අකාලරාවි ජාතකය 116

Written by

තවද සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි එක්තරා වහන්දෑ දෙනමක් කළමනා වත්පිළිවෙත් කළමනා වේලාවට නොකොට රාත‍්‍රියෙහි නිදිවූ කලත් යෙහෙන් පිබිදීමක් නැතිව පිබිදිනා කල මහත්කොට ඝෝෂාව පවත්වා පුබුදිනා හෙයින්, ස්වමීපයෙහි වැදහොත් වහන්දෑ රාත‍්‍රියෙහි නිදි නැතිව හිඳිනාසේක. මේ කථාව දම්සභාමණ්ඩපයෙහි රැස්වූ මහලුවරුන් වහන්සේ විසින් කියමින් උන්කල්හි සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි, මා එන්නාට පූර්වභාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැ’යි විචාරා වදාළ කල්හි අසවල් නම අකාලරාවි වූ නියාව කියකියා උනුම්හ’යි දැන්වූ කල්හි මහණෙනි මොහු දැන්මතු නොවෙයි, පළමුත් අකාලරාවී වූවෝ වේදැ’යි වදාරා ආරාධිතවූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

 

යටගිය දවස බරණැස් නුවර බ‍්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ ප‍්‍රසිද්ධ වූ බ‍්‍රාහ්මණ කුලයක ඉපද, උගතමනා ශිල්ප ශාස්ත‍්‍ර නිමවා, දිසාපාමොක් ආචාරීව පන්සියයක් අතවැස්සන්ට ආචාරීව වසන්නාහ. එසමයෙහි අතවැස්සන්ගේ කල් නොවරදවා හඬන කුකුළෙක් ඇති වූ නිසා ශිල්ප ශාස්ත‍්‍ර වේලාවට පිරුවති. ශාස්ත‍්‍ර නොපිරිහෙලා ඉන්නා අවදියෙහි ඒ කුකුළා කල්යාමකින් නැසී ගියහ. එක් ශිෂ්‍යයෙක් සවසානභූමිය කෙරේ බැද්දක දර කඩා ගියේ එක් කුකුළකු අල්වා ගෙණවුත් මැදිරියක ලා පෝෂ්‍යය කෙරෙති.එසමයෙහි ඒ කුකුළා අඬන කල මධ්‍යම රාත‍්‍රියෙහි ඇඬූ කල්හි ශිෂ්‍යයෝ පිබිද ශිල්ප ශාස්ත‍්‍ර පිරිවන්නට නැගීසිටි කලට, වේලා බෝ විසින් නිදනිදා පිරිවීමෙන් වනපොත් කළ දෙයත් පිරිහෙයි. අලුයම් වේලේ හැඬූ කල මඳ විසින් තිබෙයි. මේ දෙකාරණයෙන්ම ශිල්පය පසුබසිනා බව දැක ,මේ කුකුළා ඇඞීමෙන් අමුතුම ශිල්ප උගන්නා තබා පළමු කළදෙයත් අපවත් වෙයි’ සිතා ඌ මරා එපවත් ආචාරීන්ට කීහ. ආචාර්ය මව්පියන් නැතිව ආචාර්ය ගුරු කෙනෙක් නැතිව ව්‍යස්ථත වෙන කෙනෙකුන්ගේ පණත මේ කුකුළාසේම යයි කියා, ශිෂ්‍යයන්ට අවවාද දී කම්වූ පරිද්දෙන් මිය පරලොව ගියාහ’යි වදාරා දෙකල් ගළපා මේ ජාතකය නිමවා වදාළසේක.

 

එසමයෙහි කල්වරත් නොදැන අඬන කුකුළා නම් පිබිදීම ව්‍යවස්ථිත නොවන මහණය, ශිෂ්‍යයෝ නම් දැන් මේ, බුදුපිරිසය,ආචාරීව උපන්නෙම් බුදුවූ මම්ම වේදැයි වදාරා මේ ජාතකය නිමවා වදාළසේක.

 

උපුටා ගැනීම- පන්සියපනස් ජාතක පොත්වහන්සේ

Read 1627 times
Developed by
ICT Branch, Ministry of Education, Sri Lanka
Site Map | Disclaimer
Copyrights © 2012-2016 | ICT Branch, Ministry of Education, Sri Lanka