චෝලයන්ගේ දේශපාලන වර්ධනය

Written by

චෝළ රාජ්‍යයට අඩිතාලම වැටෙන්නේ ක්‍රි.ව 850 දී පමණ විජයාලය චෝළ විසින් තංජෝරය අල්ලා ගැනීම සමඟ ය. විජයාලය චෝළ රජු තංජෝරය අල්ලා ගත් පසු එහි දේවතාවියක් උදෙසා දේවාලයක් ගොඩ නැංවීය. මින් පසු 1 වන ආදිත්‍ය චෝළ විසින්, අවසන් පල්ලව රජු වූ අපරාජිත වර්මන් රජු පුරම්බියම් සටනින් පරාජය කිරිම සමඟ චෝළයෝ අධිරාජ්‍යයක් පිහිටුවීමේ පෙර ලකුණු ප්‍රදර්ශනය කළහ. 1වන ආදිත්‍යය රජුගෙන් පසු චෝළ බලයට පත් වූ පළමුවන පරන්තක වීරනාරායන රජු චෝළබලය තව දුරටත් ව්‍යාප්ත කරමින් පාණ්ඩ්‍ය රාජ්‍යය ද ලංකාවද ජයගත් බව සඳහන්කර ඇත. ඔහු මදුරෙයියුම් ඊලමුම්කොණ්ඩ යන විරුදය භාවිත කළේ ඒ නිසා ය. එහෙත් චෝළ රාජ්‍යය සැබෑ අධිරාජ්‍යයක් ලෙස වර්ධනය වූයේ පළමුවන රාජ රාජ හා රාජේන්ද්‍ර චෝළ රජ දවස ය. මොවුන් දෙදෙනාගේ කාලයේ දී චෝළ අධිරාජ්‍යය සමුද්‍රාන්තර අධිරාජ්‍යයක් බවට පත් විය. අන්දමන් දූපත් නිකොබා දූපත් හා ශ්‍රී ලංකාවේ උතුරු කොටස ද ඔවුහු සියතට ගත්හ.

 

බෙංගාල බොක්ක ඔවුන්ගේ රාජ්‍යයේ පොකුණක් සේ විය. ඊට හේතුව බෙංගාලබොක්ක වටා බහුතරයක් රාජධානි ඔවුන්ට නතු වූ නිසා ය. ඉන්දියාව තුළ ද ඔවුන්ගේ දේශසීමාව ගංගා නිම්නය තෙක් පැතිර තිබුණි. ඔවුන් මලයාව තෙක් අත්කරගත් ජයග්‍රහණ පිළිබඳ ලෙයිඩන් සන්නයෙන් තොරතුරු හෙළි වේ. බෙංගාලය කාවීරපට්ටනම් ආදි වරායන් ද ඔවුන් විසින් අත්පත් කරගෙන තිබුණි. කෙසේ වුව ද චෝළයන් ගංගා නදී නිම්න ප්‍රදේශයේ පාලනය කළ බවට පැහැදිලි සාක්ෂියක් නැත. චෝළ අභිලේඛනවල සඳහන් වන්නේ ද 1වන රාජේන්ද්‍ර චෝළ රජ ගංගා නදී ප්‍රදේශයට ගොස් එහි ශුද්ධ ජලය තංජෝරයට රැගෙන ආ බව පමණි. මෙය හුදෙක් වන්දනා ගමනෙකැයි ඉතිහාසඥයෝ විශ්වාස කරති.

 

චෝළයෝ තමන් අත්පත් කරගත් ප්‍රදේශ පාලනයට ද සැලසුම් සහගත ක්‍රමවේදයක් ගෙන ගියහ. ඔවුන්ගේ රාජ්‍යය මණ්ඩලවලට බෙදා තිබූ අතර මණ්ඩල යළිත් කොට්ටන්,බලනාඩු,නාඩු කුර්රම්,ගම් ආදී කොටස්වලට බෙදා තිබුණි.

 

ඔවුන් සිය යටත් ප්‍රදේශවලින් බදු අය කළ අතර ඒවා රාජ්‍යය පාලනයට හා සංවර්ධනයට යොදවන ලදි. වීරවලඤ්ජියර් හෙවත් නානාදේශි ව්‍යාපාරය චෝළයන් යටතේ මහත් වර්ධනයක් අත්කර ගත අතර චෝළයෝ මේ හරහා ලෝකය පුරා ම ව්‍යාපාර කටයුතු පවත්වාගෙන ගියහ. ඇතුන් ,අසුන්, මුතුමැණික් ,කුළුබඩු සුවඳවිලවුන්,ඖෂධ ආදිය ඒ යටතේ වෙළඳාම් කරන ලදි . මේ ව්‍යාපාරයේ ශාඛාවක් සුමාත්‍රාවේ ද පිහිටුවන ලදී. ලංකාවේ ද වාහල්කඩ , පදවිය, හෙට්ටිපොල , මොරගොල්ල ආදි ප්‍රදේශවලින් මේ ව්‍යාපාරය පිළිබද සඳහන් ශිලාලේඛන හමු වී තිබේ.

 

කෙසේ වුව ද 12වන සියවස ආසන්න වන විට එනම් 1770 පමණ වන විට සොළීන්ට තම දැවැන්ත අධිරාජ්‍යය පාලනය කිරීමට තරම් දක්ෂ නරපතියකු පත්කර ගැනිමට නොහැකි විය. පළමුවන කුලෝත්තුංග රජු යටතේ විශාල වශයෙන් දේශපාලන බිඳවැටීම්වලට ලක් වුණු අතර ලංකාවේ හා බුරුමයේ සොලී විරෝධී සටන් ඉතා තියුණු මුහුණුවරක් ගෙන තිබුණි. ලංකාවේ මහාවිජයබාහු රජු ලංකාවේ සොළීන් පලවා හැරි අතර ඊට ආසන්න කාලයක දී සොලීන්ව බුරුමය ඇතුළු ඊසානදිග නැගෙනහිර හා ගිණිකොනදිග රාජ්‍යයන් ද අහිමි විය .ඔවුන්ට දකුණු ඉන්දියාවේ තම මුල් රාජ්‍යයට සීමා වන්නට සිදු වූ අතර එය රැක ගැනීමට ද චාලුක්‍යයන් සමඟ සටන් කිරීමට සිදු විය. කෙසේ වුවද චෝළයෝ කෙටි කලක් තුළ දැවැන්ත අධිරාජ්‍යයක් නිර්මාණයකර විශාල අධිරාජ්‍යයක් ක්‍රමවත්ව පාලනය කරන අයුරු පිළිබඳ ලොවට ම ආදර්ශයක් දුන් බව කිව හැකි ය.

 

(තොරතුරු- අමිල කෝසල උඩවත්ත-නාගොඩ මහා විද්‍යාලය-කළුතර)

Read 6169 times
Developed by
ICT Branch, Ministry of Education, Sri Lanka
Site Map | Disclaimer
Copyrights © 2012-2016 | ICT Branch, Ministry of Education, Sri Lanka