වැවක් තැනීමේ අරමුණු

Written by

වැවක් තැනීමේ අරමුණු

 

ශ්‍රි ලංකාවේ ඊසානදිග ප්‍රදේශයේ වාර්ෂික වර්ෂාපතනය මීටර 1-2ත් අතර පවතින නිසාත් මේ ප්‍රදේශයේ රතු දුඹුරු පස්තට්ටුව මත ජලය රැඳීමේ සම්භාවිතාව අඩු නිසාත් වැව් ඉදිකිරීම අතිශය වැදගත් කාර්යයක් විය. එහෙත් වැවක් ඉදිකිරීමේ මුඛ්‍ය අරමුණ කලින්කලට සුලු වෙනස්කම්වලට බඳුන් ව ඇති බව සාහිත්‍යයික හා පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර විමර්ශනයේ දී පෙනී යයි. මුල් කාලයේ වැවක් තැනූයේ කෘෂිකාර්මික හා දෛනික ජල අවශ්‍යතා සපුරාගනු පිණිස ය. එහෙත් දුටුගැමුණු රජ පද්‍යෝත වැව කරවූයේ සිය සේනාවේ මානසිකත්වය ඉහළ නංවනු පිණිස ය. සෙබළුන් උදෙසා ජලක්‍රීඩකස්ථානයක් තැනීම, මේ වැව තැනීමේ අරමුණ විය. නිශ්ශංකමල්ල රජු ඔහුට පෙර රජදරුවන් කරවූ ඇතැම් වැව් පිළිසකර කරවා ඊට සිය නාමය යෙදවීමෙන් වැවක් ඉදිකිරීම තුළ දේශපාලන අරමුණක් ද පැවති බව පෙනෙයි. ඇතැම් රජදරුවෝ වැව් කරවා එම වැව් විහාරස්ථානයට පිදීම තුළ ආගමික අරමුණක සේයාවක් මතු ව පෙනෙයි. එහෙත් මේ සියලු අරමුණුවලට යටින් දිවගියේ ආර්ථික අරමුණ යි. මුඛ්‍ය වශයෙන් සාක්ෂාත් වූයේ ද එම අරමුණ යි. ලංකාවේ ජලාශ්‍රිත ශිෂ්ටාචාර යුගය වශයෙන් පිළිගැනෙන ආරම්භයේ සිට ක්‍රි.ව.12-13 සියවස් පමණ දක්වා කාලය තුළදී ත් ඉන් පසු අද දක්වා යුගය තුළදී ත් මේ වාරි පද්ධතිය භාවිතයෙන් ජනතාව අත්කරගත් ප්‍රගතිදායක තත්ත්වය විමසීමේ දී එකී මුඛ්‍ය අරමුණ ඉටු වී ඇති බව පෙනෙයි. වාරි පද්ධති නිසිලෙස නඩත්තු නොකරමින් ඒවා විනාශමුඛයට හැරදමා තිබූ යුගයේත් ලංකාවේ රාජධානි වැව් බැඳි ඉසව්වෙන් ඔබ්බට සංක්‍රමණය වූ යුගයේත් මෙරට ආර්ථිකය තුළ සිදු වූ බිඳවැටීම ද වැවක අරමුණ හෙළිකරන සාධකයකි. එසේම වැවේ වටිනාකම දක්වන මාපකයකි.

 

ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශගුණ කලාප දෙකෙන් එකක් මෙන් ම මුළු භූමියෙන් සියයට හැටකට වඩා වැඩි බිමක පැතිර පවතින්නා වූ වියළි කලාපය වැවට නිජ බිම වූයේ ඇයි? තෙත් කලාපයේ දී පහසුවෙන් ජලය සපයාගත හැකිව තිබියදීත් ලංකාවේ මුල් පදිංචිකරුවන් වියළි කලාපයේ පදිංචි වී එහි ම කෘෂි කටයුතු කළේ ඇයි? එකී ප්‍රශ්න වලට දිය හැකි පිළිතුර ද වැව් තැනීමේ අරමුණු හා ඥාතිත්වයක් දක්වයි. වී වගාවට වඩාත් උචිත සරු පස, දේශගුණය හා තැනිතලා බිම් වැනි සාධක නොඅඩුව ම පැවතියේ වියළි කලාපයේ ය. හිඟව පැවතියේ ජල සම්පත පමණි. තෙත් කලාපයේ නිරන්තරයෙන් සොදාපාළුවට ලක් වන, කඳ බෑවුම් බහුල භූමියත්, අධික වර්ෂාවත් යන බාධකයත් ජය ගැනීමට වඩා වියළි කලාපයේ ජල හිඟය නමැති අභියෝගට මුහුණ දීම පහසු යැයි ඔවුන් තීරණය කරන්නට ඇත. මුල් කාලීනව ජනගහණය අඩු වූ නිසා එකල වැව් තැනීමේ තදබල අවශ්‍යතාවක් නොවන්නට ද ඇත. ගංගා ජලය ප්‍රම්ණවත් වන්නට ඇත. එහෙත් ජනගහණය අධිකවන විට ගංගා ජලය පමණක් සිය කටයුතු සඳහා ප්‍රමාණවත් නොවන බව ඔවුන්ට වැටහෙන්නට ඇත. වැව් උපන්නේ ඒ අවබෝධයේ තිඹිරිගෙයිහි ය.

 

සාමාන්‍යයෙන් ලංකාවේ වියළි කලාපයේ වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 1270-1905 අතර වේ. මේ වර්ෂාව ලැබෙන්නේ ද වසරේ එක් කාලයක පමණි. එනම්, ඊසානදිග මෝසම සක්‍රියව පවතින නොවැම්බර්-පෙබරවාරි කාලයේ ය. එම වර්ෂාවෙන් දිය ලබන්නේ ද වියළි කලාපයෙන් එක් කොටසක් පමණි. මේ නිසා ලංකාවේ ගිනිකොණ හා වයඹ දිග කොටසේ ශුෂ්ක කලාපයක් නිර්මාණය වී ඇත. මෙ වැනි වාතාවරණයක් මධ්‍යයේ මෙරට මුල් වැසියන්ට තෝරා ගැනීමට විකල්ප දෙකක් තිබුණි.

 

තෙත් කලාපයට සංක්‍රමණය වීම

 

වියළි කලාපයේ ජලසම්පාදන ව්‍යාපාර ඇරඹීම.

 

මෙකල වැසියන්ගේ මුඛ්‍ය යැපුම් භෝගය වූ වී වගාවට උචිත ම සාධක පැවතියේ වියළි කලාපයේ වග ඉහතින් සාකච්ඡා කළෙමු. ඒ තත්ත්වය නිසා ඔවුන් තෝරා ගත්තේ දෙ වන විකල්පය යි. වැව ඉදි වන්නේ ද ඒ අනුව ය. එහෙත් මුල දී වැව යනු හුදෙක් ජල ගබඩාවක් ම පමණි. එහි දියුණු තාක්ෂණිකාංග පැවතියේ නැත. කලින් කලට මතු වූ ගැටළුසහගත තත්ත්වයන් මත වැව ක්‍රමයෙන් පරිනාමය විය. ඒ පිළිබඳ මේ කෘතියේ ඉදිරි පරිච්ඡේදයෙන් පුළුල්ව සාකච්ඡා කෙරෙනු ඇත.

 

 

තොරතුරු -අමිල කෝසල උඩවත්ත

Read 10052 times
Developed by
ICT Branch, Ministry of Education, Sri Lanka
Site Map | Disclaimer
Copyrights © 2012-2016 | ICT Branch, Ministry of Education, Sri Lanka