සියැටල් ඇසින් පරිසරය දකිමු

Written by

                                siatle2     siatle             

දිය දහරේ සහ ගංඟාවල ගලා බසිනා දිලිසෙන වතුර නිකම්ම වතුර නොවෙයි. ඒ අපගේ මුතුන් මිත්තන්ගේ ජීව රුධිරයයි.....

 

සතුන් ගස්වැල් සහ මිනිසා යන සියළු දෙනාම ආස්වාස කරන්නේත්. බෙදා හදා ගන්නේත්, එකම වාතයයි.....

 

‘මිනිසා මේ මහ පොළවේ කොටසක් වනවා මිස, මහ පොළව මිනිසාට අයති වස්තුවක් නොවන්නේය.’

 

මිනිසාගේ මතකය වළාවක සෙවනැල්ලක් පමණක් වූ කළ එම සෙවනැලි සහ වනාන්තරය ජනතාවගේ ආත්මය දරා සිටිනු ඇත. ඒ අළුත උපන් බිළිඳකු සිය මවගේ හද ගැස්මට ආදරය කළාක් මෙන් මේ මහ පොළවට ඔවුන් ආදරය කළ නිසාය. එනිසා අප ඊට ආදරය කළාක් මෙන් ඔබත් ඊට ආදරය කරන්න. අප රැකගත් පරිදිම එය රැක ගන්න. මේ බිම් පිළිබඳ මතකය එය ඔබ ලබා ගන්නා අවධියේ පැවතුනාක් මෙන්ම ඔබගේ මනසේ තබා ගන්න. ඔබේ මුළු ශක්තියෙන්ම, මුළු හිතින්ම, මුළු හදින්ම එය ඔබේ දරුවන් සඳහා සුරකින්න..

 

එවකට ඇමරිකාවේ වොෂින්ටන් හී ඔරිගන් ලෙස හැඳින්වූ ප්‍රදේශයේ ජීවත්වූ රතු ඉන්දියානු ස්වදේශික ඩුවාමිෂ් ගෝත්‍රික ශ්‍රේෂ්ඪ නායකයා වූ සියැටල් (1790-1866) වර්ෂ 1854 එවකට ඇමෙරිකානු ජනාධිපතිව සිටි ෆ්‍රෑන්ක්ලීන් පියර්ස් විසින් මෙම රතු ඉන්දියානු ගෝත්‍රික ජනයාගේ වාසභූමිය සංවර්ධන කටයුතු සඳහා මිලයට ගැනීමට කරන ලද යෝජනාව පාදක කොටගෙන පවත්වන ලද කතාවේ අන්තර්ගතයයි.

 

මෙම ඉඩම් මිලයට ගැනීම සම්බන්ධයෙන් ගිවිසුම අත්සන් කිරීමෙන් පසු සියැටල් විසින් ‘ලුෂුට්සිඩ්’ බසින් පවත්වන ලද මෙම දේශනය ‘ෂිනොක්’ භාෂාවට පරිවර්ථනය කරන ලදුව තවත් අයෙකු විසින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්ථනය කර ඉදිරිපත් කෙරුණි. මෙම දේශනය හෙන්රි ඒ ස්මිත් නම් වෛද්‍යවරයෙකු විසින් සටහන් කර වසර 30 කට පමණ පසුව ප්‍රකාශයට පත් කෙරිණි. ඉතා හරවත් මෙම දේශනය මෙතෙක් කවරෙකු විසින් හෝ පරිසරය සම්බන්ධයෙන් පළ කරණු ලැබූ වටිනා හා අර්ථාන්විත ම අදහස් සමුදාය ලෙස සැලකේ. එදා රතු ඉන්දියානුවන් වාසභූමි කොටගත් එම ප්‍රදේශය වර්ථමානයේ එම ශ්‍රේෂ්ඨ නායකයා නමින් නම්කොට සියැටල් නගරය ලෙස හඳුන්වයි.

 

වොෂින්ටනයේ මහා නායකයා

අපේ ඉඩම් මිලයට ගැනීමට කැමති බව කියන වචන එවා ඇත.

අපගේ මිත්‍රත්වයට ඔහුට

ඇත්තේ මද ඕනෑකමක් බව අප දන්නා නමුත් මහා නායකයා

අප වෙත මිත්‍රත්වයේ සහ සුහදතාවයේ වචන ද එවා ඇත.

ඒ ඔහුගේ විනිත කමයි. එහෙත් ඔබගේ යෝජනාව සලකා

බලන්නෙමු. මන්ද යත් අප ඉඩම් විකුණන්නේ නැතිනම්

සුදු මිනිසා තුවක්කු රැගෙන විත් ඒවා අපෙන් පැහැර ගන්නා බව අප දන්නා නිසාය.

මහ පොළවේ උණුසුමත්, ආකාශයත් මිළයට ගන්නේවත් විකුණන්නේවත් කෙසේද?

මේ අදහස අපට ඉතාමත් ආගන්තුකය.

ජලයේ දිලිසීමත්, සුළඟේ නැවුම් බවත් අපට

අයිති නැත්නම් ඔබ ඒවා මිළදී ගන්නේ

කෙසේද?

 

මගේ ජනතාවට මේ මහ පොළවේ සෑම

කොටසක්ම පූජනීයයි. සෑම දිලිසෙන පයින් කටුවක්ම සෑම

වැලි ඉවුරක්ම අඳුරු වනයේ හැම මීදුම් පටලයක්ම, හැම

එලිමහනක්ම, හැම ගැමි හඬ දෙන කෘමියෙක්ම මගේ

ජනතාවගේ අත්දැකිම් වල හා මතකයේ පූජනීයව

රැඳී තිබේ. ගස් අතරින් රූරා වැගිරෙන වතුර

බිංදුවේත් රතු මිනිසාගේ මතකය රුඳී තිබේ.

නුබ කුසෙහි තරු අතර සැරිසරණා

සුදු මිනිසුන්ගේ මළවුන්ට ඔවුන්ගේම

ජන්ම භූමිය අමතකය. එහෙත් අපගේ

මළවුන්ට මේ රමණීය මහපොළව,

එය රතු මිනිසාගේ ජන්ම භූමිය බැවින්

කිසිදාක අමතක නොවේ. අප මහපොළවේ

කොටසක් වනවා වගේම මහ පොළව

අපේම කොටසකි. සුවඳ හමන මල් අපේම

සහෝදරීයෝය. මුවා, අශ්වයා, මහ

රාජ අලියා අපේම සහෝදරයෝය.

රොකී කඳුවැටියේ මිදුනු හිම, තුරු වදුල

තුල රැඳි තෙතමනය, පෝනීන්ගේ සහ

මිනිසාගේ ඇඟ උණුසුම එකම පවුලකට

අයත්ය. එනිසා වොෂින්ටනයේ මහා නායක

අපේ ඉඩම් මිළයට ගන්නට කැමති යැයි

අපට වචන එවන විට ඔහු අපගෙන්

විශාල දෙයක් ඉල්ලා සිටී. මහා නායක

අප වෙනුවෙන් තැනක් වෙන්කරණ

බවත්, එවිට අපට කැමති ආකාරයකට

සුව පහසුව ජීවත් විය හැකි බවත්

කියන වචන ඔහු අපට ඒවා ඇත.

ඔහු අපගේ පියාද අප ඔහුගේ

දරුවන් ද වන්නෙමු. එම නිසා

අපගේ ඉඩම් මිළදී ගැනීමට ඔබගේ

ඉදිරිපත් වීම ගැන සලකා

බලන්නෙමු.

එහෙත් එය පහසු කාර්යයක්

වන්නේ නැත. මක් නිසාද යත්

මේ භූමිය අපට පූජනීය නිසාය.

 

දිය දහරේ සහ ගංඟාවල ගලා බසිනා දිලිසෙන වතුර නිකම්ම

වතුර නොවෙයි. ඒ අපගේ මුතුන් මිත්තන්ගේ ජීව රුධිරයයි. අපගේ

ඉඩම් ඔබට විකුණන්නේ නම් ඒවා අපේ පූජනීය වස්තු බව ඔබ

මතක තබා ගත යුතුය. ඒවා පූජනීය බවත් විල්වල පෑදි දියේ

දිස්වන ශුධ ඡායා පවසන්නේ මගේ ජනතාවගේ ජීවිතයේ සිද්ධීන්

සහ ස්මරණයන් බවත් ඔබේ දූ දරුවන්ට කියා දිය යුතුය. දිය

දහරේ මිමිණුම මගේ පියාගේත් පියාගේ කටහඬයි. අපේ පවස

නිවන ගංඟාවෝ අපගේ සහෝදරයෝය. ගංඟාවෝ අපගේ ඔරුද

රැගෙන යන අතර අපේ දරුවන්ට අහර ද ගෙන එයි. අපේ ඉඩම්

ඔබට විකුණන්නේනම් මේ ගංඟාවෝ අපේත් ඔබේත් සහෝදරයන්

බව මතක තබාගෙන එය ඔබේ දරුවන්ටත් වටහා දිය යුතුය.

මෙතැන් පටන් ඔබේ ඕනෑම සහෝදරයෙකුට දෙන කරුණාව

ගංඟාවටත් දිය යුතුය. කඳු වැටියේ මීදුම් පටලය උදා හිරු

ඉදිරියේ පලා යන්නෙකු මෙන් පෙරට එන සුදු ම්නිසා හමුවේ

රතු මිනිසා පසු බැස්සේය. එහෙත් අප පියවරුන්ගේ

භෂ්මාශේෂ අපට පූජනීයයි. ඔවුන්ගේ සොහොන් අපගේ

පුණ්‍ය භූමියයි. එනිසා, මේ කඳු. මේ තුරුලතා මේ මහ

පොළවේ පූජනීය වී තිබේ. අපගේ සිතුම් පැතුම් හා

චර්යාවන් සුදු මිනිසාට නොතේරෙන බව අපි දනිමු.

ඔහුට එක් බිම් කොටසක් අනෙක් බිම් කොටසක්

හා සමානය. ඒ ඔහු රාත්‍රියේ පැමිණ තමන්ට අවශ්‍ය

දෙයක් භූමියෙන් රැගෙන යන අමුත්තෙකු බැවිනි.

මහ පොළව ඔහුගේ සහෝදරයා නොවේ. එහෙත්

ඔහුගේ සතුරාය. ඔහු එය දිග්විජය කළායින්

පසු තව තැනකට යයි. ඔහු සිය පියාගේ

සොහොන අතහැර දමා යයි.

 

ඒ ගැන ඔහුට තැකීමක් නැත.

සිය දරුවන්ගේ ජන්ම උරුමය සහ පියවරුන්ගේ

සොහොන් ද ඔහු අමතක කර දමයි. සුදු මිනිසා

සිය මෑණියන් වූ මහ පොළවත් සහෝදරයා වූ

අහසටත් සලකන්නේ මිලයට ගත හැකි, කොල්ල

කෑ හැකි බැටළුවන් සහ පබළු මෙන් විකිණිය

හැකි දෑ ලෙසය. ඔහුගේ කෑදරකම මහ පොළව

හිස්කර දමා ඉතිරි කරණු ඇත්තේ කාන්තාරයක්

පමණි. මට අවබෝධ කර ගත නොහැක, ඔබගේ

චර්යාවන් අපගේ චර්යාවන්ගෙන් වෙනස්ය. ඔබගේ

නගරවල දර්ශණය රතු මිනිසාගේ ඇස් වේදනාවට

පත් කරයි. හේතුව, සමහර විට රතු මිනිසා

ම්ලේච්ඡයෙක් සහ ඔහුට නොතේරෙන නිසා

විය හැක. සුදු මිනිසාගේ නගරවල නිසංසල

තැන් නැත. වසන්තයේ පිබිදෙන තරුපත් හඬ

හෝ කුඩා කෘමීන්ගේ පියාපත් ගැටෙන හඬ හෝ

අසන්නට එහි තැනක් නැත. එය එසේ වන්නේ

සමහර විට මට නොතේරෙන නිසා හෝ මා

ම්ලේච්ඡයෙක්නිසා හෝ විය හැක. ඝෝෂාව

කන් වලට නින්දාවක් පමණි. මැදියම් රෑ

හුදකලාව, බකමූණකු නගන පාළු හඬ

හෝ විලක් වටා මැඩියන් කරණ වාද විවාද

හෝ ඇසෙන්නේ නැති මිනිසාගේ ජිවීතයේ

අරුතක් ඇද්ද?

 

මම රතු මිනිසෙක්. මේවා මට නොතේරෙයි.

ඉන්දියානුවා කැමති වන්නේ විලක ජලය සිසාරා

හමන සුළඟේ මෘදු හඬටයි. මධ්‍යහනේ ඇද

වැටුණු වැස්සෙන් පවිත්‍ර වූ පවනේ

නැවුම් සුවදටයි. පයින් ගස්වල ගැටී සුවඳවත් වුණු

මද පවනටයි. රතු මිනිසාට වාතය ඉතා අගනා දෙයකි.

ඒ මන්ද යත්, සතුන් ගස්වැල් සහ මිනිසා යන සියළු

දෙනාම ආස්වාස කරන්නේත්. බෙදා හදා ගන්නේත්,

එකම වාතයයි. තමන් ආස්වාස කරන වාතය ගැන

සුදු මිනිසාට සැලකිල්ලක් නැතුවා සේය. මරණාසන්නව

සිටින මිනිසෙකුට මෙන් ඔහුට ගඳ සුවඳ නොදැනේ.

එහෙත් අපේ ඉඩම් ඔබට විකුනන්නේ නම් වාතය

අපට ඉතා වටිනා දෙයක් බවත් වාතයෙන් යැපෙන

සෑම ජීවියෙකුම සමග වාතය සිය ජීවය බෙදා ගන්නා

බවත්, ඔබ මතක තබා ගත යුතුය. අපේ මුත්තනුවන්ට

මුල් හුස්ම පිඹි සුළඟ ඔවුන්ගේ අවසන් හුස්ම ද

පිළිගත්තේය. සුළඟ අපගේ දරුවන්ට ද ජීවිතයේ

ජීවය ලබා දිය යුතුය. අපගේ ඉඩම් ඔබට විකුනන්නේ

නම් මල් ගොමු වලින් සුවඳවත් වූ පවනේ පහස

සුදු මිනිසාට පවා ගොස් වින්දනය කළ හැකි

පූජනීය තැනක් ලෙස එය වෙන්කර තබා ගත

යුතුය. එහෙම නම් අපගේ ඉඩම් මිළදී ගැනීමට

කළ ඔබේ යෝජනාව ගැන සලකා බලන්නෙමු.

මෙය අප පිළිගන්නේ නම් මම එක කොන්දේසියක්

පනවමි. සුදු මිනිසාට මේ භුමියේ වෙසෙන සතුන්ට

තමාගේ සහෝදරයන්ට සේ සැලකිය යුතුය. මම

ම්ලේච්ඡයෙක් මට වෙනත් මගක් තේරෙන්නේ නැත.

ප්‍රෙයරි බිම් පසුකර යන දුම්රියේ සිට වෙඩි තබා මරා

දමණු ලැබූ කුළු මීමුන්ගේ කුණු වෙමින් ඇති මළ සිරුරු

දහස් ගනනක් මම දැක ඇත්තෙමි. මම ම්ලේච්ඡයෙක්

අපි ජීවත්වීමට පමණක් මරණ මීමාට වඩා දුම් දමන යකඩ

අශ්වයා වැදගත් වන්නේ කෙසේදැයි මට නොතේරේ. සතුන්

නැතිව මිනිසාගෙන් වැඩක් ඇත්ද? වන සතුන් සියල්ල

නැතිව ගිය කළ හදවතේ ඇතිවන මහා තනිකමකින්

මිනිසා මියයනු ඇත. ඇයිද යත් සතුන්ට කුමණ ඉරණමක්

අත්වේද, මිනිසාටත් ඒ ඉරණමම අත්වේ. සෑම දෙයක්ම

එකින් එකකට සම්බන්ධව තිබේ. ඔබේ දරුවන්ගේ පයට

පෑගෙන්නේ අපේ මුතුන් මිත්තන්ගේ භෂ්මාශේෂ බව

ඔබේ දරුවන්ට වටහා දෙන්න. ජීවිත වලින් මහ පොළව

සරුසාර වී ඇති බව ඔබේ දරුවන්ට වටහා දෙන්න. මහ

පොළව අපේ මෑණියන් බව අපි අපේ දරුවන්ට කියා දුන්

පරිදිම ඔබ ඔබේ දරුවන්ටත් වටහා දෙන්න. මහ පොළවට

අත් වන්නේ කුමණ ඉරණමක් ද? ඇගේ දරුවන්ටත් ඒ

ඉරණමම අත්වෙයි. මිනිසා පොළවට කෙල ගැසුවහොත්

එය තමාටම කෙල ගසා ගැනීමක් බව ඔබේ දරුවන්ට

වටහා දෙන්න. අපි මෙය දනිමු. මහ පොළව මිනිසාට

අයිති නැත. මහ පොළවට මිනිසා අයත්ය. අපි මෙය

දනිමු. සියළු දෑ එකින් එකට සම්බන්ධ වී තිබේ. රුධිරය

සියළු පවුල් එකට බැඳ තබන්නාක් මෙන් සියළු දේ

එකින් එකට සම්බන්ධ වේ.

 

මහ පොළවට කුමණ ඉරණමක් අත්වේද? එය මහ පොළවේ දරුවන්ටත්

අත් වන්නේය. ජීවිත දැල මිනිසා විසින් වියූ එකක් නොව ඔහු හුදෙක්

එහි එල්ලී සිටින්නෙකි. දැලට කුමක් හෝ කළහොත් ඔහු එය තමාටම

කර ගන්නේය. එහෙත් මගේ ජනතාවට ඔබ විසින් වෙන් කර ඇති

ප්‍රදේශයට යන ලෙස කර ඇති යෝජනාව අපි සලකා බලන්නෙමු.

අපි අවශ්‍ය පරිදි වෙන් වී ජීවත් වෙන්නෙමු. අපගේ ජීවිතයේ ඉදිරි

කාලය ගත කරන්නේ කොහේද යන්නට ඇත්තේ සුළු වැදගත්

කමකි. තම පියවරු පරාජිතව නිග්‍රහයට පත්ව සිටි හැටි අප

දරුවෝ දුටහ. අපගේ වීරයෝ සිය සිරුරු රස මුසු අහරයෙන්

සහ මත්පැනින් දූෂණය කර ගනිමින් තමන්ගේ දවස නිකරුනේ

ගත කිරිම දෙසට හැරී සිටිති. අපේ ඉතිරි කාලය කොතැනක

ගත කරනවාද යන්න ඒ තරම් වැදගත් නැත. වැඩි දවසක්

නැත. තව පැය කිහිපයක් ශීත සෘතු කිහිපයක් ගෙවී ගිය

පසු කලක් ඔබේ මෙන් බලගතු සහ අපේක්ෂා සහගත අප

ජනතාවගේ සොහොන් මත වැළපෙන්නට කලක් මහ

පොළවේ ජීවත්වූ ශ්‍රේෂ්ඪ ගෝත්‍රවල එකම දරුවෙක්වත්

කුඩා කණ්ඩායම් වශයෙන් වනයේ සැරිසරන්නාවුන් වත්

ඉතිරි නොවනු ඇත. එහෙත්, වැනසී යන මගේ ජනතාව

ගැන මම වැළපෙන්නේ කුමකටද? ගෝත්‍ර සෑදී

ඇත්තේ මිනිසුන්ගේන් මිසක වෙන කිසිවකින් නොවේ.

මිනිසුන් මුහුදේ රළ මෙන් එති යති. සිය දෙවියන්

සමග සක්මන් කරමින් මිතුරෙකු සේ ඔහු හා කතා

බහ කරණ සුදු මිනිසාට පවා මේ පොදු ඉරණමෙන්

බැහැර විය නොහැක. අවසානයේ අප සහෝදරයන්

විය හැක. අපට එය දැක ගත හැකි වනු ඇත. අපගේ

දෙවියන් ඔබගේ ද දෙවියන් බව අපි දනිමු. සුදු

මිනිසාත් එක් දිනෙක මෙය අනාවරණය කර

ගන්නවා ඇත. අපේ ඉඩම් අයිති කර ගැනීමට

කැමැත්තක් මෙන්ම, ඔබ දෙවියන් ද හිමි කර

ගැනීමට කල්පනා කරනවා විය හැක. නමුත් එය

කළ නොහැකි දෙයකි. ඔහු මිනිසාගේ දෙවියෝය.

ඔහු සුදු මිනිසා හා රතු මිනිසා වෙත දක්වන දයාව

එක සමාණය. මෙම මහ පොළව ඔහුට ඉතාම අගනේය.

එයට හානියක් කිරීම එහි නිර්මාපකයා මත අපහාස ගොඩ

කිරීමකි. සුදු මිනිස්සු පවා වැනසී යනු ඇත. සමහර විට

එය අනෙක් සියල්ලන්ටත් වඩා ඉක්මනින් විය හැක. දිගටම

ඔබේ ඇඳ අපවිත්‍ර කළහොත් දිනෙක රාත්‍රියේදී ඒ ඔබේම

කැත කුණු නිසාම ඔබේ හුස්ම හිරවනු ඇත. එහෙත්

යම් විශේෂ අරමුණක් නිසා මෙම භූමිය රතු මිනිසා

මත ආධිපත්‍ය දී ඔබව මෙම භූමියට ගෙන ආ

දෙවියන්ගේ භක්තියෙන් ඔබගේ විනාශයේදී ඔබව

දීප්තිමත්ව බැබලෙනු ඇත. අපට නොතේරෙන නිසා මේ

ඉරණම අපට අභිරහසකි. වල් අශ්වයින් හීලෑකර

ගත්තායින් පසු කුළු මීමුන් සියල්ල ඝාතනය කළ

පසු වනයේ සැඟවුණු අහුමුළු සියල්ල බොහෝ

මිනිසුන්ගේ ඝන්ධයෙන් බර වූ පසු, සරුසාර

 

කඳුවල දර්ශණය කතා කරන කම්බි වලින්බොඳ

වී ගිය කළ, වන රුප්පාව කොහේ ගියේද? වේගවත්

පෝනියාගෙන් හා දඩයමෙන් සමුගන්නවා යැයි කීමෙන්

අදහස් කරන්නේ කුමක්ද? ජීවින්ගේ අවසානයත් පණ

ගැට ගසා ගැනීමේ ආරම්භයත්ය. එම නිසා අපගේ

ඉඩම් මිළදී ගැනීමට කළ ඔබගේ යෝජනාව ගැන

සළකා බලන්නෙමු. අප එකඟ වෙනවා නම් පොරොන්දු

පරිදි ඔබ එම ප්‍රදේශ සුරක්ෂිත කරනවා ඇත. එහිදි

සමහර විට අප කැමති ආකාරයකට අපේ කෙටි

කාලය එහි ගත කරනවා ඇත. මේ පොළෝ

තලයෙන් අන්තිම රතු මිනිසාත් අතුරුදහන්

වූවාට පසු ඔහුගේ මතකය ප්‍රේරි බිම් හරහා

ඇදෙන වළාවක සෙවනැල්ලක් පමණක් වූ කළ

එම සෙවනැලි සහ වනාන්තරය මගේ ජනතාවගේ

ආත්මය දරා සිටිනු ඇත. ඒ අළුත උපන් බිළිඳකු

සිය මවගේ හද ගැස්මට ආදරය කළාක් මෙන්

මේ මහ පොළවට ඔවුන් ආදරය කළ නිසාය.

එනිසා අප ඉඩම් විකුණන්නේ නම් අපි ඊට ආදරය

කළාක් මෙන් ඔබත් ඊට ආදරය කරන්න. අප

රැකගත් පරිදිම එය රැක ගන්න. මේ බිම් පිළිබඳ

මතකය එය ඔබ ලබා ගන්නා අවධියේ පැවතුනාක්

මෙන්ම ඔබගේ මනසේ තබා ගන්න. ඔබේ මුළු

ශක්තියෙන්ම, මුළු හිතින්ම, මුළු හදින්ම එය ඔබේ

දරුවන් සඳහා සුරකින්න. දෙවියන් අප සැමට

ආදරය කරන්නාක් මෙන් ඊට ආදරය කරන්න.

එක දෙයක් අපි දනිමු. අපේ දෙවියන් ද එම

දෙවියන්මය. මේ පොළව ඉතා අගනේය. සුදු

මිනිසාට පවා පොදු ඉරණමෙන් බැහැර විය

නොහැක. අවසානයේදී අපි සොහොයුරන් බවට

පත්විය හැක. ඔබ අපට දකින්නට හැකි වනු ඇත.

 

 

රතු ඉන්දියානු ගෝත්‍රික ශ්‍රේෂ්ඨ නායක සියැටල් -

 

පොත පත හා අන්තර්ජාල තොරතුරු ඇසුරෙන් සකස් කලේ -

 

වයි. එම්. පී. ශාන්ත

බ/උඩගම වැල්ගොල්ල මහා විද්‍යාලයය,

වැල්ගොල්ලගම,

බදුල්ල

Read 6246 times
Developed by
ICT Branch, Ministry of Education, Sri Lanka
Site Map | Disclaimer
Copyrights © 2012-2016 | ICT Branch, Ministry of Education, Sri Lanka