Print this page

ජලය ගැන ඔබේ දැනුමට .........

Written by

water1        water

 

මිනිස් සිරුරේ වැඩිපුරම අඩංගුවන්නේ ජලයයි.

 

වැඩිහිටි පිරිමියකුගේ සිරුරේ බරින් 60% ක් ද

වැඩිහිටි ගැහැණියකගේ සිරුරේ බරින් 55% ක් ද ජලය අඩංගු වේ. (ගැහැණු සිරුරේ මේදය වැඩිපුර අඩංගු වන නිසා ජල ප්‍රමාණය අඩු වේ)

 

ජලය යනු ජීවයේ උල්පතයි. ජීවය පැවතීමට ජලය අත්‍යවශ්‍ය සාධකයකි. ජලය නොමැති තැන ජීවයද නැත.ජලය ජීවය පවත්වාගෙන යාමට අවශ්‍ය ගතිගුණ සියල්ලකින් ම සපිරි රසායනික ද්‍රව්‍යයකි.

 

ජීවයේ වර්ධනය සඳහා අවශ්‍ය පෝෂක ද්‍රව්‍ය ද්‍රාවණයකර අවශෝෂණය කරගැනීමටත් ,

 

ජීවයේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය රසායන ද්‍රව්‍ය ප්‍රවාහනයටත් ,

 

අපද්‍රව්‍ය බැහැර කිරීමට වැනි ජීව ක්‍රියා සඳහාත් ජලය මෙන් සුදුසු වෙනත් මාධ්‍යයක් තාක්ෂණයේ පොහොසත් ලෝකයේ විද්‍යාඥයින්ට තවම හමුවී නොමැත.

 

පෘථිවියේ ජීවය බිහිවීමට උපකාරී වූයේ ද ජලය සතු තවත් විස්මිත ගුණාංගයක් නිසා ය. මේ විස්මිත ගුණාංගය නම් ශීතල වී ඝනීභවනය වුණු අවස්ථාව ද්‍රව අවස්ථාවට වඩා ඝනත්වයෙන් අඩු එකම රසායනික ද්‍රව්‍යය ජලය වීම යි. මෙම විස්මිත ගුණය නො වන්නට මිහිතලය මත ජීවය රැඳී නොපවතින්නට ඉඩ තිබුණි ‍.

 

පෘථිවිය මත ජීවය බිහිවූයේ සාගර තුළ බව විශ්වාස කරයි . මෙසේ ජලය තුළ බිහිවුණු ශාක මෙන්ම ජීවීන් ද ක්‍රමයෙන් ගොඩබිම ජීවිතයට හුරුවූහ. ජීවය සාගර තුළ ආරම්භ වී එය ගොඩබිම කරා පැතිරෙන්නට වසර බිලියන ගණනක් ගතවිය. වසර ලක්ෂයකට පමණ වරක් පෘථිවිය අයිස් යුගයක ගිලෙන බව දැනට විද්‍යාඥයින් විශ්වාස කරයි . අවසාන අයිස් යුගය අවසන් වූයේ මීට වසර 10,000කට පමණ පෙර ය. මෙසේ පෘථිවිය අයිස් යුග ගණනාවක් පසුකරන්නට ඇත.

 

ජලයේ සුවිශේෂී ගුණය වන ඝනීභවනය වුණු ජලය (අයිස් ) ද්‍රව ජලයට වඩා සැහැල්ලු (ඝණත්වයෙන් අඩු ) වීමේ ගුණය නිසා අයිස් ජලය මත පාවේ. මේ නිසා අධික ශීතලක් පැවතිය ද මුහුදුජලය සම්පූර්ණයෙන් මිදී නො යයි. මේ හේතුව නිසා සදාකාලිකව හිමෙන් වැසී ඇති උත්තරධ්‍රැවයේ පවා ඝන අයිස් තට්ටුවට යටින් නො මිදුණු සාගර ජලය ඇති අතර ජලජ ජීවීහු එම ශීත ජලයට හොඳින් අනුවර්තනය වී සිටිති.

 

අයිස්, ජලයට වඩා ඝනත්වයෙන් වැඩිවූවා නම් ඝනීභවනය වුණු ජලය (අයිස් ) මුහුදු පතුළට කිඳා බසින අතර ජලයේ උඩ පෘෂ්ටය නැවත අයිස් වෙයි. මේ අයුරින් නිරන්තරයෙන් අයිස් කිඳා බැසීම හා නොමිදුණු ජලය වායුගෝලයට නිරාවරණය වීම නිසා මුළු සාගරය ම පතුලේ සිට මතුපිටට ම අයිස් බවට පත්වී මිදී යයි. එසේ වූවානම් පෘථිවියේ ජීවය ගොඩබිම ජයගන්නටත් පෙර විනාශ වී යන්නට ඉඩ තිබුණි.

 

පෘථිවියේ ජල ව්‍යාප්තිය

 

• සාගර ජලය (සාගර හා මුහුදුවල)

 

• භූතල ජලය (surface water) (භූමිය මතුපිට,ගංගා, ඇළදොළ, විල් සහ ජලාශවල)

 

• භූගත ජලය (Ground water) (භූමිය තුළ අන්තර්ගත)

 

• වායුගෝලීය ජලය (Atmospheric water) (වායුගෝලීය ආර්ද්‍රතාව)

 

• පාංශු ජලය (Soil water) (පස තුළ අන්තර්ගත)

 

ලොව සම්පූර්ණ භූමි ප්‍රමාණයෙන් 71% ජලයෙන් වැසී ඇත.

 

සාගර ජලය 97.5% (කරදිය)

 

ගොඩබිම ජලය 2.5% (මිරිදිය)

 

 

 

 

ගොඩබිම ජලය

 

අයිස් තට්ටු හා ග්ලැසියර් 79%

 

භූගත ජලය 20%

 

ප්‍රයෝජනයට ගත හැකි මතුපිට ජලය 01%

 

ප්‍රයෝජනයට ගත හැකි මතුපිට ජලය(මිරිදිය)

 

විල් හා වැව්ජලය 52%

 

ගංගා ජලය 1%

 

පෘථිවියේ වසන සියලු ම ජීවීන්ගේ සිරුරුවල හා ශාකවල අඩංගු ජලය 01%

 

ජලවාෂ්ප 08%

 

පාංශු ජලය 38%

 

 

සමස්ත ගෝලීය ජල ප්‍රමාණයෙන් මිනිසාට ගත හැකි මතු පිට මිරිදිය ජලය ලෙස පවතින්නේ 1% පමනි.

 

අන්තර්ජාලය හා පොත පත ඇසුරින් සකස් කිරීම -ජේ.එම්.සී.කේ.තෙන්නකෝන්

Read 16077 times