ඒබ්‍රහම් ලින්කන්ගෙන් මුල් ගුරුතුමා වෙතට යි.

Written by

ඒබ්‍රහම් ලින්කන්ගෙන් මුල් ගුරුතුමා වෙතට යි.

 

linken 

 

ඇමෙරිකා එක්සත් ජනපදයේ සොළොස්වැනි ජනාධිපතිවරයා වූ ඒබ්‍රහම් ලින්කන් ලෝකයේ ශ්‍රේෂ්ඨතම රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වශයෙන් ලෝක පූජිතය. ඔහුගේ විශිෂ්ටතම ලේඛන කෞශල්‍යය රාජ්‍ය පාලනය පිළිබඳ විචක්ෂණ ඥානය සුප්‍රසිද්ධය. ඔහු ජීවත් වූ ආකාරයත් මරණයට පත් ආකාරයත් නිසා ඔහුගේ ඉතිහාසයේ සුවිශේෂ ස්ථානයක් හිමි වී ඇත.

 

කිසිවෙකුටත් ද්වේශ නොකළ හැමටම කාරුණික වූ ඒබ්‍රහම් ලින්කන් ඔහුගේ පුත්‍රයා ඉගෙනීම කළ පාසලේ මුල් ගුරුවරයාට ලියූ ලිපියක් මෙහි දැක්වේ.

 

මුල් ගුරුතුමා වෙතට යි.

 

“මුල් ගුරුතුමනි, මාගේ පුතාට කියා දෙන්න හැම මනුෂ්‍යකුම සත්‍යවාදී සහ සර්ව සාධාරණ නොවන බව. මේක මගේ පුතාට කරුණාකර උගන්වන්න. නමුත්, කියා දෙන්න මගේ පුතාට හැම තක්කඩියෙකු දුර්ජනයෙකු පාසාම ගුණ යහපත් වීරවරයෙකුත් මේ ලෝකයේ සිටින බව. ඒ කියන්නේ හැම දෙනාම තක්කඩියන් නොවේ. තක්කඩියන් වාගේම යහපත් උදවියත් සිටිනා බව මගේ පුතාට උගන්වන්න. සෑම ආත්මාර්තකාමී දේශපාලඥයෙකු වෙනුවටම රටේ සුබ සිද්ධියට කැපවුණු යහපත් දේශපාලඥයකුත් ඉන්නා බව මගේ පුතාට ඒත්තු ගන්වන්න.

 

සෑම සතුරෙකු පාසාම මිතුරකුත් සිටිනා බව මගේ පුතාට කියා දෙන්න. ඒ වගේම කියා දෙන්න නොමිලයේ කාගෙන් හරි කොහෙන් හරි ලැබෙන ඩොලර් පහට වැඩිය තමාගේ දහඩිය මහන්සියෙන් උපයන ඩොලර් වටිනාකමින් වැඩි බව. ඒ බව ඔහුට ඒත්තු ගැන්වීමට කලක් ගතවන්න පුළුවන් බව මා දන්නවා. නමුත් එම සත්‍යය ඔහුට උගන්වන්න. ඇතැම් උදවිය ඊර්ෂ්‍යාකාරීව ඔහු යටපත් කරන්නට ඇත. එසේ කරන්නට ක්‍රියා කරන විට ඒවා ගැන කලකිරෙන්නේ නැතිව සන්සුන්ව සිටිමින් සිත යටින් සිනාසෙන්නට හැකි ශක්තියේ රහස ඔහුට උගන්වන්න. තමන්ගේ හයිය හත්තිය පෙන්වා මිනිසුන් බිය ගන්වන්නට එන අය පරාජය කිරීමට පහසුම අය බව ඔහුට අවබෝධ කරවන්න. මුල් ගුරුතුමනි, ඔබට හැකි නම් ඔහුට පොත පතේ ඇති චමත්කාරය පෙන්වා දෙන්න. එපමණක් නොවෙයි අහසේ සැරි සරන කුරුල්ලන්, හිරු රැසේ පියාඹන මී මැස්සන්, නිල්වන් කඳු බෑවුමක පිපී වැනෙන වන මල් කියාපාන සදාතනික රහස ගැන ඔහුට නිවී සැනසිල්ලේ සිතන්නට ඉඩ හරින්න.

 

වංචා කිරීමට වඩා, හොර මැරකම් කිරීමට වඩා පරාජයට මුහුණදීම ගෞරවාන්විත බවත්, අනිකුත් අය කුමක් කීවත් තමන්ගේ අවංක අදහස් ගැන විශ්වාසය තබා ක්‍රියා කිරීම ඉතා වටිනා බවත්, මුල් ගුරුතුමනි ඔහුට වටහා දෙන්න. ඒ වාගේම මුල් ගුරුතුමනි, මගේ පුතා පුරුදු පුහුණු කරන්න, මෘදු මොළොක් මිනිසුන්ට මෘදු ලෙස සලකන්නටත්, රළු මිනිසුන්ට රළු ලෙස සලකන්නටත් තමන් වටේ සිටින උදවිය කරන දෙය අන්ධානුකරණයෙන් පිළි නොගෙන තමාගේ බුද්ධිය මෙහෙයවා යුතුකම් අයුතුකම් තේරුම් ගෙන ක්‍රියා කිරීමේ ශක්තිය ඔහුට ලබා දෙන්න. සෑම කෙනෙකුටම සවන් දීමට ඔහුට උගන්වන්න. එහෙත් ඔහු අසන දෙය සත්‍යය අනුව කිරා මැන බලා හොඳ දෙය පමණක් ගන්නට ඔහුට හැකියාව ලබා දෙන්න.

 

කුමන දුකකට පත් වුවත් එයින් පරිපීඩිත නොවී සිනාසෙන්නටත්, ඔහුට උගන්වන්න. කඳුළු සැලීම ලැජ්ජාවට කරුණක් නොවන බවත් ඔහුට කියා දෙන්න. හැම දේකම වැරදි සොයන්නත්, ගණන් නොගැනීමටත්, මිහිරි චාටු බස් දොඩන්නන් ගැන පරිස්සම් වන්නටත්, ඔහුට කියා දෙන්න. තමන්ගේ ගතේ, සිතේ ශක්තිය වැඩිම මිලට ඉල්ලන්නට විකුණූවත් තමන්ගෙ හදවත සඳහා කිසි විටෙකත් මිලක් නොඉල්ලන්නටත් ඔහුට උගන්වන්න. බොරු ඝෝෂාවල් කරන සෙනඟ මධ්‍යයෙහි කන් පියාගෙන ඉන්නට ඔහුට ධෛර්යය දෙන්න. තමන් සත්‍යය යැයි පිළිගන්නා දේ වෙනුවෙන් ධෛර්යමත්ව සටන් කරන්නට ඔහුට උගන්වන්න. මුල් ගුරුතුමනි, ඔහුට මෘදු ලෙස සලකන්න. නමුත් ඔහු හුරතල් කරන්න එපා. වානේ හොඳින් තැනිය හැක්කේ ගින්නෙන් රත් වූ විට බව ඔහුට පැහැදිලි කරන්න. ඒ නිසා ජීවිත ගමනේ දී තමාට වඩා හැඩි දැඩි රස්නයක් දැනුණොත් එයින් තේරුම් ගන්න සලස්වන්න. ඔහු කාටවත් යටත් කරන්න බැරි මිනිසෙකු හැටියට දියුණු වීමට ඒ අත්දැකීම ප්‍රයෝජනවත් වන බව, ධෛර්යමත්ව දරාගත යුතු නිර්භීතකමට අවශ්‍ය ඉවසීම ඔහුට තිබිය යුතුය. හැම විටම තමා ගැන උදාර, උසස් විශ්වාසය ඇති කර ගන්න ඔහුට උගන්වන්න. මුළු මහත් වර්ගයා ගැනම එබඳු විශ්වාසයක් ඇති කර ගන්න පුළුවන් වන්නේ එහෙම කළොත් පමණයි. ඔහුට මෙම අධ්‍යාපනය දීම බැරෑරුම් කාර්යයක් බව මා දන්නවා. ඒ නිසා මුල් ගුරුතුමනි, ඔබට හැකි සෑම දෙයක් ම මගේ දරුවා වෙනුවෙන් මේ ආකාරයට කරන්න. මගේ දරුවා ඒ අයුරින් පන්නරය ලබන බව මට විශ්වාසයි”.

 

ඒබ්‍රහම් ලින්කන්

 

මූලාශු- පොතපත ඇසුරින් උපුටාගත් ලිපියකි.

Read 11237 times
Developed by
ICT Branch, Ministry of Education, Sri Lanka
Site Map | Disclaimer
Copyrights © 2012-2016 | ICT Branch, Ministry of Education, Sri Lanka