වැවේ ඉතිහාසය

Written by

 


වැවේ ඉතිහාසය

 

වැව වනාහි රජුන් තනන්නට පවා මුල් වූ නිර්මාණයකි. මේවා මුල්කාලීනව අතිශය කුඩා ජලගබඩා විශේෂයක් විය. බොහොමයක් පෞද්ගලික හිමිකාරත්වයට නතුව තිබූ ඒවා ය. වපිහමික හෙවත් පරුමුඛයන් වූයේ මේ වැව් හිමිකරුවන් විය යුතු ය. (සෙනෙවිරත්න, අනුරාධ 2001. පිටු 30-33) මේ වනාහී සාමාන්‍යයෙන් ජලය රඳනා තරමක් වගුරු සහිත භූමි ඒකකයක මධ්‍යයේ පස් ඉවත්කර ඒ පස් ම යොදා සකස් කළ බැම්මකින් වටවුණු කුඩා ජලගබඩාවක් යැයි අනුමාන කළහැක. දෛනික අවශ්‍යතා සඳහා ලබුකැට, කොළපත් කැට හා මැටිකළගෙඩි වැනි බඳුන් භාවිත කරමින් ජලය ලබාගන්නට ඇති අතර කෘෂි අවශ්‍යතාවල දී ජලය ලබාගන්නට ඇත්තේ වඩා නො උස් වූ බැම්ම හරහා තාවකාලික කැපුමක් යෙදීමෙන් විය හැකි ය. අවශ්‍ය ප්‍රමාණයට ජලය ලබාගත් පසු මේ කැපුම ලීදඬු, ඉපල් ආදිය ඒ අතරට පස් ද යොදා තාවකාලිකව වසා දමන්නට ඇත. මෙවන්, වැව් වල හිමිකරුවන් හෝ පාලකයන් වියහැකි යැයි අනුමාන කරන පරුමුඛයන් හෙවත් වව්හමිකයන් පිළිබඳ ක්‍රිස්තු පූර්ව යුගයේ ලියැවුණු පූර්ව බ්‍රාහ්මී ශිලාලේඛනවල නිතර හමු වේ. (S.Paranavithana 1979 Inscription of Ceylon vol I කෘතිය බලන්න.) මෙම ලිපි ලංකාවේ ආර්ය ජනපදකරණ සමයට සමකාලීන ඒවා ය. එහෙත් ලාංකිකයන් ජලසම්පාදනය පිළිබඳ දැනගත්තේ ආර්යයන්ගෙන් ම නොවේ. ආර්ය සංක්‍රමණ සිදුවන්නට වර්ෂ දොළොස්දහසකට පමණ පෙරත් ලාංකිකයන් කෘෂි කටයුතු සිදුකර ඇති බව හෝර්ටන්තැන්න ආශ්‍රිතව කර ඇති පර්යේෂණවලින් හෙළිවී ඇත. මේ නිසා ජල සම්පාදනය පිළිබඳ මූලික දැනුම ආර්ය සංක්‍රමණවලටත් පෙර ලාංකිකයන් සතුව පැවතිය යුතු බව පිළිගත යුතු ය. අනෙක් කරුණ නම් ආර්යයන්ගේ මුල් බිම් වල හෝ භාරතයට පැමිණ පදිංචි වූ භූමි වල මෙවන් වාරි ව්‍යාපාරයක් දක්නට නොලැබේ. එයින් පෙනෙන්නේ ද මේ වාරි සංස්කෘතිය ආර්ය සංක්‍රමණ නිසා වැඩි වර්ධනය වූවා විනා ආර්යයන් විසින් රැගෙනවිත් රෝපණය කළ එකක් නොවන බව ය. එහෙත් මේ පිළිබඳව වෙනස් මතයක් ඉදිරිපත් කරන ආර්.ඒ.එල්.එච්. ගුණවර්ධන මහතා පවසන්නේ ඉන්දියාවේ සිට ලංකාවට සංක්‍රමණය වූ මෙගලිතික ජනයා ලෝහ තාක්ෂණය, වී වගා දැනුම සමග ම කුඩා ජලාශ ඉදි කිරීම පිළිබඳ ප්‍රාථමික දැනුම ද මෙරටට රැගෙන එන්නට ඇති බව යි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගුරුගල්හින්න හා කිරිමැටියාහින්න වැනි ස්ථාන වල කරන ලද කැණීම් වල දී සුළු පරිමාණ වාරි කර්මාන්ත පිළිබඳ ලැබුණු සාධක මත ඔහු මේ තර්කය ගොඩනගා ඇත.(සෙනවිරත්න, අනුරාධ.2009, පිටුව 99)1


 

1.එහෙත් වපිහමික හෙවත් පරුමක යනු වැව් ප්‍රපතනයක හෙවත් එල්ලංගාවක පාලකයා ය යන මතය දැන් වඩාත් ප්‍රබලව මතුවි ඇත. මුල් කාලීනව අරමුණු කිහිපයක් මත ඇළමාර්ග මගින් කුඩා වැව් ගණනාවක් එකට සම්බන්ධ කළ අතර ඒ වැව් පද්ධතිය එල්ලංගාව නම් විය.

 

 


 

කෙසේ වුව ද කාලය ගතවීමත් සමග ජනගහනය වර්ධනය වීමත් සමග කුඩා පවුල් දරුමුණුබුරන් හා විස්තාරණය වීමත් සමග මේ කුඩා ජලගබඩාව ප්‍රමාණවත් නො වීය. බැමි හරහා කැපුම් ආදිය යොදමින් භාවිතය වැඩිවූයෙන් ඉක්මණින් අබලන් වන තත්ත්වයට ද පත්විය. තව ද ගමේ ආහාර අවශ්‍යතාව වැඩි වූයෙන් වැඩි කෘෂිබිම් ප්‍රමාණයක් වගා කරන්නට ද ඒ සඳහා ජලය සපයා ගන්නට ද සිදු විය. මේ සියල්ල ගැටලු බවට පත්වී නැගී සිටියදී පරුමුඛයා ඊට පිළියම් සොයාගන්නට උත්සුක වූ අතර ප්‍රශ්නවලට පිළිතුරු සෙවූ ඔහුට නායක්තවයේ ප්‍රතිරූපය ද ආරූඪ විය. වැව විසින් රජ බිහිකළේ එලෙසිනි. ලංකාවේ වියළි කලාපයෙන් අනුරාධපුරය මුල්කරගෙන වැව් විශාල ප්‍රමාණයක් බිහිවූයේ ද ඉහතින් කී ජනගහන ගැටලුව හේතුවෙනි. අනුරාධපුරය කේන්ද්‍රකර ගනිමින් රටේ සංවර්ධන කාර්යය සිදුවන විට සෙසු ප්‍ර‍දේශවල ජනතාවගේ අවධානය ද අගනුවර කෙරේ යොමු විය. මේ නිසා වර්තමානයේ කොළඔ නගරය කේන්ද්‍රකර ගනිමින් සිදුවන ආකාරයට ම අනුරාධපුර අගනුවර ද ජනඝනත්වය වැඩි විය. මේ තත්ත්වය නිසා ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීමත් මේ උදෙසා අවශ්‍ය යටිතල පහසුකම් වර්ධනය කිරීමටත් සිදුවිය. කුඩාවැව් ප්‍රමාණවත් නො වූයෙන් එහි ඉවුරු පුළුල්කර විශාල කළ අතර විශාල වැව පිරවීම සඳහා යාබද ඇළ මාර්ගයක සිට කණින ලද මගකින් (කාණු මගින්) ජලය සපයාගනු ලැබිණි. එහෙත් ඒ සමග තවත් ගැටලුවක් පැන නැගුණු අතර ඇළමග ඔස්සේ ආ ජලය සමග රොන් මඩ ද වැව ඇතුළුවිය. කෙටිකාලයක් තුළ දී වැවේ ගැඹුර අඩුවී ජල ධාරිතාවය ද අඩු විය. මේ නිසා රොන්මඩ වැළැක්වීමට අවශ්‍ය විය. ඒ සඳහා ඇතුළුවානක් නිර්මාණය විය. ඇතුළුවාන වනාහි හුදෙක් වැවට ජලය ඇතුළු කරන මාර්ගය පමණක් නො වේ. රොන්මඩ ඇතුළවීම වළක්වන මාර්ගයක් ද වන්නේ ය. වැව ආශ්‍රිතව පැනනැගුණු ප්‍රශ්න ඉන් නතරවූයේ නැත. වර්ෂා කාලවල අවට භූමිය සේදී වැවට මඩ එක්වීම ද ඇළමග ඔස්සේ විශාල ජල කඳක් ගලා ඒම නිසා බැමි කැඩීයාම ද සිදුවිය. මේ යුගය වනවිට (දළ වශයෙන් ක්‍රි.ව.1 සියවස) ගම්වැව් විශාලවී තිබූ නිසා නඩත්තු කටයුතු ක්‍රමවත් ව කළයුතුව තිබුණි. නිරන්තරයෙන් වැව්බැමි කපා ජලය ලබාගැනීම ගැටලුවක් වී තිබූ නිසා මේ වනවිට සොරොව්ව නිර්මාණය වී තිබුණි. එහෙත් නොනිමි ප්‍රශ්න නිසා වැව තවදුරටත් සංවර්ධනය විය යුතු බව හැඟි ගියෙන් පැරණි ලංකාවේ ගැමි වාරි ඉංජිනේරුවෝ කලින් කලට නොයෙකුත් අංග ඊට එක් කළ හ. ඊට අනුව,

 

• ඉස්වැටි හෙවත් පෝටාවැටි සකසන ලදී. වැව අවට උස්භූමි ඛාදනයට ලක්වු ද එම පස්තට්ටු වැවට එක්වීම වැළැක්වීම ඉස්වැටි ඉදිකිරීමේ ප්‍රධාන අරමුණ යි. බෑවුම් භූමියේ පස් හා ගල් මිශ්‍රිත වැටි යෙදීමෙන් එය නිර්මාණය කරන ලදී. වැටිය සඳහා පස් ගැනීමේදී වැටියට ඉහළ පැත්තේ නිරායාසයෙන් ම වාගේ නොගැඹුරු කාණුවක් ද නිර්මාණය විය. වැසිදිය බෑවුම ඔස්සේ වැවට ඇතුළු නොවී කාණුව ඔස්සේ පිටමං කරන ලදී. එමන් ම එම කාණුව සහිත පැත්තේ දියසීරාව පැවති නිසා ඒ ආශ්‍රිතව හොඳින් ශාක වර්ධනය විය. ඒ ශාක නිසා පෝටා වැටිය හෙවත් ඉස්වැටිය තව තවත් ශක්තිමත් වූ අතර අධික ජලපතනයක දී පෙරණයක් සේ ද ක්‍රියාත්මක විය.

 

• පිටවානක් නිර්මාණය කරනලදී. අධික වර්ෂා කාලවල වැවට එකතුවන වැඩි ජලය මේ මගින් ඉවත්කරන ලදී. වැවේ අතිරේක බැම්මක ස්ථානයක් තරමක් පහත් කිරීමෙන් මෙය නිර්මාණය කරන ලදී. පසු කාලයේ මෙය ප්‍රධාන බැම්ම දෙපස නිර්මාණය කරන ලදී. ජලය එයින් උතුරා යාම වාන් දැමීම ලෙස හැඳින්වේ. පිටවාන මිටි, පුළුල්, ශක්තිමත් බැම්මකි. එහි ශක්තිය පිළිබඳ පැරන්නන් වඩාත් සැලකිළිමත් වූයේ අධික වර්ෂා කාල වල මේ මතින් අධික ජලකඳක් ගලා යන නිසාවෙනි. එමෙන් ම අධික වර්ෂා සමයක අධික ජලකඳට ඔරොත්තු දීමට නොහැකිව පිටවාන් බැම්ම බිඳී ගියහොත් වැව හිස්ව යන බැවිනි. එමතු නොව ඒ මහා ජලකඳ නිසා ගම්මාන හා වගා බිම් විනාශ විය හැකි හෙයිනි. අධික වර්ෂා කාලයට පසු මාස නවයක පමණ නියං තත්ත්වයක් රජරට හා වියළි කලාපයේ සෙසු කොටස් වලට බලපාන බැවිනි.

 

• බිසෝ කොටුවක් නිර්මාණය කරන ලදී.

දිය බැස්සවූ කොටුව බැසවුම් කොටුව බැසවූ කොටුව පසුව බිසෝකොටුව බවට පත්විය. මේ පිළිබඳ තවත් මතයක් වෙයි. ‘අභිස්සෝන කොට්ඨක’ යන පාලි මූලයක් සහිත වදනින් බිසෝ කොටුව යන්න බිඳී ආ බව යි. එහි අර්ථය නම් දිය ගලා යන කොටුව හෝ ගබඩාව යන්න යි. මෙහි අර්ථයක් බිසෝ කොටුවේ කාර්යයත් අතර යම් පරතරයක් ඇතැයි සිතේ. වදනරුත කෙසේ වුව ද බිසෝකොටුව යනු සොරොව්ව දක්වා යන ජලයේ පීඩනය අඩුකොට වැව්බැම්මත් සොරොව්වත් ආරක්ෂා කළ අංගයකි. මේ පිළිබඳව වෙනම ම විස්තරයක් ඇතුළත් කෙරේ.

 

• රළපනාවක් සකස්කරන ලදී. ඇතැම් තැනෙක මෙය සළපනාව හෙවත් ගල්වැටිය ලෙස ද හදුන්වා ඇත. වැවේ දියරැලිවලින් වැව්බැම්ම සේදී යාම වැළැක්වීම එහි අරමුණ යි.

 

• කළිඟුබැමි යොදන ලදී. කළිඟු බැම්ම වැවේ දිය පිරි අවස්ථාවල නො පෙනෙන තරම් ය. සෑම වැවක ම දැකීමට ද නො හැකිය. එය ඉදි කළේ, යම් අවස්ථාවක වැව් බැම්ම හෝ පිටවානේ බැම්ම කැඩී ගියහොත් වැව්ජලය යම් ප්‍රමාණයක් හෝ රැකගැනීමේ අටියෙනි.

 

• මඩසොරොව්ව සකසන ලදී. වැවේ සාමාන්‍ය දියසොරොව්ව ඔස්සේ ජලය ලබාගැනීමට නොහැකි තරමට ජල මට්ටම අඩු වූ විට ඊට පහළින් ඇති මඩ සොරොව්ව ඔස්සේ ජලය ලබාගැනුණි. ඇතුළුවාන හා පෝටාවැටි ආදිය යොදා කෙතරම් බාධක ඇති කළ ද ජලය සමග ඉතා ස්වල්පයක් හෝ රොන්මඩ වැවට එක්වීම සපුරාම නතර කළ නො හැකි ය. මේ නිසා දීර්ඝ කාල පරිච්ඡේදයකට වරක් වැව් පතුල පිරිසිදු කරන්නට සිදු වේ. දිගු නියඟයකට පසු වර්ෂාව ආසන්නව තිබියදී අලි ඇතුන් වැවට පැමිණි අවස්ථාවක ගම්මු එක්ව මේ සතුන් කලබල කරවා වැව්පතුල කලතන අතර පසුව එක්වර ම මඩසොරොව්ව විවෘත කරනු ලැබේ. එවිට මඩ හා මුසු ජලය වැවෙන් පිටවී යයි. මේ උදෙසා ද මඩසොරොව්ව වැදගත් විය.වැව් පතුලේ මඩ කැලතීමට මී ගවයන් ද යොදා ගත් බව රජරට වාරි ඉතිහාසය පිළිබඳ දත් ගැමියෝ මා හා පවසා ඇත.

 

මේ ආකාරයට විවිධ තාක්ෂණික අංග එක්වී ක්‍රි.ව.12වන ශත වර්ෂය පමණ වනවිට වැව ඉතා උසස් ඵලදායී නිර්මාණයක් බවට පත් විය. කෘෂිකර්මය සමග පමණක් නොව ලාංකේය සංස්කෘතියට ඥාතීත්වයක් දැකවූ වැව ලාංකේය ජනසමාජයට උදක සත්කාරය කරමින් මියෙන්නට පණ අදිමින් හෝ අද දක්වාත් නො නැසී පැවතීම භාග්‍යයකි.

 

තොරතුරු - අමිල කෝසල උඩවත්ත

Read 13323 times
Developed by
ICT Branch, Ministry of Education, Sri Lanka
Site Map | Disclaimer
Copyrights © 2012-2016 | ICT Branch, Ministry of Education, Sri Lanka