මැදවල ටැම්පිට විහාරය

Written by

1

ටැම්පිට විහාරය යනු

කුලුනු හෙවත් පිට ඉදිකළ විහාර ටැම්පිට විහාර නම් වේ.කුලුනු යැයි සඳහන් කළ ද ඒවා ඉතා උසස් ඒවා නො වේ. අඩි 3 – 4 කට වඩා නො උස් කුලුනු ටැම්පිට විහාර ඉදිකිරීම් යොදා ගෙන ඇත.

 

ටැම්පිට විහාර ඉදි කළ කාලය

 

ලංකාවේ ටැම්පිට විහාර කලාව වඩාත් ප්‍රචලිත වූයේ 17 – 19 සියවස් අතර කාලයේ ය. එනම් මහනුවර රාජධානි සමයේ ය . 20 වන සියවසේ දී හෝ ඊට පසු කාලයේ දී ටැම්පිට විහාර ඉදිකළ බවක් අසන්නට නොලැබේ

 

 

ටැම්පිට විහාර වල ප්‍රභවය

 

ටැම්පිට විහාර වල ප්‍රභවය පිළිබඳ මතවාද කිහිපයක් ඇත

 

1 මෙය මහල් පූජස්ථාන අනුව යමින් ඉදිකළ ගොඩනැගිල්ලකි

 

2 ස්වභාවික උවදුරු මගින් සිතුවම් පිළිම ආදිය ආරක්ෂා කිරීම සඳහා ඉදි කළ ගොඩනැගිල්ලකි.

 

3 ගෞරවය ජනනය කිරීම සඳහා ඉදිකළ ගොඩනැගිල්ලකි.

 

මින් පළමු අදහස චාල්ස් ගොඩකුඹුරේ මහතා ද අනුමත කරයි එතුමා පවසන්නේ මේ විහාර ඉදිකිරීමට බලපෑවේ පොළොන්නරුවේ අටදාගෙය, හැටදාගෙය වැනි මහල් පූජස්ථාන ගොඩනැගිලි බව යි

 

පොළොන්නරු යුගයේ දළදා මාළිගය වූයේ අටදාගෙය යි. සෝපානයක අවශේෂ හමු වී ඇති නිසා මෙය මහල් ගොඩනැගිල්ලකැ'යි හඳුනාගෙන ඇත. මෙහි පහළ මහලේ පිළිම 3 ක් තිබී හමු වී ඇත. ඉහළ මහලේ දළදා වහන්සේ හා පාත්‍රා ධාතුව තැන්පත් කර තිබෙන්නට ඇත යන්න සාමාන්‍ය පිළිගැනීම යි. එහෙත් මෙහි නාමය අටදාගේ යනුවෙන් යෙදීම දෝෂ සහිත බව පැවසේ. ( ලංකා විශ්ව විද්‍යාල ලංකා‍ ඉතිහාසය ii කොටස පිටුව සිට බලන්න) මෙම ගොඩනැගිල්ලේ පහළ මාලයේ බිත්ති තුළට එබ්බවූ කුලුනු 32 ක් ඇතුළුව සියලු කණු 54 ක් මත වන වහලය දැවයෙන් තනා තිබූ බව පුරාවිද්‍යාඥයෝ තහවුරු කරති. ඉහළ මහළට නැගීමට තනා තිබූ ලී තරප්පු පෙළට සැකසූ සෙල්මුවා පා ශිලාව වර්තමානයේ දී පවා දක්නට ලැබේ

 

හැටදාගෙය දළදා මැදුරකි එය කරවූයේ කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජු විසින් අටදාගෙයි සැලසුම ම ආභාසයට ගනිමිනි. පොළොන්නරු යුගය තුළ ම ඉදිකළේ යැයි කියැවෙන ගොඩනැගිල්ලකි.

 

මේ නිර්මාණ අනුව යමින් පසු කාලයේ දී ටැම්පිට විහාර ඉදිකරන්නට ඇත යන්න චාල්ස් ගොඩකුඹුරේ මහතාගේ මතයයි. වැඩි දෙනෙකු පිළිගන්නේ ද ඒ මතයයි එහෙත් ටැම්පිට විහාර ව්‍යාප්තිය හා ව්‍යාප්ත වූ කාලය අනුව බලන කල පෙනී යන්නේ ද ඉහතින් කී දෙවන හේතුව වඩාත් ප්‍රබල බවය. දැනට ලංකාවේ ටැම්පිට විහාර 137 ක් පමණ හඳුනාගෙන තිබේ. (කුසුම්සිරි විජේවර්ධන මහතා ලියූ ශ්‍රී ලංකාවේ ටැම්පිට විහාර කෘතිය අනුවය.15 පිට)

 

මේ අතරින් අනුරාධපුර ප්‍රදේශයේ ටැම්පිට විහාර 5 ක් ද හම්බන්තොට ප්‍රදේශයේ විහාර 2 ක් ද වෙයි. ඒ හැර සෙසු සියල්ල තෙත් කලාපයේ හෝ වියළි කලාපයට වඩා වැඩි වර්ෂාපතනයක් ඇති ප්‍රදේශවල ඉදිකළ ඒවාය.

 

තෙතමනය අධික ප්‍රදේශ වල උස් අත්තිවාරම් මත ගොඩනැගිලි ඉදිකිරීම සාමාන්‍ය ක්‍රමය යි. එහෙත් වේයන්ගෙන් ගැළවීමට ඒ ක්‍රමය පමණක් ප්‍රමාණවත් නොවන්නේ උස් අත්තිවාරම පස් දමා ගොඩ කළ යුතු නිසාත් මේ පස් ස්ථරය වේයන්ට පැමිණීමට මගක් නිසාත් ය. අනෙක් කරුණ නම් ගොඩනැගිල්ලක දාරුමය කොටස් වේයන්ට මෙන් ම තෙතමනයට ද හසුව ඉක්මනින් ම විනාශ වී යා හැක. අනුරාධපුර යුගයේ මෙන් නොව පොළොන්නරු යුගයේ දී ලංකාවේ ගොඩනැගිලි ඉදිකිරීමේ ක්‍රම මෙන් ම අමුද්‍රව්‍යයන් ද වෙනස් විය.

 

මේ යුග දෙකට ම ඒවා ඊට පසු යුගවල ගොඩනැගිලි ක්‍රම, රටා, තාක්ෂණය වෙනස් විය. අප දන්නා පරිදි මහනුවර යුගයේ දී වඩාත් ප්‍රචලිතව පැවතියේ වරිච්චි බිත්ති ක්‍රමයකි. (අපේ සංස්කෘතික උරුමය කෘතියේ 2 කොටසේ 370 – 383 දක්වා පිටුබලන්න.ඊට අමතරව මතුගම සෙනවිරුවන් මහතාගේ හෙළ බදාම වරුණ'කෘතිය හා ඒ මහතාගේ ම'සිංහල කිරිත්තම' කෘතිය බලනුබ මැනවි.) මෙම වරිචිචි බිත්ති ක්‍රමයේ දී මූලික සැලැස්මදැවයෙනි. මිල්ල දැව හෝ වනඉදල වැනි ගස් වල ලී වඩාත් ශක්තිමත් නිසා ඒවා මුල් කණු, ප්‍රධාන කණු ලෙස ද සෙසු කොටස් සාමාන්‍ය ලී වලින් ද හරස් පටි සඳහා බට , පුවක් පටි හෝ කිතුල් පටි ආදිය යොදයි පසුව ඒ අතර හිදැස් මැටි ගෙන පුරවයි. මේ වරිච්චිය බඳින අයුරු ය. මේ ක්‍රමයට ගොඩ නැගූ නිවසක් වේයන් කුරුමිණියන්ගෙන් රැකගත යුතුය. එහෙත් විහාරයක් පිළිම ගෙයක් වැනි තැනක් නිරන්තරයෙන් අලුත්වැඩියා කිරීම අපහසුය. එය පොදු ගොඩනැගිල්ලක් නිසාය. අනෙක් කරුණ නම් වඩාත් පූජනීය ගොඩනැගිල්ලක් ඉක්මනින් දිරාපත් වන දැව වලින් ඉදිකිරීම ද අගෞරවයකි. එහෙත් තෙත් කලාපයේ ගොඩනැගිලි රැක ගැනීම දුෂ්කර ය.ඊට හේතු වශයෙන් ටැම්පිට විහාර ඉදිකරන්නට ඇත යන්න විශ්වාස කළ හැකිය. එසේ කියන්නට තවත් ප්‍රබල හේතුවක් වන්නේ ටැම්පිට විහාර වල පහළ මහල වෙනත් කාර්යයක් සඳහා යොදා නොගැනීමයි. ඊට අනුව ටැම්පිට විහාර ඉදිකරන්නට මූලික හේතුව වී ඇත්තේ ඉහත කී හේතු මත ගොඩනැගිල්ල සාමාන්‍ය භූමියෙන් තරමක් උස් කර ඉදිකිරීම යි.

 

තෙවන හේතුව ද පිළිගැනිමට දුෂ්කර නැතත් එය ප්‍රබල හේතුවක් නොවේ. එහෙත් පිළිම හා ධාතුමන්දිර පිහිටි පොළොවේ ඉදි නොකිරීම අනාදිමත් කාලයක සිට අනුගමනය කර ඇති ක්‍රමවේදයකි.

 

ටැම්පිට විහාර ඉදි කළ අයුරු -

 

නො උස් ගල් කණු හෝ ඇතැම් විට ගඩොලින් කළ කණු මත හරස් බාල්ක යොදා ඒ මත ලෑලි අතුරා සකස් කර ගත් තට්ටුවක් මත මේ විහාරය ඉදි කරයි. මුල් කණු සිටුවන්නේ ද පස් යොදා කළ කුඩා වේදිකාවක් මතය. එහෙත් එසේ නොවන අවස්ථා ද ඇත.

 

ටැම්පිට විහාරයක සැලැස්ම

 

සාමාන්‍යයෙන් ටැම් පිට විහාර ගෙයක් ප්‍රදක්ෂිණා පථයකින් හා ඊට මැදි ප්‍රතිමා ගර්භයකින් යුක්තය. වහළය සිව්පල ක්‍රමයට ඉදිකෙරෙන අතර එය ඇතැම් විට ගිංජාවස්තු පියසි හැඩයට සකස් කරයි.

 

මැදවල ටැම්පිට විහාරය

 

2

 

 

මැදවල තඹ සන්නසට අනුව ක්‍රි.ව. 14 වන සියවස වන විට එය දෙමහල් විහාරයකි. 1755 වසරේ දී පමණ කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් මේ විහාරය ප්‍රතිසංස්කරණය කර ටැම්පිට විහාරයක් සේ සකසා ඇත. මැදවල සන්නසේ තොරතුරු උපුටා දක්වන ආනන්ද කුමාරස්වාමි මහතා පවසන්න මේ ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය සියලු ද්‍රව්‍ය සපයා දුන් පසු කුලිය ලෙස පනම් 15 600 ක් කාර්මිකයන්ට ගෙවා ඇති බවයි. ( මධ්‍යකාලීන සිංහල කලා 56 පිට 1994 මුද්‍රණය )

 

පිහිටීම

 

මැදවල ටැම්පිට විහාරය මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටා තිබේ. මහනුවර සිට කටුගස්තොට දක්වා පැමිණ රණවන හරහා මැදවලට ගමන් කරන මාර්ගයේ කිලෝමිටර 11 ක් පමණ ගිය විට මේ විහාරය හමු වේ.

 

සැලසුම

 

මැදවල විහාර සංකීර්ණයට අයත් ටැම්පිට විහාරය ඉදිකර ඇත්තේ ශෛලමය ටැම් 34 ක් මතය. සාමාන්‍යයෙන් මේ ටැඹක් අඩි අඟල් 20 ක තරම් උසින් යුතුය. ඒවා සිටුවා ඇත්තේ කුඩා වේදිකාවක් මතය. එම වේදිකාව අඟල් 20 – 21 ක් තරම් උස්ය.

 

එම වේදිකාවේ ඇති ගල් කණු මත හරස් බාල්ක යෙදා ඒ මත ලෑලි අතුරා සකස්කර ගත් තට්ටුව මත ඉදි කළ පිළිම ගෙය දිගින් අඩි 13 යි අඟල් 8 කි. පළල අඩි 8 අඟල් 4 කි. එය වට ප්‍රදක්ෂිණා පථයකි. එය අඩි 3 අඟල් 8 ක් පුළුල්ය. ප්‍රදක්ෂිණා පථය වටා දැව කණු යටින් ඇත්තේ පියස්සට ආධාරක ලෙසටය. එම දැව කණු අතර බීරලු වැටක් යොදා ප්‍රදක්ෂිණා පථය නිම කර ඇත. කණු මත ඇති වහලය සිව් පල වහලයකි. සෙවිලිකර ඇත්තේ පෙති උළුය.

 

පිළිම ගෙයට පිවිසිය යුත්තේ දොරටුපාල රූප දෙකකින් අලංකාර කළ දොරටුවකිනි. පිළිමගෙය තුළ කුඩා ප්‍රමාණයෙන් හිටි බුද්ධ ප්‍රතිමාවක් හා හිඳි බුද්ධ ප්‍රතිමාවක් දක්නට ලැබේ. පිළිම ගෙයි බිත්ති සුදු හුණු බදාමයෙන් කපරාරු කර ඇතුළු පැත්තේ සිතුවම් ද ඇඳ තිබේ.

 

මැදවල විහාර නාමය 'නම් පොතෙහි ද සඳහන් වේ. ඒ මැදවල ලෙස නොව මැදවෙල නමිනි. (නම් පොතේ අග කොටස බලන්න) එතරම් උස් නොවන කුඩා කඳු ගැටයක් මත පිහිටි මැදවල විහාරයේ ඉහළ මළුවේ ටැම්පිට විහාරය පිහිටා තිබේ. මේ විහාරය මුල්වරට ඉදිකර ඇත්තේ වළගම්බා රජුගේ කාලයේ බව මහාවංශයට අනුව පෙනී යයි. එහෙත් මහාවංශයේ මේ තොරතුරු හමු වන්නේ වළගම්බා රජ සමයට අදාළ තොරතුරු අතර ද නොවේ. කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවසට අදාළ තොරතුරු අතරය. ( බලන්න මහාවංසය 100 පර්ච්ඡේදයේ 232 – 234 ) ගාථා අප මෙම තොරතුරු ලබාගත්තේ බෞද්ධ සංස්කෘතික මාධ්‍යස්ථානයේ මුද්‍රිත සිංහල මහාවංශයෙනි.) වළගම්බා රජු වර්ෂ 14 ක් හා සත්මසක් තිස්සේ ලක්දිව බොහෝ තැන්වල රහසිගතව වාසය කරමින් සත් ද්‍රවිඩයන්ට එරෙහිව සේනා සම්පාදනය කළ අතර රැකවරණය දුන් බොහෝ ස්ථානවල පසුකාලයේ විහාර හා ලෙන් විහාර කරවීය. මහනුවර ගංගාරාමය එවන්නකැ'යි කියැවේ.

 

ඊට අනුව මහනුවරට සමීපව පිහිටි මැදවෙල ද විහාරයක් කරවූ බව පිළිගැනීමට අපහසු නැත. එහෙත් අනුරාධපුර යුගයේ බොහෝ දේශපාලන, ආ‍ර්ථික හා ආගමික ආදි කටයුතු අනුරාධපුරය කේන්ද්‍රගතව සිදු වූ නිසා මේ විහාරය ක්‍රමයෙන් ජරාවාස වූ බව පෙනෙයි. ක්‍රි.ව. 1326 වැන්නේ දී සිව්වන පරාක්‍රමබාහු රජ කළ සමයේ දී නාගල වනරතන නම් හිමියන්ගේ ඉල්ලීම පරිදි රජු විසින් මේ විහාරය යළි යථා තත්වයට පත්කර ඇත. දැදිගම 5 වන පැරකුම්බා රජ මේ හිමියන්ගේ ම ඉල්ලීම මත දෙමහල් ප්‍රතිමා ගෘහයක් ඉදිකරන ලදි. එහි දී ඉදිකළ විහාරයේ බිත්ති වරිච්චියෙන් බැඳ සුදු හුණු පිරියම් කොට ඒ බිත්තිවල බෞද්ධ සිතුවම් ඇඳ අලංකාර කරන ලදි. නිම කළ විහාරයේ ඇතුළත විස්තරය මෙසේය.

 

පහළ මහල - මකර තොරණක් සහ ඒ යට ශක්‍ර , බ්‍රහ්ම , විෂ්ණු , මහේෂ්වර දේව රූප

 

ඉහළ මහල - බුද්ධ ප්‍රතිමා 3 යි. වියන්තල සිතුවම් සහ බිත්තිවල ඇඳි සිතුවම් 1196 යි.

 

මෙලෙස අලංකාර ලෙස ඉදිකළ විහාරයට යළි අසුභ කාලයක් උදාවන්නේ මෙරටට පෘතුගීසීන් පැමිණීමත් සමගය. දොන් ජෝන් හෙවත් කොනප්පු බණ්ඩාරත් දොන් පිලිප් කුමාරයාත් පෙරටු කොටගෙන මහනුවර ආක්‍රමණය කරනු පිණිස මන්නාරමෙන් පිටත්ව පෘතුගීසී සේනා 1592 වර්ෂයේ දී හෝ ඊට ආසන්න කාලයක දී මැදවෙල විහාරයට ද හානිකළහ.

 

මෙයින් පසු එය යළි ජරාවාස වූව ද කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් විහාරය ප්‍රතිසංස්කරණයට අනුග්‍රහ දැක්විය. එම කටයුතු අධීක්ෂණයට දුනුවල අධිකාරම් පත්කරන ලදි. මැදවෙල තඹ සන්නස මෙම ප්‍රතිසංස්කරණයන්ට අදාළ විස්තර දක්වයි. ප්‍රතිසංස්කරණයෙන් පසු රජු විසින් තඹ සන්නසකින් විහාරයට ඉඩම් ද පූජා කරන ලදී.

 

රාජ්‍ය අනුග්‍රහය නො මඳව ලැබීමට යම් විශේෂ හේතුවක් මේ විහාරය සම්බන්ධයෙන් වේදැ'යි පැහැදිලි නැතත් කිසියම් විශේෂත්වයක් ඇති වග පෙනෙයි. ගම්පොල 3 වන වික්‍රමබාහු රජ මේ විහාර භූමියේ දේශපාලනික වැඳගත්කමක් ඇති ශීලා ලේඛනයක් කරවා තිබීම ද ඊට නිදසුනකි.

 

ශ්‍රී සඟබෝ ශ්‍රී වික්‍රමබාහු

 

චක්‍රවර්ති ස්වාමීන් වහන්සේට තුන්වන උඳුවප් පුර අටවක සන්ධානයෙන් සිදුරුවාන බලවිට, මාතල, දුම්බර සගම තුන්රට සවළුපති මර්තතාණඩම් පෙරුමාළුන් වහන්සේ මඩිගය පවරාදෙන බමුණන් තෙනුවර මලමඩල .................. ( සෙසු පේලි නොපැහැදිලිය තවත් පේලි 6 ක් තිබේ.)

 

මේ ලිපිය වනාහි 3 වන වික්‍රමබාහු සහ යාපනයේ ආර්ය චක්‍රවර්ති රජු අතර ඇතිවූ ගිවිසුමකි. ගිවිසුමෙන් කියවෙන්නේ මහනුවර හා මාතලේ දිසාවලින් බඳු අයකිරීම පිළිබඳවය . මෙවන් රාජකීය ලේඛනයක් තැම්පත් කිරීම සදහා මෙම විහාරයම තෝරා ගත්තේද යම් විනෝදත්වයක් ඇති නිසාය.

 

ප්‍රතිත මන්දිර සැලසුම -

 

.................... ගල් වේදිකාවක් මත අගල් 20 ක් පමණ උස් ගල් කණු සිටුවා ඒවා අඟල් 10 *10 ප්‍රමිණයේ දාව බාල්ක එලා ඒ බාල්ක මත අඟල් 3 ක් ගණකම ඇති ලෑලි අතුරා තිබේ. බිත්තියක් අඩි 7 අඟල් 9 ක් උස් වේ. ප්‍රදක්ෂිණා පථය වටා දැව කණු 18 කි. ඒ අතරට බීරලු වැටක්ද නිර්මාණය කර තිබේ. ප්‍රදක්ෂිණාපථය සමඟ ගොඩනැගිල්ලේ දිග අඩි 23 ක්ද පළල අඩි 18 ක්ද වෙයි. සිව්පල වහලය ආනති 2 කින් යුතු අතර පෙති උළු හෙවිල්ලා තිබේ. පියසි ඉම මැටි වඩිම්බු කාල වලින් නිමවා තිබේ. විහාරයට පිවිසෙන උළුවස්ස අලංකාර කැටයමකින් යුක්.ය. ලංකාවේ පූජනීය ගොඩනැගිලි වල බහුලව භාවිත කර ඇති සූර්ය වංක ක්‍රමය මෙහිදීද යොදාගෙන ඇත. ( පින්තුර බලන්න ) පඩිකඳ ............... හැඩයෙන් යුක්තය.උළුවසු කඳන් දෙක හා හරස් බාල්කය පලාපෙති .................. හා ලියවැල් රටා වලින් සරසා ඇත. ( මීට අදාළ රූප සටහන් චාල්ස් ගොඩකුඹුර මහතා 1882 වසරේ පල කල සිංහල උළුවහු කෘතියේත් කුසුම්සිරි විජයවර්ධන මහතා 2010 වසරේ පලකළ ශ්‍රී ලංකාවේ ටැම්පිට විහාර කෘතියක් දක්නට ලැබේ ) උළුවස්සේ ඉහළ හරස් කදේ මුහුණලා සිටින මකර රූප 2 ක්ද වෙයි. පහළ සිංහ රූප දෙකක් ඇති අතර ලියවැල් රටාව ඇරඹේ. එම සිංහයන් දෙදෙනාගේ මුඛයෙනි.

 

මැදවල ටැම්පිට විහාරයේ මුර්ති

 

මෙහි ප්‍රධාන බුද්ධ ප්‍රතිමාව වන්නේ මකර තොරණකින් ගෞරවයට පාත්‍රකර කරන ලද හිදි බුද්ධ ප්‍රතිමාවකි. එහෙත් වර්තමානයේ ඇත්තේ එහි මුල් බුද්ධ ප්‍රතිමාව නොවේ. දැනට ඇත්තේ තායිලන්ත කිරිගරුඩ බුද්ධ ප්‍රතිමාවකි. එය භූමි ස්පර්ශ මුද්‍රාවෙන් යුතු නමුදු මුල් බුද්ධ ප්‍රතිමාව කුමන මුද්‍රාවෙන් යුතු වී දැයි නොදනිමු මේ මකර තොරණ සහිත බුද්ධ ප්‍රතිමාව නිමවා ඇත්තේ විහාරයේ උතුරු බිත්තියේය.

 

බුද්ධ රූපයට අමතරව මෙහි දේව රූප ගණනාවක්ද තිබේ. ශිව, බ්‍රහ්ම , ඉන්ද්‍ර හා විෂ්ණු යන දෙවිවරු මෙලෙස මූර්තිමත් කර තිබේ. ඔවුන්ගේ රූප සමඟ ඔවුන්ගේ වාහන ද මූර්තිමත් කර තිබීම නිසා පහසුවෙන් හඳුනාගත හැක. දේව රූපත් බුදුරුවක් හැරුණු කොට මෙහි ඇති අනෙක් නිර්මාණය මකර තොරණයි. මකර තොරණ මස්තකයේ ඡත්‍රයකින් ගෞරව කරන ලද ශ්‍රී මහබෝධි රුවක් දක්නට ලැබීම මේ මකර තොරණේ විශේෂයකි.

 

මැදවල විහාරයේ සිත්තම්

 

3

 

 

 

මැදවල විහාරය මෙතුවක් ශ්‍රී ලංකාවෙන් හමු වී ඇති ටැම්පිට විහාර අතරින් පුරාණතම එක වන නිසා මෙහි ඇති සිතුවම් වල ද විශේෂත්වයක් තිබේ. මහනුවර සම්ප්‍රදායේ පැරණිම සිතුවම් දක්නට ලැබෙන ස්ථානයක් ලෙසටද මේ විහාරය හඳුනාගෙන ඇත. ( මහාචාර්ය එම්.සෝමතිලක මහතා කියන්නේ මහනුවර  සම්ප්‍රදායේ පැරණිතම සිතුවම් ඇත්තේ මහනුවර ලේවැල්ලේ ගංගාරාමයේ බවයි. ඔහු කියන ආකාරයට මැදවල ඇත්තේ දෙවැනි පැරණිතම සිතුවම්ය )

 

විහාර සිතුවම් නිර්මාණය කළ ආකාරය පිළිබදව තඹ සන්නසේ මෙසේ සදහන් වෙයි.

 

“ඉගුල් ආදී __________ මිටි යෙලක් ගෙන්වා සිතුවම් පටන්ගෙන උඩුමාලේ වැඩ සිටි පිළිම තුන්නමක් හා වියන් සිත්තම් හා බිත්තියේ එක්දහස් එකසීය අසූනමක් පිළිම අන්දවා යට මාලේ මිලිතොරණ සහිත වජ්‍රාසනාරූඪව වැඩ උන් පිළිම සාමින් අතුළු වූ ශක්‍ර බ්‍රහ්ම , විෂ්ණු , මහේෂ්වර , සුයාම , සන්තුසිතාදී දේවරූප හා විජම්වතාර දේශනා දම්සක් පැවතුම් සූත්‍රා දී නොයෙක් දේශනා කළ තැන් හා නාලාගිරි දමන හා සත් සති ඉන්ද්‍රසාල ගුහා දී නොයෙක් අපූර්ව චිත්‍ර කර්මාන්ත කීප අවුරුද්දකින් සමූර්ධ වූ පසු ..... ( Bphygraphia Zeylanica Vol.V වෙතින් උපුටාගෙන කුසුම්සිරි විජයවර්ධන මහතා සිය _________ දක්වා තිබූ සටහන ඇසුරෙනි. - බලන්න ඒ මහතාගේ " ශ්‍රි ලංකාවේ ටැම්පිට විහාර කෘතිය මකර තොරණත් ඊට යටින් ඇති බුදධ ප්‍රතිමාවත් ඒ ආසන්නයේ ඇති දේව රූපාදියත් හැරුණු කල මේ විහාර අභ්‍යන්තරයේ අනෙකුත් බිතු අවකාශ අරඹා ඇත්තේ සිතුවම් වලිනි. මහනුවර සම්ප්‍රදායට ආවේණික ලෙස ගුරු පැහැය පසුබිම් කරගනිමින් සිතුවම් නිර්මාණය කර තිබේ. සාමාන්‍යයෙන් මහනුවර සම්ප්‍රදායේ සිතුවම් නිමා කිරීමේදී යොදා ගන්නා පාරම්පරික වර්ණ මාලාවක් ඇති නිසාත් මැදවෙල විහාරයේද එම වර්ණාවලීන් ඒ ඇසුරින්ම යොදා ගෙන ඇති නිසාත් මෙහිදී වර්ණ පිළිබදව විශේෂ සටහනක් ඇතුලත් නොකරව. එහෙත මේ යුගයේ සිත්තමක ප්‍රශස්තභාවය , වටිනාකම ඉහළ යන්නේ රේඛාකරණය අනුවය. මන්ද යත් වර්ණ කිරීමේ දී සාමාන්‍යයෙන් භාවිත කෙරෙන්නේ _________ වර්ණ ගැන්වීමේ ක්‍රමය නිසා වර්ණ තැවරිම මහනුවර යුගයේ බහුතරයක් සිතුවම් වල එකහා සමාන ය. එහෙත් රේඛාකරණය එසේ නොවේ. ප්‍රශස්ත බව රැදේනනේ එතැනය. සතතාභාසය තුළින් වර්ධනය කරගත් හැකියාව අනුව ශිල්පියාගේ රේඛා කුසලතාව විවිධය. මැදවල විහාරයේ සිතුවම් වල රේඛාකරණය උසස් තත්වයක පවතී. බුද්ධ රූප ,ශ්‍රාවක රූප ගෘහනිර්මාණ හා බැදි රූප හා වෘක්ෂලතා ආදිය සම්බන්ධයෙන් එහි රේඛාකරණය මධ්‍යස්ථ හෝ උසස් තත්වයේ පවතින බවට වැණුමක් කළ හැක.



මැදවල සිතුවම් තේමා

 

1. සත් සතිය

 

2. වෙස්සන්තර ජාතකය

 

3. වංකගිරිය

 

4. බුදුපුදට යන රහත් ශ්‍රාවකයන් වහන්සේලා

 

5. දුනුවල දිසාවේ

 

6. උරග ජාතකය

 

7. සොළොස්මස්ථාන

 

8. තව්තිසා දෙව්ලොව

 

මේ සිතුවම් අතරින් 01 – 05 සිතුවම් නැගෙනහිර බිත්තියේත් 6 .7 සිතුවම් බටහිර බිත්තියෙත් . 8 වැන්න වියන්තලයේත් සිත්තම් කර තිබේ.

 

මැදවල සිතුවම් ලක්ෂණ

 

මැදවල සිතුවම් කාලීන බලපෑම් වලට නතු වූ සිතුවම් විශේෂයකි. සිතුවම් නිර්මාණය කරන කාලයේ තත් සමාජයේ භාවිතව පාරිසරික ද්රව්යයන් මෙන්ම විවිධ සංකල්පද මේ සිතුවම් වලට ඇතුළත් වී තිබේ. ඇදුම් - පැළදුම් , ගෘහ නිර්මාණ ලක්ෂන ආදියේ මේ ආභාසයේ බලපෑම දක්නට ලැබේ. මදුරු දැල් ආවරණයක් තුළ දිවා ගුහාවේ සැකසී විවේක සුව විදින බුදු රදුන් දැක්වෙන සිතුවම ඊට කදිම උදාහරණයකි. වෙස්සන්තර ජාතක සිත්තමේ ද නිවස තුළ හකුලා ඇති මදුරු දැලක සටහනක් තිබේ.

 

මෙවැනි බලපෑම් වලට අමතරව මැදවල විහාර සිතුවම් වල ඇති තවත් විශේෂත්වයක් වන්නේ ක්‍රියාශීලී හා සජීවාකාරයක් දක්වා තිබීමයි. වෙස්සන්තර ජාතකයේ දරුවන් දන් දීම , බුද්ධ චරිතයට අදාලව මාර දූවරුන්ගේ රැගුම් ආදියේ ආකර්ශනීය සජීවීභාවයක් ඇත්තේය.

 

විශේෂ සිතුවම් හා ඒවායේ ලක්ෂණ

 

• සත්සතියට අදාළ සිතුවම් අතරින් අනිමිසලෝචනය - බුදුරුව පොළොන්නරුව උත්තරාරාමයේ (ගල් විහාරයේදී) හිටි ප්‍රතිමාවට සමානය. දෙ අත් කතිරාකාරයට ළය හරහා බැද සිටී.

 

• දුනුවිල අදිකාරම - කීර්ති ශ්‍රී රාජසිංහ රජ අතින් විහාර ප්‍රතිසංස්කරණයට දායක වූ දුනුවිල අදිකාරම පුෂ්පයක්ද අතින් ගෙන සිටින ආකාරයට සිතුවම් කර තිබේ. ඒ නැනෙහිර බිත්තියේය.

 

• තුරග ජාතක සිත්තම - සාමන්‍යයෙන් මහනුවර සිත්තරුන් අතර එතරම් ප්‍රචලිත සිතුවම් තේමාවක් නොවේ.

 

• ජය ශ්‍රී මහා බෝ සිත්තම - සත් සති සිතුවමේ අනිමිස ලෝචන පූජා කොටසේ ජය ශ්‍රිමහා බෝ සමිදුන් දක්වා ඇත්තේ ස්වර්ණ පාත්‍රයක පිහිටුවා ඇති අයුරිනි. එය එසේ සිත්තම් කළේ ජය ශ්‍රී මහ බෝ මැඩ සම්බන්ධයෙන් ගෞරවයක් ජනනය කිරීමටද නැතහොත් ලංකාවට වැඩම වූ ජය ශ්‍රී මහ බෝ අංකුරය සමග සිදුවීම පටලවා ගැනීමෙන්ද නොඑසේනම් ලංකාවේ ජය ශ්‍රී මහ බෝධිය සම්බන්ධ ආභාසය නිසාද යන්න අපහැදිලි මූලාශ්‍රය වල සදහන් වන ආකාරයට බුද්ධත්වයේදී ගෞතම බෝ සතුන්ට සෙවන දුන් ඇසතු වෘක්ෂය බුද්ධ ගයාවේ ( ගයා ශීර්ෂයේ දී ) නේරංජනා නදිබඩ පිහිටි රුක් සෙවණකි. ස්වර්ණ පාත්‍රයක් හා සම්බන්ධ නොවන්නක් ඊට නැත.

 

• දිවා ගුහාව සිතුවම - මෙහි බුදුරජාණන් වහන්සේ ලෙන තුළ සැතපී සිටින්නේ මදුරු දැලක රැකවරණය ඇතිවය.

 

• වංකගිරිය - මෝස්තරාකාරයෙන් දක්වා ඇත. වෙස්සන්තර ජාතකයේ වංකගිරි විස්තරය අනුව සිත්තරා විසින් අවබෝධකර ගත් දෙය මහනුවර ශෛලියට අනුව ප්‍රති නිර්මාණය කර ඇති අයුරු අපූරුය.

 

• පූජක බමුණා රුක්ෂය මත නිදන දසුන - ජාලිය හා ක්‍රිෂ්ණජිනා දරු දෙදෙනා රුප්පාවේ බැද දමා බමුණා ගස්මත නිදා සිටින්නේ අතු ඉති බදාගෙනය. ඔහු තුළ ඇති බිය සංකාව මනාව පැහැදිලි වන සේ මෙය සිතුවම් කර ඇත.

 

• ඇදුම් පැළදුම් - සමකාලීන ඇදුම් පැළදුම් නිමවා ඇත. පුරුෂයන් උඩුකය විවෘතවත් යටි කයට සෝමනයක් හැද සිටිති. කුලවත් ස්ත්‍රීන් උඩුකයට සැට්ටයක් මන්තයක් යටි කයට සේලයක් හැද සිටිති.

 

කුලහීන හෝ සේවිකා තත්වයේ කතුන්ද උඩුකය නිරුවත්වන යටි කයට සරළ සේලයක් හැද සිටිති.

 

තලප්පාව හෝ නිලය හගවන හිස්වැසුම පැළදි පුරුෂ රූපද දක්නට ලැබේ.

 

• මහියංගන දාගැබ - අවස්ථා හතරකදී ප්‍රතිසංස්කරණය කළ දාගැබක් නිසා ශිල්පියා මෙය එකක් තුළ එකක් බැගින් පිහිටි දාගැබ් 4 ක් සේ දක්වා තිබේ.

 

• හිස් අවකාශය පිරවීම - මහනුවර සම්ප්‍රදාය අනුව යමින් ශිල්පීන් සිතුවම් තලයේ හිස් අවකාශය පුරවා ඇත්තේ නෙළුම් , නාමල් , පදක්කම් , සපු , කඩුපුල් , පරසතු මල් ආදියත් ශෛලිගත ලෙස සැකසූ කොළ ආදියෙන් යොදාගෙන තිබේ.

 

මහනුවර යුගයේ ගෘහ නිර්මාණ ශිල්පය කැටයම් හා මූර්ති ශිල්පය මෙන්ම සිතුවම් කලාව පිළිබදවද අධ්‍යයනය කිරීමේදී අතිශය වැදගත් මධ්‍යස්ථානයක් ලෙස ගැනෙන මැදවල විහාරය පිළිබද විස්තරය නිමි.

 

තොරතුරු - අමිල කෝසල උඩවත්ත

 

විශේෂ ස්තූතිය -

 

මෙම ලිපිය සැකසීමේ දී ප්‍රධාන මාර්ගෝපදේශ කෘතිය ලෙස භාවිතා කළේ කුසුම්සිරි විජේවර්ධන මහතා විසින් රචිත ශ්‍රී ලංකාවේ ටැම්පිට විහාර නම් කෘතිය එම කෘතියේ ඇතැම් කරුණු පිළිබදව දුරකතනයෙන් තොරතුරු විමසූ අවස්ථාවේ ද ඉතා කාරුණිකව කරුණු පැහැදිලි කර දීම සම්බන්ධයෙන්ද ඒ මහතාට ස්තූතිය පිරිනමමු.

 

වෙනත් මූලාශ්‍රය

 

මහාවංසය , නම් පොත වැනි කෘති හා මධ්‍යකාලීන සිංහල කලා ( ආනන්ද කුමාරස්වාමී මහතා ) මැදවල රජමහවිහාරය ( එම් . ඩබ් . ඊ . කරුණාරත්න මහතා ) මහනුවර යුගයේ බෞද්ධ කලා සම්ප්‍රදාය ( දයානන්ද බිනරගම මහතා ) මහනුවර යුගයේ විහාර බිතුසිතුවමක් පෙනෙන වර්ණ තෙල්කූරූ හා බදාම ( ඇස් . පී . චාර්ල්ස් මහතා ) 18 වන සියවසේ බිතුසිතුවම් ( සිරි විජය කුමාරසේන මහතා ) වැනි කෘතිද පරිශීලනය කරන ලදී.

 

Read 4764 times
Developed by
ICT Branch, Ministry of Education, Sri Lanka
Site Map | Disclaimer
Copyrights © 2012-2016 | ICT Branch, Ministry of Education, Sri Lanka