සියලු ම අභියෝගයන්ට මුහුණ දිය යුතු ද?(මල් මංජරී ලිපි පෙළ අංක 03)

Written by

 

සියලු ම අභියෝගයන්ට මුහුණ දිය යුතු ද?

 

අපි මේ පැනයට මෙවන් පිළිතුරක් දෙන්නෙමු.

 

අභියෝග ජය ගැනීම හෝ අභියෝගවලට මුහුණ දීම යනු ඒ හා යුධ කීරීම නො වේ. එය වැනසීමට හෝ අළු දූලි කිරීමට ඔබ වෙහෙසිය යුතු නො වේ. කාලය ගැනීම, පියවරක් පසුපසට ගැනීම, මගහැර යෑම ආදී ක්‍රම වලින් ද අභියෝග ජය ගන්නට හැකි ය. එහෙත් මගහැරිය යුත්තේ කවර අභියෝගය ද, කාලය ලබාගතයුත්තේ කවර අභියෝගයට ද, පියවරක් පසුපසට තැබිය යුත්තේ කවර අභියෝගයක් අබියස ද යන්න තීරණය කළ යුත්තේ ඔබගේ පෙර අත්දැනීම් අනුව ය. නැතහොත් වැඩිහිටි සහයත් ඇතිව ය.

 

ගංගාවත් ගැන සිතන්න. ගංගාවක මග හරස්කර සිටිනා මහ කන්දක් ගැන සිතන්න. කඳු දෙබෑකර ගංගාව ගලා යන්නේ ද? නැතහොත් ගංගාව නතර වී සිටින්නේ ද?

 

නැත.

 

ගංගාව කන්ද මගහැර සිය ඉලක්කය කරා යයි. මන්ද යත් ගංගාව මීට පෙර කඳු මතින් වැටී තිබේ.කඳු බොහෝ ප්‍රමාණයක් පසුකරවිත් තිබේ. කඳු පිළිබඳව බොහෝ අත්දැකීම් ද තිබේ. ඒ නිසා ගංගාව බුද්ධිමත් තීරණයක් ගත්තේ ය. කන්ද මගහැර ගලා යෑමයි. එයින් ගංගාවට වූ හානිය කුමක් ද? මහ සමුදුර ගංදිය ප්‍රතික්ෂේප කළේ ද? ගං දිය අවපැහැ වූයේ ද? අඩු වූයේ ද?

 

නැත.

 

ගංගාවට කිසිදු හානියක් වූයේ නැත. ගමනට ලාලිත්‍යයක් එක්වූවා පමණි. මෙහි තවත් යමක් තිබේ. ගංගාව නම්‍යශීලීය. පෙරට ගමන් කිරීමට නිරන්තරයෙන් ම සූදානමින් සිටී. කන්ද ස්ථාවරය. නො සැලෙයි. කන්ද ගංගාවට ඉඩ දී ඉවත් වන්නේ නැත. සිය ‘නම්බුව‘ රැකගැනීම ප්‍රධාන දෙය සේ සලකා එතැන ම සිටී. එහෙත් අත්දැකීම් බහුල ගංගාව ඒ කන්දට හිසනමා කන්ද මගහැර ගලා යයි. කන්ද මට සිනහසෙනු ඇතැ‘යි ගංගාව සිතුවහොත් ගංගාව තව ම එතැනය. (එය සිදු නොවිය හැකි දෙයක් ය යන්න වෙනත් කතාවකි) නමුත් නම්‍යශීලී ගංගාව ගලා යයි. කන්ද සැමදා එතැන ය. කන්ද දුටුවේ මේ ගංගාව පමණි. එහෙත් ගංගාව කඳු බොහෝ දැක තිබේ. කඳු පිළිබඳ බොහෝ අත්දැකීම් තිබේ. අත්දැකීම් බහුල පුද්ගගලයා මෙසේ අභියෝග හමුවේ බුද්ධිමත් ලෙස හැසිරෙයි. අත්දැකීම් නොලැබූ අපරිණත පුද්ගලයා කන්දක් සේ නම්බුව ම හිස මත තබාගෙන අන්‍යන්ගේ මග ද හරස්කරගෙන එක ම තැන හිඳී. උපදින තැන ම මහලු වෙයි.

 

Read 2145 times
Developed by
ICT Branch, Ministry of Education, Sri Lanka
Site Map | Disclaimer
Copyrights © 2012-2016 | ICT Branch, Ministry of Education, Sri Lanka