දෙවන චන්ද්‍රගුප්ත වික්‍රමාදිත්‍ය

Written by

සමුද්‍රගුප්ත අධිරාජ්‍යයාගෙන් පසුව ගුප්ත රාජ්‍යය පුරා යම් යම් අසමගිතා පාලන වියවුල් ඇති විය. මේ තත්ත්වය පාලනයකර ගුප්ත අධිරාජ්‍යය යථාතත්ත්වයට පත් කිරීමට ප්‍රබල අධිරාජ්‍යයෙකුගේ අවශ්‍යතාවය මතු විය. ද්විතීය චන්ද්‍රගුප්ත හෙවත් වන්ද්‍රගුප්ත වික්‍රමාදිත්‍ය රජු බලයට ආවේ එවන් අවශ්‍යතාවයක් පැන නැගී තිබිය දී ය. මථුරා ටැම් ලිපියෙන් ද උදයගිරි ලෙන් ලිපියේ ද , සාංචි ලේඛනයේ ද ඔහු පිළිබඳ තොරතුරු ඇතුළත් වේ. ඊට අමතරව තිථි වර්ෂ 90 හෙවත් ක්‍රි. ව 409 සඳහන් රිදී කාසි ද මේ රජුගේ කාලයට අයත්ව හමු වී ඇත.

 

දෙවන චන්ද්‍රගුප්තයන් ගුප්ත අධිරාජයයේ තත්ත්වය යළි යථාතත්ත්වයට පත්කරන්නේ දිග්විජය ව්‍යාපාරය ඇරඹීම සමගිනි. ඒ අතරින් වඩාත් ප්‍රබල දිග්විජය ව්‍යාපාරය දියත් වන්නේ උතුරු හා බටහිර දිගට ය. මේ යටතේ ඔහු පංජාබය තෙක් බලය පැතිර වූ බව සඳහන් වේ. ඔහුගේ යුධ කටයුතු  පිළිබඳ  ප්‍රබල සාක්ෂියක් වන මාල්වා හි උදයගිරි ලිපියේ ඔහුගේ යුධ කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රකාශයක් සඳහන් වේ. එහි චන්ද්‍ර ගුප්ත රජු මුළු පෘථිවිය ම ජයගැනීමට පැමිණි බවත් තමා ද රජු සමඟ ආ බවත් සඳහන් වේ.

 

බටහිර භාරතය ජයගන්නට පෙර දෙවන චන්ද්‍රගුප්ත රජු මාල්වා හි සිය කඳවුර පිහිටුවනු ලැබී ය. ඔහු බටහිර දෙසට හමුදා මෙහෙයවූයේ මාල්වා කඳවුරේ සිට ය.බටහිර ඉන්දියාවේ ඔහුගේ යුද ජයග්‍රහණ සනාථ කරන රීදි කාසි ද හමු වී තිබේ. ඒ අතර විශේෂයෙන් ම රජු සිංහයකු දඩයම් කරන ආකාරය දැක්වෙන රිදී කාසිය ද වැදගත් වේ . ගුජරාටයේ හා රාජ්පුතානාවේ වනාන්තරවල සිංහයන් බහුලව සිටි අතර සිංහ දඩයම හෙවත් සිංහයන් පරාජය කිරීම දැක්වෙන කාසියෙන් ඔහු ගුජරාටය හා රාජපුතානාව ජයගත් බව දැක්වේ. මේ කාසිවල රජුගේ නාමයට "සිංහ වික්‍රම" යන උපාධිය දී තිබේ. බටහිර භාරතය ජය ගැනීමේ දී ඔහු අතින් පරාජයට පත් ප්‍රධානතම ජාතිය වන්නේ ශකවරු ය. ගුප්තයන් අතින් ශකවරුන් ලැබූ මේ පරාජය සමඟ ඔවුන් සදහට ම ගුප්ත සංස්කෘතිය තුළ දිය වී ගිය බව ද භාරතීය ඉතිහාසඥයෝ මත පළ කරති.

 

රුද්‍රසිංහ රජු අවසාන ශක රජු වූ අතර දෙවන චන්ද්‍රගුප්ත අතින් පරාජයට පත් වූයේ ද ඔහු ය. දෙවන චන්ද්‍රගුප්ත රජුට වික්‍රමාදිත්‍ය උපාධිය හිමි වූයේ ද මේ ශකවරුන් පරාජය කළ නිසා ය. දිල්ලියට ආසන්න කුතුබ්මිනාර් ලෝහ ස්තම්භයේ ද චන්ද්‍ර නම් රජකුගේ උතුරු යුධ යාත්‍රාවක් ගැන සඳහන් වේ. උතුරු ඉන්දියාවට දෙවන චන්ද්‍රගුප්ත රජු එල්ල කළ යුධ ප්‍රහාරයක් මින් සංකේතවත් කෙරේ, යයි විශ්වාස කළ ද තවමත් මේ චන්ද්‍ර  යන නාමය පිළිබද විවිධ මත පවතී.

 

චන්ද්‍රගුප්ත රජු දකුණේ රජවරුන් සමඟ ද දේශපාලන සබඳතා පැවැත්වීය. සමුද්‍රගුප්ත රජුට අවනතව සිටි ප්‍රාදේශිය රජවරුන් සමඟ ද මේ සබඳතා ගොඩ නගා ගත්තේ රාජ්‍යය පාලනය නිසි අයුරින් සිදු කිරීමේ උපායක්  වශයෙනි. නාග,වාකාටක,කුංතල ආදි රාජ්‍යයන් සමඟ ඔහු සබඳතා පැවැත්වීය. දෙවන චන්ද්‍රගුප්ත රජු ද පිය රජුගේ ම අශ්වමේධ යාගයක් කළ බව ඉතිහාසඥයෝ විශ්වාස කරති. කාසි ප්‍රදේශයෙන් හමු වූ අශ්ව මූර්තියක චන්ද්‍රගුප්ත යන නම කොටා තිබී ඇත. මේ නිසා ඔහු අශ්වමේධ යාගයක් කළේ යයි සිතීමට ද හැකිය . එහෙත් එය සනාථ වී නැත.

 

චන්ද්‍රගුප්ත රජු හින්දු භක්තිකයකු වුව ද සෙසු ආගම්වලට ද සමව සලකා ඇත. එයින් ඔහුගේ ආගමික සහනශිලි ප්‍රතිපත්තිය හෙළි වන අතර ම රාජ්‍යයේ ස්ථාවරත්වය ඇති කිරීමට ගත් උත්සාහය ද ප්‍රදර්ශනය වේ. විවිධ ආගමිකයන් අමනාප කරගැනීම නිසා රාජ්‍යයක්  අස්ථාවර විය හැකි බව ඔහු අවබෝධකොටගෙන තිබුණේ ය. අමරකාර්දව නම් බෞද්ධාගමිකයකු ඔහුගේ රාජ්‍ය නිලධාරින් අතර ඉහළ ම ස්ථානයක සිටීම ඔහුගේ ආගමික සහනශීලි බවට කදිම උදාහරණයකි.

 

ආගමික අතින් පමණක් නොව ඔහු සාහිත්‍ය, විද්‍යාව ආදි අංශවලට ද අනුග්‍රහ දැක්වීය. ඔහුගේ රාජ සභාවේ කවියෝ රැසක් වූහ. ලෝක සාහිත්‍යයට ඉන්දීය සාහිත්‍යය රසය මුහුකළ මහා කවි කාලිදාස ද මේ රාජ්‍යසමයේ දිවි ගෙවී ය. හෙතෙම දෙවන චන්ද්‍රගුප්ත රජුගේ රාජ කවියා පමණක් නොව ඔහුගේ රාජසභා නිලධාරියකු ලෙස කටයුතු කළේ ය.

 

දෙවන චන්ද්‍රගුප්ත රජු බිඳ වැටෙමින් තිබූ ගුප්ත අධිරාජ්‍යයට යළි ජීවය පෙවූ බවට නිසැක ලෙස ම පිළිගත යුතු වේ. මන්ද යත් ඔහුගේ පැමිණීම ගුප්ත අධිරාජ්‍යය  යළි ප්‍රකෘතිමත්ව නැගී සිටි බැවිනි. වික්‍රමාංක ,වික්‍රමාදිත්‍ය, ශ්‍රී වික්‍රම, අජිත වික්‍රම, සිංහ වික්‍රම, නරේන්ද්‍ර චන්ද්‍ර ආදි විරුදනාමවලින් ම හෙළිවන්නේ ගුප්ත වංශයේ ඔහු කෙතරම් කැපි පෙනුණ චරිතයක් ද යන්න යි. ඔහුගේ මේ ප්‍රකාශය නිසා ගුප්ත බිඳවැටීම නතර වී එහි ආයුෂ දීර්ඝ වූ බව නිසැක වශයෙන් ම කිව හැකි ය.

 

(තොරතුරු- අමිල කෝසල උඩවත්ත-නාගොඩ මහා විද්‍යාලය-කළුතර)

Read 3019 times
Developed by
ICT Branch, Ministry of Education, Sri Lanka
Site Map | Disclaimer
Copyrights © 2012-2016 | ICT Branch, Ministry of Education, Sri Lanka