පොත අතට ගත්විට හඳුන්පොත කී ගානවා ද?(මල් මංජරී ලිපි පෙළ අංක 08)

Written by

 

පොත අතට ගත්විට හඳුන්පොත කී ගානවා ද?

 

හඳුන්පොත කී ගානවා යනුවෙන් පැරණි සිංහල යෙදුමක් තිබේ. ඉන් අදහස් වන්නේ හදවතේ ප්‍රේමණීය සිතුවිලි අවදිවෙනවා යන්නයි. සත්‍යවශයෙන් ම පොතට වඩා හඳුන්පොත බලවත් වීම අධ්‍යාපනයට බාධාවකි. මේ පිළිතුරු සෙයන්නට වෙහෙසෙන්නේ එකී ගැටලුවටයි.

 

ප්‍රේමය, කාමය, අනුකම්පාව, දයාව, මෛත්‍රිය, කරුණාව වැනි සිතුවිලි පහළවීම මිනිස් සිතේ සාමාන්‍ය ස්වභාවය යි. එය රෝගී තත්ත්වයක් නොවේ. එහෙත් එකී සිතුවිලි විසින් ඔබ අසීමිතව පාලනය කරන්නේ නම් එය කල් නොහැර ප්‍රතිකාර ලබා ගතයුතු තත්ත්වයකි. රෝගී වූයේ සිතුවිලි නිසා ය.එ බැවින් ප්‍රතිකාර කළ යුත්තේ සිතට ය.

 

මිනිස් සිතේ උපදින ඇතැම් සිතුවිලි පාලනය කිරීමට අපහසු තරම් ප්‍රබලය. ඇතැම් ඒවා දුබල වන අතර තවත් ඒවා නාමමාත්‍රිකය. සක්‍රිය නොවේ. අවාසනාව නම් ප්‍රවේගකාරීව, අධිප්‍රාණවත්ව, ප්‍රබලව මිනිස් සිතේ අවදි වන්නේ විනාශයකට, බිඳවැටීමකට, ගැටලුවකට මුල්විය හැකි සිතුවිලි ය. හිතකර සිතුවිලි පහළ වන්නේ ඉතා සෙමිනි. ඒවා බොහෝ විට දුබලය. සක්‍රිය කිරීම අපහසු ය. නාමමාත්‍රිකය. උදාහරණයක් ලෙස යොවුන් වියේ පසුවන්නෙකු තුළ අම්මා පිළිබඳ ආදරය බෙහෝ විට නාම මාත්‍රිකය. නමුත් ඇයගේ අවවාද අනුශාසනා නිසාවෙන් ඇය පිළිබඳ සිතේ ඇතිවන ප්‍රකෝපී හැඟීම අතිශය ප්‍රබල ය.

 

ගුරුවරුන් විෂයෙහි ද එසේම ය. විනයවත් බව හා හික්මීමක් සහිත හැසිරීමවලට අදාළ හැඟීම් ඉතා දුර්වල වන අතර නැගී සිටීමට තරම් ප්‍රාණයක් ඒ තුළ නැත. නමුත් ප්‍රචණ්ඩ හැසිරීම් විනය නීති කැඩීම් ආදියට අදාළ සිතුවිලිවලට හත් පණක් තිබේ. වචනවලට තබා පැරණි ක්‍රමයට වේවැලෙන් හෝ පාලනය කළ නොහැකි ය. ඒ සිතුවිලි එන්ජින් දහයකින් පමණ පණගැන්වෙන අතර ඉන්ධන සුවඳට පවා ක්‍රියාත්මක කළ හැක. ඔබ විසින් තේරුම් ගතයුතු යථාර්ථය එය යි. කෝපය, වෛරය වැනි සිතුවිලි පමණත් නොවේ. කරුණාව, දයාව, සෙනෙහස ආදරය වැනි හැඟම්වලට සම්බන්ධ සිතුවිලි ද අධි ප්‍රාණවත්ව වඩාත් ප්‍රබලව, වේගයෙන් සක්‍රිය වන්නේ නම් එය විනාශකාරී වග සිහිපත් කළ යුතු ය. ඒවා ඔබ විනාශය කරා මෙහෙයවනවා විනා ඔබ සාර්ථකත්වය කරා මෙහෙයවන්නේ නැත.

 

ඉතා ජවයෙන් යුතුව, අධිප්‍රාණවත්ව, වේගයෙන් ඔබ තුළ වර්ධනය වී ඔබව ම විනාශ කරන පිළිලාකාර මෙවැනි සිතුවිලි පළමුව හඳුනාගන්න. දෙවැනිව ඒවායේ බල මර්දනය කරන්න. තෙවැනිව එතැනින් නපුරු, නරක හා කාලීනව ඔබට වැදගත් නොවන හා ඔබ පහළට ඇද දමන සිතුවිලි ඉවත් කරන්න. මතකයේ තබාගන්න. සිතුවිලි එක්වරම අකා මකා දැමීමට අපහසු ය. පළමුව ඒවායේ බල බිඳිය යුතු අතර දෙවැනිව ඉවත් කළ යුතුය.

 

නපුරු, නරක හා කාලීනව ඔබට වැදගත් නොවන හා ඔබ පහළට ඇද දමන සිතුවිලිවල බල බිඳින්නේ කෙසේ ද?

 

මීළඟ ලිපිය බලන්න.

Read 3122 times
Developed by
ICT Branch, Ministry of Education, Sri Lanka
Site Map | Disclaimer
Copyrights © 2012-2016 | ICT Branch, Ministry of Education, Sri Lanka