අනුරාධපුර යුගයේ ස්තූප

Written by

ථූපාරාම පිළිමගෙය හා ථූපාරාම ස්තූපය

 

පිළිමගෙය වනාහි ථූපාරාමයට දකුණින් පිහිටි ප‍්‍රතිමා ගෘහයකි. එය වඩාත් වැදගත් වන්නේ ප‍්‍රතිමාඝරයන් අතර ටැම් හිස්වල වජ‍්‍ර ලක්‍ෂණයන් දැකිය හැකි බැවිනි. සම්පූර්ණ ගඩොලින් කළ ථූපාරාම පිළිමගෙය පරාක‍්‍රමබාහු රජු සමයේ කරන ලද්දකි. ගෙඩිගේ සම්ප‍්‍රදාය අනුව කරන ලද මෙය ඉන්දියාවේ හින්දු කෝවිල්වල දක්නට ලැබෙන බිම් සැලැස්මක් අනුව කර තිබේ. ඇතුළත බිත්තිවල චිත‍්‍ර නැති වුවත් පිට බිත්ති නොයෙක් රූකම්වලින් අලංකාර කර තිබේ. ඇතුළත ගඩොලින් කළ බුදුපිළිමයකි.

 

ථූපාරාම දාගැබ

අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ අනුරාධපුර පූජා නගරයේ රුවන්වැලිසෑයට උතුරින් ඇතුළු නුවරට නිරිත දිගින් පිහිටා ඇති බෞද්ධ පූජ්‍යස්ථානයකි. ඓතිහාසික වැදගත්කමක් සහිත ස්ථානයකි. ආරාම සංකිර්ණයක් සමඟ ඇති නිසා ථූපාරාමය යන නම ලැබී යැයි විශ්වාස කෙරේ. ථූපාරාමය පිහිටි භූමියේ එය පිහිටුවීමට පෙර ගෞතම බුදුරජාණන් වහන්සේ සිය තෙවන ලංකා ගමනේදී සමාධි සුවයෙන්nදෙවේලාවක් වැඩ හිඳි බව මහාවංසයේ සඳහන් වෙයි. (ම.ව. 01 පරි. 81, 82 ගාථා)

 

ථූපාරාම ස්තූපය ක‍්‍රි.පු. තෙවන ශතකයේ දී මහින්ද මාහිමියන්ගේ අනුශාසනා පරිදි දෙවනපෑතිස්ස රජු විසින් කරවනු ලැබූ බව වංසකතා බොහෙමයක සඳහන් වෙයි. (මහා වංශයේ 16 වන පරිච්ඡේදයේ 40 ගාථාවේ සිට,ථූපවංශයෙන් ථූපාරාම කථාව,විශේෂයෙන් බලන්න) මෙම භූමියේ පෙර බුදුවරුන් තිදෙනා වහන්සේලාගේ ධාතූන් ද තැන්පත් කොට තිබූ බව වංසකථා උපුටා දක්වන වලිසිංහ හරිශ්චන්ද්‍ර මහත්මා කියයි. (හරිශ්චන්ද්‍ර වලිසිංහ 1918 පිටුව 53 ) ඊට අනුව කකුසඳ බුදුරදුන්ගේ ඩබරා ධාතුව ද (දියගෙන යන භාජනයකි), කෝණාගාම බුදුරදුන්ගේ පටි ධාතුව ද (ඉණ බැඳි පටිය),කාශ්‍යප බුදුරදුන්ගේ ජලසාටිකාව ද (නානකඩය,දියරෙද්ද),මෙහි තැම්පත් කර තිබී ඇත. අනතුරුව ගෞතම බුදුරදුන්ගේ දකුණු අකුධාතුව ද (උරයෙහි ඉදිරිපසින් හරස්ව පිහිටි අස්ථිය) තැම්පත් කරන ලදි.

ථූපාරාමය ඉදිකර ඇත්තේ එම අකුධාතුව සහිත ධාතුගැබ සහිතව ය. පළමුව මෙහි ඉදිකළ ථූපය එතරම් උස් නො වූ බැව් පෙනෙයි. ථූපවංශයට අනුව ඒ ථූපයේ ධාතුගැබ දක්වා උස දණක් තරම් විය. (ථූපාරාම කථා) මහාංවංසයට අනුව සමස්ත ථූපයම කෙණ්ඩක් තරම් (මිනිසෙකුගේ දණහිස තරම්) උස් ය. (ම.ව. 16 පරි 41 - 42 ගාථා) එහෙත් ඒ ථූපය තැනුයේ ඇතකුගේ කුම්භස්තලයට තරම් උස් වේදිකාවක් මත ය. (ථූපවංශය බලන්න) ඒ වේදිකාව තැනුයේ අභය වැවෙන් ගෙන ආ වියළි මඩ යොදාගෙන ය. ඒ මත ථූපය ගොඩනැගුනේ එදින ම පිළියෙල කළ ගඩොලිනි. එය වීගොඩක හැඩය ගත් බව ථූපවංශයට අනුව පෙනී යයි. (ථූපාරාම කථා බලන්න)

 

මෙසේ ඉදිකළ දාගැබ පසුකාලීනව රජවරුන් කිහිපදෙනෙකු විසින් ප‍්‍රතිංස්කරණය කරවා, කංචුක නිමවා, හාත්පස පරිවාර ගොඩනැගිලි කරවා, පූජා පවත්වා දියුණුවට පත්කළ බව මූලාශ‍්‍ර පරිශීලනයෙන් පෙනී යයි.

 

ලජ්ජිතිස්ස රජතුමා (ක‍්‍රි.පු. 119 – 109)

සද්ධාතිස්ස රජුගේ ඇවෑමෙන් භික්ෂූන්වහන්සේලා ථුල්ලත්ථන කුමරුන්ට රජකම පැවරී ය‘යි කෝප වූ ලජ්ජිතිස්ස කුමරු වැඩිමහල් පිළිවෙළ නොදත්තෝ‘යි කියා භික්ෂූන්වහන්සේලාට පරිභව කළෝ ය. චුල්ලත්ථන සිහසුනෙන් නෙරපා රජකම ලබා ගත්තේ ය. එහෙත් භික්ෂුන්ට පරිභව කිරීම වරදක් බැව් වටහාගත් පසු ලජ්ජිතිස්ස රජු ඊට දඬුවම් විඳිනු වශයෙන් ලක්ෂයක් වැයකොට ථූපාරාමයට ශෛලමය මල් අසුන් 3 ක් කරවා තවත් ලක්ෂයක් වැය කොට මහසෑය (රවුන්මැලිමහසෑය හා ථූපාරාමය) අතර භූමිය ගොඩකර සමකරවා ථූපාරාමයට ශෛලමය කංචුකයක් ද නිමවී ය. ස්තූපයකට කංචුකයක් නිමවීම යනු පවතින ස්තූපය මැදිවන සේ ඊට ම සම්බන්ධකොට (අතර කුහර නො තබා) පිටතින් යළි යම් ආවරණයක් කිරීම යි. (කංචුකය නම් පිටකවරයයි) (මහවංශයේ 33 පරි. 14 - 24 දක්වා බලන්න)

 

භාතිකාභය රජතුමා (කී‍්‍ර.පු. 22-7)

මේ රජතුමා ථූපාරාමයට පොහොය ගෙයක් කරවී ය. (ම.ව.34 පරි. 40.41 ගාථා)>br>

ආමණ්ඩගාමිණී රජතුමා(ක‍්‍රි.ව.19 -29)

ථූපාරාම පිළිමගෙහි ම ඇතුළු මිදුල් හා ඇතුළු ආලින්ද කරවා ස්වර්ණ සැරසිලි කළේ ය. (ම.ව. 35 පරි. 3 - 4 ගාථා) දීපවංසය සඳහන් කරන්නේ මේ රජතුමා ථූපාරාමදාගැබ සඳහා වැඩිපුර ඡත්‍රපත් පිහිටුවනු ලද බව ය. (පරණවිතාන සෙනරත් 2009 - පිටුව 31 ,32)

 

වසභ රජතුමා(ක‍්‍රි.ව. 677 -111)

මේ රජතුමා ථූපාරාමයට ධාතුඝරයක් ද,චෛත්‍යඝරයක් ද කරවා පහන් පූජා පවත්වමින් ගරු කළේ ය. (ම.ව. 35 පරි. 79 – 92 ගාථා)

 

භාතියතිස්ස රජතුමා (ක‍්‍රි.ව. 143 -167)

දෙවැනි පොහොය ගෙය ද කරවී ය.

 

පළමු උපතිස්ස රජතුමා(ක‍්‍රි.ව. 365 – 406)

ථූපරාමයේ කොත රනින් කරවා ථූපයට කංචුකයක් ද නිර්මාණය කළේ ය. (ම.ව. 37P පරි. 207 ගාථාව)

 

දෙවැනි අග්බෝ රජතුමා (ක‍්‍රි.ව. 604 – 614)

ථූපයේ ගැලවී ගිය කොටස් ප‍්‍රතිසංස්කරණය කරවා බුදුරදුන්ගේ ධාතුව තාවකාලිකව ඉවත්කර චෛත්‍යය ප‍්‍රතිසංස්කරණයෙන් පසු යළි තැම්පත් කළේ ය

 

දාඨෝපතිස්ස රජතුමා (ක‍්‍රි.ව. 639 - 650 )

ථූපාරාමයේ රන්කොත පැහැරගත්තේ ය. (ම.ව. 42 පරි ගාථාව පටන් බලන්න)

 

දෙවැනි කාශ්‍යප රජතුමා (ක‍්‍රි.ව. 650 – 659)

ථූපාරාමයේ නිදන්ගත පූජාවස්තු පැහැර ගත්තේ ය. (ම.ව. 42 පරි. 137, 138 ගාථා) පසුව කළ පාපකර්ම සමාකරනු පිණිස ථූපාරාමයට ග‍්‍රාමයක් පිදී ය.

 

මානවම්ම රජතුමා

ථූපාරාමයට කංචුකයක් නිර්මාණය කළේ ය. ඒ අසල ප‍්‍රාසාදයක් ඉදිකර එය පාංශුකූලිකාංගය රක්ෂා කරන (පාංසුකූල සිවුර දැරිම නැමති ධුතාංගය රකින) (ධෂුකාංගය කෙළෙස් හෙවත් සිත කිළිටිකරන ක්‍රියා දුරු කිරීමට ඉවහල්වන පැවැතුම් විධිය) භික්ෂුන්ට පිදී ය. ථූපාරාම දාගැබහි ඡත‍්‍ර ද පිළිසකර කළේ ය. (ම.ව. 47 පරි 62 ගාථා සිට බලන්න)

 

දෙවන උදය රජතුමා (ක‍්‍රි.ව. 887 – 898)

ථූපාරාමයේ ස්වර්ණාලේප කළේ ය.

 

මහාපරාක‍්‍රමබාහු රජතුමා(ක‍්‍රි.ව. 1153 – 1180)

ථූපාරාමය පිළිසකර කරවී ය. රන්කොතක් පැළඳවී ය.

 

බි‍්‍රතාන්‍ය ජාතිකයෝ -

1842 දී ස්තූපය ප‍්‍රතිසංස්කරණය කරවී ය.

 

මේ ආදී ලෙස විවිධ කාලවල විවිධාංග එක්වෙමින් ථූපාරාම දාගැබ විවිධ විපර්යාසයන්ට ලක්විය. අද දක්නට ලැබෙන දාගැබ පුරාණ දාගැබට වඩා හාත්පසින්ම වෙනස් ය.ධාන්‍යකාර හැඩය වෙනුවට ඝන්ඨාකාර හැඩයෙන් පවතී. දැනට පාදයේ විෂ්කම්භය අඩි 59කි. උස අඩි 63 කි. දාගැබ සහිත වේදිකාව අඩි 11 ක් උස ය. වෘත්තාකර ය. එම වෘත්තාකාර වේදකාවේ විෂ්කම්භය අඩි 164 . 6කි. පියගැට දෙපෙළක් සහිත ය. චෛත්‍යයේ වටදාගෙය විනාශව ගොස් ඇතැත් ගල්කණු 176ක් මත ඉදිකළ මනරම් වටදාගෙයක් එහි තිබූ බවට සාධක පවතී. එම ගල්කණු 176 න් 42 ක් අද දක්නට නො ලැබේ. 93ක් කැඞී බිඳී ගොසිනි. කණු 10ක හිස නොමැත. අංග සම්පූර්ණ කුලුනු 31ක් වෙයි. ස්මිතර් මහතා මේ දාගැබ දුටු මොහොත වන විට එහි වටදාගෙයි වම්බිත්ති කොටස් තිබූ බව සඳහන් කර ඇත.

 

ථූපාරාමය පිළිබඳව ප‍්‍රාථමික මූලාශ‍්‍ර සටහන්

 

ථූපාරාම කථා

 

. . . ඉක්බිති මිහිඳු මහ තෙරුන් වහන්සේ ප‍්‍රධානකොට ඇති පාත‍්‍රයක් පමණ ධාතුන් වහන්සේ මිහින්තලාගල තබා දකුණු අකුධාණන් වහන්සේ ගෙන පස්වරුවේ මහමෙව්නා උයනට වැඩිසේක. එවේලෙහි ‍දෙවන පෑතිස්ස රජ්ජුරුවෝ සාමණේරයන් වහන්සේ වැඳ ඔබ කී ලෙසට ම ධාතූන් වහන්සේට පූජා කොට ඇත්කඳ පිට සේසත තබා මහමෙවුනා උයනට ගොස් වන් හ. ඒවේලෙහි රජ්ජුරුවන්ට මෙසේ සිතක් උපත කෙසේ ද යත් මොවුන් වහන්සේ

 

සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේගේ ධාතු වී නම් නඟන ලද මේ ධවලඡත‍්‍රය ඇලව (ඇළව)යේ ව යි,මේ මඟුලැතු දකුණු දණ බිම හැනපියව යි. මේ ධාතු කරඬුව මා හිස් මුදුනේ පිහිටාව’යි සිතූ ය. සිතූ සිත හා සමඟ නගන ලද කුඩය පහත් විය. ඇතු ද දණ බිම හැන පී ය. ධාතු කරඬුව රජ්ජුරුවන් හිස් මුදුනෙහි පිහිටා ගියේ ය. රජ්ජුරුවෝ එවේලෙහි කොලබෝ විතක් සුළං පුරාපී කලක් මෙන් විශේෂයෙන් සන්තෝෂයට පැමිණ ගොස් නැවත මේ ධාතුන් වහන්සේට ස්වාමීනි කුමක් කෙරෙම්දෝ හෝ යි කිවු ය.

 

එවේලෙහි මිහිඳු මහතෙරුන් වහන්සේ ‘මහරජ ඇත්කඳ පිට ධාතු කරඬුව තබව’ යි වදාළ සේක,තෙරුන් වහන්සේ කී සැටියේ ධාතු කරඬුව ද ඇත්කඳ පිට තැබූ ය. සතුටු සිත් ඇති ඒ ඇත් රජ කුඤ්චනාද කළේ ය. එවේලෙහි පොකුරු වැසි වසින්ට පටන් ගත. දිය පොළොව කෙළවරකොට ඇති දෙලක්ෂ සතලිස් දහසක් යොදුන් ඝනකඩ බොල් පොළොව විශේෂයෙන් ම ගුගුරා පැන නැංගේ ය. එවේලෙහි ඇති රජ නොයෙක් සිය ගණන් භේරිජාති ගස්වමින් සියගණන් කාහල ශබ්දයෙන් පිරිවරණ ලදුව ඒ මහත් වූ පූජා සත්කාරයෙන් බස්නාහිර දිශාවට මූණ ලා පසුබස්නේ ය. යම්තාක් බස්නාහිර වාසල ද,එතැනට ගොසින් නැගෙනහිර වාසලින් ඇතුළු නුවරට වැද සියලු නුවර වාසීන් බොහෝ පූජා කරමින් සිටියදී දකුණු වාසලින් නික්ම ථූපාරාම දාගැබ පිහිටන තැනට බටහිරදික්හි ප‍්‍රහෙජවස්තු නම් තෙනෙක් ඇත. එතැනට ගොස් නැවත ථූපාරාම ස්ථානයට මුහුණලා වැළකුණේ ය. (නැවතුණේ ය)

 

ඒ බිම ද ආදී බුදු වු තුන්දෙනා වහන්ස්ගෙන් කකුසඳ බුදුන්ගේ ඩබරා ධාතුව පිහිටියේ ය. කොනාගමන බුදුන්ගේ පටිධාතුව පිහිටියේ ය. කාශ්‍යප බුදුන්ගේ ජලසාටිකාව පිහිටියේ ය. මේ තුන් බුදුවරයන්ගේ ධාතු පිහිටුවා කරන ලද දාගප් එතන නට කල්හි දේවතානුභාවයෙන් කටුයෙන් ගහණව අනෙක ගසින් පිරිවරන ලදුව සිටියේ ය. කුමක් පිණිස ද? යත් මළමුත‍්‍ර කසළ ආදී වූ යම්කිසි දෙයකින් අපවිත‍්‍ර නොවනු පිණිස ය.

 

ඉක්බිති ඇතුට ඉදිරිව ගොස් රාජ පුරුෂයෝ ගස් කපා හැර බිම තනා බෙර ඇසක් සේ සම කළෝ ය. ඇත්රජ ඒ ස්ථානයට ගොස් එතැන් පෙරදැරි කොට ඊට බස්නාහිර දිශාවේ දැන් ශ‍්‍රී මහාබෝධීන් වහන්සේ පිහිටි තෙන සිට ගත ඉක්බිති ඇත්කඳ පිටින් ධාතුගෙන බා තබාගන්ට පටන් ගත්තු ය. ඇත් රද ධාතු බාගත නුදුන්නේ ය. ඒ බව ගොසින් තෙරුන් වහන්සේට කී ය.

 

“ස්වාමීනි ඇත් රජ කුමක් පිණිස තමා පිට තුඩු ධාතු බාගත නොදේ ද”විචාළෝ ය. එසේ විචාළවුන්ට තෙරුන්වහන්සේ “මහරජ උඩනැඟි ධාතුන් වහන්සේ බාගන්ට වටනේ නොවේ”යි වදාළ සේක. එසමයෙහි අබාවැව දිය සිඳී ගියේ ය. වැව මුළුල්ලෙහි වළල් පැළී ගියේ ය. රජ්ජුරුවෝ බොහෝ දෙනා ලවා වළල්කැට ගෙන්වා ගෙස ඇත්කුඹ විචරට ගොඩකොට ලූ හ. එකෙණෙහි දාගැබ කරවනු පිණිස උළු කපවන්ට පටන්ගත්තු ය. යම්තාක් උළු කපවා නිමවත් ද ඒතාක් ඇත්රජ කිහිප දිනක් දාවල් දවස ඇත්හල සිටිනේ ය. දවස දාගැබ බඳනා තෙන වටකොට ඇවිදිනේ ය.

 

එවේලෙහි රජජුරුවෝ තෙරුන් වහන්සේ අතින් විචාරන්නෝ “ස්වාමිනි! දාගැබ කෙබඳු කොට බඳවම් දැ යි විචාළෝ ය. දේවයෙනි! වී ගොඩක් සැටියටය ” යි වදාළ සේක. යහපත! ස්වාමීනි! යි ගිවිස දණ පමණ කොට තලව්ව කරවා ධාතූන් වහන්සේ පිහිටුවන පිණිස මහත් වූ සත්කාර කළෝ ය. (ථුපාරාම කථා ථුපවංසය)

 

රුවන්වැලි දාගැබ

 

අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ අනුරාධපුර පූජා නගරයේ ථූපාරාමය,ශ‍්‍රි මහාබෝධිය,බසවක්කුලම වැව යනාදියට මැදිව පිහිටි බෞද්ධ පූජ්‍යස්ථානයකි. අටමස්ථානයන්ගෙන් එකකි.රුවන්වැලිසෑය රුවන්මැලිසෑය නමින්ද මහාථූපය නමින් ද ස්වර්ණමාලි මහා චෛත්‍යය නමින් ද මහාථූපය නමින් ද හැඳින්වෙයි. ථූපය ඉදිකිරීමට යන අවස්ථාවේ ඉදිකිරිමේ බිම සැකසීම සඳහා ඉවත්කළ යුතු වූ මහා වෘක්ෂයක වැඩ සිටි දේවතාවියකගේ නමින් මෙය ස්වර්ණමාලි මහා චෛත්‍ය යන නම ලැබී ය. ස්වර්ණමාලියට රුවැන්මැලි යන නම ද යෙදෙයි. එහෙයින් රුවන්මැලි මහාදාගැබ රුවන්මැලිසෑය යන නම ද යෙදෙයි. ස්වර්ණමාලිය තරන්වල්ලි යන නමින් ද හැඳින්වෙයි. එහෙයින් මේ සෑය රුවන්වැලිසෑය යන නම ද ලැබී ය. කාලීනව ඉදි‍වෙමින් තිබූ මහා (විශාල) ස්තූපය මෙය වූ හෙයින් මහාථූපය යන නම ද ලැබී ය. මහා බෝධිවංශයට අනුව මහින්ද මහ රහතන් වහන්සේ දවස අනුරාධපුර රුවන්මැලිසෑය අවට භූමිය මාලක යන නමින් ද රුවන්මැලිසෑය පිහිටි බිම (එය පිහිටුවිමට පෙර පටන්) රත්නමාලක හෙවත් රුවන්මළුව යන නමින් ද හැඳින් වූ වග පෙනෙයි. රුවන්මැලිසෑය යන නම ඒ අනුව ආයේ ද යන සැකය පවතී. (සංස්කෘතික පුරාණය. 2001 ජුලි - සැප්. පිටුව 01 රුවන්මැලි සෑය යන නමින් මහාවංශයේ පළමුවරට සඳහන් වන්නේ ද ඛල්ලාටනාග රජුගේ රාජ්‍ය කාලය පිළිබඳ විස්තරයේ ය.(ම.වං 33 පරි. 31 ගාථාව බලන්න) ථූපාරාම භූමියෙන් සොයාගත් සෙල්ලිපියක රතන අරබ යනුවෙන් සඳහන් කර ඇත්‍තේ ද රුවන්මැලිය යැයි පරණවිතාන මහතා විශ්වාස කළේ ය. (සං. පුරා. 2001. ජුලි - සැප්. පි. 01) එම ලිපිය ගජබාහු රජ දවසට අයත් ය.

 

මෙය කරවූයේ දුට්ඨගාමිණි මහරජතුමා (ක‍්‍රි.පු 161- 131) විසිනි. දේවානම් පියතිස්ස රජ දවස මෙරටට බුද්ධදර්ශනය හඳුන්වා දී වදාළ මහා මහින්ද හිමියන් විසින් ,බුදුරදුන් උදෙසා මහාචෛත්‍යය ඉදිකළ යුතු ස්ථානය වශයෙන් නම් කළ ස්ථානය වූයේ මේ ස්ථානයයි. ඒ දවස දෙවන පෑතිස් දුටුගැමුණු රජු මහාථූපය කළ වග ද වංසකථා කියයි.මහින්ද මහරහතන් වහන්සේට අනුව මෙම ස්ථානය බුදුරදුන් පරිභෝග කළ ස්ථානයකි.ද්‍රෝනායක් පමණ සරවඥ ධාතුන් වහන්සේලා තැම්පත් කළේ යැයි කියැවේ. මෑත කාලීනව කළ කැණීම්වල දී ද මෙහි ගර්භයේ තිබී බොහෝ නිධන් වස්තු හමු වී තිබේ. අනුරාධපුර මුල් යුගයට අයත් බිතුසිතුවම් රැසක් ද එහි ධාතු ගර්භයේ ඇතුළත බිත්ති මගින් හමුවී තිබේ.රුවන්මැලිසෑයේ මුල් ස්වරූපය ද බුබ්බුලාකාර වු බව මහාවංස ආදී වංශකථා පිරික්සුමෙන් පෙනේ. (ම.ව. 28 - 32 පරිච්ඡේදවල රුවන්මැලිසෑය පිළිබඳ සම්පුර්ණ විස්තර ඇතුළත් ය. ථූපවංසය ලියැවී ඇත්තේ ද මහාථූපය වර්ණනා කිරීම විශේෂ කොටගෙන ය. කියවන්න) බුබ්බුලාකාර හැඩය නොවෙනස් නමුත් ථූපයේ ප‍්‍රමාණය වෙනස්වී ඇත.

 

මහාචාර්ය ටී.ජී. කුලතුංග මහත්මාට අනුව 12 වැනි සියවසේදී මහාථූපය දක්නට ලැබුණ ආකාරය නෙළුබැවේ සෙල්ලිපියක ඇති ථූප සටහනෙන් අවබෝධ කොට ගතහැක. (අනුමානයකි) රුවන්වැලි සෑයට කළ දීමනාවක් පිළිබඳව එහි සඳහන්වෙයි. නිශ්ශංකමල්ල රජතුමා විසින් රුවන්මැලි මළුවේ කළ ශෛලම කුඩා ස්තූපය ද මහාථූපයේ ම හැඩයට කරවා ඇතැ‘යි සිතෙයි. පිහිටි පොළොවේ සත්රියනක් යටට කැණ (ම.ව. 29 පරි. 2 ගාථාව) අත්තිවාරම දමා ඊ මත්තෙහි ථූපය ගොඩනංවා ඇත. එහෙත් මෙම අත්තිවාරමේ ප‍්‍රමාණය පිළිබඳ මහාවංශ සඳහන පුරාවිද්‍යාත්මකව අනාවරණය කොට නොමැත. (කුලතුංග ටී.ජී. 2004 පිටුව 14) කෙසේ නමුදු ශක්තිමත් අත්තිවාරමක් මත ඉදිකළ මහාථූපය උසින් අඩි 120 ක් වූ බැව් මාලිංග අමරසිංහ මහතා සිය කෘතියේ සඳහන් කර ඇත. (අමරසිංහ මාලිංග 2005. පිටුව 08)

 

එහෙත් එහි එකල උස රියන 120 ක් හෙවත් අඩි 300ක් පමණ වූ බව පරණවිතාන මහතා කියයි. (පරණවිතාන එස්. 1997 පිටුව 5) මෙයින් පරණවිතාන මහාතාගේ මතය පිළිගත හැකි ය. චෛත්‍යයේ විෂ්කම්භය අඩි 3790කි. උස අඩි 338කි. පාදයේ වටප‍්‍රමාණය අඩි 942කි. කොත පමණක් (චූඩාමාණික්‍යය සමග) අඩි 25ක් පමණ වේ. ස්තූප මළුවේ පැත්තක දිග අඩි 465ක් තරම් වෙයි. ථූපය බැඳීමට සාදාගත් ගඩොලක් පළල සෙ.මී.24.17 ද ඝණකම සෙ.මී.6.97 ද වෙයි. (ගඩොලක දිග ප‍්‍රමාණය නොමැතිව පළල හා ඝනකම පමණක් දක්වා හෙන්රි පාකර් මහතා සිය සටහන නිමවා ඇත. කෘතිය උපුටා දක්වන සං.පුරා. 2001 ජුලි සැප් කලාපයසම්පාදක එච්.එම්. ලක්මිණි නිශාන්ති)

 

වෙනත් චෛත්‍යයන් මෙන් ම රුවන්වැලිසෑය ද වරින්වර විවිධ ආකාරයේ ප‍්‍රතිසංස්කරණයට ලක්කොට තිබේ. කොත් කැරැල්ලේ කටයුතු නිමවීමට ප‍්‍රථමයෙන් දුටුගැමුණු රජතුමා මිය ගියෙන් චෛත්‍ය කටයුතු නිමකරවූයේ සද්ධාතිස්ස රජතුමා විසිනි. (ක‍්‍රි.පු. 137 -119) ලජ්ජිතිස්ස රජු චෛත්‍ය වේදිකාවේ හුණුගල් ආවරණ දෙවිය. (අමරසිංහ මාලිංග 2005. පි. 08) ඛල්ලාට නාගරජු දවස (ක‍්‍රි.පු. 109 – 103) චෛත්‍යයේ වැලිමළුව ප‍්‍රතිසංස්කරණය කරවා ඒ වටා ඇත් පවුර කරවීය. භාතිකාභය රජු (ක‍්‍රි.පූ. 22- කි‍්‍ර.ව. 7) ථූපයේ පේසාවන් ශෛලමය පේසාවන් ලෙස සැකසීය. මහාදාඨක මහානාග (ක‍්‍රි.ව. 07- 09) රජු වැලිමළුව පුළුල් කරවීය. ආමණ්ඩගාමිනි රජු (ක‍්‍රි.ව. 19 – 22) චෛත්‍ය වේදිකා ප‍්‍රතිසංස්කරණය කරවීය. එකක් මත එකක් සිටින සේ (සාංචි ථූපයේ සේ) චෛත්‍යයට ඡත්‍ර 2ක් සවි කරවූයේ ද මේ රජතුමා විසිනි.

 

පළමු සිරිනාග රජු (ක‍්‍රි.ව. 189 - 209) ඡත‍්‍ර පිළිසකර කරවා රන් ආලේප කරවීය. පළමු සංඝතිස්ස රජතුමා (ක‍්‍රි.ව. 247 – 249) ද එම ඡත‍්‍ර රනින් ආලේප කරවා පළිඟු මුදු ද සවිකරවී ය. ථූපයේ කැඩීබිඳී ගිය තැන් හුණු බදාමයෙන් පිළිසකර කරවීය. හතරැස් කොටුවේ සිව්දිග අගනා මාණික්‍ය හතරක් ද සවිකරවී ය. ප‍්‍රාකාරයට සම්බන්ධ දොරටුවල තොරණ කරවීම මිත්තසේන රජු (ක‍්‍රි.ව. 426 – 429) විසින් සිදු කර තිබේ.

 

හත්තිවේදිය ඉදිකළේ ක‍්‍රි.ව. 571 - 604 කාලයේ රජකළ මහානාග රජතුමා විසිනි. එතුමා සිතුවම් ද අලුත්වැඩියා කළ බව කියැවේ.ඒ ඇත් පවුරේ සායම් ආලේප කිරිම ද නැතිනම් වෙනත් තැනෙක සිතුවම් ඇඳීම දැයි අපැහැදිලි ය. (ම.ව. 40 පරි 94- 95 ගාථා බලන්න) චෛත්‍යයට රන් ආලේපිත ශෛලමය ඡත‍්‍රයක් එක්වෙන්නේ ක‍්‍රි.ව. 571 - 604 කාලයේ රජකළ පළමු අගබෝ රජ දවස ය. (ම.ව. 41 පරි 32 ගාථාව පටන් බලන්න) තෙවන මුගලන් රජු (ක‍්‍රි.ව. 614 – 619) ථූපය සපුරාම පිළිසකර කරවී ය. මහාපරාක‍්‍රමබාහු රජතුමා (ක‍්‍රි.ව. 1153- 1196) චෛත්‍ය මළුවේ කුඩා ශෛලමය ථූපයක් කරවී ය.

 

චෛත්‍යයේ මීළඟ ප‍්‍රතිසංස්කරණ කටයුතු අරඹනු ලබන්නේ නාරංවිට සුමනසාර නම් ස්වාමීන් වහන්සේ විසිනි. උන්වහන්සේ පිළිබඳ විවිධ මතවාද පවතී. මේ හිමියෝ රාමඤ්ඤ මහා නිකායේ පැවිදිව පසුව යළි සියම් නිකායේ පැවිදි වූ අයෙකි. වන්දනා කරුවන්ගෙන් ලද රු. 20,25000ක මුදලක් යොදවා චෛත්‍යයේ ධාතු ගර්භය අඩි 40ක් බැඳවීමට උන්වහන්සේ සමත් වූ හ. ඉන් අනතුරුව සංරක්ෂණ කටයුතු භාරගන්නා රුවන්වැලි චෛත්‍ය වර්ධන සමාගම එහි සියලු කටයුතු නිමවා 1940 දී චෛත්‍යයේ කොත පළඳවන ලදී.

 

ඉංග‍්‍රීසි ජාතික අයිවර් මහතාට අනුව 1853 වර්ෂයේ බෞද්ධ සැදැහැවතුන් පිරිසක් මේ ආශ‍්‍රිතව පෙරහැරක් පවත්වා චෛත්‍යයට කොතක් පළඳවා ඇත. (සං.පුරා. 2001 ජූලි- සැප්) ඒ කෙසේ වෙතත් බුරුමයෙන් ගෙන්වූ පළිගුවක් සහිතව අඩි 25ක් උස කොත පැළඳවීම සිදුවේ. 1940 වර්ෂයේ දී ය. රුවන්වැලිසෑ චෛත්‍ය වර්ධන සමාගම පිහිටුවනු ලැබුයේ ක‍්‍රි.ව. 1902 වර්ෂයේදී ය. වලිසිංහ හරිශ්චන්ද්‍ර මහතා එහි සහභාගි තනතුර දැරී ය. අනාගරික ධර්මපාලතුමා ද එතුමාගේ මව වූ මල්ලිකා හේවාවිතාරණ මැතිණිය ද හෙන්ද්‍රි ස්ටීල් ඕල්කට් තුමා ද එහි ක‍්‍රියාකරි සාමාජිකවෝ වූ හ. ඔවුන් විසින් දිවයින පුරා පිහිටුවූ ශාඛා සමිති මගින් එක්රැස්කළ මුදල් යොදවා ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ හ. අම්බලන්ගොඩ ශාඛා සමිතිය මෙම ශාඛා සමිති අතරින් කැපි පෙනුණ ශාඛා සමිතියක් විය. (සං.පුරා. ඉහත මුලාශ‍්‍රයම)

 

චෛත්‍යය ප‍්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන් බෞද්ධයන් දැනුවත් කළේ සිරි අනුරපුර පුවත නම් පුවත්පත මගිනි. අයවැය වාර්තා සරසවි සඳරැස පත්‍රයේ පළ කරන ලදී. ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය ජලය සැපයීමට ශ‍්‍රී ලංකාවේ ජිනසේන සමාගම ජල යන්ත‍්‍රයක් නිමවන ලදී. කොත පැළඳවූ පළිඟුව බුරුමයෙන් ගෙන්වූයේ අමරපුර මහා නිකායික භික්ෂුන් වහන්ස්ලාගේ මැදහත්වීමෙනි. (සං.පුරා.ඉහත මූලාශ‍්‍රයට) ප‍්‍රතිසංස්කරණ කටයුතුවලට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මැදහත් වන්නේ පසුකාලීනව ඔවුන් චෛත්‍ය වර්ධන සමඟ හවුල්ව කටයුතු කළ හ. චෛත්‍ය වර්ධන සමිතියේ මූලික අරමුණ වූයේ ආගමික පදනමක පිහිටා චෛත්‍ය ඉදිකිරීම ය.

 

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අරමුණ වූයේ පුරාවිද්‍යා ස්මාරකයක් වශයෙන් එම පදනමෙහි පිහිටා චෛත්‍ය සංරක්ෂණය කිරීම ය. මේ නිසා ප‍්‍රතිසංස්කරණ කටයුතුවල යම් යම් ගැටලු මතුව තිබේ. චෛත්‍ය වර්ධන සමිතිය මගින් කළ ප‍්‍රතිසංස්කරණවල දී තෙවැනි පේසාව මත තිබූ හස්තිවේදිය ඉවත් කර ඇත. ස්මිදර් මහතාට අනුව තෙවන පේසාව මත ශෛලමය හස්ති හිස් 133 ක් තිබි ඇත. ඒවා අතර මීටර 3 බැගින් පරතරය තිබී ඇත. මීට අමරතව බටහිර ආයකය (වාහල්කඩ) හැර සෙසු ආයක චෛත්‍ය වර්ධන සමාගම විසින් ප‍්‍රතිසංස්කරණය කරන ලදුව ඒවායේ පැරණි ස්වරූපයට තරමක් හානි සිදුවී තිබේ.

 

බටහිර ආයකය දෙපාර්තමේන්තුවේ මැදහත්විම ඇතිව ප‍්‍රතිසංස්කරණය කර ඇත. දෙපාර්තමේන්තුවේ මැදහත්විමෙන් ප‍්‍රතිසංස්කරණය කළ ආයකය හැර අනෙක් ආයක 3හි ම ලීස්තර මාරු කොට ඇත්,අස්,ගව, සිංහ යන රූප ඒවා තිබූ කුලුනු මතින් ඉවත් කර තිබීම ඒවායේ පැරණි ස්වරූපයට සිදුවූ හානියක් සේ සැලකිය හැක. එමෙන් ම පැරණි ශෛලමය නිර්මාණ දකුණු ඉන්දීය කාර්මිකයන් ලවා ඔප දමා තිබීම ද හානියක් වී ඇත. (සං.පුරා. 2001 ජුලි සැප්) රුවන්මැලිය ද චෛත්‍යය මළුවේ පුරවාස්තු සලපතළ මළුවේ කුඩා ස්තූප 2ක් තිබූ බව ස්මිදර් මහතා පවසයි. ඒවා ගරා වැටී තිබි ඇත. වර්තමානයේ චෛත්‍ය මළුවේ කුඩා ස්තූප 4ක් නිමාවා ඇත. සලපතළ මළුවේ සූර්යදේව ප‍්‍රතිමාවක් තිබී ඇත.සලපතළ මළුවේ ම පිළිම ‍ගෙයක් තිබී ඇත. එය දැනට නැගෙනහිර ආයකය අසල ඉදිකර ඇති අතර ප‍්‍රතිමා සහ ප‍්‍රතිසංස්කරණය කොට තිබේ.

 

සතර බුදුවරුන්ගේ රූප සමඟ මෛත‍්‍රී බෝසතුන්ගේ රුවක් එහි වෙයි (ස්මිදර් මහතා උපුටා දක්වන සං. පුරා සඟරාව 2001 ජුලි - සැප්)

 

සලපතළ මළුවේ ගිනිකොන දිගින් ඇති ශිලා ස්තම්භ පෙළ සූර්ය දේවාලයේ නටබුන් විය යුතු ය. (ඉහත මූලාශය ම)

 

සලපතළ මළුවේ නිරිත දිගින් ඇත්තේ භාතිකාභය රජුගේ පිළිරුව යි. එය සාධක සහිතව ම හඳුනාගත් එකම රජරුව වශයෙන් පිළිගැනේ. හමුවනවිට තෙකඩව තිබූ මෙය පසුව සම්බන්ධ කොට චෛත්‍ය අසල තැම්පත් කර ඇත.

 

කිරිගරුඬ රජරුවක් ද හමු වී ඇත. හමුවනවිට දෙඅත් උරහිස අසලින් වෙන්වී ගොස් තිබුණි. දුටුගැමුණු රජුගේ යැයි අනුමාන කෙරේ. භාතිකාභය රජරුව අනුකරණය කොට පසු කාලයේ ඉදිකළ එකකැයි පිළිගැනෙයි. රුවන්මැලිසෑය පිළිබඳ මූලාශ‍්‍ර සටහන්මහාවංසය ඇතුළු වංසකතා බොහොමයක රුවන්මැලි ස්තූපය පිළිබඳව සඳහන් වෙයි. ථූපවංසයේ ද දීර්ඝ විස්තරක් එයි.

 

ඒ රජ මෙසේ ලෝක ශාසනයට මවක සේ ලක්දිව මිථ්‍යා දෘෂ්ටීන් දුරුකොට ශාසනෝපාකාර කරනුයේ නවඅනූවක් පමණ රජමහා විහාර කරවා එකුන්සියයක් මහා පුජා කළේ ය. තව ද මිරිස් පැස්සක් බුදුන්දරුවනුට නොදී සඳහන් මඳ ව කෑවා වූ දඬුවමට එකුන්විසිකෙළක් පමණ ධන වියදම් කොට මිරිසවිටි (මිරිස්වැටි) නම් මහ සෑය කරවා ලක්දිව මහා සංඝයා රැස් ‍කොට සත් දවසක් මහ දන් දී පූජා කළේ ය. තව ද අයමින් විතරින් එක්සියවිසි රියන් පෙළෙක සතලිස සතලිස බැගින් සතලිස් පෙළක් ඇති එක් දහස් සසියක් මහ ටැම් හිඳුවා නව මහල් ඇති දහසක් කන්කුළු ඇති ලෝවාමහපාය තිස්කෙළක් පමණ ධන වියදම් කොට කරවා සංඝාරාම කොට පිළිගන්වා සත් දවසක් මුළුල්ලෙහි මහත්වූ දාන පූජා කළේ ය. තව ද එක්සිය විසිරියන් රුවන්මැලි නම් මහ සෑය බඳවා අනන්ත නම් නාගරාජයා කෙරේ තුබූ ද්‍රෝණයක් පමණ ධාතු දොළොස් හැවිරිදි සොනුත්තර නම් සාමණේර කෙනෙකුත් ලවා බලාත්කාරයෙන් ගෙන්වා ඒ දාගැබ පිහිටුවා සයානුකෙළක් පමණ මහරහතන්ට සත් දවසක් මහ දන් දී අනර්ඝ වූ වස්තු සූවිස්සක් හා දෙකෙළ දහසක් පමණ ධන පරිත්‍යාගයෙන් ඒ රුවන්මැලි නම් මහා චෛත්‍යය පූජා කෙළේ ය.

 

(පූජාවලිය 772 පිට කිරිඇල්ලේ ඤාණවිමලහිමි සංස් 2002) ථූපවංසයේ ද මහාවංසයේ ද සටහන් දීර්ඝ නිසා මෙහි නො දක්වමු.

 

අභයගිරිය අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ  අනුරාධපුර පූජා නගර සීමාව තුළ අභයගිරි ආරාමික සීමාව තුළ පිහිටියාවූ බෞද්ධ පූජ්‍යස්ථානයකි. බෞද්ධ අටමස්ථානයන්ගෙන් එකකි අපහයගර,බගිරිනක,බයාගිරිය යනු ද ඊට ම නම් ය. ක‍්‍රි.ව. 1 වන සියවසේ දී ලක් රජය කළ වට්ඨගාමිණි අභය (වළගම්බා) රජු විසින් කරවන ලද්දකි. එහෙත් දීපවංසයේ සඳහනක් අනුව යන ඇතැම් උගත්හු මෙහි විහාර (අභයගිරි විහාර සංකිර්ණය) පමණක් වළගම්බා රජතුමා විසින් කරවා ඇති නමුදු චෛත්‍යය ඉදිකරවූයේ පළමුවන ගජබාහු රජතුමා විසින් බවත් පිළිගනිති.

 

එහෙත් ශ‍්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු මහාචාර්ය,යු‍නෙස්කෝ ශ‍්‍රී ලංකා අභයගිරි විහාර ව්‍යාපෘතියේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ටී.ජී. කුලතුංග මහත්මාගේ මතය වන්නේ වළගම්බා රජු කරවු අභයගිරි ථූපය ගජබාහු රජු විසින් විශාල කොට බැඳවූ බව යි. (සං.පුරා. 1999 අප්‍රේල් - ජුනි කලාපයෙ) අභයගිරි දාගැබේ නිදන්කොට ඇත්තේ කුමන පූජා වස්තුවක් ද යන්න නිශ්චිත නැත.

 

ක‍්‍රි.ව. 5වන සියවසේ දී මෙරටට පැමිණි (ෆාහියන් නම් හිමිනම සිය වාර්තාවේ සඳහන් කරන්නේ බුදුන්වහන්සේගේ සිරිපා සටහනක් මැදිකොට මේ ථූපය ඉදිකර ඇති බව යි. (බලගල්ල විමල් ජි. 1999 පිටුව 92) අභයගිරි ථූප වන්දනා ගාථාවට අනුව මෙහි ඇත්තේ බුදුරදුන්ගෙ ශාරීරික ධාතු තැම්පත් කර රනින් කළ වෘෂභ රුවකි.

 

කතනව මණි කම්මේ ධාතු ගබ්බේ සුරම්මෙ - කනක වසභ කුච්ඡිං ධාතුනා පූරයිත්වා

හිතම භය රඤෙඤ ධඤ්ඤ පුඤ්ඤාධිවාසෙ - අභයගිරි විහාරෙ චාරුථූපං නමාමි.

 

(අභයගිරි ස්තූප වන්දනා ගාථාව)

 

(කරන ලද මාණික්‍ය කර්ම ඇති ස්වර්ණ වෘෂභ රාජයෙකු ගේ කුක්ෂියෙහි ධාතු පුරවා නිදන් කොට වළගම්බා රජ විසින් කරවූ චෛත්‍ය රාජයා වඳිමි.)

 

සද්ධර්ම රත්නාකරය ප‍්‍රකාශ කරන්නේ කාශ්‍යපනම් රජෙකු විසින් මෙහි ධර්ම ධාතු තැම්පත් කළ බව ය. (සං.පුරා 1999 අපේ‍්‍රල් ජුනි)

 

මේ ආදී ලෙස විවිධ මත පවති. මේ කිසිවක් මෙතෙක් පුරාවිද්‍යාත්මකව ගවේෂණය කොට නැත. අභයගිරි විහාරයේ ඉතිහාස කථාව වූ උත්තර විහාර වංසය නම් කෘතිය හෝ යටත් පිරිසෙයින් එහි කොටසක් හෝ ශේෂව පැවතියේ නම් මේ බොහොමයක් ගැටලු වලට විසඳුම සොයාගත හැකිව තිබුණි. එහෙත් අවාසනාවකට දෝ උත්තර විහාර වංසය නම් කෘතිය අද දක්නා නොලැබේ.

 

දාගැබ හා තත් විහාරය අභයගිරි යන නාමය ලැබීමට හේතුව ලෙස වංස කතා කරුවෝ ගිරිනිගණ්ඨයා සම්බන්ධ කථාව දකිවති. රජුට අපහාස කළ ගිරි නම් නිගණ්ඨයාගේ ආරාමය බිඳ දමා එතැන ඉදිකළ නිසා ගිරි යන කොටස ත් සිය නමෙහි කොටසක් වු අභය (වට්ඨගාමිණි අභය) යන කොටසක් එක්කොට මේ නාමය තැනූ බව මහාවංසය ඇතුළු වංසකතා වල සඳහන් වෙයි.එහෙත් සිය ප‍්‍රතිවාදියෙක් හෝ එදිරිවාදියෙකු හෝ මුළු ගන්වා එතැන සිය ධනය යොදා ඉදිකළ පූජනිය ස්ථානයකට අදාළ ප‍්‍රතිවාදියාගේ හෝ එදිරිවාදියාගේ ද නම යොදා ගත්තේ ය, යන්න පිළිගැනීමට අපහසු ය. පුරාණ කෘති පරික්ෂණයේ දී ඊට පිළිගත හැකි සාධක හමුවේ. ගිරි යන පදය ඝර යන අරුත්හි ද යෙදී ඇති බැව් දම්පියා අටුවා ගැටපදය උපුටා දක්වන සුමංගල ශබ්දකෝෂය කියයි. ඝර යනු ආවාසය, නවාතැන් ගන්නා ස්ථානය, නිවස, ගෘහය ආදී අරුත්හි යෙදෙන්නකි. වළගම්බා රජු කරවූයේ අභයගිරි විහාර සංකීර්ණයම මිස අභයගිරි ගැබ පමණක් නොවේ. කාලීනව නෂ්ටව යම් තරමකින් හෝ ඉතිරි වුණේ ථූපය පමණක් නිසා අභයගිරි යන්නෙන් මේ ථූපය ප‍්‍රකට විය. එහෙත් රජු ඉදි කළ විහාර සංකීර්ණයේ එක් අංගයක් පමණක් වූ මේ මහා චෛත්‍යය ගිරි නිගණ්ඨයා,හෝ නිගණ්ඨාරාමය සිහිපත් කිරීමේ නාමයකින් හැඳින්වී යැයි පිළිගත නොහැකි ය.

 

අභය රජු කරවූ විහාරය යන අරුත ඇති අභයඝරය යන නම යොදන්නට ඇත යන්න අපගේ මතයයි. (ලජ්ජිතිස්ස රජු ලජ්ජක ශාලා තැනුවා සේ. ම.ව. 33 පරි 23 - 24 ගාථා බලන්න) පසුව අභය ඝරය අභයගිරිය වන්නට ඇත. ටී.ජී. කුලතුංග මහතා අභයගිරිය හැදින්වූ වෙනත් වදනක් ලෙස දක්වන අපයහගර යන්නෙන් ද ඒ බැව් හෙළිවෙයි. අභයඝර යන්න අපයහගර යන්නට සාම්‍ය බවක් පෙන්වයි. භාෂා ශාස්ත‍්‍ර උගතුන්ගේ අවධානයට ලක්වන පිණිස ද අපට වඩා විද්‍යාත්මකව විමසා බලන පිණිස ද මෙය ඉදිරිපත් කරමි.

 

වළගම්බා රජු දෙවන වර රජවූ පසුව ඉදි කළ මෙම විහාරය හා ථූපය තමාට කලක පටන් උපකාර කළ තිස්ස නම් හිමිනමට පුජා කළේ ය. එය ශාසන ඉතිහාසයේ මතභේදකාරී තීරණයක් වුව ද අපගේ තේමා සීමා අභිභවනය නොකෙරනු පිණිස ඒ පිළිබඳ සඳහන් නොකරමි.

 

1වන ගජබාහු රජතුමා මේ ථූපය විශාල කොට බැඳවූ බව සඳහන් වෙයි. සතර දොරටුවල ආදිමුඛ තොරණ හතරක් ද කරවා අභයගිරි විහාරයට බත් වැටුප පිණිස (දන් සපායගනු පිණිස අවශ්‍ය මුදල් සපයා ගැනිමට) තමා කරවූ තිසා වැව පවරා දුන්නේ ය. (මං.ව. 35 පරි. 118 - 120 ගාථා) ආදිමුඛය යනු ආයක හෙවත් වාහල්කඩට මූල බීජය සැපැයු සරළ හැඩ නිර්මාණයක් බව මහචාර්ය ටී.ජී. කුලතුංග මහතා පවසයි. (සං.පුරා 1999 අපේ‍්‍රල් - ජුනි) එම නිර්මාණය පේසාවට අතිශය සමාන හෝ සමීපව පිහිටි නිසා ඇතැමුන් එය පේසාවේම සැරසිල්ලක් සේ සැලකුව ද එය සදොස් බව මහාචාර්ය තුමා පවසයි (ඉහත මුලාශ‍්‍රයම)

 

අභයගිරියේ උතුරු ආයකයට යට වී තිබී එබඳු නිර්මාණයක නටබුන් සොයගෙන තිබේ. වර්ණ ගන්වා තිබී ඇත. ඇතැම් විට ඒ ගජබාහු රජතුමා කළ ආදිමුඛවලින් එකක් විය යුතු ය.අභයගිරි දාගැබට සිවු වාහල්කඩ ඉදිකරවා ඇත්තේ කනිටුතිස් රජු විසිනි. (අමරසිංහ මාලිංග 2005 පිටුව 12) මහාවංසයට අනුව කනිටුතිස්ස රජු අභයගිරි විහාර සංකීර්ණයේ රත්නප‍්‍රසාදය ඉදිකළේ (ක‍්‍රි.ව. 167 -186) දාගැබේ වෝහාරික තිස්ස රජතුමා (214 – 236) විසින් මෙහි ඡත‍්‍ර කර්ම කරවූ බව මහාවංසයේ සඳහන් වේ. (36 පරි 33 - 36ගාථා) ධාතුසේන රජතුමා (ක‍්‍රි.ව 459 -477) ථූපය සුණු පිරියම් කරවා වජ්‍රචුම්භටකය (අකුණු සන්නායකයක්) සවිකළ බව කියැවේ. (අමරසිංහ,මාලිංග 2005 පිටුව 12) (ම.ව. 38-74 ගාථාව) මහානාග රජතුමා (ක‍්‍රි.ව. 573 – 608) මෙහි ඡත‍්‍ර රනින් කරවී ය. (ම.ව. 41 පරි 30 -33 ගාථා)

 

තෙවන දළමුගලන් රජු දාගැබ අභිනව වස්ත‍්‍රයන්ගෙන් වසා පූජාවක් කළ වග ද මහාවංසය කියයි. (42 පරි 43- 44 ගාථා) තුන්වන සේනරජතුමා (ක‍්‍රි.ව. 938 – 946) සතලිස් දහසක් (කහවණු )වැයකරවා අභයගිරි දාගැබ් මළුව ගල් අතුරා පිළිසකර කරවී ය. පළමුවන පරාක‍්‍රමබාහු රජතුමා (ක‍්‍රි.ව. 1153 – 1186) මේ දාගැබ සපුරාම ප‍්‍රතිසංස්කරණය කරවී ය. (ම.ව. 74 පරි. 12 ගාථාව)

 

අභයගිර ථූපයේ හත්ථිවේදිය ද තරමක් විශේෂත්වයක් ගනියි. ඊසාන දිග කොටසේ හත්ථිවේදියේ ඇත්හිස් අතර පරතරය මීටර් තුනක් බැගින් වෙයි. එහෙත් අතුරු ආයකය තුළ එම පරතරය මීටර් 1.5ක් තරම් අඩු ය. ප‍්‍රධාන සතර දිශාව විශේෂ කරනු පිණිස එසේ කරන්නට ඇත. මෙහි ඇත්රූප ක‍්‍රි.ව. 2වන සියවසට පෙර කළ බවට සාධකයක් වන්නේ එම ඇත් රූප ගරාවැටී තිබූ ආයකයට යටවී තිබීමයි.

 

අභයගිරියේ ආයක ඉදි කෙරෙන්නේ මළුතිස් හෙවත් කනිට්ඨතිස්ස රජ දවස ය. (ක‍්‍රි.ව. 164 – 192) ඒ බව සනාථ කෙරෙන ශිලා ලේඛනයක් ස්තූපයේ දකුණු ආයකය ඉදිරිපිට පිහිටුවා ඇත. ( 1.255 උපුටා දක්වන සං. පුරාණ 1999 අපේ‍්‍රල් ජුනි) දකුණු ආයකය අසල එස්.එම්. බරෝස් මහතා විසින් 19වන සියවසේ දී පමණ කළ කැණීමක දී ශිලා කරඬු කිහිපයක් (2) හමුවී ඇති අතර ඉන් එකක තිබූ ශිලා ලේඛනයකට අනුව එතැන මළුතිස් හෙවත් කණිටුතිස් රජුගේ මව හා බිසව විසින් ධාතුකරඬු තැම්පත් කොට ඇති බව සානථ වී ඇත.

 

අභයගිරි සෑමළුවේ හත්ථිප‍්‍රාකාරය ක‍්‍රි.ව. 432 - 433 කාලයේ රජපත් මිත්සෙන් රජු විසින් කරවූ බව මහාවංසය කියයි (38.11) අභයගිරි කෞතුකාගාරයේ තැම්පත් කර ඇති ශෛලමය ඇත්දත් දළ කිහිපය මේ රජු විසින් කරවූ හත්ථිප‍්‍රාකාරයේ කොටස් යැයි අනුමාන කෙරේ. (සං.පුරා 1999. අපේ‍්‍රල් -ජුනි)

 

අභයිගිරි ප‍්‍රතිසංස්කරණය කළ තවත් රජෙකු ගැන පූජාවලිය කියයි. (ඔහු ඉක්බිති කසුප් මහරජ තුන්නකාගෙයි සලපිළිමයට රන් සේසත් කරවා, බගිරි නකා මහා සැය බඳවා... පූජාවලිය 781 සිට ) ටී.ජී. කුලතුංග මහතා කියන්නේ මේ සිවුවන කාශ්‍යප රජු වියයුතු-බව යි. (සං. පුරා 1999 අපේ‍්‍රල්- ජුනි පි.25) සද්ධර්මරත්නාකරයට අනුව මේ රජු අභයගිර දාගැබ රියන් 140 ක් කොට බැඳවී ය. (රියන් 1 අඩි 1 1/2) එහි ධර්මධාතු නිදන් කළේ ද එම රජතුමා විසිනි.

 

තුන්වන සේන රජතුමා මළුවේ ගල් ඇතිරවිමට කහවණු හතලිස් දහසක් දුන් බව මහාවංසය කියයි. (ම.ව. 53 පරි 32 ,33 ගාථා) සලපතළ මළුවේ ශිලාලේඛන අනුව ඊට පෙර යුගයේ ද ශිලා පුවරු ආස්තරණයක් තිබූ බව සනාථ වෙයි. මෙම ශිලා පුවරු ආස්තරණය කොටස් තුනකින් යුතුව හඳුන්වා දෙන ටී.පී. කුලතුංග මහතා,

1. මීටර 1.2 ප‍්‍රමාණයෙන් යුක්තව දාගැබේ පේසාවට ආසන්නව අතුරා ඇති ගල්පුවරු පෙළ. මෙම පුවරු පෙළ යට තිබී වෘෂභ කාසි හා ලක්ෂ්මි කාසි හමු වී ඇත. ඊට අනුව මේ ආස්තරණය ක‍්‍රි.ව. දෙවන සියවසේ දී පමණ සකසන්නට ඇත.

 

2. පළමු පෙළ පිටතින් ඇති හුණුගල් කැබලි ඇතිරූ කොටස. මෙම හුණුගල් තරමක් කුඩා ය. පරණවිතාන මහතාට අනුව ක‍්‍රි.ව. 5 සියවස පමණ වන විට ලංකාවේ හුණුගල් භාවිතය අභාවයට යන නිසා මේ කොටස් ඊට පෙර කාලයේ නිමවූවකි.

 

3.දෙවන පෙළට පිටතින් ශිලා පුවරු ඇතිරූ කොටස. මෙය වැලි මළුවේ සීමාව තෙක් පැතිර ඇත. ශිලාලේඛන හමුවන්නේ මෙම පෙළෙනි. සමාජයේ විවිධ තරා තිරමේ පුද්ගලයින් විවිධ අපේක්ෂාවන් මුදුන් පමුණුවා ගැනීම උදෙසා ධන පරිත්‍යාගයන් කළ බව ඒ සෙල්ලිපිවලින් අවබෝධයට ගත හැක.

 

මහාවංශයේ 74 වන පරිච්ඡේදයෙන් කියැවෙන එක් කරුණක් වන්නේ මහා පරාක‍්‍රමබාහු රජු ද අභයගිරි දාගැබ ප‍්‍රතිසංස්කරණය කළ බවයි. මේ බව පුරාවිද්‍යාත්මකව ද සනාථ වී ඇත. ථූපයේ බටහිර ආයකය ඉදිරිපිට ගල්පුවරු පෙළ ගලවා කළ කැණිමක දී ඒ යට තිබූ නිදන් වස්තු අතර ශ‍්‍රී පරාක‍්‍රමබාහු ලෙස සඳහන් කෘතියක් ලැබීම එක් සාධකයකි. නැගෙනහිර ආයකයේ ඇඳ ඇති පොළොන්නරු සම්ප්‍රදායේ සිත්තම් අනෙක් සාධකයයි. නැගෙනහිර ආයකය සිත්තමින් සැරසීම පෙර සුන්බුන් එක්කොට ප‍්‍රතිසංස්කරණය කර ඇතිබව ද එය ඉතා හදිසියේ කළ ප‍්‍රතිසංස්කරණයක් බව ද මාහාචර්ය කුලතුංග මහතා කියයි. (සං.පුරා. 1999 අපේ‍්‍රල්-ජුනි 26 පිට)

 

පරාක‍්‍රමබාහු රජු මේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදුකරනා විට මෙම ථූප භූමිය ජරාවාසව එහි තිබූ තරම මහාවංසය පරීක්ෂා කිරීමෙන් ම පෙනී යයි. වගවලසුන් ද එහි සිටි බව මහාවංසය කියයි. අනුරපුර රාජධානිය අත්හැරී ගිය යුගයේ පටන් අභයගිරි විහාරවාසී භික්ෂුන් වහන්සේලා විහාරය අත්හැර එන්නට පටන් ගන්නට ඇතැයි අනුමාන කළ හැකි වන්නේ ඊට අනුව ය.

 

අභයගිරිය යළි නටඹුන් වන්නේ සිංහල රාජධානිය ක‍්‍රමය නිරිත දිගට සංක‍්‍රමණය වන්නට පටන්ගත් පසු විය යුතු ය. 1859 වසරේ එමර්සන් ටෙනන්ට් මහතා සිලෝන් නමැති කෘතියේ අභයගිරිය පිළිබඳව සඳහන් කරන්නේ ඒ දැකීමෙන් සිත තුළ ජනනය වූ විස්මය ද සමගිනි. ඔහු කියන්නේ මේ අනභිභවනීය ඉදිකිරීම් උදෙසා යොදාගත් ගඩොල් ප‍්‍රමාණය කෙතෙක් වී ද යත් එයින් එංගලන්තයේ කොවෙන්ටි‍්‍ර නගරය හෝ සැතපුම් 20 ක් දිග දුම්රිය උමගක් හෝ ඉදිකළ හැකි විය. තව ද ලන්ඩන් පටන් එඩින්බරෝ තෙක් අඩි දහසක් උසින් හා අඩියක් ගනකමින් යුතුව ප‍්‍රාකාරයක් ඉදිකළ හැකි බව යි. ඉදිරිපස පළල අඩි 20ක් තරම් වන නිවාස 8000 ක් (අටදහසක්) ඉදිකළ හැකි බවයි. නවීණතම යන්ත්‍රෝපකරණ යෙදා‍ගෙන මේ නිර්මාණය කිරීමට පෙදරේරුවන් 500 ක් ද වර්ෂ 6 ක් 7ක පමණ කාලයක් ද අවශ්‍ය වෙයි.

 

එපමණක් නොව ඒ සඳහා රන්පවුම් දසලක්ෂයක් ද අවශ්‍ය වෙයි. අභයගිරිය නිමවීමට ගඩොල් මිලියන 20ක් හෙවත් ගඩොල් කෝටි 2ක් පමණ වැය වන්නට ඇති බව ද ඔහු පවසයි. (ඔහු අභයගිරිය හඳුන්වා ඇත්තේ ජේතවනය යනුවෙනි) අභයගිරිය ලොවට අනාවරණය කිරීමේදී  මෑත කාලීනව සැපයූ උසස් වාර්තාවක් සේ සැලකෙන්නේ සිලෝන් කෘතියේ එන මෙම වාර්තාව සහ ජේ.ස්මිදර් මහතා ආකිටෙක්චරල් රිමේන්ස් ඉන් අනුරාධපුර නම් කෘතියට සැපයූ විස්තරයයි.

 

එම විස්තරයට පරිමාණනුකූලව අඳින ලද සැලසුම් සටහන් ද ඇතුළත් වී තිබීම වැදගත් ය. හෙන්රි ඩබ්.කේව් මහතා විසින් 1897 රචනා කළ රුයින්ඩ් සිටීස් ඔෆ් සිලොන් කෘතියේ අභයගිරියේ හතරැස් කොටුවේ ඇති ගරාදි වැටක ලක්ෂණ පිළිබඳව සඳහන් කරයි. දේවතාකොටුව ලෙස හඳුන්වන කොටසේ බහිරව රූප හෝ ගණ රූප තිබූ බැවින් පසුකාලීන පර්යේෂකයින් මේ කොටස බහිරව කොටුව ලෙස හැඳින්වුව ද එය සදොස් ය.

 

හතරැස් කොටුවේ දිග පළල අඩි 75

 

හතරස් කොටුවේ උස අඩි 33

 

හරතරැස් කොටුවේ හිරු සලකුණේ විෂ්කම්භය අඩි 6 අඟල් 6

 

හතරැස් කොටුවේ එක් එක් පැත්තෙහි ඇති කුලුනු ආකෘති සංඛ්‍යාව 12

 

එම කුලුනු ආකෘතියක පළල අඩි 2 අඟල් 3

 

හතරැස් කොටු‍වේ පැත්තක ඇති ගරාදි ආකෘති සංඛ්‍යාව 14

 

එක් එක් ගරාදියේ පළල අඩි 01 ගල් 3

 

කොත්කැරුල්ලේ පහළ කෙළවර විෂ්කම්භය අඩි 30

 

කොත්කැරැල්ලේ ශීර්ෂකාර කොටසේ උස අඩි 05

 

කොත්කැරැලි අතර පරතරය අඩි 2 අඟල් 6

 

කොත් කැරැල්ලේ උස අඩි 57 අඟල් 6

 

ආයකයේ පළල අඩි 45 අඟල් 6

 

ආයකයේ උස අඩි 16

 

ස්තූපයේ අනෙකුත් මිනුම් ස්මිදර් මහතාට අනුව ස්තූප ගර්භයේ විෂ්කම්භය මුදුන් පේසාව

 

මතුපිට සිට අඩි 310

 

පළමු පේසාවේ උස අඩි 6

 

සලපතළ මළුව් සිට ඉහළ පේසාව දක්වා උස අඩි 16

 

සලපතළ මළුවේ දිග අඩි 587ක් සහ පළල අඩි 587

 

අභයිගිරි ථූපයේ ප‍්‍රතිසංස්කරණ කටයුතුවලට එච්.සී.පී බෙල් මහතා සමග භාරතයේ ප‍්‍රසිද්ධ වැඩ දොපර්තමේන්තුවේ ඉංජිනේරු එෆ්. ඕ.ඕර්මල් මහතා ද එක්වී ඇත. ගර්භයේ වැවී ඇති ගස් ඉවත් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේ ද ඔහු ය. ගරාවැටෙමින් තිබූ කොත්කැරැල්ල,දේවතා කොටුව හා හතරැස් කොටුව ආරක්ෂා කර ගැනීමේ පරමාර්ථයෙන් බෙල් මහතා අපරිබාග සංරක්ෂණ කටයුතු කළේ ය. ඒ 1910 වර්ෂයේ දී පමණ ය.

 

ස්තූපයේ පහළ කැණීම්වලින් අඟල් 2 හා 2 1/2 ප‍්‍රමාණයේ උසින් යුතු හිස් පළිඟු කරඬු 12ක් ද විවිධ රජවරුන්ට අයත් කාසි ද තවත් පුරාවස්තු බොහොමයක් ද හමු වී ඇත. 1964 - 65 කාලයේ කළ කැණීම්වල දී හිස රහිත කුඩා හුණුගල් බුදුපිළිමයක් ද අඟල් 10ක තරමට හුණුගලින් කළ ගව රුවක් ද හමු වී ඇත.ථූපයේ වත්මන් උස අඩි 243කි. පදනමේ විෂ්කම්භය අඩි 310 කි. ෆාහියන් හිමිට අනුව එකල උස අඩි 400ක් වී ඇත.

 

මිරිසවැටිය දාගැබ

 

අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ අනුරාධපුර පූජා නගරයේ පිහිටා ඇත බෞද්ධ පූජ්‍යස්ථානයකි. තිසාවැව බසවක්කුලම රන්මසු උයන යනාදියට ආසන්නව පිහිටා ඇත. අටමස්ථානයනගෙන් එකකි. මෙය ක‍්‍රි.පු. 161දී දුටු ගැමුණු මහරජතුමා විසින් සිය රාජප‍්‍රාප්තියෙන් සත් දිනකට පසු කරවීමට යෙදුණේ යැයි වංසකථා වල සඳහන් වෙයි. මරිච්චවට්ටි යන නම පුරාතනයේ පටන් ම මෙයට යෙදුණු නාමයයි.

 

දුටුගැමුණු රජු කුඩා කාලයේ සිය පිය කාවන්තිස්ස රජුට වූ පොරොන්දුවක් කඩ කිරිමට තමාටම දුන් දඬුවමක් ලෙස මෙය ඉදිකළේ යැයි වංස කථාවල සඳහන් වෙයි. එම පොරොන්දුව නම් භික්ෂුන් වහන්සේලාට නොදි කිසිදු අහරක් නොවළදිම් යන්නයි. එහෙත් එක් අවස්ථාවෙක භික්ෂූන් වහන්සේලාට නොදී කිසිදු අහරක් නොවළඳිමි යන්නයි. එහෙත් එක් අවස්ථාවෙක භික්ෂූන් වහන්සේලාට නො පිළිගන්වා මිරිස් ව්‍යංඤ්ජනයක් වළඳා ඊට දඬුවම් ලෙස මේ ථූපය කරවී යැයි අදාළ වංසකතා සඳහන් කරයි. කෙසේ වෙතත් මෙහි සත්‍යාසත්‍යතාව පිරික්සීමට අපගේ උත්සාහයක් නැත.

 

මෙම චෛත්‍යයේ නිදන්කොට ඇත්තේ දුටුගැමුණු රජුගේ සධාතුක කුන්තායුධයයි. (කුන්තායුධය යනු හෙල්ලයක් බඳු අනින අවියකි. උල් දෙකක් හෝ තුනක් සහිත ය. (ද්විශූල හෝ ත‍්‍රිශූල) දුටුගැමුණු රජුගේ කුන්තා යුධය වනාහි ධාතූන් වහන්සේලා සහිත එකකි. එය යුධයට නොව තනතුරට අදාළ සංකේත අවියක් සේ රජු සන්තකයේ තිබෙන්නට ඇත) වෙනත් දාගැබ් සේ ම මිරිසවැටිය ද කලින් කලට ප‍්‍රතිසංස්කරණය කොට ඇත. එබැවින් මෙහි මුල් ස්වරූපය ද ප‍්‍රමාණය ද අද දක්නා නො ලැබේ. පළමුවන ගජබාහු රජතුමා (ක‍්‍රි.ව. 113 – 136) මිරිසවැටියට කංචුකයක් නිර්මාණය කළේ ය.


වෝහාරික තිස්ස රජතුමා ස්තූපයේ ඡත‍්‍ර අලුත්වැඩියා කර ප‍්‍රාකාරය ද ඉදිකරවී ය. ස්තූපය ද ඒ අවට විහාරයේ සියලු ගොඩනැගිලි ද පස්වන කාශ්‍යප රජතුමා (ක‍්‍රිව. 914 – 923) විසින් පිළිසකර කරවී ය. දාගැබ තවත් විශාල කර ඉදිකළේ මහා පරාක‍්‍රමබාහු රජතුමා විසිනි. (ක‍්‍රි.ව. 1153 – 1186) 1880 වර්ෂයේ තායි ජාතික කුමාරයෙකු මෙම දාගැබ ප‍්‍රතිසංස්කරණය කළයුතු යැයි එවක යටත් විජිත නිලධාරින්ට යෝජනා කළෝ 1900 වර්ෂයේ දී යුරෝපීය ශිල්පියෙක් දාගැබ ප‍්‍රතිසංස්කරණ සැලසුම් සැකසීය.

 

එහෙත් ඒ සැලසුම් පරිදි කටයුතු කළ නොහැකි විය. 1979 දී දාගැබේ ප‍්‍රතිසංස්කරණ කටයුතු ඇරඹුව ද යළි අසාර්ථක විණි. විනාශයක් ද සිදුවිණි. 1991 යළි ප‍්‍රතිසංස්කරණ කටයුතු ඇරඹූ අතර 1993 දී එම කටයුතු නිමවා කොත් පළඳවන ලදි. ඊට අනුව අභිනව මිරිසවැටි ස්තූපය අඩි 192ක් උස ය. විෂ්කම්භය අඩි 141කි. වැයවී ඇති ගඩොල් ප‍්‍රමාණය ලක්ෂ 12 ක් පමණ වෙතැයි ගණන්බලා තිබේ. හැඩයෙන් බුබ්බුලාකාර වන ථූපය වාහල්කඩ ඉදිකර තිබීම ද විශේෂත්වයකි. ප‍්‍රතිසංස්කරණවල දී දාගැබට වූ හානිය විශාල ය.

 

මිරිසවැටි දාගැබ සම්බන්ධව ප‍්‍රාථමික මූලාශ‍්‍රවල එන සටහන්

 

එවේලෙහි තෙරුන් වහන්සේගේ බස් අසා සතුටුව අස් වැසුණු රජ්ජුරුවෝ තෙරුන් වහන්සේ වැඳ යවා අවසර ඉල්ලා ගෙන නැවත සිරියහනෙහි සැතපී සංඝයා වහන්සේට දන් නො දී මම කිසි කලෙකත් බත් ආදි කිසිවක් අනුභව නොකළ විරිමි. මාගේ දෙමවුපියන් දෙදෙනා (මවුපිය දෙදෙන) මා බාල කල්හි ම අප දෙබෑයන් දන් නො දී කිසිවක් අනුව නොකරව’යි දිවුරුවු ය. සංඝයා වහන්සේට මා විසින් දන් නො දී කෑ දෙයක් ඇද්දෝය හෝ නැද්දෝ හෝ යි පරීක්ෂා කරන්නාහු සඳහන් නැතිව දන් නො දී කෑ මළ මිරිස් (මල මිරිස් වර්ගයක්)පැස්සක් දැක මා විසින් කළේ අපරාධයක. එසේ හෙයින් දඬුවම් කළ මැනැවැ යි සිතා රජ්ජුරුවෝ වොටුනු පලන් සතියක් ගිය කල මහත් වූ රාජානුභාවයෙන් යුක්තව සේනාව පිරිවර ආදිය කෙළිනා පිණිස ද නැවත රාජාභිෂේකයට පැමිණි රජ දරුවන්ගේ චාරිත‍්‍රය රක්ෂා කරනු පිණිස ද තිසා වැව නහන්ට ගියහ.

එකල කැටිව ගෙන ගිය රන්පළන් ද පිළිසම්බඩම් (රෙදි පොදිය) ආදී වූ සෙසු වස්තුව ද මිරිසවැටි විහාරය කරවන තැන තබා වැව දිය කෙළියට පටන් ගත් හ. එවේලෙහි රජ්ජුරුවන් හා කැටිව ගිය රාජ පුරුෂයෝ මිරිසවැටි දාගැබ බඳිනා ස්ථානයෙහි රජ්ජුරුවන්ගේ ධාතු සහිත ජයකොන්තය ඉඳුරා කෙළින් සිටවූ ය.

 

ගැමුණු රජ්ජුරුවෝ පුරඟනන් හා සමඟ දිවා භාගය මුළුල්ලෙහි දියකෙළ සවස් වේලෙහි නුවරට යම්හ’යි ධාතු පිහිටවූ රුවන් කොන්තය ඉදිරි කොට නික්මෙව’යි කීහ. එබස් ඇසූ රාජ පුරුෂයෝ ජය කොන්තය ගනුම්හයි ගොස් ඒ ගන්නා තබා තිබූ තැනින් සොලවාලිය නුහුණුවෝ ය. ඒ ආශ්චර්යය දැක රජ්ජුරුවන් ඇතුළු වූ සේනාව සුවඳින් මලින් ඒ ධාතූන් වහන්සේ සහිත ජය කොන්තයට පූජා කළහ.ඒ විහාරය කරවන රජ්ජුරුවෝ තුන් අවුරුද්දකින් කරවා නිමකරවූ හ.

 

ථූපවංසය- මිරිසවැටි විහාර කථාව

 

(තොරතුරු- අමිල කෝසල උඩවත්ත- ක/නාගොඩ මහා විද්‍යාලය)

Read 9998 times
Developed by
ICT Branch, Ministry of Education, Sri Lanka
Site Map | Disclaimer
Copyrights © 2012-2016 | ICT Branch, Ministry of Education, Sri Lanka