කාන්තාරය

Written by

3

කාන්තාරයක් යනු සුළු වර්ෂාපතනයක් සහිත වූූවක් බැවින් සත්ත්ව සහ පැළෑටිවල පැවැත්මට දුෂ්කර වූ නිසරු ප‍්‍රදේශයකි. ශාකවල පැවැත්මක් නොමැතිකම නිසා අනාරක්‍ෂිතවූ ගොඩබිම සෝදාපාළුවට භාජනයවී ඇත. ලෝකයේ මුළු භූමි ප‍්‍රමාණයෙන් තුනෙන් එකක් පමණ ම ශුෂ්ක හෝ අර්ධශුෂ්ක ප‍්‍රදේශ වේ. අඩු වර්ෂාපතනයක් සහිත ධ‍්‍රැව ප‍්‍රදේශ ද මෙම ගණයට අයත්වන අතර මෙම ප‍්‍රදේශ “ශීත කාන්තාර” නමින් ද හඳුන්වනු ලැබේ. කාන්තාර වර්ගීකරණය කිරීමේ දී ලැබෙන ගෝලීය පිහිටීම ද සැලකිල්ලට ගෙන ඇත.

 

 

දහවල සහ රාත‍්‍රී කාලයේ පවතින කාලගුණයේ දැඩි වෙනස්කම් නිසා විශාල පර්වත මත ඇති කරන බලය හේතුවෙන් ඒවා පුපුරා ගොස් ජීර්ණවීමේ ක‍්‍රියාවලියට භාජනය වීමෙන් වැලි බවට පත්වීම නිසා කාන්තාර ඇතිවී ඇත. කාන්තාරවල වර්ෂාපතනය ඉතා හීන වුව ද ඉඳහිට පතිතවන අධික වර්ෂාපතන නිසා හදිසි ගංවතුර තත්ත්වයන් ද ඇතිවේ. පර්වත මතට පතිතවන ඒ අධික හදිසි වර්ෂා නිසා එම පර්වත පුපුරා ගොස් ගල්කැබලි හා ගල්පතුරු කාන්තාරය පුරා විසිරී ගොස් ඒවා සුළඟ මගින් තව දුරටත් ජීර්ණකර හරිනු ලැබේ. මෙම සුළං මගින් කුඩා වැලිකැට හා දූවිලි ඉහළට ගසාගෙන යාමෙන් වැලිකඳු හා වැලිකුණාටු ඇති කරයි. මෙසේ ගසාගෙන යන වැලිකුණාටු මගින් ඒවා යන මාර්ගයේ ඇති තද පාෂාණ සීරීයාමට භාජන වේ. මේ මගින් මෙම පාෂාණ මතුපිට මටසිලුටු වේ. සුළඟ මගින් වැලි එක් එක් ප‍්‍රමාණයේ වර්ගවලට වෙන්කොට තැන්පත් කරනු ලැබේ. මෙම වැලිකැට අවසානයේ දී සමතලා මතුපිටක් හෝ වැලිකඳු වශයෙන් නිර්මාණය වේ. අනිත් කාන්තාර සමතලා භූමි සහ ගල් සහිත තැනිතලා වන අතර ඒවායේ වැලි සියල්ල ම සුළඟට ගසාගෙන ගොස් දිලිසෙන මතුපිටක් ඇති පාෂාණ නිර්මාණය වී ඇත. මෙම ප‍්‍රදේශ, කාන්තාර පාෂාණවේදිකා නමින් හඳුන්වන අතර තව දුරටත් කුඩා ප‍්‍රමාණයේ ඛාදනයන් සිදුවේ. අනිත් කාන්තාර ලක්‍ෂණ නම් නෙරා ගිය පර්වත මතුපිටට පැමිණි පර්වත සහ හදිසි අධික වර්ෂා මගින් ගෙන අවුත් තැන්පත්වී ඇති මැටි තට්ටු ය. තාවකාලික විල් සහ ලුණුතට්ටු සහිත ආවාට ආදිය මෙම වර්ෂා ජලය වාෂ්පීකරණය වීමෙන් පසු නිර්මාණය වී ඇත. පාෂාණගත ජලය නිසා ඇතිවන ජල සීරාවන් හා භූගත ජලය නිසා ඇතිවන ජල උල්පත් ද මෙහි දැකිය හැක. මේවා හමු වූ විට කෙම්බිම් ඇති විය හැකි ය.

6

 

කාන්තාරයේ ජීවත්වන සතුන්ට එම කර්කශ පරිසරයට ගැළපෙන අන්දමට විශේෂ අනුවර්තන අවශ්‍යවේෙ. එම ප‍්‍රදේශවල පැළෑටි ඉතා කර්කශ වන අතර සිහින් කෙඳි සේ පවතී. තව ද එම ශාක බොහෝ විට පත‍්‍ර ස්වල්පයක් හෝ පත‍්‍ර රහිතවම ද ජලයට ප‍්‍රතිරෝධ වූ වියළි පොතු සහිතව හෝ ශාකභක්‍ෂක සතුන්ගෙන් ආරක්‍ෂා වීම සඳහා තද නාරටි වලින් ද යුක්ත වේ. සමහර වාර්ෂික පැළෑටි වර්ෂාවෙන් පසු පැළවී සති කීපයකින් පසු මල් පිපී මැරී යන අතර සමහර දිගුකාලීන වෘක්‍ෂ වර්ෂ ගණනක් ජීවත් වේ. එම වෘක්‍ෂවලට භූගත ජලය උරා ගැනීම සඳහා දීර්ඝ මුල් පද්ධතියක් සතුව ඇත. තව ද සතුන්ට ජීවත්වීම සඳහා ප‍්‍රමාණවත් ජලය ද ආහාර ද සිසිල් බව ද අවශ්‍ය වේ. බොහෝ සත්තු නිශාචර වෙති. ඔවුහු දවසේ උෂ්ණ අවස්ථාවල දී ගස් යට හෝ භූගත ගුහාවල හෝ වාසය කරති. ඔවුන්ට තමන්ගේ පැවැත්ම රඳවාගැනීම සඳහා දක්‍ෂ වියයුතුව ඇත. ඔවුන්ගේ ජල අවශ්‍යතා වැඩි ප‍්‍රමාණයක් ආහාරයෙන් උරාගන්නා අතර මූත‍්‍ර සාන්ද්‍රගත කිරීම, එක්රැස් කිරීම මගින් ද ජල අවශ්‍යතා සපුරා ගනී. සමහර සත්තු දීර්ඝ කාලයක් නිද්‍රෝපගතව සිටින අතර වර්ෂාව ආරම්භවීමත් සමග ම නැවතත් කි‍්‍රයාකාරී වීම සඳහා සූදානම් වෙති. ඔවුහු එවිට නැවතත් වර්ෂා කාලය ආරම්භවන තුරු පවතින සතුටුදායක කාලපරිච්ඡේදය තුළ ප‍්‍රමාණවත් ක‍්‍රියාශීලී ජීවිතයක් ගතකරති.

4   5

 

මනුෂ්‍යයන් දශලක්‍ෂ වර්ෂාධික කාලයක් කාන්තාරවල සහ ඒ අවට අර්ධශුෂ්ක ප‍්‍රදේශවල ජීවත්වීමට සටනක යෙදී ඇති බව පෙනේ . නොමැඩ්වරු, සතුන් තෘණ භූමියක ආහාර ගැනීමට සලස්වා එහි ආහාර අවසන් වූ විට තවත් තෘණ භූමියකට දක්කාගෙන යමින් ආහාර සොයාගෙන යන සංචාරක එඬේර තෘණබිම් ඇති ප‍්‍රදේශ කරා ඔවුන්ගේ සත්ත්ව රංචු දක්කාගෙන ගොස් ඇති අතර ක්ෂේමභූමි ඔවුන්ට වඩාත් ස්ථීරසාර ජීවන මාර්ගයන් සපයා ඇත. අර්ධ ශුෂ්ක ප‍්‍රදේශ කෘෂිකර්මය සඳහා යොදා ගැනීම පාංශු ඛාදනය වේගවත් කිරීමට හේතුවන අතර එය කාන්තාරකරණය කිරීම වේගවත් වීමට ද එක් හේතුවක් වී ඇත. කාන්තාර කෘෂිකර්මය සඳහා යොදා ගැනීම වාරිමාර්ග මගින් කළ හැක . කැලිෆෝනියාවේ ඉම්පීරියල් වැලි රාජකීය මිටියාවත බාහිරින් ජලය සපයාගෙන ඉතාමත් සාර්ථක ලෙස නිසරුබිම් වගාකළ හැකි බවට ඉතා සුදුසු උදාහරණයක් ලෙස දැක් විය හැක. බොහෝ වෙළඳ මාර්ග කාන්තාර හරහා විශේෂයෙන් සහරා කාන්තාරය හරහා නිර්මාණයවී ඇති අතර එම මාර්ග සාම්ප‍්‍රදායිකව ගැල් සහ ඔටුවන් මගින් ලුණු,රත්රන්, ඇත්දළ සහ වෙනත් භාණ්ඩ ප‍්‍රවාහනයට යොදා ගෙන ඇත. භාණ්ඩ විශාල ප‍්‍රමාණයක් සහරා කාන්තාරය හරහා උතුරු දෙසට ප‍්‍රවාහනය කොට ඇත. සමහර ඛනිජ ද්‍රව්‍ය ද කාන්තාරවල ඇති අතර අඛණ්ඩ දැඩි හිරුරැස් සූර්ය බලශක්තිය විශාල වශයෙන් ලබා ගැනීම සඳහා මූලාශ‍්‍රයක් ලෙස භාවිතා කළ හැක.

 

වාෂ්පීකරණ පරිවහනයෙන් සිදුවිය හැකි මදිපාඩු පිරිමැසීම සඳහා කාන්තාරවලට පතිතවන වර්ෂාව මිනුම්ගත කිරීමට විද්‍යාත්මක පදනමක් සහිත නිරුක්තියක් සැපයීම සඳහා කටයුතු කර අත.(P for precipitation)පී අක්‍ෂරය වර්ෂාපතනය සඳහා භාවිතා කරමින් සූත‍්‍රය මගින් ප‍්‍රදේශයක ජලය ලැබීම් හා වාෂ්පීකරණයවීම් ගණන් බැලිය හැක. සිදුවිය හැකි වාෂ්පීකරණ අනුපාතය යනු භූමිය මතුපිට රඳාපවත්නා ජල පරිමාණය යි. වාෂ්පීකරණ පරිවහනය යනු වාතය ආශි‍්‍රත සහ පැළෑටිවල ජීවන ක‍්‍රියාවලියට අදාළ වාෂ්පීකරණයේ සහසම්බන්ධතාවයකි. එබැවින් සිදුවියහැකි වාෂ්පීකරණ පරිවහනය යනු යම්කිසි ප‍්‍රදේශයක වාෂ්පීකරණය වියහැකි ජල පරිමාණයයි. උදාහරණයක් වශයෙන් ටස්කොන් ඇරිසෝනා ලබන්නේ මි.මී.300(අඟල්12) වාර්ෂික වර්ෂාපතනයකි. එනමුත් වර්ෂයකදී ජලය මි.මී.2500 (අඟල් 98) ප‍්‍රමාණයක් වාෂ්පීකරණය වියහැක. වෙනත් වචනවලින් කිවහොත් සත්‍ය වශයෙන් ම වසින වර්ෂාවට වඩා අටගුණයකට අධික ප‍්‍රමාණයක් මෙම ප‍්‍රදේශවලින් වාෂ්පීකරණය වියහැකිය. වාෂ්පීකරණ කි‍්‍රයාවලියට ආධාර කිරීමට තරම් ඌෂ්ණත්වය ප‍්‍රමාණවත් නොවන නිසා ඇලස්කාව වැනි ශීත දේශගුණයන් ඇති රටවල වාෂ්පීකරණය වීමේ අනුපාතය ඉතාමත් පහත මට්ටමක පවතී.

 

කාන්තර සමහර විටක “ උෂ්ණ ” හෝ “ශීත” “අර්ධ ශුෂ්ක” හෝ “වෙරළාසන්න” යනුවෙන් වර්ග කරනු ලැබ ඇත. ග‍්‍රීෂ්ම ඍතුවේ පවතින අධික උෂ්ණත්වය නිසා වර්ෂාපතනයට වඩා වැඩිවන අධික වාෂ්පීකරණය ප‍්‍රබල සුළං දහරාවන් සහ ආවරණ වලාකුළු හිඟවීමත් වර්ෂාපතන ක‍්‍රියාවලියේ ඇතිවන සැලකිය යුතු වෙනස්කම් ද එහි වේගය හා පැතිරීම ද අඩු ආර්ද්‍රතාවය ද උෂ්ණ කාන්තාරවල ලක්‍ෂණවේ. ශිශිර ඍතුවේ උෂ්ණත්වය විවිධ කාන්තාරවල දී සැලකියයුතු පරිදි වෙනස්වෙන අතර බොහෝ විට මහාද්වීපික ප‍්‍රදේශයේ කාන්තාරය පිහිටා ඇති ස්ථානයට ද අක්‍ෂාංශයට ද අදාළ වේ. රාත‍්‍රී කාලයේ දී ඇතිවන විස්තාපනය පැහැදිලි අවකාශය නිසා වර්ධනය වීම හේතුවෙන් උෂ්ණත්වය පහළ බැසීම නිසා දිනපතා ඇතිවන උෂ්ණත්වයේ වෙනස් කම්  22 0c  (40 0f) හෝ ඊට වඩා වැඩි විය හැක. ශීත කාන්තාර සමහර අවස්ථාවල සමශීතෝෂ්ණ කාන්තාර ලෙස ද නම්කරනුුු ලබන අතර ඒවා උෂ්ණ කාන්තාරවලට වඩා උස් අක්‍ෂාංශවල පිහිටා ඇතත් වාතයේ ඇති වියළිභාවය නිසා ශුෂ්ක බවට පත්වී ඇත. සමහර කාන්තාර සාගරයෙන් ඉතා ඈතින් පිහිටා ඇත. අනිත් කාන්තාර කඳුවැටි මගින් සාගරයෙන් වෙන්ව පිහිටා ඇත. මෙම අවස්ථා දෙකෙහි දී ම ප‍්‍රමාණවත් වැසි ලබාදීම සඳහා වායු ගෝලයේ තෙතමනය අවශ්‍ය ප‍්‍රමාණයට නොමැත.

 

මෙම කාන්තාරවලින් විශාලතම කාන්තාර මධ්‍යම ආසියාවේ පිහිටා ඇත. අනිත් කාන්තාර රොකී කඳුවැටියේ නැගෙනහිර දෙසින් ද දකුණු ඇන්ඩීස් කඳුවල නැගෙනහිර දෙසින් ද දකුණු ඕස්ටෙ‍්‍රලියාවේ ද පිහිටා ඇත. ධ‍්‍රැවකාන්තාර, ශීත කාන්තාරවල විශේෂ වර්ගයකි. මෙම කාන්තාරවල වාතය ඉතා ශීත ය. ඉතා සුළු ආර්ද්‍රතාවයක් ඇති නිසා වර්ෂාපතනය ද සුළු ය. හිමපතනයක් වශයෙන් ලැබෙන එම ප‍්‍රමාණය ද නිතර ලැබෙන ප‍්‍රබල සුළංධාරා නිසා ඈතට ඇදී යයි. එම සුළං මගින් විශාල හිමකුණාටු ද ගසාගෙන ගොස් තැන්පත්වූ හිම ද හිම කඳු ද අනිත් කාන්තාරවල වැල්ලෙන් නිර්මාණයවූ කඳුවලට සමානව ම නිර්මාණයවී ඇත.උදාහරණයක් වශයෙන් ඇන්ටාර්ටිකාවේ වාර්ෂික වර්ෂාපතනය මි.මී.50 (අඟල් 2) ප‍්‍රමාණයක් මධ්‍යම සානුවල ඇති අතර සමහර ප‍්‍රධාන අර්ධද්වීපවල ඊට වඩා දසගුණයක ප‍්‍රමාණයෙන් වැඩිවීමක් ඇත.

 

වර්ෂාපතනය පමණක් පාදක කරගතහොත් අතිශයින් ම ශුෂ්ක කාන්තාර මි.මී.25 (අඟල් 1) වඩා අඩු වාර්ෂික වර්ෂාපතනයක් ලබයි. එම කාන්තාර ප‍්‍රදේශවලට වාර්ෂික ඍතු අනුව වර්ෂාපතන චක‍්‍රයක් නොමැති නිසා කිසිසේත්ම වර්ෂාපතනයක් නොමැති මාස දොළහක පමණ කාලපරිච්ඡේදයන් අත්විඳීමට සිදුවේ. ශුෂ්ක කාන්තාර වාර්ෂිකව මි. මී. 25 ත් 200 ත් අතර (අඟල් 1-8 අතර) වර්ෂාපතනයක් ලබන අතර අර්ධ ශුෂ්ක කාන්තාර මි.මී. 200 ත් 500 ත් (අඟල් 8-20) අතර වර්ෂාපතනයක් ලබයි. කෙසේවෙතත් උෂ්ණත්වය ආර්ද්‍රතාවල වර්ෂාපතන අනුපාතය සහ වාෂ්පීකරණපරිවහනය සහ භූමියේ තෙතමනය රඳාපවත්වා ගැනීමේ හැකියාව වැනි සාධක ශුෂ්කභාවයේ තත්ත්වයන්ට විශේෂ බලපෑමක් ඇති අතර වෘක්‍ෂලතාදියේ සහ සත්‍ත්ව ජීවිතවල නො නැසී පැවැත්මට ද බලපෑමක් ඇති කරයි. ශීත ඍතුවල දී ලැබෙන වර්ෂාව පැළෑටි වනය සඳහා අතිශයින්ම වැදගත්වේ. වර්ෂාපතනය පමණක් පාදකකොට ගෙන කාන්තාරවල සහ එ්වා වටා පිහිටි අර්ධශුෂ්ක කාන්තාරවල ද මායිම් නිර්ණය කිරීම ප‍්‍රශ්නගත කරුණකි. ශීත දියවැල් ගොඩබිම දෙසට ළඟාවන හෝ ශීත මුහුදුජලය ගොඩබිම දෙසට නැගී එන මහද්වීපවල වැඩි බිම් ප‍්‍රමාණයක බටහිර මායිම්වල මුහුදු වෙරළාශ‍්‍රිත කාන්තාර විශාල ප‍්‍රමාණයක් දක්නට ලැබේ.

 

Read 6750 times
Developed by
ICT Branch, Ministry of Education, Sri Lanka
Site Map | Disclaimer
Copyrights © 2012-2016 | ICT Branch, Ministry of Education, Sri Lanka