වැවක තාක්ෂණය

Written by

වැවක තාක්ෂණය

 

වැවක් යනු හුදෙක් බැමි කිහිපයකින් හා කඳු කිහිපයකින් වටවුණු ජලාශයක් නො වේ. වැව පෝෂණය කිරීම, ආරක්ෂා කිරීම හා පවත්වාගෙන යෑම සමග සෘජුව හා වක්‍රව සම්බන්ධ තාක්ෂණිකාංග ගණනාවක් ම ඒ සතු විය. මේවා ද කලින්කලට පැනනැගුණු අවශ්‍යතා හා ගැටළු නිසා නිර්මාණය වූ අංගයන් විනා ආරම්භයේ සිට ම වැවක තිබූ අංගයන් නො වේ. මුල් කාලයේ බැම්ම හරහා යෙදූ කැපුමකින් ජලය ලබාගන්නට ඇතත් පසුව එය පියවර ගණනාවකින් පසු සොරොව්වක් දක්වා විකාශය විය. බිසෝකොටුව ද එසේ ය. කලිඟු බැමි, ඉස්වැටි, වාන් ආදිය පිළිබඳව ද පැවසිය හැක්කේ මේ කරුණම ය. කෙසේ වුව ද පොළොන්නරු යුගයෙන් පසුව මේ කර්මාන්තයේ දියුණුවක් ඇති නොවූ නිසාත් එසේ දියුණු කිරීමේ සැබෑ අවශ්‍යතාවයක් වර්ෂ හාරසිය පනහක පමණ කාලයක් මෙරට පාලනය කළ විදේශිකයන් තුළ ද නො පැවති නිසාත් වාරි දැනුම අප වෙතින් ගිලහී ගොස් තිබේ. යටත් විජිත සමය නිම වන විට අපට වාරි තාක්ෂණ දැනුම සහිත පරපුර අහිමිව ගොසිනි. එසේ නොවිණි නම් මහවැලි සංවර්ධන ව්‍යාපාරය මෙන් දස ගුණයක් දැවැන්ත ව්‍යාපෘති මෙරටත්, පිට රටවලත් ක්‍රියාත්මක කරන්නේ ලාංකිකන් විසිනි. එහෙත් අවාසනාවකට මෙන් මෙරට පාලනය කළ විදේශිකයන් අතින් වැව මෙන් ම ඊට බැඳි සංස්කෘතියක් ගම්සභාව, රාජකාරී ක්‍රමය වැනි චිරාගත සංවිධාන හා ක්‍රමවේදයනුත් විනාශමුඛයට පත් විය. මේ කෘතිය රචනා කරන මා පවා මේ ලියන්නේ මළගිය වැව්සංස්කෘතිය පිළිබඳ මා සතු අල්පමාත්‍ර දැනුමෙන් මිස අත්දැකීම් තුළින් සන්නද්ධ දැනුමක් මත පිහිටා නො වේ.

 

එසේ වුව ද මේ පිළිබඳ දීර්ඝ පුළුල් විද්වත් කතිකාවක් ඇති විය යුතුය. මක් නිසා ද යත් මේ සමබර බව රැක ගැනීමේ දී පැරණි තාක්ෂණ ක්‍රමවේද ආදිය, නූතන තාක්ෂණ ක්‍රමවේද එල්ලා ඇති දණ්ඩේ අනෙක් පස රැඳවිය යුතු හෙයිනි. හෙළයා විසින් සියවස් ගණනාවක් තිස්සේ ලත් අත්දැකීම් මත ගොඩනැංවූ වාරි තාක්ෂණය මේ අයුරින් නිහඬ අවසානයකට පත් වීම ඛේදයකි. එය මානව පරිනාමයේ ස්වභාවය යැයි සලකන්නට තවත් බොහෝ කල් තිබේ.

 

වැවක ඒ ඒ අංග ස්ථාපනයේ දී, වැව පරිහරණයේ දී හා නඩත්තුවේ දී ඔහු විසින් අනුගමනය කළ ක්‍රියාමාර්ග තව දුරටත් ගවේෂණය කළ යුතු වේ. වැවක ආරක්ෂාවටත් පරිහරණයටත්, පැවැත්මටත් අදාළ වන තාක්ෂණිකාංග රැසක් වැව ආශ්‍රිතව ම පවතී. මේවා තනි වශයෙන් හෝ එකිනෙකට බද්ධව ඉහතින් කී අරමුණු ඉටුකර දෙයි. දැන් සලකා බැලෙන්නේ එකී තාක්ෂණිකාංග හා ඒවායේ ප්‍රයෝජන පිළිබඳව ය.

 

Read 3426 times
Developed by
ICT Branch, Ministry of Education, Sri Lanka
Site Map | Disclaimer
Copyrights © 2012-2016 | ICT Branch, Ministry of Education, Sri Lanka