ආචාර්ය ප්‍රේමසිරි කේමදාස

Written by

ආචාර්ය ප්‍රේමසිරි කේමදාස මහතා එසේත් නැතහොත් සංගීත ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකික සලකුණ ලෙස හැඳින්විය හැකි මෙතුමා 1937 වර්ෂයේ ජනවාරි 25වන දින මෙලොව එළිය දුටු අතර ප්‍රාථමික අධ්‍යාපනය ලද්දේ පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයෙනි. ගැටවර වියේ දී ම ඔහු බටනළා වාදනයෙන් සහජ දක්ෂතා පෙන්වනු ලැබූ අතර ඔහුට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටින්නටත් පාසලේ ජ්‍යෙෂ්ඨ සහතික පත්‍ර විභාගයට පෙනී සිටින්නටත් සිදුවූයේ එකම දිනයේ දී මය. ඔහු හැකි අයුරින් විභාගය අවසන් කොට පාසලේ තාප්පයෙන් පැන ගොස් ශ්‍රවණ පරීක්ෂණයට සහභාගී විය. එයින් සමත් වූ ඔහු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සාමාජිකයෙකු බවට පත්විය.

 

සිනමා සංගීතයට අමතරව මෙතුමා ටෙලිනාට්‍ය, වේදිකා නාට්‍ය සඳහා ද සංගීතය නිර්මාණය කර ඇත. තව ද ඔහු ශ්‍රී ලාංකික සංගීතයෙන් ඔබ්බට ගොස් නවමු සංගීතය සොයා ගිය, නව සංගීත රචනා සිදුකළ, සංගීත ක්ෂේත්‍රයේ නිම් වළලු සිසාරා සිම්ෆනි හා ඔපෙරා යටතේ නව සංගීතය,නව රිද්ම සොයා ගත් සොඳුරු මිනිසෙකි.

 

අපේ ජනසංගීතයේ උරුමය, ඉන්දියානු සම්භාව්‍ය රාග සහ අපරදිග සංගීතයේ සාම්ප්‍රදායන් සංයෝජනය කරමින් ඔහු නිර්මාණය කළ ‘මුහුද මගේ’ ‘කාලයේ මව්නි’ වැනි සිම්ෆනි අති විශිෂ්ට ගණයේ ඒවා බවට සාක්ෂි අවශ්‍ය නැත.

 

ඔහු ඉතාම ප්‍රසිද්ධ වූයේ ‘මානසවිල’ ඔපෙරාවෙනි. බටහිර හා ඉන්දියානු සංගීත නිර්මාණ කොපි කිරීම වෙනුවට නව සංගීතය සොයා යමින් නවනිර්මාණ බිහි කිරීමට ඔහු නිරතුරුව ම සමත් විය.

 

සිරිසේන විමලවීරයන්ගේ ‘රොඩී කෙල්ල’ නම් නිර්මාණයට තම සංගීතය සැපයීමෙන් අනතුරුව ඔහු සංගීත නිර්මාණය කළ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ‘ගොළු හදවත’ චිත්‍රපටය ශ්‍රී ලාංකික සිනමා ඉතිහාසයේ හැරවීම් ලක්ෂය ලෙස සැලකිය හැකිය. පසුව ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ නිධානය, ‘කලියුගය’ ධර්මසේන පතිරාජයන්ගේ ‘බඹරු ඇවිත්’ යන සිනමා නිර්මාණ සඳහා එතුමා නිර්මාණය කළ සංගීතය සියල්ලන්ගේ ම ආකර්ෂණයට ලක්විය. එය සිංහල සිනමාවේ නව සලකුණක් ඇති කිරීමට සමත් විය.

 

ශ්‍රී ලාංකික ඉතිහාසයේ ඔපෙරා පිළිබඳව හසළ දැනුමක් ඇති ඔපෙරා නිර්මාණය කළ හා එය ක්‍රියාත්මක කළ පුද්ගලයෙකු ලෙස අපට හමුවන්නේ මෙතුමා පමණි. ඔහුගේ ඔපෙරා තුළින් ඔහු උත්සාහ කරන්නේ වචනවලින් දනවන අරුත හඬ භාවිතයෙන් දනවන්නේ කෙසේ ද? යන්නයි. එම ඔපෙරා අනන්‍ය වන්නේ ඒවා සිංහලෙන් නිර්මාණය වූ ඒවා වීම නිසා ය. ඔහුගේ ශිෂ්‍යයන් ඉතා නගරබද කොළඹ ආසන්නයේ නො වූවත් ඔවුන්ගේ සංගීතඥානය ඔහු ඉතා හොඳින් ඔපදමා ඇත්තේ දිනෙක ජාත්‍යන්තතරයට ද ගැළපෙන අයුරිනි.

 

ඔහු සිංහල සංගීතයට කළ මෙහෙවර වෙනුවෙන් රුහුණු විශ්වවිද්‍යාලය විසින් ඔහුට ආචාර්ය උපාධියක් පිරිනමන ලදී. දරුණු වකුගඩු ආබාධයකට මුහුණ දීමෙන් අනතුරුවත් ශ්‍රී ලාංකික සංගීතයේ හෙට දවස වෙනුවෙන් ඔහු නැවත සංගීතය නිර්මාණය කරන ලදී. වයස අවුරුදු 71දී ද ඔහු මෙම ක්ෂේත්‍රයේ පතාක යෝධයෙකු ලෙස සිටි අතර නිරතුරුවම ශ්‍රී ලාංකික සංගීතයේ හෙට දවස වඩාත් ආරක්ෂිත කිරීමට උත්සාහ කළේය.

 

ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම කෙළින් මිනිසෙකු වු අතර කිසිදු ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තුවෙන් නිර්මාණ නො කළේ ය. තමා කළ නිර්මාණ ඉතා මහන්සියෙන් සංයමයකින් සිදු කළ අතර එම නිසා ඔහු අදටත් අමරණීය චරිතයකි.

 

Read 2268 times
Developed by
ICT Branch, Ministry of Education, Sri Lanka
Site Map | Disclaimer
Copyrights © 2012-2016 | ICT Branch, Ministry of Education, Sri Lanka