ආදිත්ත ජාතකය 413

Written by

තව ද ලෝකත්‍රයට ප්‍රදීපයක් බඳූවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි කෝසල රජ්ජුරුවන්ගේ අසදෘසදානයක් අරභයා මේ ජාතකය දක්වන ලදි.

 

මෙහි විස්තර වශයෙන් මහාගෝවින්ද ජාතකයෙහි පෙනෙන්නේය. මෙහි වනාහී කෝසල රජ්ජුරුවෝ ක්‍ෂේත්‍රය දැනම දානය දුන්නෝය. දන් දුන් නියාව ඉතා යහපතැයි දම්සභාවේ රැස්වූ භික්ෂූන් වහන්සේ කියකියා වැඩ උන් තෙනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා “මහණෙනි මා එන්නාට පූර්ව භාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැ”යි විචාරා වදාරා එපවත් අසා “දැන් මතු නොවෙයි මහණෙනි, පෙර උත්තමයෝත් ක්‍ෂේත්‍රය දැනම දන්දුන්නෝ වේදැ”යි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළ සේක.

 

ඒ කෙසේද යත්,

 

යටගිය දවස බරණැස් නුවර සිව්රට විරන්‍ද නම් නුවර භරත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍ය කරන සමයෙහි රජ්ජුරුවන්ගේ සමුද්‍රවිජයා නම් අග්‍රමෙහෙසිකා කෙනෙක් ඇත්තාහ. දන් දී එක් දවසක් බිසවුන් රජ්ජුරුවෝත් එකතැන ඉඳ කියන්නාහූ “මෙතෙක් දෙන්නාවූ දානය නිසිතෙනකට දෙන්ට නො ලබම්හ. අප සිතට සමාධියක් නො වන්නේය”යි කීහ. බිසව් කියන්නාහු “මම දැන් ඉදිකරවමි. නුඹ වහන්සේ පසේ බුදුන් වහන්සේ වඩනා නියායෙන් ආරාධනා කළ මැනැවැ”යි කීහ. රජ්ජුරුවෝ “කෙසේ ආරාධනා කෙරෙම්දැ”යි කීහ. “මල් සතරමිටක් ඇර ගෙන නැගෙනහිරට දමා ආරාධනා කළ මැනැව”යි කීහ. ඒ දිග පසේබුදුන්වහන්සේ නැතිහෙයින් නො වැඩිසේක. පසුව දවස් දකුණු දිගට මල්දමා ආරාධනා කළහ. ඒ මල් නන්ද මූල දිගත් පසේබුදුන්වහන්සේ නැති හෙයින් නො වැඩිසේක. තුන් වෙනි දවසුත් බස්නාහිට මල් දමා ආරාධනා කළහ. ඒ දිග පසේබුදුන් වහන්සේ නැති හෙයින් නො වැඩිසේක. සතරවෙනි දවස උතුරු දිගට මල් සතරමිටක් දමා ආරාධනා කළාහ. ඒ මල් නන්දමූල පබ්භාරයට ගොස් පන්සියයක් පසේ බුදුන් වහන්සේ වඩනා තැනට ගොස් වැගිරිණ.

 

පසේ බුදුන් වහන්සේ මේ කාරණය දැක, දිවසින් බලා “භරත රජ්ජුරුවෝ අපට ආරාධනා කරන්නාහ”යි කියා, පසේබුදුන් සත්දෙනෙකුන් වහන්සේ තෝරා ‘භරත රජ්ජුරුවන්ගේ ආරාධනාවට ගොස් සිඟව’යි යවූසේක. උන් වහන්සේලා සත්දෙනා වහන්සේත් ගැටවටුගන්වා ආකාශයෙන් අවුත් රජ්ජුරුවන්ගේ රජගෙයි සමීපයෙහි සිඟා වැඩසිටිසේක. රජ්ජුරුවොත් පසේ බුදුන් වහන්සේලා දැක ප්‍රීතියෙන් පිනා දන් දී පසුව දවසටත් ආරාධනා කොට ශ්‍රමණ පරිෂ්කාර ඉදිරියෙහි තිබූහ. උන් වහන්සේලාත් ශ්‍රමණ පරිෂ්කාර පිළිගෙන වඩනා පසේ බුදුවරයන් වහන්සේලාගෙන් පළමු වඩනා පසේබුදුන්වහන්සේ රජ්ජුරුවන් වහන්සේට අනුමෙවනි බණ වදාරණසේක් ගාථා දෙකක් කී සේක. “මහරජ යම් ගෙයක් ගිනි වැදගත් කල ගෙයි තුබූ වස්තු ගින්නේ දැවෙන හෙයින් වහවහායෙන් පිටත ලද්ද, එමෙන් ජරාමරණ තමාට පැමිණෙන්නාට පළමුව තමා සෙව්ව වස්තුව දානවිෂයෙහි පරිත්‍යාග කොට මහරජ දිව්‍යලෝක සම්පත්තිය විඳුව”යි රජ්ජුරුවන්ට අවවාද කොට තමන්වහන්සේට දුන් පිරිකරත් ඇරගෙන කැණිමඩල පලාගෙන ආකාශයට පැනනැගී නන්දමූලක පබ්භාරයට වැඩිසේක. දෙවැනිව වඩනා පසේබුදුන්වහන්සේ රජ්ජුරුවන්ට අනුමෙවැනි බණ වදාරණසේක්.

 

මහරජ දන්දෙන්ට ශ්‍රමණබ්‍රහ්මණයන් ඇතිව වස්තුව දන් නො දී චෙතරණී සව්ර්ග මෝක්ෂ සම්පත් විඳුව’යි රජ්ජුරුවන්ට අවවාද කියා ආකාශයට පැනනැගී පස්වනක් වලා මඩිමින් තමන් වහන්ස්ට දුන් පිරිකර ගෙන නන්දමූලක පබ්භාරයට වැඩිසේක. තුන්වැනිව වඩනා පසේබුදුන්වහන්සේ රජ්ජුරුවන්ට අනුමෙවනි බණ වදාරනසේක් “මහරජ දන්දීම ද යුද්ධකිරීම ද සමාන වන්නේය. ඒ කවරහෙයින් ද යත් සෞර වීර්ය ඇති පුරුෂයෝ බොහෝ සතුරන් ජයගන්නේය. ස්වල්ප වූ පුරුෂයෝ බොහෝ මසුරු සිත් ජයගන්නේය. මහරජ එසේ හෙයින් ම දානාමානාදී බොහෝ පින්කම්කොට ස්වර්ගමෝක්ෂ සැප විඳුව”යි රජ්ජුරුවන්ට අවවාද කොට තමන්වහන්සේට පිළිගැන්වූ පිරිකරත් ඇරගෙන ආකාශයට පැනනැගී නන්දමූල පබ්භාරයට වැඩිසේක.

 

සතරවෙනිව වඩනා පසේබුදුන්වහන්සේ රජ්ජුරුවන්ට අනුමෙවැනි බණ වදාරණසේක් “මහරජ යහපත් ගුණ ඇති ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දුන්නා වූ දානය පරලොවෙහි යහපත් විපාක දෙන්නේය. ඒ එසේම ය. යහපත් වූ භූමියෙහි වපුළා වූ බිජුවට යහපත් සස්‍යඵලය දෙන්නේ ද, එමෙන් යහපත් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දුන්නා වූ දානයත් මහවිපාක දෙන්නේය”යි රජ්ජුරුවන්ට අවවාද කියා තමන් වහන්සේට දුන් පිරිකර ගෙන ආකාශයට පැනනැගී නන්දමූල පබ්භාරයට වැඩිසේක.

 

පස් වැනිව වඩනා පසේබුදුන්වහන්සේ රජ්ජුරුවන්ට අනුමෙවැනි බණ වදාරණ සේක් “මහරජ උත්තමයන් සිටිනා තරම් පදමටත් තමන්ගේ ජාතිග්‍රෝතයටත් නපුරුයි කියාත් පරලොව භයත් මෙලොව අපකීර්තිය නිසා පව් නො කරන්නාහ. සමහර කෙනෙක් එකෙකු මරාපුව’යි එකෙක් අප නසාපියා ද? පව් නම් කුමක්ද ?පින් නම් කුමක් ද? උදාර සිතින් පව් කරන්නාහ. මහරජ එලෙස පව් නො කොට පින්කම් කොට සැප විඳුව”යි රජ්ජුරුවන්ට අවවාද කොට, තමන් වහන්සේ අටපිරිකරගෙන නන්දමූලක පබ්බාරයට වැඩිසේක.

 

සවෙනිව වඩනා පසේබුදුන්වහන්සේ රජ්ජුරුවන්ට අවවාද කියා අටපිරිකර ගෙන ආකාශයට නැගී නන්දමූලක පබ්භාරයට වැඩිසේක. සත්වැනිව වැඩි පසේබුදුන්වහන්සේ රජ්ජුරුවන්ට අනුමෙවැනි බණ වදාරණ සේක් “මහරජ යම් දෙයක් ලබමි කරන්නාවූ හීනවූ බ්‍රහ්මචර්යායෙන් රජව උපදනාහ. මධ්‍යමව කරන්නාවූ බ්‍රහ්මචර්යාවෙන් දිව්‍යලෝක සැපත් ලබන්නාහ. උත්තම වූ බ්‍රහ්මචර්යායෙන් නිර්වාණ සම්පත්තිය ලබන්නාහ. මහරජ, ඒ උත්තම බ්‍රහ්මචාර්යයන් නිර්වාණසම්පතියට උත්සාය කරව” යි අවවාද කියා අටපිරිකර ගෙන ආකාශයට නැගී නන්ද මුලක පබ්භාරයට වැඩිසේක. රජ්ජුරුවෝත් ආකාශයෙන් යන්නාවූ පසේබුදුන්වහන්සේ බලාසිට මහත්වූ ප්‍රීතියෙන් පසේ බුදුන්වහන්සේ වදාළ අවවාද සිත තබා දසරාජ ධර්මයෙන් රාජ්‍යය කොට පරලොව ගියාහ’යි වදාරා මේ ආදිත්ත්‍ය ජාතකය නිමවා වදාළ සේක.

 

එසමයෙහි ඒ සම්බුදු විජයාබිසව නම් රාහුලෝමාතා වූ යසෝධරා ස්ථවිරය. භරත රජ්ජුරුවෝ නම් බුදු වූ මම් ම යයි තමන් වහන්සේ දක්වා වදාළසේක.

 

උපුටා ගැනීම- පන්සිය පනස් ජාතක පොත් වහන්සේ

Read 1591 times
Developed by
ICT Branch, Ministry of Education, Sri Lanka
Site Map | Disclaimer
Copyrights © 2012-2016 | ICT Branch, Ministry of Education, Sri Lanka