ආයාචිතභක්ත ජාතකය 13

Written by

තව ද එක් සමයෙක්හි තුන්ලෝවාසීන්ට ගෞරවස්ථානීය වූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි සතර ඉරියව්වෙන් යුක්තව වැඩ වාසය කරනසේක් දේවතාවන්ට යාඥාකොට බිලිපූජාව කිරීමක් අරභයා මේ ජාතකය වදාළසේක. ඒ කාලයෙහි වනාහී මනුෂ්‍යයෝ වර්ණක් කර්මාන්තය පිණිස යන්නාහූ මෘග සූකරාදී ප්‍රාණීන් ඝාතනය කොට දේවතාවන්ට බිලිපූජා කොට අපි අන්තරායක් නැතිව අර්ථසිද්ධියට පැමිණ ආවාහු දේවතානුභාවයෙන් මේ අර්ථසිද්ධිය වූයේ යයි සිතමින් ඌරන් මුවන් ආදී වූ බොහෝ ප්‍රාණීන් නිසා යාඥාවෙන් මිදෙන පිණිස බිලිපූජා කරන්නාහු ය. එසේ කරන්නා වූ බිලිපූජා දැක, භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට දන්වන්නාහු “ස්වාමීන් වහන්ස,මේ ප්‍රාණඝාත කිරීමෙහි වැඩෙක් ඇද්දෝහෝ නැද්දෝහෝ’යි විචාළාහු ය. භාග්‍යවතුන් වහන්සේ භවයෙන් වැසී තුබුණු කාරණය ප්‍රකාශ කොට වදාළසේක.

 

යටගිය දවස කසීරට එක් ගමෙක්හි කෙළෙඹි පුත්‍රයෙක් ගම් දොරෙහි පිහිටියා වූ නුගවෘක්‍ෂයෙක වාසය කරන්නා වූ දේවතාවාට බිලිපූජා කෙරෙමි’යි ප්‍රතිඥා කොට ගොස් අර්ථසිද්ධියට පැමිණ අන්තරායක් නැතිව අවුත් එළුවන් තිරෙළුවන් ආදී වූ බොහෝ ප්‍රාණීන් ඝාතනය කොට ඇයැද ගැනීමෙන් මිදෙමි’යි සිතා නුග රුක්මුලට ගියේය. නුග වෘක්‍ෂයෙහි අධිගෘහිත දිව්‍යපුත්‍ර තෙම කඳවෙලෙප්හි සිට මෙසේ කීයේය.

 

“පින්වත් පුරුෂය තෝ ඉඳින් මින් මිදෙනු කැමැත්තෙහි නම් පරලොව මිදෙනු පරිද්දෙන් මිදෙහිවා !ප්‍රාණ වධාදී වූ දුශ්චරිත කොට දැන් මිදෙන්නේ ද මතු පාප පාශයෙන් බැඳෙන්නේය. ඒ කාරණය දැන මෙසේ නුවණැත්තාවූ පණ්ඩිත පුරුෂයෝ මතු පාප පාශයෙන් නොබැඳෙන පරිද්දෙන් මිදෙත්. ඊට කාරණා කවරේ ද මෙබඳු මිදීම අඥානයාහට බන්ධනයට කාරණා ය. මෙසේ ප්‍රාණඝාත කොට මිදී නම් අඥානයාහට බැඳීමට කාරණා වන්නේය’යි කියා ධර්මදේශනා කළසේක. එතැන් පටන් මනුෂ්‍යයෝ මෙබඳු වූ ප්‍රාණඝාත කිරීමයයි කියන ලද අකුශලකර්මයන් වැළකී දානශීලාදී වූ සුචරිත ක්‍රියාවෙහි හැසිරී දිව්‍යලෝකයෙහි උපන්නාහු ය.ශාස්තෲ වූ බුදුරජාණන් වහන්සේ මේ ජාතක ධර්මදේශනාව ගෙනහැර දක්වා, පූර්වාපර සන්ධි ගළපා, මේ ආයාචිතභක්ත ජාතකය නිමවා වදාළ සේක. එසමයෙහි වෘක්‍ෂදේවතාව උපන්නෙම් දැන් තිලෝගුරු සම්‍යයක් සම්බුදුරජ වූ මම් ම වේදැ’යි තමන් වහන්සේ ගෙනහැර දක්වා වදාළ සේක.

 

උපුටාගැනීම- පන්සියපනස් ජාතක පොත් වහන්සේ

Read 1447 times
Developed by
ICT Branch, Ministry of Education, Sri Lanka
Site Map | Disclaimer
Copyrights © 2012-2016 | ICT Branch, Ministry of Education, Sri Lanka