැ‘යි විචාළෝ ය. දේවයෙනි වී ගොඩක් සැටියට යයි වදාළ සේක. යහපත ස්වාමීනි යි ගිවිස දණ පමණ කොට තලව්ව කරවා ධාතුන් වහන්සේ පිහිටුවන පිණිස මහත් වූ සත්කාර කළෝ ය.  (ථූපාරාම කථා ථූපවංසය)

 

(තොරතුරු- අමිල කෝසල උඩවත්ත- නාගොඩ මහා විද්‍යාලය- කළුතර)

 

 

3183 වරක් කියවා ඇත.
ict_branch නිර්මාණය :
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
පිටු පෙළගැස්ම | වියාචනය | පරිපාලක පිවිසුම
කතු හිමිකම © 2012-2016 | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
මෙම පද්ධතියේ ඇති සියලුම අන්තර්ගතයන් සඳහා හිමිකම් ඇවිරිණි.
කිසිදු අන්තර්ගතයක් ලිඛිත අවසරයකින් තොරව වෙනත් වෙබ් පිටුවක හෝ වෙනත් කුමන ආකාරයක හෝ සමාජ ජාල වෙබ් අඩවිවල උපුටා පළ කිරීම සපුරා තහනම් වේ.