අව්‍යය පද

Written by

නාම පද හා ක්‍රියා පද බොහෝ වරනැගීම් වලට යොමු වෙයි. ඒක වචන, බහු වචන, විභක්ති, ලිංග, පුරුෂ, කාල,උක්ත රූප, අනුක්ත රූප, ආදී වශයෙන් වෙනස්කම්වලට යොමු නොවන පද වර්ගයක් ඇති බව ඔබ දන්නවාද?

 

උදා -

 

ඔබට පුළුවන් ද, සමඟ, හෙවත්, සඳහා, පිණිස, වෙනුවෙන්, වැනි, අනේ!, දක්වා, නිරතුරු, නිසා වගේ වචනබහුවචනයට හෝ අතීත කාලයට හෝ ස්ත්‍රීලිංග පද බවට හෝ හරවන්න. නොහැකියි නේද?

 

එසේ නම් වෙනස් කළ නොහැකි එනම්,වර නොනැගෙන පද හෙවත් ‘ව්‍යය’ නොවන පද ‘අව්‍යය පද’ ලෙස හැඳින්වෙයි. අව්‍යය පද වර්ග දෙකකි.

 

1. නිපාත

 

2. උපසර්ග යනුවෙනි.

 

නිපාත

 

මම ඔබ එන ඉන්නම්

 

යන වැකියේ අර්ථය පැහැදිලි නැහැ නේද? එසේ නම් ඒ පද අතරට පදයක් වැටී. අර්ථයක් මතු වන ලෙස පද සම්බන්ධ කළ යුතු වේ.

 

මම ඔබ එන තුරු ඉන්නම්

 

‘තුරු’ යන පදය යොදා පද සම්බන්ධ කළ පසුව එම වැකිය අරුත් ගැන්වෙයි.

 

වැකියක මුලට, මැදට, අගට යන එන ඕනෑම තැනක යෙදී එම වැකියෙන් පැහැදිලි අර්ථයක් ලැබෙන ලෙස පද සම්බන්ධ කිරීමේ කාර්යය කරන පද විශේෂයක් ලෙස ‘නිපාත පද’ හැඳින්විය හැකියි.

 

නිපාත පද විවිධ අර්ථ ලබා දීම සඳහා යෙදෙන බව පැහැදිලි කර ගැනීම සදහා අපි උදාහරණ කීපයක් ගෙන බලමු.

 

1. සමුච්චයාර්ථ නිපාත

 

වැකියක ඒ ඒ නාම පද එකතු කර සම්බන්ධ කර දැක්වීම සඳහා යෙදේ.

 

ද, ත්, සහ, හා

 

උදා -

 

මල්ලී ද අක්කා ද නගරයට යති.

 

ඔහුත් මමත් නාට්‍යය නැරඹීමට ගියෙමු.

 

ගුරුවරු සහ දෙමව්පියෝ පාසල සංවර්ධනය කරති.

 

අම්මා හා තාත්තා හා දරුවන් රැකබලා ගනිති.

 

2. සහාර්ථයෙහි නිපාත- සහ, සමඟ, හා, කැටුව, කැටිව, ඉහි, (සමඟ, එක්ක, එක්ව යන අර්ථයෙහි යෙදේ.) මේවාද පද සම්බන්ධ කිරීම සදහා යෙදෙන නිපාත වේ.

 

වැඩිහිටියන් සහ වාද නොකරන්න (වැඩිහිටියන් සමග)

 

දූදරුවන් සමඟ අම්මා අවුරුදු උත්සවයට ගියා ය.

 

යහළුවන් කැටුව ඔහු දිය නෑමට ගියේ ය. (යහළුවන් සමග)

 

අපි යහපත් මිනිසුන් හා වැඩ කරමු.(මිනිසුන් සමග)

 

නෑසියන් ඉහි සමගියෙන් වසන්න

 

ඔවුන් කැටිව යාමට මම අකමැති ය.

 

ඉහත සඳහන් සනාර්ථයේ නිපාත හා බැඳෙන්නේ නාම පදයක අනුක්ත රූපයයි.

 

3. භාවාර්ථ නිපාත - අහා, අඃ, ආ, ඔහෝ, අනේ, අපොයි, අය්යෝ, අඳෝමැයි, ආයි, ඌයි, උඃ, චී, චිඃ ආදී හැඟීම් ප්‍රකාශ කිරීමෙහි යෙදෙන නිපාත භාවාර්ථ නිපාත වෙයි.

 

අඃ , මට වැරදුණා

 

අනේ! අසරණ මනුස්සයා

 

අපොයි! දෙයියනේ, සිදු වුණේ මොකක්ද?

 

චිඃ , මේවා කන්නේ කොහොමද?

 

4. අනුමති අර්ථයේ නිපාත - හා, ඔව්, එහෙමයි, එසේයි

 

යමකට එකඟ වීම එය අනුමත කිරීම යන අදහස් දේ.

 

හා, මම ගිහින් හාල් ගෙනෙන්නම්

 

ඔව්, ඔහු හොද කලාකාරයෙක්

 

එහෙයි, හාමුදුරුවනේ, මම හෙට එන්නම්

 

එහෙමයි, විදුහල්පතිතුමා අපි ශීලව්‍යාපාරය කරමු.

 

එසේය, දේවයන්වහන්ස, ගැත්තාට සමාව දෙනු මැනවි

 

5. සංශයාර්ථ නිපාත - ඔහෝ, හෝ හෝ, දෝ, දෝහෝ සැක සහිත බව ප්‍රකාශ කිරීමෙහි දී යෙදේ.

 

සැක සහිත බව ප්‍රකාශ කිරීමෙහි දී යෙදේ.

 

ඔහෝ, මෙයා වෙන්නැති ඔය කියන මනුස්සයා

 

කවුරුන් දෝහෝ නිවසට පැමිණ ඇති බව පෙනේ.

 

6. උපමා අර්ථයේ/ තුල්‍යාර්ථයේ නිපාත - මෙන්, සේ, වැනි, එව්, අයුරු, වගේ, බඳු, වන්, ලෙස, එව් උපමා කර දැක්වීමේ දී සමාන කර දැක්වීමේ දී යෙදේ.

 

තාත්තා අපට සෙවණ සදන්නේ විශාල නුග ගසක් මෙනි

 

සපුමල් කැල එව් සැලලිහිණි තුඩ මඳ රතු පැහැ ගනී.

 

නංගීගේ මුහුණ මලක් වගේ සියුමැලි ය.

 

දෙවඟනන් බඳු ඔවුහූ නැටුම පටන් ගත්හ.

 

දෙමව්පියන් ලෙස දරුවන්ට ආදරය කරන්නේ කවුරු ද?

 

උපමාවාචී නිපාත සමඟ බැඳෙන නාම පදය අනුක්ත රූපයෙන් තැබිය යුතු ය.

 

7. තුලනාර්ථයෙහි නිපාත - වඩා, වඩාත්ම, වැඩි

 

සසඳමින් අදහස් දැක්වීමේ දී, තුලනය කර අදහස් ප්‍රකාශ කිරීමේ දී යෙදේ.

 

වඩාත්ම නරක මිනිස්සු ලොව සිටිත් ද?

 

වඩා හොඳ දරුවා කවුරුත් අගය කරති

 

දෙගුරුන්ට තම දරුවන්ට වැඩි කෙනෙක් ඇතිද?

 

8. කාලාර්ථ නිපාත - නිති, නිතින්, නිතර, ඉක්බිති, දැන්, යළි, පුන, පැසළු, ඉතින් ආදී නිපාත කාලය හැගවීම සඳහා යෙදේ.

 

මම යළි උපන්නෙමි.

 

එ හසුන් පැසුළු පවසමි. ( පසුව පවසමි )

 

පුන පුනා කීව ද ඔහු ඒ කතාව විශ්වාස නොකරයි.

 

9. සීමාර්ථයෙහි නිපාත - සිට, පටන්, තෙක්, දක්වා සීමාව හැඟවීමේ දී යෙදේ.

 

එදා පටන් අද දක්වා මම බොහෝ ගීත ගැයුවෙමි

 

ගමනාන්තය තෙක් ඉවසිල්ලෙන් සිටින්න

 

10. ප්‍රමාණාර්ථයෙහි නිපාත - සා, තාක්, තුවක ප්‍රමාණය දැක්වීමෙහි දී යෙදේ.

 

මේ සා විශාල ගසක් මම මින් පෙර නොදුටුවෙමි.

 

මෙතුවක් කල් මම බොහෝ දේ විශ්වාස කළෙමි.

 

මේ තාක් කාලයක් මම පොත්පත් ලිව්වෙමි.

 

11. අවමාර්ථයේ නිපාත - පවා, ද, දු, ත්, හෝ, වත්, අඩුම ගණනේ, යන අර්ථයෙහි යෙදේ.

 

ඔවුන්ටත් අප අමතක ය. ( ඔවුන්ටවත් )

 

දැනුදු ඹබට තීරණය වෙනස් කළ හැකි ය. ( දැන්වත් )

 

කවුරුන් හෝ විභාගය සමත් වේවි.

 

12. විනාර්ථයෙහි නිපාත - විනා, හැර, මිස, මුත් ආදී නිපාත ‘නොවේ නම්’ යන අර්ථයක යෙදේ.

 

මේ පාරෙන් විනා ඒ ගෙදරට යා නොහැකි ය.

 

ඔවුන් හැර මේ නිවස තනන්නට කිසිවෙක් නැති ද?

 

ඇයගේ ගී මුත් වෙනත් ගී වල මිහිරක් නැත.

 

13. ප්‍රශ්නාර්ථ නිපාත - කිම, ඇයි, මන්ද, ද ආදී නිපාත ප්‍රශ්න කිරීමේ දී යෙදේ.

 

ඔබ පුස්තකාලයට නොගියේ ඇයි?

 

මේ නාට්‍යෙයහි රඟපෑවෝ කවුරු ද?

 

14. විකල්පාර්ථ නිපාත - හෝ,හොත්, නොහොත්, හෙවත් ආදී නිපාත ‘නැතහොත්’ යන අර්ථයෙහි යෙදේ. එනම් , විකල්පයක් දැක්වීමේ දී යෙදේ හෙවත් නිපාතය යෙදෙන්නේ අනන්‍ය බව හෙවත් අනෙකක් නොවන බව දැක්වීමටය.

 

කතරගම හෙවත් කාචරගාමය බොහෝ බැතිමතුන් වන්දනා කරන දේවස්ථානයකි.

 

අනුරාධපුර නොහොත් මහනුවර මෙවර චාරිකාව සඳහා අපි තෝරා ගනිමු.

 

ඔහු හෝ මම හෝ ත්‍යාගය දිනා ගනිමි.

 

15. සෑම ඒකක ම යන අර්ථයෙහි පතා,පාසා යන නිපාත යෙදේ.

 

පාසලක් පාසලක් පාසා මහින්දෝදය විද්‍යාගාර ඉදිවෙනු ඇත.

 

අවුරුදු පතා විදේශගත වීම මාගේ විනෝදාංශයයි.

 

16. අධිකාර්ථයේ/අතිශයාර්ථයේ නිපාත - තව, ඉතා, බොහෝ, බැරම ආදී වශයෙන් අධික බව දැක්වීම සදහා යෙදේ.

 

ප්‍රදර්ශනයෙහි බොහෝ භාණ්ඩ විකිණී හමාර ය.

 

ඈ ඉතා දැකුම්කලු සාරියක් තෝරා ගත්තා ය.

 

17. අවධාරණාර්ථයේ නිපාත - ම, කැලම ආදී නිපාත අවධාරණය කර දැක්වීමේ දී යෙදේ.

 

ඔබ ම මේ කාර්යය භාර ගන්න.

 

ඔබේ අභිප්‍රාය කැලම සිදුවෙයි. ( ඒකාන්තයෙන්ම )

 

18. උද්ධෘත කිරීමෙහි දී යෙදෙන නිපාත - යැයි,යි

 

අප තරඟයට සහභාගී නොවෙති’ යි නොසිතන්න.

 

චූදිතයා මුසාවක් පවසන්නේ යැයි නීතිඥයා දැන ගත්තේ ය.

 

19. වාක්‍ය සමාප්තියෙහි යෙදෙන නිපාත (සමාප්ති සූචක නිපාත) - ඉ, ය, යි, හ,

 

හේ දක්ෂයකි. (දක්ෂයෙක් + ඉ - දක්ෂයෙකි)

 

ඔවුහු විසිර ගියෝ ය.

 

කාන්තාවෝ සංග්‍රහය භාර ගත් හ.

 

20. නිශේධාර්ථ නිපාත - එපා නහමක් ආදී නිපාත

 

ඔය වැඩේ කරන්න, එපා

 

21. විරෝධාර්ථ නිපාත - නො, නි

 

ඔවුහු කඩිසර ව වැඩ නො කරති

 

නිකෙලෙස් හැඟීම් අධ්‍යාත්මය පෝෂණය කරයි.

 

22. ශීඝ්‍රාර්ථ නිපාත - වහා, සහසා, සෙද, සැණින්, හනික මෙම නිපාත ක්‍රියා විශේෂණ ලෙස ද යෙදේ.

 

වහා මෙහි එන්න.

 

ඔබ ගිය සැණින් ඔහු ආවේ ය.

 

23. ප්‍රමාදාර්ථ නිපාත - සෙමින්

 

මගෙ පුතේ හෙමින් එන්න.

 

සෙමින් රිය පදවන්න

 

24. ආමන්ත්‍රණාර්ථ නිපාත - එම්බා, කොල, බොල, එම්බල

 

එම්බා, පුරුෂය, තෝ මේ වරද කළෙහි?

 

25. මාතෘකා කිරීමෙහි යෙදෙන නිපාත - නම්, වනාහි, කල්, කලී, වූකලී මෙම නිපාත අවධාරණය සඳහා ද යෙදේ.

 

ඔබ නම් දෙවියෙකැයි මට සිතෙයි

 

දෙමව්පියන් වනාහි දරුවන්ගේ දියුණුව දකින්නේ ම වෙති.

 

26. ඍජුභාව අර්ථයේ නිපාත - ඉඳුරා, කෙළින්ම ඍජු හැඟීම් ප්‍රකාශ කිරීමේ දී යෙදේ.

 

ඉඳුරා ම ඇය නිවැරදි බව ප්‍රකාශ කළා ය.

 

27. අවධානය කැදවීමේ නිපාත - ඔන්න, මෙන්න, අන්න

 

ඔන්න ඔන්න ගහ වැටෙයි.

28. ශ්‍රැති සූචනාර්ථ නිපාත - ල, ලු,

 

ඇසුවක් කීමෙදි යෙදේ. වාර්තා කිරීමේ දී ද යෙදේ.

 

එයා හරි හොඳ ළමයෙක්ලු

 

ඔහු ගමට ගියේල.

 

29. විභක්ත්‍යර්ථ නිපාත - විසින්,ගෙන්, ගේ, හට, ට, කෙරෙන්, කෙරෙහි, තුළ, උඩ, මත, ආදී නිපාත කර්තෘ, කරණ, සම්ප්‍රදාන, අවධි, සම්බන්ධ, ආධාර යන විභක්ති අර්ථ දැක්වීම සඳහා යෙදේ.

 

මිනිසුන් විසින් ගස කැපේ.

 

ගුරුවරුන්ගෙන් සිසු දැනුම වැඩේ.

 

සිසුන්ගෙන් වැඩි ම ලකුණු ලබා ගත් සිසුවා කැඳවන්න.

 

අසරණයන් හට දන් දී පින් රැස් කර ගන්න

 

රට වැසියන් තුළ විනය පැවතිය යුතුයි.

 

සතුන් කෙරෙහි කරුණාව පතුරවන්න.

 

මේසය මත බඩු පටවන්න එපා.

 

30. ගෞරවාර්ථයේ යෙදෙන නිපාත - සේක

 

රහතන් වහන්සේ දානය පිළිගත් සේක

 

31. ප්‍රස්තුත අර්ථය සඳහා යෙදෙන නිපාත - ගැන

 

ඒ පිළිබඳව යන අර්ථයෙහි යෙදේ.

 

ඔබ ගැන සොයා බැලිය යුතුයි.

 

32. අනුකූලාර්ථ නිපාත - අනුව, පරිදි

 

නීතියට අනුව ඔහු කටයුතු කරයි.

 

ඔබ දන්නා පරිදි ගායනා කරන්න.

 

33. සංකීර්ණ වාක්‍ය තුළ වාක්‍යාංශය ගැළලපීම සඳහා යෙදෙන නිපාත - වෙනුවෙන්, විට, නිසා, බැවින්, තෙක්, තුරු, ද, ත්, දු, නමුත්, නම්, හොත්. පිණිස, සඳහා, වස්, මෙන්, ලෙස, නමුත්, එහෙත් ආදී නිපාත වාක්‍යංශ ගැළපීම, සම්බන්ධ කිරීම සඳහා යෙදේ.

 

1. ඔබ පෝෂ්‍යදායී ආහාර නොගන්නා බැවින් රෝගවලට පහසුවෙන් ගොදුරු විය හැකිය.

 

2. ඔබ දක්ෂ ය. එහෙත් උනන්දුව අඩු නිසා ලකුණු අඩු ය.

 

3. අප පරිසරය රකිනා තුරු පරිසරය අප රකියි.

 

4. රට රකිනු සඳහා තරුණිය යුද හමුදාවට එක්වෙයි.

 

5. අප වෙනුවෙන් අපි දිරිමත් වෙමු.

 

6. ඔහු දුප්පත් නමුත් ගුණ දහමෙන් පොහොසත් ය.

 

මේ අනුව ‘නිපාත’ යනු වාක්‍යයක අදහස නිරවුල් ව හා පැහැදිලි ව දැක්වීම සඳහා යොදා ගන්නා පද විශේෂයක් බව ඔබට පැහැදිලියි නේද? නිපාත යොදා ගනිමින් වාක්‍ය නිර්මාණය කොට ඔබේ දැනුම තහවුරු කර ගන්න. විවිධ අර්ථ ගන්නා තවත් බොහෝ නිපාත ඇති බැවින් ඒ නිපාත සොයා දැන ගැනීමට උනන්දු වන්න.

Read 6602 times
Developed by
ICT Branch, Ministry of Education, Sri Lanka
Site Map | Disclaimer
Copyrights © 2012-2016 | ICT Branch, Ministry of Education, Sri Lanka